Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අරුම පුදුම කකුල් තුනේ මිනිසා- ප්‍රෑන්ක් ලෙන්ටිනී

1889 මැයි 18 වැනිදා දකුණු ඉතාලියේ සිරකියුස්හි පිහිටි රොසොලිනී නම් ගම්මානයේ අරුම පුදුම දරුවෙකු උපත ලැබුවා. ප්‍රෑන්ක් ලෙන්ටිනී නමින් හැඳින්වුණු එම දරුවා, පරපෝෂිත නිවුන් දරුවෙකු ද සමගින් උපත ලැබූ නිසා ඔහුට කකුල් තුනක් සහ ලිංගේන්ද්‍රයන් දෙකක් පිහිටා තිබුණා. ඔහුගේ අසාමාන්‍ය පෙනුම නිසා කුඩා කාලයේ දී දුක්ඛිත ජීවිතයක් ගතකිරීමට සිදුවුණා. 

ලෙන්ටිනී පසුකලෙක සර්කස් කණ්ඩායමකට සම්බන්ධ වුණා. ඉන්පසු ලෝ ප්‍රකට පුද්ගලයෙකු බවට පත්වුණු ලෙන්ටිනී පසුකලෙක විවාහ දිවියට පවා ඇතුළත් වුණා. 

ප්‍රෑන්ක් ලෙන්ටිනී  (Naukri Nama)

ලෙන්ටිනීගේ උපත සිදුවුණු හැටි 

නටාල් ලෙන්ටිනී සහ ජියෝවානා ෆැල්කෝ යුවලට දාව දියණියන් හත්දෙනෙකු සහ පුතුන් පස්දෙනෙකු උපත ලැබුවා. ඔවුන්ගේ 13 වන දරුවා 1889 වසරේ මැයි 18 වැනිදා උපත ලැබුවත්, ඔහු සාමාන්‍ය දරුවෙකු වුණේ නැහැ. පරපෝෂිත නිවුන් දරුවෙකු සමගින් උපත ලැබූ එම දරුවාට ලිංගේන්ද්‍රයන් 2ක් සහ කකුල් 3ක් තිබුණු නිසා ඔහුගේ දෙමාපියන් දරුවාව භාරගැනීම ප්‍රතිකේෂ්ප කළා. ප්‍රැන්සිස්කෝ ලෙන්ටිනීගේ දෙමාපියන් ඔහුගේ උපත ශාපයක් ලෙස සැලකූ නිසා හැකි ඉක්මනින් ඔහුව නිවසින් ඉවත්කිරීමට උත්සාහ කළා. එසේම එම ප්‍රදේශවාසීන් ද මෙම දරුවාට “කුඩා රාක්ෂයා” යන නමින් ආමන්ත්‍රණය කළා. නමුත් මෙම දරුවාගේ මාමා වුණු කොරිඩෝ ෆැල්කෝ කුඩා ප්‍රෑන්ක්ට ගොඩාක් ආදරය කළා. එනිසා ඔහු සහ බිරිඳ එක්ව ප්‍රෑන්ක්ව හදාවඩා ගැනීමට තීරණය කළා.

අමතර කකුල ඉවත් කිරීමට ගත් අසාර්ථක උත්සාහය 

ලෙන්ටිනීට දිගින් දිගටම සිදුවුණු නින්දා අපහාස නිසා ඔහුගේ නැන්දා සහ මාමා දරුවාගේ ආබාධිත තත්ත්වය සුව කිරීමට විවිධ වෛද්‍යවරුන් සොයාගෙන යන්නට වුණා. ඒ වන විට කුඩා ප්‍රෑන්ක්ගේ මව සහ පියා ද ඔහුට අනුකම්පා කර ඔහුව බැලීම සඳහා කොරිඩෝ ෆැල්කෝගේ නිවසට නිතරම පැමිණෙන්නට වුණා. නමුත් ඔවුන් දරුවා නිවසට යළි රැගෙන යාම ප්‍රතික්ෂේප කළේ අසල්වැසියන්ගේ නින්දා අපහාස ඉවසාගැනීමට හැකියාවක් නොතිබුණු නිසා යි. එම කාල සමයේ දී ප්‍රෑන්ක්ගේ පියා ද රට පුරා ඇවිදිමින් හොඳ වෛද්‍යවරුන් සොයන්නට වුණා. එහි දී හමුවුණු වෛද්‍යවරයෙක් දරුවාගේ අමතර කකුල ඉවත්කිරීමට හැකි බව පවසා සිටියා.

එදා දහසක් බලාපොරොත්තු ඇතිව නටාල් සහ ජියෝවානා සිය ආබාධිත දරුවා ද රැගෙන වෛද්‍යවරයා හමුවීමට ගියා. දරුවාව පරීක්ෂා කළ වෛද්‍යවරයා පවසා සිටියේ දරුවාගේ අමතර කකුල කපා දැමුවොත් ඔහුට මරණය පවා උරුමවීමට ඉඩකඩක් තිබෙන බව යි. එසේ නොවුණොත් දරුවාට අංශභාගය වැළඳීමේ අවධානමක් පවතින බව වෛද්‍යවරයාගේ නිගමනය වුණා. දරුවාගේ අමතර කකුල ඉවත්කිරීම ඔහුගේ අනාගතය කෙරෙහි බලපාන බව දෙමාපියන්ට ඒත්තු ගිය නිසා ඔවුන් යළි දරුවාට ප්‍රතිකාර කිරීම සඳහා උනන්දු වුණේ නැහැ. 

ඇමරිකා ගමන නිසා පෑදුණු වාසනාව 

1898 වසරේ එක්තරා දිනයක නටාල් සහ ජියෝවානා යුවල සිය දරුවන් ද රැගෙන ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වුණා. ඔවුන් කුඩා ෆ්‍රෑන්ක් ද තමා හා රැගෙන ගියා. එක්සත් ජනපදයේ බොස්ටන් ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයක පදිංචි වුණු ලෙන්ටිනී පවුලේ අයට කටුක ජීවිතයක් ගතකිරීමට සිදුවුණා. ඔවුන් ඇමරිකානු ජීවිතය ආගන්තුක එකක් වුණා. 

දිනක් නටාල් ලෙන්ටිනී 9 හැවිරිදි ප්‍රෑන්ක් ද රැගෙන බොස්ටන් නගරය වෙත ගියා. බොස්ටන් නගරයේ ඇවිද ගිය පියා සහ පුත්‍රයා දුටු එක්තරා පුද්ගලයෙකු ඔවුන් සමග කුළුපඟ වීමට උත්සාහ කළා. මේ ආගන්තුක පුද්ගලයාට මඳ සිනාවකින් සංග්‍රහ කළ පියා ඔහු සමග කතාවට වැටුණා. එම කතාබහේ දී ඔහු සර්කස් කණ්ඩායමකට සම්බන්ධ ගුයිසෙප් මැග්නානෝ නම් පුද්ගලයෙකු බව ලෙන්ටිනීට දැනගන්නට ලැබුණා. මැග්නානෝ දිගින් දිගටම ලෙන්ටිනීගෙන් ප්‍රෑන්ක්ගේ අමතර කකුල පිළිබඳ විමසා සිටියා. 

මැග්නානෝ කකුල් තුනක් තිබුණු ප්‍රෑන්ක් දරුවා පිළිබඳව තොරතුරු විමසා සිටියේ ඔහුව සිය  සර්කස් කණ්ඩායමට සම්බන්ධ කරගැනීම සඳහා යි. මැග්නානෝ සිය යෝජනාව ලෙන්ටිනී වෙත ඉදිරිපත් කළා. නමුත් ඔහුට ඒ සඳහා එක්වරම පිළිතුරක් ලබාදීමට හැකියාවක් තිබුණේ නැහැ. ඔහු සිය තීරණය දැනුම්දීමට මැග්නානෝගෙන් සතියක් ඉල්ලා සිටියා.

ලෙන්ටිනී කුඩා ළමයෙකුව සිටි අවධියේ (allthatsinteresting.com)

ප්‍රෑන්ක් සර්කස් කණ්ඩායමට එක්වෙයි 

ආගන්තුක මැග්නානෝ ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳව සලකා බැලූ ලෙන්ටිනී සහ ඔහුගේ බිරිඳ සිය පුත්‍රයාගෙන් ඒ පිළිබඳව විමසා සිටියා. කුඩා ප්‍රෑන්ක් සර්කස් කණ්ඩායමට එක්වීම සඳහා කැමැත්ත පළ කළා. ඉතින් ප්‍රෑන්ක් දරුවා රින්ග්ලිං බ්‍රදර්ස් නම් සර්කස් කණ්ඩායම සමග සම්බන්ධ වුණා. 

සර්කස් කණ්ඩායම සමග සම්බන්ධ වුණු ප්‍රෑන්ක් තම අමතර කකුලෙන් බෝලයකට පයින් ගැසීම, කඹයක් උඩින් පැනීම, ලිස්සා යාම සහ බයිසිකල් පැදීම වැනි ක්‍රියාකාරකම් සිදුකරනු ලැබුවා. එම නිසා ඔහු කකුල් “තුනේ පාපන්දු ක්‍රීඩකයා”, “කකුල් තුනේ සිසිලි ජාතිකයා” වැනි නම්වලින් ප්‍රසිද්ධ වුණා. ප්‍රෑන්ක්ව කකුල් තුනේ සිසිලි ජාතිකයා යන නමින් හඳුන්වනු ලැබුවේ ඔහු ඉපදුනු සිරකියුස් ප්‍රදේශය සිසිලි නම් පළාතේ පිහිටි නිසා යි. 

ප්‍රෑන්ක් රින්ග්ලිං බ්‍රදර්ස් සර්කස් කණ්ඩායම සමග එක්ව පෑ හපන්කම් නිසා ඔහු ඇමරිකාව තුළ ජනප්‍රිය වුණා. ප්‍රෑන්ක්ගේ අපූරු සර්කස් නැරඹීම සඳහා විශාල ජනකායක් ඒකරාශී වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රෑන්ක්ට ප්‍රිය කරන රසික රසිකාවියන් පිරිසක් නිර්මාණය වුණා. කුඩා කාලයේ දී නින්දා අපහාස රැසක් විඳින ලද දරුවෙකු වුණු ප්‍රෑන්ක් පසු කලෙක ප්‍රේක්ෂකයන්ගෙන්  ඔහුට ලැබුණු ප්‍රතිචාර හමුවේ කුල්මත් වුණා. 

සර්කස් කණ්ඩායමේ ප්‍රචාරක දැන්වීමක් (Historic Mysteries)

ප්‍රෑන්ක්ගේ විවාහ දිවිය 

ප්‍රෑන්ක්ගේ අරුම පුදුම සර්කස් සංදර්ශන නැරඹීම සඳහා පියකරු යුවතියන් ද පැමිණියා. එලෙස පැමිණි ඇතැම් සුන්දර යුවතියන් විනෝදකාමී ප්‍රෑන්ක් සමග මිතුරුවීමට උත්සාහ කළා. 

ප්‍රෑන්ක් සමග හිතවත් වුණු යුවතියන් අතුරින් තෙරේසා මරේ ඔහුගේ සිතගත් තැනැත්තිය වුණා. එම කාලය වන විට කුඩා නාට්‍ය කණ්ඩායම් සමග සම්බන්ධ වී රඟපෑම් කටයුතුවල නිරත වුණු තෙරේසා ඉතා රූමත් තරුණියක් වුණා. නිතර නිතර මුණගැසීම හේතුවෙන් ප්‍රෑන්ක් සහ තෙරේසා අතර ආදර සම්බන්ධයක් ගොඩනැගුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් දෙපල 1907 වසරේ දී විවාහ දිවියට ඇතුළත් වුණා.

විවාහයෙන් පසුව ඉතාමත් සාමකාමී දිවියක් ගතකළ ප්‍රෑන්ක්ට සහ තෙරේසාට පසු කලෙක දරුවන් 4 දෙනෙකු ලැබුණා. මේ දරුවන්ට ජොසෆින්, නටාල්, ජේම්ස්, සහ ප්‍රෑන්ක් යන නම් තැබුවා. ඔවුන් දෙපළ සිය දරුවන් සමග ප්‍රීතිමත් ජීවිතයක් ගතකළ බව කියැවෙනවා. ඒ අතරතුර ප්‍රෑන්ක් එක් වරක් සිය බිරිඳ සහ දරුවන් සමග ඉතාලියේ ඔහු උපන් පළාතට ද ගියා. 

විවාහ වී වසර 25ක් පමණ යන තුරු ප්‍රෑන්ක් සහ බිරිඳ අතර සැලකිය යුතු තරම් ගැටුමක් ඇතිවුණේ නැහැ. නමුත් පසුව ඔවුන් දෙදෙනා අතර මතගැටුම් ඇතිවුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් දෙදෙනා වෙන්වීමට තීරණය කළා. 

තෙරේසාගෙන් වෙන්වුණු ප්‍රෑන්ක් ටික කාලයක් තනිවම ජීවත්වුණා. ඔහුගේ තනිකඩව ගෙවුණු කාලය අවසන් වුණේ හෙලන් ෂූප් නම් කාන්තාව ඔහුගේ ජීවිතයට පැමිණීමත් සමග යි. ඉන් අනතුරුව ප්‍රෑන්ක් සිය ජීවිත කාලය පුරාවට හෙලන් සමග එකට ජීවත් වුණා. 

සිය මිතුරන්ගේ ගෞරවයට ලක්වුණු පුද්ගලයෙක්

උපතින් විකෘති පෙනුමක් තිබුණු පුද්ගලයෙකු වුණු ප්‍රෑන්ක් බොහෝ දෙනෙකු කරන ලද නින්දා අපහාස විඳගෙන සර්කස්කරුවෙකු බවට පත්වී සිය ජීවිතය සාර්ථක කරගත්තා. ප්‍රෑන්ක් ඉතාමත් හොඳ හදවතක් තිබුණු විනෝදකාමී පුද්ගලයෙකු නිසා ඔහුගේ සර්කස් කණ්ඩායමේ මිතුරන් අතර ද ජනප්‍රියත්වයට පත්වුණා. එසේම ඔහු සර්කස්කරුවෙකු ලෙසින් ද හපන්කම් පෑ නිසා ඔහුට “රජු” යන සුරතල් නාමය පටබැඳී තිබුණා. එකල ප්‍රෑන්ක් සිය මිතුරන්ට සෑම විටම විහිළුවට මෙන් කීවේ පුටුවක් අවශ්‍ය නොවුණු එකම මිනිසා ඔහු බව යි. සිය ජීවිතයේ තරුණ කාලයේ දී යහමින් මුදල් හම්බ කර ප්‍රෑන්ක් පසු කාලයේ හෙලන් සමග කිසිදු කරදරයකින් තොරව සිය සැඳෑ සමය ගතකළා.

ප්‍රෑන්ක්ගේ තරුණ සහ මහළු කාලය දැක්වෙන ඡායාරූපයක් (9gag.com)

ප්‍රෑන්ක්ගේ අවසානය 

1960 දශකයේ මැද භාගය වන විට ප්‍රෑන්ක් පෙනහැළි සම්බන්ධ රෝගයකින් පීඩා විඳිමින් සිටියා. ඔහුගේ දෙවන බිරිඳ සහ දරුවන් ඔහු පිළිබඳව නිතර සොයා බලා ප්‍රතිකාර සඳහා යොමුකළත් අසනීප තත්ත්වයේ අඩුවක් දක්නට ලැබුණේ නැහැ. දිගින් දිගටම පැවති අසනීප තත්ත්වය 1966 සැප්තැම්බර් මාසය වන විට දරුණු අතට හැරුණා. ඔහුගේ ජීවිතය බේරාගැනීමට වෛද්‍යවරුන් කෙතරම් උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ. 1966 සැප්තැම්බර් 21 වැනිදා ප්‍රෑන්ක් ලෙන්ටිනී නම් අපූරු මිනිසා සදහටම දෙනෙත් පියාගත්තා.

කවරයේ ඡායාරූපය- ප්‍රෑන්ක් ලෙන්ටිනී (Youtube) 

මූලාශ්‍රයයන්- historydaily.org

Related Articles