Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ප්‍රෞඪත්වයේ සැමරුම සහ ශ්‍රී ලංකාවේ ලිංගික දිශානතිය

සෑම වසරක ම ජුනි මස ලොව පුරා ‘ප්‍රෞඪත්වයේ මාසය’ හෙවත් ‘Pride Month’ සැමරීම සිදු වෙනවා. මෙහි දී සිදුවන්නේ ලොව සියලු ජනයාගේ ලිංගික අයිතීන් පිළිබඳ ව පිළිගැනීම සිදුවිය යුතු බැව් ලොවට හඬගා කීම යි. ලොව පුරා ජීවත් වන ජනතාව විවිධ කොට්ඨාසවලින් අන් අයගෙන් වෙනස් වෙනවා. ලිංගික නැඹුරුතාවත් ඉන් එක් කාරණාවක්.

කෙනෙක් තමන්ගේ ලිංගයට විරුද්ධ ලිංගිකයකුට ආකර්ෂණය වන විට තවත් අයෙක් තමන්ගේ ම ලිංගයේ අයකුට ආකර්ෂණය වන්නට පිළිවන්, තවත් අයෙක් මෙම ලිංගයන් දෙකට ම ආකර්ෂණය වන විට වෙනත් අයෙක් කිසිදු ලිංගික නැඹුරුතාවක් නැතිව සිය දිවිය ගෙන යනවා වෙන්නට පිළිවන්. තමන් කායිකව උපන් ලිංගය, මානසික ව තමන් ජීවත් වන ලිංගයට පරස්පර යැයි තවත් අයෙක් තීරණය කරන්නට පිළිවන්. මේ සියලු දෙනා ම එකාවන් ව සිය ලිංගික දිශානතීන් පිළිබඳ ව ‘ආඩම්බර විය’ යුතු යැයි ලොවට හඬගා කියන සංකල්පයක් ලෙස ‘ප්‍රෞඪත්වයේ මාසය’ දැක්විය හැකි යි.

 ලොව පුරා ජනතාව මේ මස ‘ප්‍රෞඪත්වයේ මාසය’ සමරනවා- lugless.com

 

මොකක්ද මේ LGBTQ

ලොව වෙසෙන බොහෝ ජනයා, බොහෝ දෙනකු කාණ්ඩ ගත කරන්නේ Heterosexual හෙවත් විෂම ලිංගික ගණයට යි. එහිදී යම් පුරුෂයෙක් කාන්තාවක් වෙතත්, කාන්තාවක් පුරුෂයෙක් වෙතත් ආකර්ෂණය වීම සිදුවෙනවා. කෙසේ නමුත් ලොව සැලකිය යුතු පිරිසකට මෙය මේ ආකාරයෙන් ම බලපවත්වන්නේ නැහැ. මෙහිදී ද්විතියික ලිංගික ලක්ෂණ පහළ වූ පසු යම් පුරුෂයෙක් තවත් පුරුෂයකුට ආකර්ෂණය වීම සිදුවන්නට පිළිවන්. මෙලෙස පැහැදිලිව ම පුරුෂයන් පමණක් කෙරෙහි ආකර්ෂණය වන තැනත්තෙක් සම ලිංගික පුරුෂ හෙවත් ‘Gay’ ලෙස හඳුන්වන අතර, එහි ම අනෙක් පැත්ත වන කාන්තාවන් කෙරෙහි පමණක් ආකර්ෂණය වන කාන්තාව කාන්තා සමලිංගික හෙවත් ‘Lesbian’ තැනැත්තියක් ලෙස හඳුන්වනවා. 

ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ආකර්ෂණය වන තැනැත්තා ද්වී ලිංගික හෙවත් ‘Bisexual’ තැනැත්තෙක් ලෙස හඳුන්වනවා. මීට අමතරව ‘Demisexual’ ‘Pansexual’ ‘Asexual’ යනුවෙන් ලිංගික දිශානතීන් රාශියක් වෙනවා. සිය ජීවිත කාලය පුරා යමකුගේ ලිංගික දිශානතිය වෙනස් වන්නට පිළිවන්. ද්වී ලිංගික යම් අයකුගේ කාන්තාවන් හා පුරුෂයන් කෙරෙහි ආසක්තභාවය ප්‍රතිශතයක් ලෙස විශාල පරාසයක් පුරා පැතිරී තිබෙන්නටත් පිළිවන්.

 ලොව පුරා විවිධ ලිංගික අනන්‍යතා සහ දිශානතීන් සහිත මිනිසුන් සිටිනවා – mansworldindia.com

 

තවත් අයෙක් උපතේ දී තමන් ලද කායික ලිංගික නිමිත්ත, තමන් මානසික ව අත්දකින නිමිත්ත නොවේ යැයි විශ්වාස කරන්නට පිළිවන්. ඔවුන් පසුකාලීන ව තමන්ගේ ලිංගික අනන්‍යතාව කායිකව වෙනස් කර ගන්නා අතර, ඔවුන් සංක්‍රාන්ති ලිංගික ජනතාව හෙවත් ‘Transgender’ ලෙස හඳුන්වනවා. එමෙන් ම තමන්ගේ ලිංගික දිශානතිය තවමත් හරි හැටි තෝරා නොගත්, ඒ පිළිබඳ ව ප්‍රශ්න කරමින් සිය අනන්‍යතාව සොයා යන පිරිසක් ද ලොව සිටිනවා, පුරුෂ සහ ස්ත්‍රී යන නිමිති දෙක අතර දෝලනය වෙන මිනිසුන් ද ලොව සිටිනවා. ඔවුන් පිළිවෙළින් Questioning හා Queer ලෙස හඳුන්වන අතර, ඉහත Lesbian, Gay, Bisexual, Transgender, හා Queer or Questioning යන වදන් අනුසාරයෙන් LGBTQ යන්න සුසැදී තිබෙනවා.

LGBTQ ජනතාව අතීතයේ පටන් මුහුණ දුන් අභියෝග

LGBTQ ජනතාව සමාජමය ලෙස  කාණ්ඩ ගත කළහොත් සැලකෙන්නේ ‘ලිංගික සුළුතරයක්’ ලෙස යි. ඒ ලෝක ප්‍රජාව සලකන කල්හි මෙය බල පවත්වන්නේ සුළුතරයකට වීම නිසා යි. මේ හේතුව නිසාම අතීතයේ පටන් සමහර රටවල, සමහර සංස්කෘතීන් තුළ ඔවුනට ඉහළ පිළිගැනීමක් ලැබෙන විට, තවත් සංස්කෘතීන් තුළ ඔවුනට ගැරහුම් සහ නින්දා අපහාස ලැබුණා.

ශ්‍රී ලංකාව සලකන කල්හි, අතීතයේ මෙවැන්නන්ට සමාජයේ ඉහළ පිළි ගැනීමක් තිබූ අතර, සංක්‍රාන්ති ලිංගික ජනයා රජුන්ගේ අන්තඃපුර රැකීම සඳහා පවා යොදා ගෙන තිබෙනවා. කෙසේ නමුත් වර්තමානය වන විට මෙරට දක්නට ලැබෙන්නේ ඉන් හාත්පසින් වෙනස් වූ තත්ත්වයක්. ලොව සමහරක් රටවල සමලිංගික හැසිරීම නීතිය හෝ සදාචාර ධර්ම අනුව බලන කල්හී විශාල වරදක් ලෙස සලකන අතර, මෙවැන්නන්ට මරණ දඬුවම පවා හිමි වී තිබෙනවා. එමෙන්ම ලොව සැලකිය යුතු පිරිසක් සලකන්නේ මෙම නැඹුරුතාවන් ඇතිවන්නේ ‘මානසික රෝගයක්’ නිසා බව යි.

ලිංගික අනන්‍යතාව

වර්තමානය වන විට යම් අයෙක් ලිංගික සුළුතරයකට හෙවත් ‘විෂම ලිංගික’ ඝණයට අයත් නොවී, වෙනත් ඝණයකට අයත් වීම හුදු ‘මානසික රෝගයක්’ හෝ ‘විකෘතියක්’ නොවන බවට විද්‍යාත්මක ව තහවුරු කර තිබෙනවා. ලොව මිනිසා සම්භවය වීමේ දී සාතිශය බහුතරය ‘විෂම ලිංගික’ ලෙස උප්පත්තිය ලබන විට තවත් සුළුතරයක් එසේ නොවී පෙර සඳහන් කළ පරිදි වෙනත් ලිංගික දිශානතියකට අයත් ව උපත ලැබීම ඉතා සාමාන්‍ය කරුණක් බැව් ඔප්පු වී තිබෙනවා. මේ සඳහා විවිධ අභ්‍යන්තර මෙන්ම බාහිර සාධක බලපෑ හැකි මුත්, මෙවැනි කාණ්ඩයකට අයත් වන අයගේ ජාන කේතවල හෝ මානසික වාර්තාවල කිසිදු ‘අසාමාන්‍යතාවක්’ වාර්තා වන්නේ නැහැ. 

කෙසේ නමුත් ලිංගික අනන්‍යතාව සැලකීමේ දී ‘ක්ලයින්ෆෙල්ටර්’ හා ‘ටර්නර්’ වැනි සහසාධක සහිත උපත ලැබූවන් ද ඊට අයත් වන බැවින් ජානගත ‘තත්ත්වයක්’ ඊට සාධක විය හැකි බැව් ප්‍රකාශ කළ  හැකි යි. කෙසේ නමුත් එය ද කිසිදු ලෙසකින් ‘මානසික හෝ ජානගත රෝගයක්’ ලෙස සැලකෙන්නේ නැහැ. ‘ලිංගික නැඹුරුතාව කෙරෙහි නම් මෙවැනි කිසිදු සාධකයක් බලපවත්වන බැව් අද වන තුරු ඔප්පු වී නැහැ. යම් යම් භීතිකා තත්ත්ව වැනි දේ නිසා විෂම ලිංගිකත්වයෙන් වෙනස් ලිංගික දිශානතීන්වලට යොමු වූ මිනිසුන් සිටිය හැකි මුත්, එවැනි ම භීතිකා නිසා බලහත්කාරයෙන් සිය අභිමතයන් යටපත් කරගෙන ‘විෂම ලිංගික’ ලෙස පෙනී සිටින මිනිසුන් ද ලොව ජීවත් වෙනවා. 

ලිංගික නැඹුරුතාව

ලිංගික නැඹුරුතාව සහ අනන්‍යතාව පසෙකට කළ විට ඔවුන් ලොව අනෙකුත් මිනිසුන් මෙන් ම ‘අතිශය සාමාන්‍ය’ ජනතාවක් වෙනවා. එය සම කළ හැක්කේ යම් අයෙක් වමත් කරුවෙක් ලෙස උපත ලැබීමට යි. ලොව මේ මිනිසුන් හොඳින් පිළිගන්නා රටවල එම ජනයා ඒවායේ මෙන් ම ලෝකයේ ඉහළ ම තනතුරු හා තත්ත්වයන්ට පත් වී තිබෙන්නේ එම රටවලට කීර්තිය අත් කර දෙමිනු යි.

 ශ්‍රී ලංකාවේ සැමරෙන ‘ප්‍රෞඪත්වයේ මාසය’ – blogs.fcdo.gov

 

ප්‍රෞඪත්වයෙන් පෙරට

ලොව අනෙකුත් රට වල මෙන් ම ශ්‍රී ලංකාවේ ද LGBTQ ලෙස ඛාණ්ඩගත වන, අති දක්ෂ, රටට කීර්තියක් ළඟා කර දුන් මිනිසුන් සිටිනවා. විවිධ අභියෝග මැද වුව ද ඔවුන් සිය කර්තව්‍යය සිය රට වෙනුවෙන් ද, හුදී ජනයා මෙන් ම සිදු කරමින් සිටිනවා. විශේෂයෙන් කිව යුතු කාරණාව වන්නේ ‘Pride Month’ හෙවත් ප්‍රෞඪත්වයේ මාසය වෙන්වන්නේ ප්‍රජාවට පමණක් නොවේ. විෂම ලිංගික ජනතාවට ද එය අදාළ වෙනවා. 

එහි ප්‍රධානත ම තේමා පාඨයක් වන්නේ ‘Love is love’ හෙවත් ආදරය යනු ආදරයයි යන්නයි. කුල, වයස් මෙන් ම වෙනත් විවිධාකාරයේ ගැටලු නිසා සිය ආදරය අභියෝගයට ලක් වූ ඕනෑම අයකුට මෙන් ම, ඉතා සුවපහසු ආදර කතාවක් ඇති ඕනෑම අයකුටත් මෙම ‘ප්‍රෞඪත්වය’ අදාළ වෙනවා. තමන්, තමන් ලෙස සිටීම ගැන ආඩම්බර විය යුතු ය යන්න මේ ප්‍රෞඪත්වයේ මාසයේ ලොවට හඬගා කියන පණිවිඩය යි.

කවරයේ ඡායාරූපය - 'ප්‍රෞඪත්වයේ මාසය' හෙවත් ‘Pride Month’ සැමරීම  - gettyimages.com

මූලාශ්‍ර:

Thecanadianencyclopedia.ca

Equal-ground.org

ncbi.nlm.nih.gov

Related Articles