ජවහර්ලාල් නේරු, ඉන්දියාව නිදහස ලබා ගැනීමෙන් අනතුරුව පත් වන පළමු අගමැති වරයායි. එමෙන්ම බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා ගැනීම උදෙසා සටන් කළ ප්‍රධාන නායකයකු ලෙස ද ඔහු හැඳින්විය හැකි වනවා. ස්වෛරී, සමාජවාදී, අනාගමික මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් කිරීම උදෙසා ජවහර්ලාල් නේරු විසින් ගත් උත්සාහයන් පිළිබඳව මෙම ලිපියෙන් සාකච්ඡා කෙරෙනවා.
පවුල් පසුබිම හා අධ්‍යාපනය
වර්ෂ 1889 නොවැම්බර් මස 14 වන දින මොතිලාල් නේරු හා ස්වාරුප් රාණි යන යුවළට අලහබාද් හිදී නේරු උපත ලැබුවා. දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ පළමු දරුවා ජවහර්ලාල් නේරු වූ අතර අනිකුත් දරුවන් දෙදෙනා වූයේ විජය ලක්ෂ්මි හා ක්‍රිෂ්ණා ය.
ජවහර්ලාල් නේරුගේ පියා අධිනීතිඥයෙකු වූ අතරම, ඉන්දීය නිදහස් ව්‍යාපාරයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වුණා. එමෙන්ම ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ සභාපති ලෙස දෙවරක්ම කටයුතු කරනු ලැබුවා.
නේරුගේ ප්‍රාථමික අධ්‍යාපනය ඉංග්‍රීසි උපදේශකවරුන් කිහිප දෙනෙක්ගෙන් මෙන්ම ගුරුවරියන්ගෙන් නිවසේ දීම ලබා ගත් අතර, වයස අවුරුදු 16 දී එංගලන්තයේ හැරෝ (Harrow) පාසලේ ලියාපදිංචි වුණා. එමෙන්ම ස්වභාවික විද්‍යා විෂය ධාරාවෙන් කේම්බ්‍රිජ් හි ත්‍රිත්ව විද්‍යාලයෙන් ගෞරව උපාධියක් ලබා ගනු ලැබුවා.
අනතුරුව අවුරුදු දෙකක පමණ කාලයක් ලන්ඩන් හි Inns of Court School of Law මඟින් නීතිය හදාරනු ලැබුවා. මෙහි ඔහු නීතිඥ මණ්ඩලයට ඇතුලත් වීමේ විභාගය සමත් වූ අතරම ඉංග්‍රීසි නීතිඥ මණ්ඩලයට ඇතුළත් වන ලෙස ඇරයුමක්ද ලැබුණා. කෙසේ නමුත් වර්ෂ 1912 දී නැවත නේරු මව් රටට පැමිණි අතර, අලහබාද් මහාධිකරණයේ අධිනීතිඥයෙකු ලෙස කටයුතු කිරීම ආරම්භ කරනු ලැබුවා. මේ අතරම අනුක්‍රමයෙන් ජාතික දේශපාලනයට මැදිහත් වීමද සිදු වුණා.
නිදහස් ව්‍යාපාරයට දක්වන දායකත්වය
ජවහර්ලාල් නේරු, ගාන්ධි තුමා විසින් ආරම්භ කරන ලද සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාර වලට සහභාගී වුණා. ස්ව රාජ්‍යක් සඳහා නේරු විසින් කරුණු ගෙන හැර දක්වනු ලැබුවා. වර්ෂ 1916 දී පළමු වතාවට ජවහර්ලාල් නේරු, ගාන්ධි තුමාව ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ වාර්ෂික රැස්වීමේදී හමුවුණා.
ජවහර්ලාල් නේරු විසින් සම්පූර්ණ ජාතික නිදහසක් ඉල්ලා සිටිනු ලැබුවා. මෙම යෝජනාව හේතුවෙන් නේරු නිදහස් ව්‍යාපාරයේ වඩාත් වැදගත් නායකයෙක් බවට පත් වුණා. දෙවන ලෝක යුධ සමයේදීත් ඉන්දියාවට සම්පූර්ණ නිදහස ලබා දීම සඳහා ආරක්ෂණයක් ඉල්ලා සිටිනු ලැබුවා. වර්ෂ 1947 දී බ්‍රිතාන්‍යන් විසින් ඉන්දියාව හා පකිස්ථානය ලෙස රට දෙකඩ කිරීමට තීරණය කරනු ලැබුවා. ඒ මොහමඩ් අලි ජින්නාගේ දැඩි මැදිහත් වීම මතයි.
අගමැති ලෙස
වර්ෂ 1947 අගෝස්තු මස 15 වන දින ඉන්දියාව හා පකිස්ථානය නිදහස් රටවල් දෙකක් ලෙස නැගී සිටිනු ලැබුවා. මේ සමඟම ස්වාධීන ඉන්දියාවේ පළමු අගමැති ලෙස ජවහර්ලාල් නේරු මහතා පත් වුණා.
ජවහර්ලාල් නේරු විසින් තාක්ෂණික වැඩි දියුණු කිරීම් වලට මෙන්ම, නවීකරණ වලට යොමු කරනු ලැබුවා. එමෙන්ම මෙතුමා විශාල වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්, සියළු දෙනා හටම සමානාත්මතාවය, කුලය, වර්ණය හා ආගම ආදී වශයෙන් වෙනස්කම් වලට භාජනය නොකළ යුතු බව කියා සිටියා.
ජවහර්ලාල් නේරු අගමැති වරයා ලෙස තනතුර දැරූ යුගයේ ගෘහස්ථ, ජාත්‍යන්තර, ආර්ථික, කෘෂිකාර්මික හා සමාජ ප්‍රතිපත්තිවලට රැඩිකල් වෙනස්කම් ගෙන එනු ලැබුවා. මෙතුමාගේ පාලනය යටතේ නොයෙක් ආකාරයේ විශාල කර්මාන්ත ස්ථාපිත කරනු ලැබුවා. එමෙන්ම ආණ්ඩුව හා පෞද්ගලික අංශය එක්ව පාලනය කරන මිශ්‍ර ආර්ථික ක්‍රමයට පක්ෂපාති වුණා.
ඉන්දියාවේ අනාගත සංවර්ධනය උදෙසා අධ්‍යාපනය අත්‍යවශ්‍ය සාධකයක් ලෙස නේරු දැඩිව විශ්වාස කළා. මේ හේතුවෙන් වෛද්‍ය විද්‍යාව, තාක්ෂණය, කළමනාකරණය ආදී විෂය ධාරාවන් ඔස්සේ උසස් අධ්‍යාපන ආයතන ස්ථාපිත කරනු ලැබුවා. මෙතුමාගේ පස් අවුරුදු සැලැස්ම යටතේ නොමිලේ මෙන්ම මූලික අධ්‍යාපනය අනිවාර්ය කරනු ලැබුවා.
මීට අමතරව ජාතික ආරක්ෂක ඇකඩමිය (National Defence Academy) හා ජාතික පරමාණුක කොමිසම (Atomic Energy Commission) යන ආයතන සඳහා පදනම දැමීමද සිදු කරනු ලැබුවා. මෙතුමා ධූරය දරන වකවානුවේ කාශ්මීර ගැටුම පැවති අතර, ඉන්දියාවට මෙන්ම පකිස්ථාන යන දෙරටටම මෙම ප්‍රදේශය අයත් කර ගැනීමේ අවශ්‍යතාවය ඇති වුණා. එමෙන්ම ජවහර්ලාල් නේරු මහතා අගමැති ලෙස සිටින සමයේ පෘතුගීසින් සතුව පැවති ගෝව ඉන්දියාවේ කොටසක් බවට පත් කරගනු ලැබුවා.
පෞද්ගලික ජීවිතය
ජවහර්ලාල් නේරු, කමලා නේරු සමඟ වර්ෂ 1916 දී විවාහ දිවියට එළඹුන අතර එම යුවලට උපන් එකම දරුවා වූයේ ඉන්දිරා ප්‍රියදර්ශනී නේරුය. පසුකාලීනව ඇය ඉන්දිරා ගාන්ධි ලෙස ප්‍රකට වුණා. ඇය ඉන්දියාවේ පළමු කාන්තා අගමැතිනිය බවට පත් වුණා.
ජවහල්ලාර් නේරු සිහි කිරීම සඳහා ජවහල්ලාර් නේරු විශ්ව විද්‍යාලය, වරාය, පුස්තකාලය හා කෞතුකාගාරය ඉදි කොට නම් කර තිබෙනවා.
අනෙකුත් තොරතුරු
නූතන ඉන්දියාවේ නිර්මාපකයා (Architect of modern India) යන අන්වර්ථ නාමයෙන් මෙතුමා හඳුන්වනු ලබනවා. මීට අමතරව ජවහල්ලාර් නේරු විසින් The Discovery of India, Glimpses of World History, Toward Freedom යනුවෙන් කෘති රචනා කොට තිබෙනවා. මෙතුමාගේ ජන්ම දිනය නොවැම්බර් මස 14 වන දිනට යෙදී තිබෙන අතර ඉන්දියාවේ ළමා දිනය සැමරීම සිදු වන්නේ එදිනයි.
වර්ෂ 1955 දී භාරත රත්න සම්මානයෙන් ජවහල්ලාර් නේරු පිදුම් ලබනු ලැබුවා. හදිසි හෘදයාබාදයක් හේතුවෙන් වර්ෂ 1964 මැයි මස 27 වන දින ජවහල්ලාර් නේරු ජීවිතක්ෂයට පත් වුණා
Cover Image: India Centre