Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටයිටැනික් සහ ඇවටාර් ලොවට ගෙනා, ජේම්ස් කැමරන්

හොලිවුඩ් සිනමාව අධ්‍යයනය කිරීමේ දී, බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළූ චිත්‍රපට එකකට වඩා අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂකවරුන් කිහිපදෙනෙක්ම අපට හමුවෙනවා. මේ අතුරින් ජේම්ස් කැමරන් හට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. විශේෂයෙන් 20 වන සියවස අග භාගයේ හා 21 වන සියවස මුල් භාගයේ හොලිවුඩයේ වඩාත් සාර්ථකම සිනමා අධ්‍යක්ෂකවරුන් අතලොස්ස අතර ඔහු ඉදිරියෙන්ම සිටිනවා.

ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්ෂණය කරන ලද වඩාත් සාර්ථක සිනමා නිර්මාණ ලෙස ද ටර්මිනේටර්, ඒලියන්ස්, ඇවටාර් හා ටයිටැනික් සැලකෙනවා. මින් පළමු ත්‍රිත්වය හුදු විද්‍යා රබන්ධ වන අතර, කුඩා කාලයේ සිට විද්‍යා ප්‍රබන්ධවලට දැක්වූ ලැදියාව නිසා ඔහු මේවා නිපදවනු ලැබුවා. ඔහුගේ වඩාත් සාර්ථක නිර්මාණය ලෙස සැලකෙන ටයිටැනික් 1997 වසරේ දී ලොව ඇමෙරිකානු ඩොලර් බිලියනයක ආදායමක් ඉපැයූ ප්‍රථම සිනමාපටය බවට පත් වූ අතර, මෙය ඇකඩමි සම්මාන 14කටත් නිර්දේශ වුණා. අවසානයේ ඔහුට හොඳම අධ්‍යක්ෂණය, හොඳම සිනමා සංස්කරණය හා හොඳම සිනමාපටය සඳහා වූ ඔස්කාර් සම්මාන ත්‍රිත්වය ටයිටැනික් වෙනුවෙන් ලැබුණා.

දිවියේ මුල් කාලය

ජේම්ස් කැමරන් තුරුණු වියේ දී- forums.sherdog.com

ජේම්ස් ෆ්‍රැන්සිස් කැමරන් උපත ලබන්නේ 1954 වසරේ අගෝස්තු මස 16 වනදා කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ දී යි. කුඩා කාලයේ පටන් විද්‍යාව කෙරෙහි ඔහුගේ සිත යොමු වූ අතර, හොඳින් මූලික අධ්‍යාපනය හදාරා කැලිෆෝනියා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයට ඇතුළු වන්නේ භෞතික විද්‍යාව ඔස්සේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට යි. කෙසේ නමුත්, එහි දී කෙමෙන් කෙමෙන් ඔහුගේ අවධානය සිනමාව කෙරෙහි ඇදී ගියා. ට්‍රක් රථ රියැදුරෙකු ලෙස සේවය කරමින් එදිනෙදා ජීවිතයට අදාළ මුදල් ඉපැයූ ඔහු, ඉඩක් ලද සෑම විටකම පාහේ සිනමාව පිළිබඳ හැදෑරූ අතර, සිනමා කටයුතුවලටත් හැකි පමණින් සම්බන්ධ වුණා.

1978 වසරේ දී කැමරන් සිය පළමු කෙටි චිත්‍රපටය නිපදවනවා. සෙනොජෙනෙසිස් නම් වූ එය විද්‍යා ප්‍රබන්ධයක් වුණා. මේ කෙටි චිත්‍රපටය හොඳ තත්ත්වයේ තිබූ අතර, මේ නිසා ඔහුට රොජර් කෝමන් නම් අධ්‍යක්ෂකවරයාට අයත් ‘නිව් වර්ල්ඩ් පික්චර්ස්’ නම් සිනමා නිෂ්පාදන ආයතනය හා සම්බන්ධ වීමට ලැබෙනවා. මෙහි දී ඔහු සිනමාව ආශ්‍රිත රැකියාවන් රාශියක නිරත වන අතර, සිනමා කරමාන්තයේ බොහෝ තැන් පිළිබඳව පෘථුල ප්‍රායෝගික ඥාණයක් ලබා ගන්නවා. බැට්ල් බියෝන්ඩ් ස්ටාර්ස් (1980) චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ ඔහු, 1981 වසරේ නිපැයුණු ‘පිරන්හා 2’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමේ වරම් ලබනවා.

සිනමා අඹරේ නැගී ආ තාරකාව

1984 වසර ජේම්ස් කැමරන්ගේ දිවියේ ස්වර්ණමය වසරක් වුණා. ඒ එම වසරේ දී ඔහු, ද ටර්මිනේටර් නමින් අධ්‍යක්ෂණය කරන ලද විද්‍යා ප්‍රබන්ධය ලොව ප්‍රසිද්ධ වීම යි. ආනෝල්ඩ් ස්වාසනෙගර් ප්‍රධාන චරිතය නිරූපණය කළ මෙම චිත්‍රපටයේ දැක්වුණේ අනාගතයෙන් පැමිණෙන රෝබෝවරයෙකු වර්තමානයට පැමිණ ලෝකයේ බලය තහවුරු කරගන්නට උත්සාහ දරන ආකාරය යි. මෙය ආර්ථික අතින් අතිසාර්ථක වූ අතර, මේ හේතුව නිසාම ඔහුට ඒලියන්ස් (1986) නම් විද්‍යා ප්‍රබන්ධයේ අධ්‍යක්ෂණ කාර්යය පැවරෙනවා. මෙය ඇකඩමි සමාන කිහිපයකටම නිර්දේශ වුණා.

ද ටර්මිනේටර්- independent.co.uk

1989 වසරේ දී තිරගත වූ ‘ද ඇබිස්’ නම් චිත්‍රපටය එතරම් සාර්ථක නොවූ අතර, ඔහු හට ආර්ථික අපහසුතා ගෙන ආවා. කෙසේ නමුත්, නිර්මාණාත්මක අතින් එය හොඳ තත්ත්වයක තිබූ අතර එහි දෘෂ්‍ය ප්‍රයෝග හේතුවෙන් ඇකඩමි සම්මානයක් පවා ලැබුවා. 1991 වසරේ දී ඔහු පොයින්ට් බ්‍රේක් නිපැයූ අතර, එයටත් හිමි වූයේ මිශ්‍ර ප්‍රතිචාර යි.

ජේම්ස් කැමරන් හට දෙවන වතාවට වාසනාව ළඟා කර දුන්නේ ‘ටර්මිනේටර් 2 – ද ජජ්මන්ට් ඩේ‘ සිනමාපටය යි. මෙමඟින් ඔහු ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ආදායමක් ඉපැයූ අතර, මෙම චිත්‍රපටයේ දෘෂ්‍ය ප්‍රයෝග පිළිබඳව බොහෝ දෙනාගෙන් ඉහළ ඇගයීමක් ලැබුණා.

ටයිටැනික්

ටයිටැනික් චිත්‍රපටය නිපදවමින්- Pinterest

1994 වසරේ දී ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්ෂණය කළ ‘ටෲ ලයිස්’ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළූ චිත්‍රපටයක් වූ අතර, එය ඇමෙරිකානු ඩොලර් මිලියන 378ක ආදායමක් ඉපැයූවා. මින් ධෛර්යයට පත් වූ කැමරන්, මීළඟට අත තබන්නේ ඔහුගේ ස්වර්ණමය නිර්මාණය ලෙස සැලකෙන ‘ටයිටැනික්’ චිත්‍රපටයට යි. සත්‍ය සිද්ධියක් ඔස්සේ ගොඩනැගුණු ප්‍රබන්ධ කතාවක් වන ට‍යිටැනික් හි ප්‍රධාන චරිත ද්විත්වය ලියනාඩෝ ඩිකැප්‍රියෝ හා කේට් වින්ස්ලට් වෙනුවෙන් වෙන් වූ අතර, විශාල වියදමක් තනා කළ චිත්‍රපටයක් වුණා. මෙයට වියදම් වූ මුළු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක්. මෙය රූගත කෙරුණේ බාධක මධ්‍යයේ යි. මේ නිසා එය එතරම් සාර්ථක නොවෙතැ යි සමහරෙක් සිතුවා. කෙසේ නමුත්, එම මතයන් පුස්සක් කරමින් එය ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවූ ආදායමක් ලැබූ අතර, ඇකඩමි සම්මාන උළෙල අරක් ගන්නට සමත් වුණා. මේත් සමග කැමරන් සිය වෘත්තීය දිවියේ ඉහළම හිණිපෙත්තට ළඟා වුණා. ටයිටැනික් උන්මාදය ලොව පුරා පැතිරී ගිය අතර, ඉන් ඔද වැඩුණු ඔහු, පසුකාලීනවත් එම නෞකාව හා සබැඳි වාර්තා වැඩසටහන් කිහිපයක්ම සිදුකළා.

ඇවටාර්

ටයිටැනික් නිපදවා දශකයකට පමණ පසු, එනම් 2009 වසරේ දී නැවතත් ජේම්ස් කැමරන් පිළිබඳව ලොව පුරා කතා බහ වෙන්නට පටන් ගත්තා. ඒ, ඔහු විසින් අධ්‍යක්ෂණය කළ ‘ඇවටාර්’ සිනමාපටය හේතුවෙනුයි.  ඇමෙරිකානු හමුදා සහ වෙනත් ග්‍රහලොවක ජීවීන් අතර ඇති වන සටනක් පිළිබඳව කියැවෙන මේ කථාංගයේ දී ඔහු සිය දෘෂ්‍ය ප්‍රයෝග හැකියාව මොනවට යොදාගෙන තිබුණා.

ඇවටාර්- empireonline.com

ඉක්මණින්ම ආදායම් අතින් ඇවටාර් ටයිටැනික් චිත්‍රපටය තබා තිබූ වාර්තාවත් බිඳහෙළුවා. මේ සඳහා ඔහු හට ගෝල්ඩන් ග්ලෝබ් සමානය ලැබුණු අතර, ඔස්කාර් සම්මාන උළෙළේ දී මෙය සමාන 9කට නිර්දේශ වුණා. මෙහි දෙවන කථාංගය වන ‘ඇවටාර් 2’ 2020 වසරේ දී එළිදැක්වීමට නියමිත යි.

ගැඹුරු මුහුදේ වික්‍රමය හ සූර්යය බලශක්ති සංග්‍රාමය

2013 වසරේ දී ජේම්ස් කැමරන් එක් වික්‍රමයක් සිදුකරනවා. ඒ, ලොව ගැඹුරුතම ස්ථානය වන මරියානා ආගාධයට ‘චැලෙන්ජර් ඩීප්’ නම් යාත්‍රාවක් මඟින් ළඟා වීම යි. මේ චාරිකාව සවිස්තරව ලොවට හෙළි කරන්නටත් ඔහු අමතක කළේ නැහැ.

කැමරන් චැලෙන්ජර් ඩීප් යාත්‍රාව සමග- Associated Press

ජේම්ස් කැමරන් පරිසරයට ද ආදරය කරන්නෙක්, 2010 දශකය ආරම්භයේ දී ම සිය ව්‍යාපාරයන් පරිසර හිතකාමී කරනු වස් ඔහු විසින් කැලිෆෝනියාවේ මැන්හැටන් වෙරළෙහි පිහිටි සිය චිත්‍රාගාර පරිශ්‍රයේ විශාල සූර්යය පැනල ව්‍යාපෘතියක් ආරම්භ කළා. මෙම ව්‍යාපෘතිය තවත් ඉදිරියට ගෙන යන්නට ඔහු අදහස් කරගෙන සිටිනවා.

ජේම්ස් කැමරන් තවමත් 65 වියැති යි. තවමත් ඔහු සිනමා නිර්මාණ රාශියක් කිරීමට හැකි සෞඛ්‍ය තත්ත්වයක සිටිනවා. ලෝකයා බලා සිටින්නේ අනාගතයේ ඔහු කුමනාකාරයේ සිනමා වික්‍රමයන් ලොවට දායාද කරාවි ද කියා යි.

කවරයේ පින්තූරය- Lucy Nicholson

Related Articles