සොල්දාදුවන් කිහිප දෙනෙකුට මැදිව ඇය පා තැබුවේ එතරම් විශාල නොවූ කුටියකට. ඇගේ සොහොයුරා සහ මිතුරෙකු හැරෙන්නට ඒ කුටියේ අසුන්ගෙන සිටියේ ජර්මානු නාසි හමුදා සාමාජිකයන් සහ නාසින්ගේ හිතවතුන් කිහිප දෙනෙක් පමණයි. අවසන් තීන්දුව ලබා දෙන විනිසුරුවරයා පවා නාසි හිතවාදියෙක්. ජනතා අධිකරණය (People’s Court) ලෙස නම් කර තිබුණත් එයින් තමන්ට සහ තමන් සමග අත්අඩංගුවට ගත් තම සොහොයුරාට එයින් කිසිම සාධාරණයක් ඉටු නොවෙන බව නම් ඇය දැනගෙන සිටියේ මේ කුටියට ඇතුළු වීමට පෙරාතුවමයි. ජර්මනියේ සිවිල් නීතියට එපිටින් ඇඩොල්ෆ් හිට්ලර්ගේ අණ මත රෝපණය කළ මේ අධිකරණයෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙනවානම් එයයි සියවසේ විශාලම විහිළුව.
ඉතින් ඇයට එල්ල වී ඇති චෝදනා සියල්ලම මේ ඊනියා ජනතා අධිකරණය ඉදිරියේ දිග හැරෙන්න පටන් ගන්නවා. ඒ සියල්ල නිහඬව අසා සිටින ඇය තමන්ගේ වාරය පැමිණි විට නැගී සිටින්නේ කීමට ඇති සියල්ලත් සිතේ දරාගෙනයි. තමන් නාසීන්ට විරුද්ධව කටයුතු කිරීමට පෙළඹුනේ මන්ද යන්න ඉතා පැහැදිලිව සහ සෘජුව පවසා සිටින ඇය අවසානයට මෙසේ ප්‍රකාශ කරනවා.
“නිවැරැද්ද වෙනුවෙන් කැපකිරීමක් කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවෙන වාතාවරණයක නිවැරදි දෙය ජයගනීවි යැයි අපි සිතන්නේ කොහොමද? අද කෙතරම් සුන්දර, හිරු එළියෙන් නැහැවුණ උදෑසනක් වුවත් මම මිය යා යුතුයි. එහෙත් එය ගැටළුවක් නොවෙයි. මගේ මරණයෙන් අනතුරුව වුවත් නිවැරැද්ද සඳහා වන මේ සටන නොනවත්වා කරගෙන යාමට දහස් ගණනක් ඉදිරිපත් වේවි කියා විශ්වාසයක් ඇතිවිට මගේ මරණය මට ගැටළුවක් වන්නේ කෙසේද?”
අනතුරුව එළඹෙන් තත්පර කිහිපයක නිහැඬියාවෙන් පසු විනිසුරු Roland Freisler තම තීන්දුව ප්‍රකාශ කරනවා.
ඒ මරණය.
සොෆී මග්දලේනා ෂොල්, ඒ අපේ කතා නායිකාව. 1921 වසරේ මැයි මස 09 වනදා උපත ලබන ඇය නාසීන් අතින් ඝාතනයට ලක්වන විට පසුවූවේ 19 වන වියේයි. ඇගේ සොහොයුරා, හාන්ස් ෂොල් ද ඒ සමඟම ඝාතනය කෙරෙනවා.
ගෙස්ටාපෝ පොලීසියේ අත්අඩංගුවට පත්වන විට හාන්ස් සහ සොෆී දෙදෙනාම සිටින්නේ ජර්මනියේ මියුනිච් සරසවියේ උපාධිය හදාරමින්. අධ්‍යාපන කටයුතුවල යෙදෙන අතරතුර සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සමන්විත වූ ‘සුදු රෝස ව්‍යාපාරයේ’ (White Rose Movement) නායකයන් ලෙසත් ඔවුන් දෙදෙනා කටයුතු කරනවා.
සුදු රෝස ව්‍යාපාරය
සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සැදුම් ලත් සුදු රෝස ව්‍යාපාරය ඒ වනවිට උත්සන්න වෙමින් තිබූ නාසීන්ගේ ම්ලේච්ඡ ක්‍රියාකාරකම්වලට එරෙහිව හඬ අවදි කිරීමට පිහිටුවා ගත් අවිහිංසාව මත පදනම් වූ ව්‍යාපාරයක්.
ඔවුන් ප්‍රධාන වශයෙන්ම කළේ මනුෂ්‍යත්වයට නිගා දෙන තරමට බිහිසුණු එම ක්‍රියාකාරකම් විවේචනය කරමින් සහ ඒවාට විරෝධය පළ කරමින් පත්‍රිකා මුද්‍රණය කර ඒවා ජනතාව අතර බෙදා හැරීමයි. සහෝදර යුදෙව් ජනතාව රැක ගැනීමට ජර්මානු වැසියන් පෙරට පැමිණිය යුතු බව සහ නාසීන්ගේ ක්‍රියාකාරකම්වලට එරෙහිව සෑම පුරවැසියෙකුම තමාට හැකි පමණින් හඬක් නැගිය යුතු බව එම පත්‍රිකාවලින් අවධාරණය කරනු ලබනවා.
මානව හිමිකම් මෙන්ම ජර්මනියේ සාමාන්‍ය නීතියද වලංගු නොවූ එම යුගයේ එවන් පත්‍රිකා මුද්‍රණය කර බෙදා හැරීම පමණක් නොවෙයි ලඟ තබා ගැනීම පවා මරණයෙන් වන්දි ගෙවිය යුතු වන තරමේ බරපතල වරදක් ලෙසයි සලකනු ලැබුවේ. සුදු රෝස ව්‍යාපාරයේ සාමාජිකයන් අවස්ථා ගණනකදී අත්අඩංගුවට ගෙන ඝාතනය කරනු ලැබූ වාතාවරණයකදී පවා තමන් විශ්වාස කරන අරමුණ වෙනුවෙන් නොබියව පෙනී සිටීමේ ශක්තිය මේ තරුණ තරුණියන් සතුව නොඅඩුව තිබුණා. සොෆී සහ හාන්ස් අත්අඩංගුවට පත්වන්නේ ද සුදු රෝස ව්‍යාපාරයේ පත්‍රිකාවක් සරසවිය තුළ බෙදා හැරීම සම්බන්ධවයි.
අත්අඩංගුවට පත්වීම සහ ඝාතනය කරනු ලැබීම
1943 පෙබරවාරි මස 18 වන දින සොෆී සහ හාන්ස් එක්ව සුදු රෝස ව්‍යාපාරය විසින් රචනා කර මුද්‍රණය කරන ලද පත්‍රිකාවක් මියුනිච් සරසවිය තුළ බෙදා හැරීමට කටයුතු කරනවා. එදිනම අත්අඩංගුවට පත්වෙන ඔවුන් දෙදෙනා ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සිරගත කරනු ලබනවා.
අනතුරුව එම පෙබරවාරි 22 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා සහ ඔවුන් සමඟ එක්ව කටයුතු කළ, සුදු රෝස ව්‍යාපාරයේ තවත් සාමාජිකයෙකු වූ ක්‍රිස්ටෝෆ් ප්‍රොබ්ස් සමඟ, රාජ්‍යයට ද්‍රෝහි වීමේ චෝදනාවට වරදකරුවන් කර එදිනම සවස 5 ට ගිලටීනයට බිලි කර ඝාතනය කිරීමට නාසි බලධාරීන් ක්‍රියා කරනවා.
ගරු බුහුමන්
ඉතාම දුෂ්කර මොහොතකදී පවා නිවැරදි දෙය වෙනුවෙන් කැපවිය යුතු බව කියා දෙන සංකේතයක් බඳු ඇයගේ පිළිරුවක් තම ශුද්ධ වූ ආගමික ස්ථානයක තැන්පත් කර සොෆී ෂොල් නමට ගරු බුහුමන් දැක්වීමට ජර්මානු ප්‍රාන්තයක් වන බවාරියා හි රජය කටයුතු කරනවා.
එමෙන්ම මියුනිච්හි ලුඩ්වික් මැක්සිමිලන් සරසවියේ දේශපාලන විද්‍යා අංශය සොෆීගේ සහ හාන්ස්ගේ නමින් නම් කර තිබෙනවා.
තවද, ජර්මනියේ විවිධ ප්‍රදේශවල ගොඩනැගිලි සහ මංමාවත් රැසක්ම ඔවුන් දෙදෙනාගේ නමින් නම් කර ඇති බවත් පැවසිය යුතුයි.
2003 වසරේ ජර්මානු රූපවාහිනී නාලිකාවක් විසින් පැවැත්වූ ‘Our Best’ නම් එදා මෙදා තුර ජර්මනියේ විසූ විශිෂ්ටතම පුද්ගලයන් 10 තේරීම වෙනුවෙන් මහජන කැමැත්ත විමසීමේ වැඩසටහනකදී සොෆී සහ හාන්ස් සිව් වන ස්ථානයට පැමිණ තිබුණා.
ඊට අමතරව, 2004 වසරේ මැයි මස 09 වන දින ගූග්ල් ආයතනය ඇය වෙනුවෙන් ඩූඩලයක් (doodle) නිර්මාණය කරනු ලැබුවා. ඒ ඇගේ 93 වන උපන්දිනය වෙනුවෙනුයි.
Sophie Scholl : Final Days
නාසි අත්අඩංගුවට පත්ව දිවි ගලවා ගැනීමට වාසනාවන්ත වූ සොෆීගේ සමකාලීනයන්ගේ සම්මුඛ සාකච්ඡා සහ 1990 වන තෙක් රහසිගතව පැවති, දෙවන ලෝක යුධ සමයේ තොරතුරු ඇතුලත් ජර්මානු ලිපි ගොනුවල තිබූ කරුණු ඇසුරෙන් නිර්මාණය කෙරුණ මෙම චිත්‍රපටය සොෆී අත්අඩංගුවට පත්වීම සහ ඉන් අනතුරුව ඝාතනය කරන තෙක් වූ ඇගේ ජීවිතයේ අවසන් දින කිහිපය පිළිබඳ කියැවෙන අගනා නිර්මාණයක්. එය 2006 ඇකැඩමි සම්මාන උළෙලේ හොඳම විදේශ භාෂා චිත්‍රපටය වෙනුවෙන් ද නිර්දේශ වූවා.
ඒ චිත්‍රපටයට අමතරව සොෆීගේ සහ සුදු රෝස ව්‍යාපාරයේ කාර්‍යභාරය අළලා සැකසුණ වාර්තා වැඩසටහන් සහ කෘතීන්ද රාශියක් තිබෙනවා. ඒවා ඔබට අන්තර්ජාලයෙන් බාගත කරගැනීමට හැකියි.
අප ජීවත් වෙන ලෝකය වඩා යහපත් ස්ථානයක් බවට පත් කිරීම වෙනුවෙන් ජීවිතය පවා පුද කළ සොෆී ඇය වැනිම වූ තරුණ තරුණියන් රැසකට මහත් වූ පරමාදර්ශයක් වන බව අමුතුවෙන් කිව යුතු නැහැ.
කවරයේ පින්තුරය: judnewborn.wordpress.com