දිල්ලියේ එකම මුස්ලිම් ‍රැජින: රසියා සුල්තානා

අපේ අසල්වැසි ඉන්දියාව පුරාණයේ දී කාන්තා අයිතිවාසිකම් පිළිබඳව එතරම් ප්‍රසිද්ධියක් දිනා සිටි රටක් නොවෙයි. වර්තමාන තත්ත්වය සාපේක්ෂව ගත් කළ ඉතා යහපත් වුණත්, අතීතයේ දී නම් ඉන්දියානු කාන්තාව සම්පූර්ණ මනුෂ්‍යයෙකු ලෙස වත් සැලකුවේ නැහැ. ඇයට උරුම වුණේ මුළුතැන්ගෙය යි. අධ්‍යාපනය සහ සමාජ ආශ්‍රය ඇයට තහනම් වුණා.

ඉන්දියාවේ පළමු ‍රැජිණ බිහිවන්නේ එවැනි සමාජයකයි. එය තවත් විශේෂ වන්නේ ඇය හින්දූන්ටත් වඩා දැඩි නීති ඇතැයි සැලකෙන මුස්ලිම් පවුලක උපත ලැබීමයි. රසියා අල් දින්, දිල්ලි සුල්තාන් අධිරාජ්‍යයේ එකම කාන්තා පාලකයා බවට පත් වූ ඈ ගැනයි මේ ලිපිය.

රසියා සුල්තානා (Dot Complicated)

පවුල් පසුබිම

ක්‍රි.ව. 1206 සිට 1526 දක්වා ඉන්දියාවේ විශාල ප්‍රදේශයක් පාලනය කරන්නේ දිල්ලිය පදනම් කොට ගොඩනැගුණු දිල්ලි සුල්තාන් මුස්ලිම් අධිරාජ්‍යයයි. එය විටින් විට රාජ පරම්පරා 5ක් යටතේ පාලනය වුණා. ක්‍රි.ව. 1206 සිට 1290 දක්වා දිල්ලි සුල්තාන් අධිරාජ්‍යය පාලනය කළ මම්ලුක් රජ පරම්පරාවේ තෙවනි පාලකයා වූ ශම්ස්-උද්-දින් ඉල්‍ටුට්මිශ්ගේ දියණිය ලෙස රසියා අල්-දින් උපත ලබනවා.

ඉල්‍ටුට්මිශ් දිල්ලි සුල්තාන් අධිරාජ්‍යයේ පළමු සුල්තාන්වරයා වූ කු‍ටුබ් උද් දින් අයිබක් ගේ වහලෙකු ලෙස සේවය කළ අයෙක්. ඔහු ගැන පැහැදුණු අයිබක් තම දියණිය වූ කු‍ටුබ් බෙගම් ඔහුට පාවා දෙනවා. එනිසා ඉල්‍ටුට්මිශ් තුර්කි වහලෙකු වුවත් කු‍ටුබ් උද් දින් අයිබක්ගේ සහ ශාම්ශාඩ් බෙගම්ගේ මිණිපිරිය වන රසියා රාජ ලෙයට උරුමකම් කියනවා.

අයිබක් විසින් ගොඩනංවන ලද බව කියැවෙන දිල්ලියේ කු‍ටුබ් මිනාර් සහ අලායි ද්වාරය (Wikipedia)

කුඩා කල ජීවිතය සහ රාජ්‍යත්වයට පත්වීම

රසියාගේ මව ඉල්‍ටුට්මිශ්ගේ ඇතොවුර බලවත්ම කාන්තාව වූ නිසාත්, සිය පියාගේ ප්‍රියතම දියණිය වූ නිසාත්, රජ පවුලක කාන්තාවක් නිසාත් ඇයට අධ්‍යාපනය ලබාදෙනවා පමණක් නොවෙයි, ඉල්‍ටුට්මිශ් රාජ සභාවේ කටයුතු ගෙනයද්දී ඔහු අසල ‍රැඳී සිටීමට ද ඇයට ඉඩකඩ හිමිවෙනවා. එමෙන්ම සිය පියා හෝ සැමියා නැති අතරතුරක අවැසි නම් රාජ්‍යය පාලනය කළ හැකි අන්දමට පුහුණුවක් ද ඇය වෙත ලබාදෙනු ලබනවා.

මම්ලුක් රජ පරම්පරාව යටතේ දිල්ලි සුල්තාන් අධිරාජ්‍යය (Wikipedia)

රසියාට සිටියේ එක් සහෝදරයෙක් පමණයි. ඉල්‍ටුට්මිශ්ගෙන් පසු රාජ්‍යයට උරුමකම් කීවේ ඔහු වුවත්, ක්‍රි.ව.1229 දී නසිර් උද්-දින් මහ්මුද් නම් ඔහු මියයනවා. ඉල්‍ටුට්මිශ්ට තවත් පුතුන් දෙදෙනෙකු සිටියත්, ඔවුන් ඉපිද තිබුණේ වහලියනට දාව නිසා ඔවුනට රාජ්‍යයේ උරුමයක් තිබුණේ නැහැ. එම නිසා ඉල්‍ටුට්මිශ්ගෙන් පසු දිල්ලි සුල්තාන සිහසුනට උරුමකරුවෙකු නොමැති වන තත්ත්වයක් උද්ගත වෙන්වා.

ක්‍රි.ව. 1231 දී ඉල්‍ටුට්මිශ් ග්වාලියෝර්හි ආක්‍රමණයට පිටව ගොස් සිටි අවස්ථාවේ ඔහුගේ අමාත්‍යවරයෙකුගේ සහය යටතේ රසියා රාජ්‍යය පාලනය කරනවා. ආක්‍රමණයෙන් පසු නැවත පැමිණි ඔහු ඇගේ පාලනය පිළිබඳව සෑහීමකට පත් වී තමාගෙන් පසු සිහසුනේ උරුමකරු ලෙස ඇයව පත් කරනවා.

නමුත් ක්‍රි. ව. 1236 දී ඉල්‍ටුට්මිශ් මියගිය විට ඇමතිවරුන්ගේ බලපෑම නිසා සිහසුනට පත්වන්නේ රසියාගේ සුළු සොයුරෙක් වන රුක්න්-උද්-දින් ‍ෆිරුස් යි. කෙසේ නමුත් ඔහු විසින් සුල්තාන් තනතුරේ සැප වින්දා මිස රාජ්‍ය පාලනය නොකළ අතර, ඒ තනතුර මෙහෙයවූයේ ඔහුගේ මවයි. තනතුරට පත්වීමෙන් මාස හයකට පසු ‍ෆිරුස් සහ ඔහුගේ මව යන දෙදෙනාව ඝාතනය කර දමනු ලබන අතර, අකමැත්තෙන් හෝ රසියා දිල්ලි සුල්තානා ලෙස පත් කිරීමට අධිරාජ්‍යයේ කුලවතුන් එකඟ වෙනවා.

රාජ්‍ය පාලනය

එවකට වයස අවු. 31ක් වූ රසියා අල්-දින් ක්‍රි.ව. 1236 නොවැම්බර් 10 වන දා දිල්ලියේ සුල්තානා ලෙස කිරුළු පළඳින්නේ ජලාලත්-උද්-දින් රසියා ලෙසයි. ඈ තමාගේ රාජ්‍යයට සහ වැසියාට කැපව සිටි පාලිකාවක ලෙස ඉතිහාසයේ සඳහන් වනවා. ඈ විසින් පාසැල්, විශ්වවිද්‍යාල, සහ පුස්තකාල ඉදි කළ බවත්, ඇගේ ලාංඡනය සහිත කාසි පවා නිකුත් කළ බවත් පැවසෙනවා.

රසියා විසින් නිකුත් කළ කාසි (coinindia.com)

රාජ්‍යත්වයට පත්වීමත් සමඟම මුස්ලිම් කාන්තාවන්ගේ සාම්ප්‍රදායික මොට්ටැක්කිලිය ඉවත දමන ඇය පිරිමින්ගේ ඇඳුමින් සැරසීම එකල මුස්ලිම් වංශවතුන්ගේ අප්‍රසාදයට ලක්වූ බවයි පැවසෙන්නේ.

රසියා ඉතාමත්ම දක්ෂ කඩු සරඹකාරියක වූ අතර යුද්ධයන් හි දී තමාගේ හමුදාව මෙහෙය වූ බව කියැවෙනවා. රන්තම්බෝර් හි රාජ්පුත්වරුන්ට එරෙහිව ඇය විසින් හමුදා මෙහෙයවීම එයින් එක් අවස්ථාවක්. මුළු රාජධානියේම බලය සාර්ථකව ‍රැකගැනීමට ඇයට හැකියාව තිබුණා.

ප්‍රේමය සහ විවාහය

රසියාගේ කුඩා කල පෙම්වතාව සිටියා යැයි සැලකෙන මලික් ඉක්තියාර්-උද්-දින් අල්තුනියා බතින්දා නම් ප්‍රදේශයේ ආණ්ඩුකාර ධූරය හොබවමින් සිටියා. එකල පැතිරගිය කටකතාවකට අනුව රසියා විසින් ඇබිසිනියානු වහලෙකු වූ ජමල්-උද්-දින් යකුට් සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වන බව කියැවුණා. අල්තුනියා මෙයින් ඊර්ෂ්‍යාවට පත්වූ බව කියැවුණු අතර රසියාව ලබා ගන්නා බලාපොරොත්තුවෙන් දිල්ලි සුල්තාන් සිහසුනට එරෙහිව කැ‍රැල්ලක් ආරම්භ කළා.

මෙම යුද්ධයේ දී යකුට් මරණයට පත් වූ අතර අල්තුනියා විසින් රසියා පරාජය කර 1240 අප්‍රේල් මස දී ඇයව සිරභාරයට ගනු ලැබුවා. සිරභාරයේ සිටියත් ඇයට ‍රැජිණකට මෙන් සලකන ලද අතර සතියකට වරක් හජිරතන් පල්ලියට යෑමට අවසර ලබා දී තිබූ බවත්, අල්තුනියා දිනපතාම වාගේ ඇයව මුණගැසුණු බවත් පැවසෙනවා. කාලයත් සමඟ ඔවුන් අතර පෙම් සබඳතාවක් ඇරඹුණු නිසා ක්‍රි.ව. 1240 අගෝස්තු මස ඇයව නිදහස් කරන ලද අතර ඔවුන් විවාහ දිවියට එළැඹුණා.

කීලා මුබාරක් – බතින්දා (Maps of India)

කුමන්ත්‍රණ සහ සිහසුනෙන් පහකිරීම

කාන්තාවක අතින් පාලනය වීම රිසි නොවූ තුර්කි වංශවතුන් බොහෝ කලක සිට රසියා බලයෙන් පහ කිරීමට කුමන්ත්‍රණය කරමිනුයි සිටියේ. අවාසනාවකට මෙහි නායකයාව සිට ඇත්තේ පසුව ඈ විවාහ කරගත් අල්තුනියා යි. දිල්ලියේ දී ඇයට විරුද්ධව සටන් කර ජයගැනීමට නොහැකි බව අවබෝධ කරගත් ඔහු දිල්ලියෙන් පිටත කැ‍රැල්ලක් ඇති කර ඇය එහි ගෙන්නාගෙන කුමන්ත්‍රණ සහ පාවාදීම් මගින් රසියා පරදවා ඇය සිරභාරයට පත් කළා. ඈ සිරභාරයේ සිටියදී නැවත දිල්ලියට ගිය වංශාධිපතීන් ඇගේ සුළු සොහොයුරා වූ මුයිස්-උද්-දින් බහ්රම් අධිරාජ්‍යයේ රජු බවට පත්කර ගත්තා.

තුර්කි වංශාධිපතීන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ තත්ත්වයක් වූයේ රසියා සහ අල්තුනියා අතර ප්‍රේමයක් ඇතිවීමයි. රසියා විවාහ කරගැනීමෙන් අනතුරුව අල්තුනියාගේ පක්ෂපාතීත්වය වෙනස් වූ අතර, ඔහු වංශාධිපතිවරුන්ට නොව රසියාට සහය දීමට පටන්ගත්තා.

මරණය

බුල්බුල්-ඉ-ඛනා හි පිහිටන බවට සැලකෙන සොහොන (Wikipedia)

තම සිහසුන බහ්රම්ට හිමිව ඇති බවට ආරංචි වීමත් සමඟම එය නැවත ලබාගන්නා අරමුණින් අල්තුනියාගේ ද උදව් ඇතිව රසියා විසින් සේනා සංවිධානය කර දිල්ලියට පහර දුන්නා. කෙසේ නමුත් 1240 ඔක්තෝබර් මස දිනක දී රසියා පරාජයට පත්වූ අතර සේනා ද සමඟ දිල්ලියේ සිට කයිතාලයට පලා යෑමට ඇයට සිදුවුණා. එහිදී ඉතිරි සේනාව ද රසියා සහ අල්තුනියා අතැර පලාගිය අතර එහිදී ඔවුන් හින්දු ජඨ්වරුන්ගේ අතට පත්වුණා. ඔවුන් විසින් ඈ සහ සැමියා සතු සියළු වත්කම් පැහැරගෙන, 1240 ඔක්තෝබර් 13 වන දා ඔවුන්ව මරා දමනු ලැබුවා.

ඇගේ සොහොන පිහිටි ස්ථානය අදටත් විවාදයට ලක්වන කරුණක්. ඈ දිල්ලියේ තුර්ක්මාන් ද්වාරය අසල බුල්බුල්-ඉ-ඛනා හි මිහිදන් කර ඇති බව ඇතැමුන් පවසන අතර, ඇතැමුන්ට අනුව ඇය කයිතාලයේ දී අල්තුනියා සමඟත්, තවත් සමහරුන්ට අනුව ඇය රාජස්ථානයේත් මිහිදන් කර තිබෙන බව පැවසෙනවා.

රසියා ඉන්දියානු ඉතිහාසයේ නිතර කියැවෙන ‍රැජිනක්. ඈ රාජ්‍ය පාලනය කළේ වසර 4ක් වැනි කෙටි කාලයක් වුවත් ඇගේ රාජ්‍ය පාලනයේ ශූර බවත්, රාජ්‍යයට තිබූ ලැදියාවත් නිසා ඇයට ඉතිහාසයේ වැදගත් තැනක් හිමිව ඇති බව සැලකීමට හැකියි.

කවරයේ පින්තූරය: behtareen.pk 

මූලාශ්‍ර:

  1. historyswomen.com
  2. Thefamouspeople.com
  3. Newsgram.com

Related Articles

Exit mobile version