නෙත් අඳ වුවද සාහිත්‍යකරණය නොනැවැත්වූ ජී. බී. සේනානායක.

ශ්‍රී ලාංකීය සාහිත්‍ය ඉතිහාසය පිලිබදව විමසා බලන විට එහි උන්නතිය උදෙසා තම දිවිය කැප කල උදාර සාහිත්‍යධරයන් රැසක් හදුනා ගන්නට පුළුවන් වෙනවා. ඒ අතරින් ජි.බී.සේනානායක මහතාට​ හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. එතුමා සතු වූ සාහිත්‍ය කුසලතාවය එතුමා විසින් රචිත කෙටි කතා, නවකතා හා නිසඳැස් පද්‍ය කෘති තුලින් මනාව නිරුපනය වෙනවා. ජි.බී.සේනානායකයන් විසින් රචිත නිර්මාණ කිහිපයක්ම කලක් පුරාවට පාසල් වල උසස්පෙළ විෂය නිර්දේශයට හා විශ්වවිද්‍යාල උපාධි සදහා නියමිත ග්‍රන්ථ ලෙස ද භාවිතා වෙනවා.

“ශ්‍රී ලංකාවේ දොස්තොයෙව්ස්කි” යන අන්වර්ථ නමකින් ද හඳුන්වනු ලබන සේනානායක මහතා 1913 ජුලි මස 13 වන දින කොළඹ මුල්ලේරියාවේදී උපත ලබා තිබෙනවා. ඔහු සිය අධ්‍යාපන ගමන කොළොඹ ග්‍රෑන්ඩ්පාස්හි ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් ආරම්භ කල අතර පසුව කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුලත් වී අධ්‍යාපනය හදාරා ඇත. නමුත් අවරුදු 14දි එනම් පාසලේ හත්වැනි පන්තියේදී එතුමාගේ පාසල් අධ්‍යාපනය පවුලේ අඟහිඟකම් නිසාවෙන් නවත්වන්නට සිදු වී තිබෙනවා. නමුත් තරුණ​ වියේදී කොළඹ මහජන පුස්තකාලයට දිනපතා ගිය ඔහු එහි තිබු දහස් ගණන් පොත් කියවා තිබේ. එලෙස තම දැනුම වර්ධනය කර ගත් එතුමා කියවීමෙන් පමණක් වුවද​ ඉගෙනගත හැකිය යන්න ඔප්පුකර පෙන්වීමට සමත් වී තිබෙනවා.

ජි.බී.සේනානායකයන් විසින් රචිත කෘතියක් (godage.com)

මෙලෙස පුස්තකාලය හා සම්බන්ධව පොත් කියවන අතර එතුමා පුවත්පත් වලට ලිපි යවන්නටද පටන්ගෙන තිබේ. එසේම එකල දිනමිණ පුවත්පතේ කර්තෘ ලෙස කටයුතු කර ඇත්තේ මහා ගත්කතු මාර්ටින් වික්‍රමසිංහ මහතායි. එතුමාගේ සහයද ඇතිව සේනානායකයන් ලේක් හව්ස් පුවත්පත් ආයතනයේ පුවත්පත් කලාවේදියෙකු ලෙස එතුමාගේ රැකියා දිවිය ආරම්භ කර තිබෙනවා. පසු කාලීනව එතුමා සිය රැකියාවෙන් සමුගෙන ඇති අතර එතුමාගේ සම්පුර්ණ කාලයම පොත් ලිවිම සදහා වැය කර තිබෙනවා.

එතුමා විසින් සිය පළමුවන කෘතිය ලෙස පල කර ඇත්තේ “දුප්පතුන් නැති ලෝකය” නම් වූ කෙටි කතා සංග්‍රහයයි. ඒ 1945 වසරේදී වන අතර 1946 දී පල වූ “පලිගැනීම” නම් වූ කෙටි කතා සංග්‍රහයෙන් එතුමා විසින් ප්‍රථම වරට ශ්‍රී ලාංකීය සාහිත්‍යයට නිදහස් කාව්‍ය හදුන්වා දී තිබෙනවා. මෙතුමා විසින් ලියා පල කරන ලද නව කතා තුනකට රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමි වීමද විශේෂ සිදු වීමක් වෙනවා. එතුමා විසින් සාහිත්‍ය කෘති පනහක් පමණ ලියා ඇති අතර ඒ අතරින් කෘති 20ක් පමණ​ නිර්මාණය කර ඇත්තේ දෘශ්‍යාබාධය ඇති වීමෙන් පසුව බවද සඳහන් වෙනවා. එසේම එතුමාගේ අවසන් කෘතිය ලෙස සලකන තම ජිවිත කතාව අලලා ලියන ලද “විනිවිඳිමි අදුර” නැමැති කෘතිය රචනා කර ඇත්තේද එතුමන් දෘශ්‍යාබාධිත තත්වයේ සිටින විටදී වෙනවා. මෙතුමා විසින් බොහෝ විදේශීය සාහිත්‍ය කෘති පරිහරණය කරනු ලැබුවද එතුමා තමන්ටම අවේනික වූ සාහිත්‍ය ආකෘතියක් භාවිතා කර තිබෙනවා. එතුමාගේ නිර්මාණ වලින් බොහෝ විට ප්‍රතිනිර්මාණය කර ඇත්තේ එතුමා විසින් සිය ජීවිතයේදී ලද දුක් කම්කටොලු බව දිස් වනවා. මෙතුමා විසින් භාරතයේ බුද්ධ පුර්ව සමාජය පදනම් කරගනිමින් “මේධා”(1964), “චාරුමුඛ”(1965), හා “වරදත්ත” (1967) නැමති කෘති තුනක්ද රචනා කර තිබෙනවා. එසේම පරිවර්තන කාර්යයේද නිරත වී ඇති සේනානායකයන් ෆෙඩ්‍රික් මරියට්ගේ මාස්ටර්මන් රෙඩි නවකතාව​ රණරාළ නමින් පරිවර්තනය කල අතර එය විශේෂයෙන් එකළ​ ළමා පරපුර අතර වඩාත් ජනප්‍රිය වී තිබෙනවා.

godage.com

එතුමානන්ගේ නිසදැස් කාව්‍ය පිළිබඳව​ අවධානය යොමු කරන විට ඒ වන විට විරිත් කිහිපයකට පමණක් සිමා වී තිබුණු සිහල ලාංකීය කවියට නව දාර්ශනික සංකල්පයක් එක් කිරීමට මෙතුමා සමත් වූ බව කිව හැකියි. තරුණ පරපුර වැඩි වශයෙන් මෙම නිසදැස් කාව්‍ය ආර වටා එක් වී තිබෙනු දකින්නට පිළිවන්.

ජී.බී. සේනානායකයන් මුලින්ම පුවත්පත් සදහා කෙටි කතා ලියා ඇති අතර එතුමාගේ සාහිත්‍ය දිවියේ ආරම්භය සනිටුහන් වන්නේද කෙටි කතා පොත් සමගයි. එතුමාගේ කෙටි කතා සංග්‍රහයක​ ඇතුලත් වූ නිධානය නම් කෙටි කතාව පසු කාලයේදී ලාංකීය මහා සිනමාකරු ලෙස්ටර් ජේමිස් පිරිස් මහතා විසින් එම නමින්ම එය සිනමාවටද නැගුවා. එය ලාංකීය සිනමා ඉතිහාසයේ ඉහලින් අගය කරනු ලබන සිනමා කෘතියක් ලෙස හදුනා ගන්නට පුළුවන් වෙනවා. එතුමාගේ කෙටි කතා කෘති අතර දුප්පතුන් නැති ලෝකය, පලිගැනීම, ඈත බැලුම හා ගමන වැනි කෘති හදුනා ගන්නට හැකි වෙනවා.

ft.lk (ජි.බී.සේනානායකයන්ගේ නිර්මාණයක් අසුරින් නිර්මාණය කල නිධානය සිනමා පටයේ පින්තුරයක්)

එතුමන් විසින් රචනා කරන ලද නවකතා අතර වරදත්ත, මේධා, අවරගිර, චාරුමුඛ, රල බිඳුම, උරගල ආදී නවකතාද, එතුමාණන්ගේ චරිතාපදාන කෘති අතර සාහිත්‍ය දර්ශන සිතුවිලි, විනිවිදිමි අදුර හා මාගේ සිතුම් පැතුම් ආදියද, සුරංගනා කතා අතර මල් කුමාරි, හාල් මැස්සා, රුපය, හීනය, ආදී නිර්මාණද, ශාස්ත්‍රීය රචනා අතර නවකතා කලාව, බටහිර ශ්‍රේෂ්ඨ නවකතා, ආදී කෘතිද, රුබෙයියාට් නැමැති පරිවර්තන පද්‍යය ද විඳිමි, සෙවනැලි වැනි පද්‍යය නිර්මාණද හදුනා ගැනීමට හැකි වෙනවා.

එතුමා විසින් කරනු ලැබූ ශ්‍රේෂ්ඨ සේවයට උපහාර වශයෙන් 1985 වසරේදී ජි.බී.සේනානායකයන්ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍යශූරි සම්මාන උපාධිය ද පිරිනමා තිබෙනවා. එතුමාගේ දිවියේ අවසාන භාගයේදී එතුමාණන්ට අවාසනාවන්ත ලෙස දෘශ්‍ය අබාධිත තත්වයකට ලක් වීමට සිදු වුණා. නමුත් කිසිදු බලවේගයකට එතුමාගේ සාහිත්‍ය කාර්යයට අභියෝග කරන්නට නොහැකි බව ඔප්පු කරමින් එතුමා විසින් සිය නැදෑ සහෝදරියකගේ සහයෝගයෙන් තම සාහිත්‍යකරණය නොනවත්වා පවත්වාගෙන ගොස් තිබෙනවා. එහිදී එතුමා විසින් පවසන අදහස් ඇය විසින් කඩදාසි වල ලියන ලදී. 1985 මාර්තු 16 වන දින අලුයම එතුමා අභාවප්‍රාප්ත වීමට පෙර දින එතුමා විසින් රචනා කල “රාජාලියා” නැමැති කවි පෙළ එතුමාගේ අවසාන නිර්මාණය ලෙස සැලකෙනවා.

මුලාශ්‍ර:

Related Articles

Exit mobile version