Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ගැන නොඇසූ කතා පෙළක්

සර් ඩොනල්ඩ් ජෝර්ජ් බ්‍රැඩ්මන් එදා මෙදාතුර ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම පිතිකරුවා ලෙස අවිවාදයෙන් සැලකෙනවා. 1908 වසරේ අගෝස්තු 27 වැනිදා ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට අයත් බෝරල් නම් ගමේ දී ඩොනල්ඩ් ජෝර්ජ් බ්‍රැඩ්මන් උපත ලැබුවා. කුඩා කාලයේ සිටම ක්‍රිකට්, ටෙනිස්, සහ පාපන්දු වැනි ක්‍රීඩාවලට බ්‍රැඩ්මන් දැක්වූයේ අසීමිත ආශාවක්. එනිසා ඔහු ගොල්ෆ් පන්දුවක් නිවස අසල තිබුණු වතුර ටැංකියට එල්ල කරමින් එය තමා වෙතට ආපසු ඇදී එන විට එයට විකට් පොල්ලකින් පහරදීමට පුරුදුව සිටියා. එදා ඒ අයුරින් ක්‍රීඩාවේ යෙදුණු කුඩා බ්‍රැඩ්මන් පසුකලෙක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවුණු අසිරිමත්ම පිතිකරුවා බවට පත්වුණේ විශාල කැපකිරීම් රැසක ප්‍රතිඵලයක් වශයෙන්. එසේ නම් බ්‍රැඩ්මන් නම් විශිෂ්ටයා පිළිබඳව අප්‍රසිද්ධ කතා කිහිපයක් ඔබ වෙත ඉදිරිපත් කරනවා. 

බ්‍රැඩ්මන්ගේ ක්‍රිකට් දිවියට පන්නරය දුන් ඉනිම

1920/21 අළුබඳුන තරගාවලිය යටතේ සිඩ්නි පිටියේ දී පැවැත්වුණු ටෙස්ට් තරගය නැරඹීමට බ්‍රැඩ්මන් සිය පියා සමඟ ගියේ ක්‍රිකට් ක්‍රීඩාවට දැක්වූ ආශාව නිසාම යි. එම තරගයේ දී එංගලන්තය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 204 වෙනුවට පිළිතුරු ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් කඩුලු 3ම ලකුණු 89කට දැවීගියා. එම අවස්ථාවේ දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ චාල්ස් මැකාට්නි පන්දු 227කින් හතරේ පහර 20ක් සමගින් ලකුණු 170ක් ලබාගත්තා. එදා මැකාට්නි ක්‍රීඩා කළ විශිෂ්ට ඉනිම බ්‍රැඩ්මන්ගේ සිතට තදින්ම කාවැදුණු නිසා ඔහු සිය පියාට කීවේ යම් දිනක ඔහුත් මැකාට්නි මෙන් සිඩ්නි පිටියේ දී ශතකයක් ලබාගන්නා බව යි. 

චාල්ස් මැකාට්නි (gettyimages)

දුම් පයිප්පයක පිහිටෙන් ද්විත්ව ශතකයක් ලබාගත් හැටි 

1925 වසර වන විට බ්‍රැඩ්මන් බෝරල් නාගරික ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු බවට පත්ව සිටියා. එම වසරේ නත්තල් දිනය උදාවීමට දවස් කිහිපයකට පෙර වින්ගෙලෝ කණ්ඩායම සමඟ පැවති ක්‍රිකට් තරගය සඳහා බ්‍රැඩ්මන් සහභාගි වුණා. 1924 වසරේ ටොම් මැක් කුසලානය දිනාගත් වින්ගෙලෝ කණ්ඩායමේ සිටි ප්‍රබලම ක්‍රීඩකයා වුණේ පසුකලෙක ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළ බිල් ඕ රයිලි යි. මෙම තරගය ආරම්භ වී සුළු මොහොතකින් බ්‍රැඩ්මන් සිය සුපුරුදු රිද්මයට පැමිණි නිසා වින්ගෙලෝ නායක සෙල්බි ජෙෆරි ඔහු සතුව සිටි ප්‍රබලම පන්දු යවන්නා වුණු රයිලිට පන්දුව භාර කළා. 

සාමාන්‍යයෙන් ස්ලිප්හි පන්දු රැකීමේ යෙදුණු නායක ජෙෆරි ඉතාමත් සැහැල්ලුවෙන් දුම් පානය කරමින් ක්‍රීඩාකිරීම සුලභ දසුනක් වුණා. ඒ අනුව රයිලි පන්දු යැවීම ආරම්භ කිරීමත් සමඟම ජෙෆරි සිය දුම් පයිප්පය දල්වාගන්නට යද්දීම විදුලි වේගයෙන් ඔහු වෙත පැමිණි උඩපන්දුව ඔහු අතින් ගිලිහී යාම නිසා බ්‍රැඩ්මන්ට තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමට වාසනාව හිමිවුණා. ඉන් පසුව බ්‍රැඩ්මන් නිසොල්මනේ පන්දුවට පහරදෙමින් සිටින අතරතුර ජෙෆරිට ලබාදුන් තවත් උඩපන්දුවක් ඔහු වෙතින් ගිලිහී ගියේ දුම් පයිප්පයේ දුම නිසා පන්දුව දර්ශනය නොවීම හේතුවෙන්. එලෙස බ්‍රැඩ්මන් ලබාදුන් උඩපන්දු දෙකම ජෙෆරි අතින් ගිලිහීයාම නිසා බ්‍රැඩ්මන්ට දිනය නිමාවන විට නොදැවී ලකුණු 234ක් ලබාගැනීමට හැකිවුණා.

ඩොනල්ඩ් බ්‍රැඩ්මන් පිත්තෙන් දස්කම් දක්වමින් (gettyimages)

බ්‍රැඩ්මන් දවාගන්නට ඉඩ නොදුන් අපූරු නායකයා 

1930 එංගලන්ත – ඕස්ට්‍රේලියා අළුබඳුන තරගාවලියේ මුල් ටෙස්ට් තරග හතර නිමාව දකිද්දී බ්‍රැඩ්මන් නාමය මුළු එංගලන්තය පුරාම ප්‍රසිද්ධියට පත්ව තිබුණා. ඒ බ්‍රැඩ්මන් හෙඩිංග්ලි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 334ක් ලබාගනිමින් පෑ සුපිරි දස්කම නිසා යි. එම ලකුණු 334 එම කාල  වකවානුවේ ටෙස්ට් ඉනිමක දී පිතිකරුවෙකු ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා. 

1930 ජූලි 29 වැනිදා සිව්වන ටෙස්ට් තරගය නිමාව දැකීමෙන් දින 3කට පසුව ඕස්ට්‍රේලියාව සහ ග්ලැමෝගන් ප්‍රාන්ත කණ්ඩායම අතර පුහුණු තරගයක් පැවැත්වුණා. එදා ග්ලැමෝගන් කණ්ඩායමේ නායකත්වය දැරුවේ මොරිස් ටර්න්බුල් නම් ක්‍රීඩකයෙක්. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් කඩුලු 2ක ලකුණු 95ක් තුළ දැවී ගියා. ඉන් අනතුරුව පිටියේ එක්වුණු ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සහ ස්ටැන් මැකේබ්, ග්ලැමෝගන් පන්දු යවන්නන්ට එරෙහිව හොඳින් පන්දුවට පහර දුන්නා. 

තරගයේ පළමු දිනය නිමාවෙන්නට ආසන්නව තිබිය දී බ්‍රැඩ්මන් සිය අර්ධ ශතකය ලබාගැනීමට මාන බලමින් සිටියා. නමුත් ඒ මොහොතේ දී ඩායි ඩේවිස් නම් පන්දු යවන්නා බ්‍රැඩ්මන්ට එරෙහිව සාර්ථක පන්දු යැවීමක නිරත වෙමින් සිටියා. එම අවස්ථාවේ දී බ්‍රැඩ්මන් තරමක් අපහසුවෙන් ඔහුගේ පන්දුවලට මුහුණ දෙමින් සිටින බව ග්ලැමෝගන් නායකයාට ඒත්තු ගියා. එනිසා ඔහු ඩායි ඩේවිස් පන්දු යැවීමෙන් ඉවත් කිරීමට තීරණය කළා.

බ්‍රැඩ්මන්ට එරෙහිව සාර්ථක පන්දු යැවීමක්

සිය නායකයාගේ තීරණය පිළිබඳව මවිතය පළකළ ඩේවිස් ඔහු ළඟට ගොස් පවසා සිටියේ “මං ඊළඟ පන්දු  වාරයෙන් බ්‍රැඩ්මන්ව දවාගන්නම්. මට දිගටම පන්දු යැවීමට ඉඩ දෙන්න”. යන වචන පෙළ යි. එවිට නායක ටර්න්බුල්, ඩේවිස් හමුවේ පැවසුවේ “ මේ මොහොතේ බ්‍රැඩ්මන්ව දවාගැනීම අපට අවාසියක්. හෙට නිවාඩු දිනයක් හින්ද බ්‍රැඩ්මන්ගේ දස්කම් බලන්නට විශාල පිරිසක් පැමිණෙන බවට සැකයක් නැහැ. එය අපිට ආර්ථික වශයෙන් විශාල වාසියක්” යන්නයි.  

එදා ඩායි ඩේවිස් පන්දු යැවීමෙන් ඉවත් කිරීමෙන් පසු,  බ්‍රැඩ්මන් සිය අර්ධ ශතකය වාර්තා කළා. ඒ සමඟම තරගයේ පළමු දිනය නිමාව දුටුවා. තරගයේ දෙවන දිනය ආරම්භ වෙද්දී ස්වන්සී නගරයේ ශාන්ත හෙලෙන්ස් ක්‍රීඩා පිටිය ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබුණා. එදා ග්ලැමෝගන් නායකයා බලාපොරොත්තු වුණු ආකාරයටම ඔවුන් පැමිණ තිබුණේ බ්‍රැඩ්මන්ගේ දස්කම් දැක බලාගැනීමට යි. එහි පැමිණ සිටි දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු බිඳ දමමින් දෙවන දිනයේ උදෑසනින්ම ලකුණු 58ක් ලබා සිටි බ්‍රැඩ්මන් දැවීගියා. තරගයේ දෙවන දිනයේ දී  බ්‍රැඩ්මන් අසාර්ථක වුණත් ටර්න්බුල්ගේ උපක්‍රමය නම් සාර්ථක වුණු බව මෙහි දී කිව යුතුම යි.   

බ්‍රැඩ්මන් ලකුණු 334ක් ලබාගත් ඉනිමේ අවස්ථාවක් 

බ්‍රැඩ්මන් ඉදිරියේ ලැජ්ජාවට පත්වුණු ටෝනි ග්‍රේග් 

ටෝනිගේ පියා වුණු ස්කොට් ජාතික සැන්ඩි ග්‍රේග්, බ්‍රැඩ්මන්ට ඉතාමත් ප්‍රිය කළ තැනැත්තෙක්. එනිසා ඔහු බ්‍රැඩ්මන් ගැන කතා කරන අවස්ථාවල දී නිවසේ සිටි අයට වෙනත් කිසිදු දෙයක් ගැන කතා කිරීමට පවා තහනම් වුණා. එලෙස බ්‍රැඩ්මන්ගේ හොඳම රසිකයෙකු වුණු සැන්ඩි, සිය පුත්‍රයා මුල්ම වරට ඕස්ට්‍රේලියාව බලා සංචාරය කළ අවස්ථාවේ ඔහුට අවවාද කළේ බ්‍රැඩ්මන් හමුවීමෙන් පසුව ඔහු ලබාදෙන සෑම උපදෙසක්ම හොඳින් මතක තබාගන්නා ලෙස යි. නමුත්, එම අවධිය වන විට බොඳ වුණු ඡායාරූපවලින් පමණක් ග්‍රේග් බ්‍රැඩ්මන් දැක තිබුණු නිසා, බ්‍රැඩ්මන්ගේ සැබෑ ස්වරූපය පිළිබඳ ඔහුට හරි අවබෝධයක් තිබුණේ නැහැ.

මෙම සංචාරයේ දී ටෝනි, ඇකර්මන්, සහ හිල්ටන් මුලින්ම ගොඩබැස්සේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට යි. ඔවුන් එහි ගොඩබසින විට මැදියම් රැය පසු වී තිබුණත්, පර්ත් ක්‍රිකට් ලෝලීන්ගේ සංගමය ඔවුන්  සාදරයෙන් පිළිගෙන භෝජනාගාරය වෙත කැඳවාගෙන ගියා. එම සංගමය ලබාදුන් විශේෂ සංග්‍රහය නිසා ටෝනි ඇතුළු පිරිස බෙහෙවින් සතුටට පත් වුණා. එලෙස පර්ත් නුවර දී ලැබුණු උණුසුම් පිළිගැනීමෙන් තෘප්තියට පත් ටෝනි ඇතුළු පිරිස පසුව ඇඩිලේඩ් නුවරට ළඟා වුණා. එහි දී ටෝනි සහ  ඔහුගේ මිතුරන්ට ඕස්ට්‍රේලියානු පරිසරය හා ජනතාව හඳුනාගැනීමට මහත් ආශාවක් ඇති වුණා. එනිසා  ඔවුන් ඇඩිලේඩ් නුවර ක්‍රිකට් බලධාරීන් පැමිණෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටි අවස්ථාවේ පැමිණි අඳුරු පැහැති උපැස් යුගළක් සහ ස්වේටරයක් පැළදගත් පුද්ගලයෙක් ටෝනි ඇතුළු මිතුරන් ඇඩිලේඩ් වෙත සාදරයෙන් පිළිගන්නා බව ප්‍රකාශ කළා.

එම අවස්ථාවේ ටෝනි ඇතුළු පිරිසට ආගන්තුක පුද්ගලයා පෙනුණේ ඔවුන්ට හමුනොවිය යුතු ආකාරයේ පුද්ගලයෙකු ලෙස යි. ඉන් අනතුරුව එම පුද්ගලයා ටෝනි සහ ඔහුගේ සගයන්ට කෝපි පානය කිරීමට ආරාධනා කළා. ක්‍රීඩා ලෝලියෙකු සමඟ කෝපි පානය කිරීම මදිකමක් ලෙස සැලකූ ටෝනි හා මිතුරන් මේ පුද්ගලයාගෙන් ගැලවීමට මඟක් සෙවීමේ අරමුණෙන් ඔහුට ගමන් මළු භාර දී වැසිකිළිය වෙතට පියමං කළා. නමුත් පෙර කළ පිනකට මෙන් තිදෙනාම එම අසරණ ක්‍රිකට් ලෝලියාට අනුකම්පා කර ඔහු සමඟ කෝපි පානය කළ යුතු යැයි තීරණය කළා. ඒ අනුව ආගන්තුක පුද්ගලයා ටෝනි සහ මිතුරන් ඔහුගේ සගයන් දෙදෙනෙකු සිටින මේසයක් වෙත කෝපි පානය කිරීම සඳහා කැඳවාගෙන ගියා. 

ටෝනිට පොළව පලාගෙන යන්නට තරමේ ලැජ්ජාවක් 

කෝපි පානය කරමින් සිටින අතරතුර ආගන්තුක පුද්ගලයා සහ අනිත් පුද්ගලයන් දෙදෙනා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව ගැඹුරින් කතා කළා. එහි දී ඔවුන් කතා කළ කරුණු කාරණා අනුව ටෝනි ඇතුළු පිරිසට වැටහුණේ එම පුද්ගලයන් තිදෙනාටම ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ හොඳ අවබෝධයක් ඇති බව යි. එනිසා ටෝනි  ස්වේටරයක් පැළද සිටි පුද්ගලයාගෙන් කාරුණිකව විමසා සිටියේ ඔබට මෙම ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩාව සමඟ සම්බන්ධතාවක් තිබේ ද යන්න යි. එවිට එම පුද්ගලයා සිනාමුසු මුහුණින් කිසිවක් නොකියා නිසොල්මනේ සිටියා. පසුව දිගින් දිගටම සිදුවුණු කතාබහෙන් පසුව ආගන්තුක පුද්ගලයා සහ ඔහුගේ සගයන් දෙදෙනා ඇඩිලේඩ් ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව කටයුතු කරන බව ටෝනිට තේරුම් ගියා. ටෝනි සිතුවේ ඔවුන් තිදෙනා කතා කළේ ගුවන් තොටුපලේ ක්‍රිකට් සමාජය ගැන විය යුතු බව යි.

එලෙස ටෝනි ස්වේටරය හැඳ සිටි පුද්ගලයාගෙන් අකාරුණික ප්‍රශ්න අසමින් සිටි අවස්ථාවේ දී ටෝනිගේ වාසනාවට ආපන ශාලාවේ දොරෙන් ඇතුළු වුණු සර් ගාෆීල්ඩ් සෝබර්ස් වේගයෙන් ඔවුන් වෙතට පැමිණියා. එහි දී මුලින්ම ස්වේටරය පැළඳ සිටි පුද්ගලයා වෙතට ගිය සෝබර්ස්, ඔහුගෙන් මුලින්ම විමසා සිටියේ සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් කොහොමද සැප සනීප යන්න යි. සෝබර්ස් එසේ පැවසීමෙන් අනතුරුව ටෝනිට පොළව පලාගෙන යන්නට තරමේ ලැජ්ජාවක් ඇති වුණත්, ඔහු සිනාමුසු මුහුණින් සිටියේ වෙන කිසිවක් කිරීමට නොතිබුණු නිසා යි. එදා බ්‍රැඩ්මන් ඉදිරියේ ටෝනි මෝඩයෙකු සේ හැසිරුණත්, හිල්ටන් සහ ඇකර්මන් මුළු කතාබහ පුරාවටම නිහඬව බලා සිටියේ පෙර කළ පිනකට මෙන්. එදා ටෝනි මෝඩයෙකු සේ හැසිරුණත්, බ්‍රැඩ්මන් සිනාමුසු මුහුණින් ඒ සියල්ල ඉවසාගෙන හිටියේ ඔහු සතුව තිබුණු අපූරු නිහතමානී බව නිසා යි.

ටෝනි ග්‍රේග් 

කවරයේ ඡායාරූපය- බ්‍රැඩ්මන් 1948 වසරේ දී පන්දුවට පහරදීමට පිටියට පැමිණෙන අයුරු (kids news)

මූලාශ්‍ර- 

*බ්‍රැඩ්මන් යුගය- ප්‍රේමසර ඈපාසිංහ  

*Wisden Cricket 

Related Articles