වර්තමානය වන විට ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය හෙවත් රූපවාහිනිය වැනි මාධ්‍යයන්ට ලෝකයා හුරු වී සිටියත් ඊට පෙර කාලයේ ජීවත් වූ මිනිසුන්ට සිවු දෙස තොරතුරු, දැනුම පමණක් නොවේ විනොදාශ්වාදයත් ගෙන දුන් ප්‍රධානතම මාධ්‍යයක් ලෙස ගුවන්විදුලිය ඉදිරියෙන්ම සිටියා. වර්තමානය වන විටත් ගුවන්විදුලිය කෙරෙහි වූ ජනප්‍රියතාවය සැළකිය යුතු අඩුවීමකට භාජනය වී නැහැ. ගුවන්විදුලියේ නිර්මාතෘ පිළිබඳ යම් යම් විවාද පැවතියද, වැඩි දෙනෙකු අදටත් එහි ගෞරවය ලබා දෙන්නේ ඉතාලියානු සම්භවයක් සහිත භෞතික විද්‍යාඥයෙකු වූ ගුග්ලිඑල්මෝ මාකෝනි හටයි. ගුවන්විදුලිය ඇතුළු තවත් නව නිර්මාණ කිහිපයක්ම නිපදවූ ඔහුගේ නාමය භෞතික විද්‍යා ඉතිහාසයේ නොමැකෙන සළකුණක් තබා තිබෙනවා.
ඉතාලියේ ගෙවුණු කුඩා කාලය හා එංගලන්තයට පැමිණීම
ගුග්ලිඑල්මෝ මාකෝනි උප්පත්තිය ලැබුවේ 1874 වසරේ අප්‍රේල් මස 25 වැනිදා ඉතාලියේ බොලොඤ්ඤා හි ධනවත් පවුලකට අයත්වයි. ඔහුගේ පියා ඉඩම් හිමි ධනවත් පුද්ගලයෙක් වූ අතර මව අයර්ලන්තයේ ඉස්කාගාර ව්‍යාපාර වලට පුරෝගාමී පවුලක් වූ ජෙම්සන් පවුලේ සාමාජිකාවක්. කුඩා කාලයේ සිටම භෞතික විද්‍යාවටත්, විද්‍යුතය ආශ්‍රිත කටයුතු වලටත් අති මහත් ඇල්මක් දැක්වූ ඔහුට මූලික අධ්‍යාපනය ලැබුණේ නිවසට ගෙන්වාගත් ගුරුවරුන්ගේ මාර්ගයෙන්.
සාර්ථකව සිය මූලික අධ්‍යාපනය අවසන් කරන මාකෝනි කුඩා කාලයේ සිටම විද්‍යුතය කෙරෙහි පෙම් බැඳි නිසාම ලිවොර්නෝ තාක්ෂණික ආයතනයට බැඳී ඒ සඳහා අත්පොත් තබන අතර ඉතා සාර්ථකව එහි අධ්‍යාපනය හදාරා බොලොඤ්ඤා සරසවියට ඇතුල් වෙනවා. එහිදී දක්ෂ සිසුවෙකු ලෙස ඔහු කැපී පෙනෙනවා.
වයස අවුරුදු 20 දී හෙවත් 1894 වසරේදී ඔහුට හෙන්රික් රුඩොල්ෆ් හර්ට්ස් නම් ජර්මානු විද්‍යාඥයා විසින් විද්‍යුත් චුම්භක ප්‍රතික්‍රියා මඟින් පැන නැඟෙන ‘අදෘශ්‍යමාන තරංග’ විශේෂයක් සොයා ගත් පුවත අසන්නට ලැබුණා. මෙයින් ඉතා සතුටට පත් වූ ඔහු එම ක්‍රමවේද අනුව යමින් සිය පවුලට අයත් විශාල වතු යාය තුල තමන්ගේම විද්‍යුත් චුම්භක තරංග උත්පාදන උපකරණයක් නිෂ්පාදනය කර අත්හදා බැලීමට උත්සාහ කළා. ඔහුගේ උත්සාහයේ මූලික අදියර ඉතා සාර්ථක වන අතර කෙටි කාලයකින්ම සැතපුමක් තරම් දුරට විද්‍යුත් චුම්භක තරංග විහිදා ලිය හැකි ලෙසට සිය උපකරණය සකසා ගැනීමට ඔහුට හැකි වෙනවා.
මාකෝනිගේ ව්‍යාපෘතිය තව දුරටත් වැඩි දියුණු කිරීමටඉතා විශාල මුදලක් අවශ්‍ය වූ අතර එම ප්‍රාග්ධන සැපයුම තමාට හෝ තම පවුලට තනිවම දරාගත නොහැකි මට්ටමේ එකක් නිසා මාකෝනි ඉතාලි රජයෙන් ඒ සඳහා ප්‍රතිපාදන ඉල්ලා සිටියා. කෙසේ නමුත් මේ සඳහා අවශ්‍ය මූල්‍ය සහයෝගය ලබා දීමට ඉතාලි රජය මැලි වූ අතර ඉන් අධෛර්යයට පත් නොවූ ඔහු එංගලන්තයට පැමිණෙන්නේ සිය සිහිනය යතාර්ථයක් කර ගැනීමටයි.
එංගලන්තයේදී කළ පර්යේෂණ
ක්‍රි.ව 1896 දී විසි දෙහැවිරිදි මාකෝනි හා ඔහුගේ මව එංගලන්තය බලා පිටත් වන අතර ඔහුගේ සතුටට හේතු වෙමින් ඉක්මණින්ම ව්‍යපෘතියට මූල්‍යාධාර සැපයීම සඳහා වූ ප්‍රභව සොය ගැනීමට හැකි වෙනවා. බ්‍රිතාන්‍ය තැපැල් සේවයත් මාකෝනිගේ ‘දිගු දුර විද්‍යුත් චුම්භක සම්ප්‍රේෂණ යන්ත්‍රය’ නිපදවීමෙහිලා අවශ්‍ය වූ මූල්‍යාධාර වලින් කොටසක් සැපයීමට එකඟ වුණා. කෙටි කලෙකින්ම ඔහු සැතපුම් 12ක් දුරට විද්‍යුත් චුම්භක තරංග යැවිය හැකි ලෙස යන්ත්‍රයක් නිපදවූ අතර පේටන්ට් බලපත්‍රයටද අයැදුම් කලා.
19 වන සියවසේ අග භාගය වන විට දුරකථනය සොයාගෙන තිබුණද ඒවායේ පණිවුඩ සම්ප්‍රේෂණය රඳා පැවතියේ රැහැන් මතයි. රැහැන් වලින් සම්බන්ධ කළ නොහැකි ස්ථාන අතර පණිවුඩ සම්ප්‍රේෂ්ණය සඳහා ‘මෝර්ස් සංඥා’ ක්‍රමය යොදාගත් අතර මදක් පැටළිලි සහගත වූ එය වෙනුවට පැහැදිලි හඬ සංඥා යැවිය හැකි ක්‍රමයක් මාකෝනිගේ පර්යේෂණ වලින් ප්‍රතිඵල විය හැකි බව වටහාගත් බ්‍රිතාන්‍ය රජ පවුලද ඔහුට සහයෝගය දැක්වූවා. ඊට කෘත ගුණ දක්වමින් බ්‍රිතාන්‍ය රජ මාලිගයේ සිට වික්ටෝරියා රැජිනට සිය පුතු එඩ්වඩ් රැඳී සිටි රාජකීය යාත්‍රාවට පණිවුඩ යැවිය හැකි ලෙස යන්ත්‍රයක් මාකෝනි විසින් සකසා දෙනවා.
1899 දී මාකෝනිගේ ‘තරංග’ වලට ඉංග්‍රීසි ඕඩය තරණය කළ හැකි වෙනවා. ඒ වසරේදීම ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයට සංචාරය කරන අතර නිව් ජර්සි හි පැවති රුවල් බෝට්ටු තරඟයක් ආවරණය කරමින් රැහැන් රහිත සජීවී විස්තර ප්‍රචාරයක් විසිරුවා හැරීමට ඔහු සමත් වෙනවා.
අත්ලාන්තික් සාගරය හරහා ගිය මාකෝනිගේ තරංග
දිනෙන් දින ප්‍රගතිය ලද මාකෝනිගේ තරංග සම්ප්‍රේෂණ පර්යේෂණ පිළිබඳ ලෝකයේ අවධානය යොමු වීමට වැඩි කලක් ගත වුණේ නැහැ. ඉංග්‍රීසි ඕඩය ජයගත් මාකෝනිගේ මීලඟ බලාපොරොත්තුව වූයේ අත්ලාන්තික් සාගරය තරණය කරමින් ගුවන්විදුලි තරංගයක් යැවීම වුවත් බොහෝ විද්‍යාඥයින් ප්‍රකාශ කළේ ඒවා ‘සරළ රේඛාවක’ ගමන් කරන නිසා කිසි ලෙසකින් එය කිරීමට නොහැකි වනු ඇති බවයි. ඒ කෙසේ නමුත් ඒවා යම් ලෙසකින් හෝ පෘථිවියේ ගෝලාකාර හැඩයට අනුගත වී ගමන් කරනු ඇතයි අනුමාන කළ මාකෝනි (පසු කළෙක ගුවන් විදුළි තරංග අයන ගෝලයේ වැදී පරාවර්ථනය වන බව සොයා ගන්න ලදි ) සිය උත්සාහය අත් නොහරින්නට තීරණය කරනවා. අසාර්ථක උත්සාහයන් කිහිපයකින් පසු එංගලන්තයේ සිට කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්තයට දුර්වල ගුවන්විදුලි සංඥාවක් යැවීමට ඔහුට හැකි වෙනවා. එකිනෙකට සැතපුම් 2100 ක් ඈතින්, ආසන්න වශයෙන් එකම උත්තර අක්ෂාංශයක පිහිටි ලක්ෂ දෙකක් අතර සම්ප්‍රේෂණය කරන ලද මේ සංඥාව එකළ ස්ථාපිතව තිබූ විද්‍යාත්මක මත රැසක් උඩු යටිකුරු කළ අතර 1901 වසරේ වූ මේ සිදුවීම අනාගත අන්තර් මහාද්වීපික ගුවන්විදුලි සේවාවන්ගේ පළමු වෙඩි මුරය වුණා.
නොබෙල් ත්‍යාගය ලැබීම හා දිවියේ සැඳෑ සමය
1909 වසරේදී ගුග්ලිඑල්මෝ මාකෝනිට ඔහුගේ සොයාගැනීම් හා නිෂ්පාදන වෙනුවෙන් නොබෙල් ත්‍යාගය ලැබුණු අතර එය ඉතාම මතබේදාත්මක එකක් වූයේ මේ සමානම සොයා ගැනීම් කිහිපයක්ම ඔහුගේ සමකාලීනයන් වන නිකොලා ටෙස්ලා, ජග්දීශ් චන්ද්‍රබෝස් හා ඇලෙක්සැන්ඩර් පොපොව් විසින් ඒ වන විට සිදුකර තිබීමයි. මාකෝනිගේ සොයාගැනීම් ඔස්සේ නැව් හා බෝට්ටු වල සන්නිවේදනය දියුණු වූ අතර ටයිටැනික් ඛේදවාචකයේදී ජීවිත බේරා ගැනීමට මාකෝනිගේ සොයාගැනීම හා නිෂ්පාදන මහෝපකාරී වුණා.
නොබෙල් ත්‍යාගය ලැබීමෙන් අනතුරුවත් මාකෝනි දිගින් දිගටම නව නිපැයුම් නිපැයීම හා විද්‍යුතය පිළිබඳ පර්යේෂණ සිදු කළා. මීට අමතරව කෙටි ගුවන්විදුලි තරංග සම්ප්‍රේෂ්ණය අනුබද්ධ ගුවන්විදුලි විකාශන අත්හදා බැලීමත් ඔහු විසින් සිදු කලා. සිය දිවියේ 63 වන සැතපුම් කණුව පසු කර සිටියදී ඇති වූ හෘදයාබාදයකින් 1937 වසරේ ජූලි මස 20 වන දින මේ අසහාය විද්‍යාඥයා මෙලොවින් සමුගත්තා.
කවරයේ පින්තූරය – guglielmomarconi.org