සෝවියට් රහස් පොලිසියේ ආරම්භක නායකයා – ෆීලික්ස් ජර්සින්ස්කි

සෝවියට් රහස් පොලිසිය බොහෝ දෙනා අතර ප්‍රකට වුණේ කේ.ජී.බී. කියන නමින්. එසේ වුණත් එය කේ.ජී.බී. වුණේ 1954 දී යි. ඔක්තෝබර් විප්ලවයෙන් සති කිහිපයකට පසු, 1917 දෙසැම්බරයේ දි පළමු සෝවියට් රහස් පොලිසිය පිහිටුවනු ලැබුණා. එය ප්‍රකට වූයේ ‘චෙකා’ යන නමින්. චෙකා සංවිධානයේ පළමු ප්‍රධානියා වුණේ ෆීලික්ස් ජර්සින්ස්කි යි.

කියවන්න​: සෝවියට් දේශයේ KGB ඔත්තු සේවය

පෝලන්ත සුළු රදළ පවුලක උපන් ජර්සින්ස්කි තරුණ සමයේම විප්ලවවාදී කටයුතු වෙත ඇදී ගියා. ඔහු ඉතා දැඩි, ධෛර්යය සම්පන්න අයකු වූ අතර එහෙයින්ම “යකඩ ෆීලික්ස්” ලෙස නමක් ද ඔහුට පටබැඳුණා. ඔහුගේ විරුද්ධවාදීන්ට අනුව ජර්සින්ස්කි අතිශයින්ම දරුණු අයෙක්. බෝල්ශවික්වාදීන්ට නම් ඔහු විප්ලවයේ ආරක්ෂාව සඳහා සටන් කළ වීරයකු වුණා. සෝවියට් සමයේ දි කේ.ජී.බී. මූලස්ථානය ඉදිරියේ ජර්සින්ස්කිගේ ප්‍රතිමාවක් තබා තිබුණේ ද එම කරුණ නිසා යි.

විරෝධාකල්පීය පසුබිම

ජර්සින්ස්කි උපන්නේ 1877 සැප්තැම්බර් 11 වනදා සිය පවුලෙහි ජර්සිනෝවෝ වතු යායේ දී යි. එවකට රුසියානු අධිරජ්‍යයට අයත් වූ මින්ස්ක් ප්‍රදේශයෙහි පිටිසරබද වතු යායක් වූ මෙහි ඔහු ළමා කාලය ගතකළා.

ජර්සින්ස්කිගේ පවුල පෝලන්ත ජාතික රදළ පවුලක් වූ අතර ඔවුන් විශාල ධනවතුන් නම් වූයේ නැහැ. එමෙන්ම එකල පෝලන්ත ජාතිකයන්ට එතරම් යහපත් කාලයක් වූයේ ද නැහැ. 1863 සිදු වූ පෝලන්ත කැරැල්ලෙන් පසුව පෝලන්ත භාෂාව ප්‍රසිද්ධ ස්ථානයන්හි භාවිතා කිරීම තහනම් වී තිබුණා.

ජර්සින්ස්කි පවුල නිවසේ දී භාවිතා කළේ පෝලන්ත බස යි. එමෙන්ම ඔවුන් භක්තිමත් කතෝලිකයන් වුණා. ඔවුන් රහසේ පෝලන්ත ජාතික නිදහස අපේක්ෂා කළ පිරිසක්.

වයස අවුරුදු 10 දී ජර්සින්ස්කි පළමු විල්නියස් පාසැලට ඇතුල් වුණා. මෙය එකල ප්‍රදේශයේ වූ හොඳම පාසැලක්. කෙසේ වෙතත් කුඩා ෆීලික්ස් මෙම පාසැලට ගැලපුණේ නැහැ. ඔහුගේ රුසියන් කතා කිරීමේ හැකියාව දුර්වල වුණා; අධ්‍යාපන කටයුතු පිළිබඳව ද ඔහු එතරම් උනන්දුවක් දැක්වූයේ නැහැ.

ඔහුගේ උද්‍යෝගය දිනාගත් එකම දේ ආගම ඉගෙනීම පමණ යි. එහෙත් එක්වරම එය ද වෙනස් වුණා. දැඩි ආගම් භක්තියකින් සිටි, සෙමිනරියට පවා යෑම් ඊම් කරමින් කල් ගෙවූ ජර්සින්ස්කි, එකවරම දෙවියන් යනුවෙන් අයකු නැතැ යි කියා සිටින්නට වුණා.

මෙම විපර්යාසයට හේතු වූ කරුණ පිළිබඳ විවිධ මතයන් පවතිනවා. එක් විශ්වාසයක් වන්නේ අත්වැරදීමකින් සිදු වූ අනතුරක් ඊට හේතු වූ බව යි. ෆීලික්ස් සහ ඔහුගේ සහෝදරයා වූ ස්ටැනිස්ලාව් ඔවුන්ගේ වතුයායේ ඉලක්කයට වෙඩි තැබීම පුහුණු වෙමින් සිටින අතරතුර අත්වැරදීමකින් ඔවුනගේ සොයුරියක වූ වන්ඩා වෙඩි වැදී මියගියා. මෙය ෆීලික්ස් දෙවියන් කෙරෙහි සැක කිරීමට හේතු වූ බව ඇතැමුන් විශ්වාස කරනවා.

තවත් මතයක් වන්නේ කාල් මාක්ස්ගේ කෘති කියවීමට පටන් ගැනීම තුළින් ඔහුගේ වෙනස සිදු වූ බව යි. ඔහුගේ මිතුරකු විසින් ඔහුට මාක්ස්ගේ කෘති හඳුන්වා දුන්නේයැ යි විශ්වාස කෙරෙනවා.

විප්ලවකාරී කටයුතු

1895 දී පමණ ජර්සින්ස්කි වාමාංශික කටයුතුවලට සම්බන්ධ වුණා. කෙටි කලකින් ඔහු ලිතුවේනියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමග එකතු වුණා. එසේ එක් වූයේ එම පක්ෂයේ ආරම්භක අවස්ථාවලම යි. ඔහු රහසිගතව පත්‍රිකා සහ පුවත්පත් මුද්‍රණයේ යෙදී සිටියා.

ජර්සින්ස්කි මුලින්ම අත් අඩංගුවට පත් වූයේ 1897 ජූලි 17 වන දා යි. මුද්‍රණය කළ පත්‍රිකා ගොන්නක් තවත් ක්‍රියාධරයෙකු වෙත බාර දුන් අවස්ථාවේ ඔහුව අත් අඩංගුවට ගනු ලැබුණා. ඒ අනෙක් ක්‍රියාධරයා සත්‍ය වශයෙන්ම පොලිස් ඔත්තුකරුවකු වූ බව ජර්සින්ස්කි එතෙක් දැන සිටියේ නැහැ.

පොලිසිය ඔහුට පහර දීමෙන් සහ ආහාර නොදී සිටීමෙන් ඔහුගෙන් පාපොච්චාරණයක් ලබා ගැනීමට උත්සාහ කළා. කෙසේ වෙතත් ජර්සින්ස්කි කිසිදු තොරතුරක් ලබා දුන්නේ නැහැ.

වසරක කාලයක් විල්නියස්හි රඳවා සිටි ඔහුව ඉන්පසු නොලින්ස්ක් වෙත පිටුවහල් කෙරුණා. ඒ තුන් වසරක කාලයක් සඳහා යි. එහිදී ඔහු ප්‍රාදේශීය පොලිස් ප්‍රධානියාට බැණවැදීමේ සිද්ධියක් හේතුවෙන් කයිගොරොද්ස්කොයේ ප්‍රදේශයට පිටුවහල් කරනු ලැබුණා. එහිදී ඔහු පොලිසියේ ඇස් වසා වෝර්සෝවට පළා යාමට සමත් වුණා.

එතැන් පටන් ජර්සින්ස්කි දිගටම රහසිගත දේශපාලනයෙහි නිරත වුණා. කිහිප විටකම ඔහුව අත් අඩංගුවට ගෙන පිටුවහල් කෙරුණා. සයිබීරියාවේ කටුක ජීවිතය හේතුවෙන් ඔහුට ක්ෂය රෝගය ද වැළඳුණා.

1905 විප්ලවකාරී සමයේ දී සයිබීරියාවෙන් පළා ආ ජර්සින්ස්කි යළි වෝර්සෝවට පැමිණ එහි කම්කරුවන් සංවිධානය කිරීමට පටන් ගත්තා. එමෙන්ම මේ කාලයේ ඔහු පළමු වතාවට ව්ලදිමීර් ලෙනින්ව මුණගැසුණා. ඒ 1906 දී ස්වීඩනයේ පැවති රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ සිව් වන සමුළුවේ දී යි.

ජර්සින්ස්කිට සිය අනාගත බිරිඳ වූ සොෆියා මුෂ්කට් හමු වූයේ ද මේ කාලයේ යි. ඇය ධනවත් යුදෙව් පවුලක තරුණියක වුණා. ඔවුන් 1910 දී විවාහ වූ අතර 1911 දී ඔවුනගේ එකම පුත්‍රයා වූ ජාන් උපන්නේ ඇය බන් ධනාගාරයේ සිටිය දී යි. ජර්සින්ස්කි මෙන්ම සොෆියා ද නිතර විප්ලවකාරී ක්‍රියා හේතුවෙන් අත් අඩංගුවට පත් වුණා. එමෙන්ම ජර්සින්ස්කි තම පුත්‍රයාව දැක ගත්තේ ද වසර 8ක් ගිය පසු යි.

ජර්සින්ස්කි, සොෆියා සහ ජාන් 1918 දී (Public Domain)

1912 දී වෝර්සෝවේ සැඟව සිටින අතරතුර නැවත අත් අඩංගුවට ගන්නා ලද ජර්සින්ස්කි 1914 දී තුන් වසරක් සඳහා බරපතල වැඩ සහිතව සිර දඬුවමකට ලක් කෙරුණා. ඔහු එකල ගතකළේ ඔරියොල් හි සිර කඳවුරේයි. මෙය ජර්සින්ස්කිගේ ජීවිතයේ නරකම කාලය වුණා. ඔහුගේ දෙපයේ බොහෝ අවස්ථාවල විලංගු දමා තිබුණ අතර ඔහුව නිරන්තරයෙන් හුදෙකලා සිරකුටිවල රඳවා තබනු ලැබුණා. ඔහුගේ දෙපයේ විලංගුවලින් හටගත් කැළලි ජීවිත කාලය පුරාම පැවති බව කියනු ලබනවා.

ඔරියොල්වලින් පසු ජර්සින්ස්කි මොස්කව්හි බුටිර්කා සිරගෙයට මාරු කරනු ලැබුණා. 1917 පෙබරවාරි විප්ලවය අවස්ථාවේ ඔහු නිදහස් කෙරුණා.

බෝල්‍ෂවික්වාදියා

ජර්සින්ස්කි සොල්දාදුවන් අතර ප්‍රචාරක කටයුතු සඳහා යොදවනු ලැබුණා. එකල ඔහු සොල්දාදුවන් ගේ කබායක් සිය සාමාන්‍ය ඇඟලුම ලෙස භාවිතා කරන්නට පටන් ගත් අතර එය ඔහු හා බැඳුණ සංකේතයක් වන තරමට ඔහුට සමීප වුණා. මේ අතර පෙබරවාරි විප්ලවයෙන් පසුත් රුසියාවේ තත්ත්වය ඉතා අස්ථාවර වුණා. ජූලි දිනවලින් පසු බෝල්‍ෂවික් පක්ෂයට බලය ලබාගැනීමේ හැකියාව පිළිබඳ යම් අවිනිශ්චිතතාවක් ඇති වූ නමුත් ජර්සින්ස්කි එම පක්ෂය හා රැඳී සිටීමට තීරණය කළා. ඔහු ලෙනින්ගේ අනුගාමිකයකු බවට පත් වූ අතර බෝල්‍ෂවික් මධ්‍යම කාරක සභාවට ද පත් කරනු ලදුව​, පක්ෂයේ මිලිටරි නායකත්වයෙහි ප්‍රබල චරිතයක් බවට පත් වුණා.

රුසියාවේ පැරණි දින දර්ශනයට අනුව 1917 ඔක්තෝබර් 24 වන දා (වර්තමාන දින දර්ශනය අනුව නොවැම්බර් 6) බෝල්‍ෂවික් පක්ෂය පෙත්‍රොග්‍රාද් අගනුවර බලය අල්ලාගැනීමේ උත්සාහය දියත් කළා. ජර්සින්ස්කිට බාර දී තිබුණේ පාලම්, ටෙලිග්‍රාෆ් කාර්යාල, විදුලි බලාගාර ආදී මර්මස්ථාන අල්ලාගැනීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම යි. ඊළඟ දිනය වන විට අගනුවර බලය බෝල්‍ෂවික්වරුන්ට ලැබුණ අතර නව රජය පිළිබඳ පුවත ටෙලිග්‍රාෆ් මඟින් රටපුරා සන්නිවේදනය කරනු ලැබුණා.

ජර්සින්ස්කි (RIAN)

කෙසේ නමුත් බෝල්‍ෂවික් රජය බාරගත්තේ පහසුවෙන් කරගෙන යා හැකි රජයක් නොවේ. එක් අතකින් රුසියාව පළමු ලෝක යුද්ධයෙන් හෙම්බත්ව සිටියා. අනෙක් අතට බොහෝ රජයේ නිලධාරීන් නව රජය පිළිගැනීමට මැළි වුණා. නව රජය කෙතරම් කල් පවතී ද යන්නත් සැක සහිත කරුණක් වුණා. අපරාධ ඉහළ යන්නට වුණා. ප්‍රතිවිප්ලවකාරී කණ්ඩායම් රටපුරා මතු වන්නට වුණා. ඉන්ධන නොමැතිව ගමනාගමනය ද ඇණ හිටියා. දෙසැම්බර් මුල වන විට නව සෝවියට් රජයට සෑම ආකාරයේ ම තර්ජනයන් එල්ල වෙමින් පැවතුණා.

චෙකා සංවිධානය

1917 දෙසැම්බර් 20 වන දා (නව දින දර්ශනය අනුව​) සෝවියට් රජයට එරෙහි තර්ජනවලට මුහුණ දීම සඳහා සමස්ථ රුසියානු අති විශේෂ කොමිසම පිහිටුවනු ලැබුණා. මෙය වඩාත් ප්‍රසිද්ධ වූයේ චෙකා යන නමින්. එහි සාමාජිකයන් චෙකාකාරයින් ලෙස හැඳින්වුණා. මෙහි ආරම්භක කාර්යාලය පිහිටවන ලද්දේ පෙත්‍රොග්‍රාද්හි ගරකවායා වීදියේ අංක 2 දරන ස්ථානයේ යි. එහි ප්‍රධානියා ජර්සින්ස්කි වූ අතර ඔහුට ලැබුණ පිරිස 30 දෙනකු වුණා. ඔවුන් යටිබිම්ගත දේශපාලනය පිළිබඳ ප්‍රායෝගික දැනුමින් යුතු වූ නමුත් රහස් පරීක්ෂක​ කටයුතු පිළිබඳ විශේෂ වෘත්තීය සුදුසුකම් සහිත අය වූයේ නැහැ.

චෙකා සංවිධානයට භාර වූ පළමු කටයුත්ත වූයේ අපරාධ මැඩීම යි. එයට දේපල රාජසන්තක කිරීමට​, පුද්ගලයින් ඒවායින් ඉවත් කිරීමට සහ පුද්ගලයින්ට ආහාර මුද්දර අහෝසි කිරීමට ද අවසර තිබුණා. නමුත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එකල ඔවුනට අවසර ලැබුණේ නැහැ.

1918 වසර ඇරඹෙද්දී ප්‍රතිවිප්ලවවාදී ක්‍රියා දිගටම ක්‍රියාත්මක වුණා. ලෙනින් ඝාතනය කිරීමට ද උත්සාහයක් ජනවාරි 1 වන දා දරනු ලැබුණා. මේ අතර පෙත්‍රොග්‍රාද් වෙත එන සතුරු තර්ජන වැඩි වුණා. සෝවියට් රජය සිය අගනුවර මොස්කව් වෙත ගෙනගිය අතර මරණ දඬුවම ද නැවත ක්‍රියාත්මක කිරීමට තීරණය කළා. මෙසේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ තීරණය ගන්නා ලද්දේ ජර්සින්ස්කිගේ පෙළඹවීම මතයැ යි සාමාන්‍යයෙන් විශ්වාස කෙරෙනවා.

චෙකා සංවිධානය විසින් නිල වශයෙන් මරණ දඬුවම ක්‍රියාවට නැගීම ඇරඹුණේ 1918 පෙබරවාරි 24 වනදා යි. මේ අතර ජූලි මාසයේ දී අවසාන රුසියානු සාර් වූ දෙවන නිකුලස් සහ ඔහුගේ පවුල ඝාතනය කිරීමත්, අගෝස්තු 30 වනදා ලෙනින් ඝාතනයට දැරූ උත්සාහයෙන් පසු ක්‍රියාවට නැගූ භීම කාලයත් හේතුවෙන් චෙකා සංවිධානය සිය කුරිරුභාවය පිළිබඳ නමක් ගොඩනගා ගත්තා.

ලුබ්යන්කා චතුරශ්‍රයේ වූ ජර්සින්ස්කි ප්‍රතිමාව 1960 දශකයේ දී (RIAN)

මේ කාලය අතරතුර 1918 ජූලි මාසයේ දී ජර්මන් තානාපති මිර්බාක් ඝාතනය කර සෝවියට් රජය පෙරළීමට වාම සමාජ විප්ලවවාදීන් ගත් උත්සාහය අතරතුර දී ජර්සින්ස්කිව තාවකාලිකව තනතුරෙන් ඉවත් කෙරුණා. ඊට හේතුව වූයේ ඝාතකයන් ජර්මන් තානාපති කාර්යාලයට ඇතුල් වීම සඳහා ජර්සින්ස්කිගේ අත්සනින් යුතු ලියවිලි උපයෝගී කරගෙන තිබීම යි. නමුත් එය තමන් අත්සන් කළා ලියවිල්ලක් නොවන බව ජර්සින්ස්කි කියා සිටියා. රජය ඔහුගේ කීම පිළිගෙන ඔහුව නැවත සේවයේ පිහිටවූවා.

සිවිල් යුධ සමයෙහි චෙකා සංවිධානය බෝල්‍ෂවික් විරෝධීන් මර්දනයෙහි දිගටම යෙදුණා. තත්ත්වය ඉතා භයානක වුණා. එහෙයින්ම ජර්සින්ස්කිට ද දිගටම වැඩෙහි නිරත වීමට සිදු වුණා. ඔහු නිදා ගත්තේ ද කාර්යාලයේම යි. වසර ගණනාවක් පිටුවහල්ව සිටියදී අයහපත් අතට හැරුණ ඔහුගේ ශරීර සෞඛ්‍යයට මෙම කාර්යය බහුලත්වය කිසිසේත් සුදුසු වූයේ නැහැ.

රහස් පොලිස් කටයුතුවලට අමතරව වෙනත් විවිධ දේ සඳහා ද ජර්සින්ස්කි සම්බන්ධ වුණා. 1920 පෝලන්තය සමග වූ යුද්ධය සමයේ ඔහු එහි සමාජවාදී රජයක් පිහිටුවීමේ උත්සාහයක් දැරුවා. එය අසාර්ථක වූ අතර එය ඔහුගේ පුද්ගලික පරාජයක් තරමට ජර්සින්ස්කිට දැනුණා. මීට අමතරව ඔහු කලක් සෝවියට් රුසියාවේ දුම්රිය පිළිබඳ මහජන කොමිසාර්වරයා ද වුණා.

චෙකා සංවිධානය පසුව වෙනත් නම්වලින් ද හැඳින්වූ අතර ජර්සින්ස්කි 1926 ජූලි 20 වන දා හෘදයාබාධයකින් සිය මරණය සිදුවන තෙක්ම රහස් පොලිසියේ ප්‍රධානියා වුණා.

Cover Image: කේ.ජී.බී. මූලස්ථානය ඉදිරිපිට වූ ජර්සින්ස්කි ප්‍රතිමාව 1985 දී (Public Domain)

මූලාශ්‍රයයන්

Related Articles

Exit mobile version