Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අද්භූත සෞන්දර්ය නවකථාවේ සලකුණ: රයිඩර් හැගාර්ඩ්

එවකට අඳුරු අප්‍රිකාවේ කිසියම් ඉසව්වක්, කිසියම් නිශ්චිත අරමුණක් කරා යමින් උන් පිරිසක් සිටියා. කපිතාන් ජෝන් ගුඩ්, සර් හෙන්රි කර්ටිස්, සහ ඔවුන් අතර සුවිශේෂීම චරිතය වූ ඇලන් ක්වාර්ටර්මන්. ඒ ක්‍රිස්තු වර්ෂ 1885 අවධියේ දකුණු අප්‍රිකාව යි. ඔවුන්ගේ දකුණු අප්‍රිකානු ජාතික, සූලු ගෝත්‍රික (හැගාඩ්ගේ පොත්වල කියැවෙන ‘සූලු ගෝත්‍රිකයින්’ කවුද?) අතවැසියා වූයේ අම්ස්ලෝපොගාස් ය. හේ අරුම පුදුම මිනිසෙකි. ඔවුන්ගේ චාරිකාව මිනිස් වාසයෙන් සැඟවගොස් තිබෙන එක්තරා අපූර්ව රාජධානියක් සොයා යාම ය.

ඇඟ කිලිපොලා යන ත්‍රාසජනක සටන් මෙන්ම නිරන්තර කුතුහලය පිරුනු චාරිකා සටහන්වලින්, නිලෙප්තා සහ සෝරෙස් රාජිණියන් සමග සර් හෙන්රි කර්ටීස්ගේ වූ අපූර්ව සබැඳියාවන් මෙන්ම කෝටි ගණනක් වටිනා වස්තු සම්භාරය ආදී අද්භූත සෞන්දර්යාත්මක තොරතුරින් සැදි කතා පුවත කියවන්නට පටන්ගත් බාල, මහලු, උගත්, නූගත් සෑම පාඨකයෙකුම කෑමබීම ගැනීම පවා පසෙකලා එක හුස්මට කියවා අවසන් කළෝ ය. ඒ නවකතාව යි Allan Quatermain – ඇලන් ක්වාටර්මන්.

ඉන් ඉක්බිති 1885 දී King Solomon’s Mines නමින් චාරිකා ග්‍රන්ථයක් පාඨකයා අතට පත් වෙමින් කපිතාන් ජෝන‍් ගුඩ්, සර් හෙන්රි කර්ටිස්, සහ ඇලන් ක්වාර්ටර්මන් යන චරිත ත්‍රිත්වය නැවතත් කරළියට පිවිසෙයි. එවර සර් හෙන්රි කර්ටිස්ගේ සහෝදරයා වන ජේර්ජ් නෙවිල් අප්‍රිකා මහද්වීපයේ කිසිවෙකුත් නොදන්නා පෙදෙසක අතුරුදන්ව සිටි හෙයින්, සර් හෙන්රි කර්ටිස්, කපිතාන් ජෝන‍් ගුඩ් සහ ඇලන් ක්වාර්ටර්මන් සමග ඔහු සොයා යාමේ ගවේශනයක් අරඹයි. සොලමන් රජුගේ සුප්‍රකට පතල්වල සිතියමක් ද ඇලන් ක්වාටමන් සතුව තිබේ. ඔවුන්ගේ ගමනට උම්බෝපා නමින් හැඳින්වූ ස්වදේශිකයෙකු ද එක්වෙයි. එහෙත් පසුව දැනගන්නට ලැබුණු ආකාරයට ඔහු සාමාන්‍ය ගෝත්‍රිකයෙකු නොවූ අතර, අභිරහස් දේශයක රජ කෙනෙකුගේ පුත් කුමරෙකි. කුමන්ත්‍රණයක් නිසා කිරුළ අහිමිව ඇති ඔහු මරුකතර හා දුරකතර ගෙවා අප්‍රිකානු සමාජයට විත්, උම්බෝපා නමින් ජීවත් වෙමින් සිටිය දී ක්වාර්ටමන් ඇතුලු පිරිසට එකතු විය. මීට අමතරව දරුණු ගෝත්‍රික රජෙක්, වසර සිය ගණනක් වයස බව කියන මායාකාරියක්, ඉතා රූමත්, විශ්වාසනීය, සහ ආදරණිය ස්වදේශික ලලනාවක් මෙම කතා පොතේ පිටු අතර හමුවන චරිතයන්ට ඇතුළත් ය. 

මේ කතාවන් දෙකම ලියන ලද්දේ හෙන්රි රයිඩර් හැගාඩ් නම් කතුවරයා යි. 

ඇලන් ක්වාටමේන්ගේ කතා/pinterest.com/pin/797207571533333429

කවුද මේ රයිඩර් හැගාර්ඩ්?

එච්. රයිඩර් හැගාඩ්, නැතහොත් හෙන්රි රයිඩර් හැගාඩ්, වර්ෂ 1856-1925 අතර ජීවත්ව සිටි ඉංග්‍රීසි නවකථාකරුවෙකු මෙන්ම වික්ටෝරියානු පන්නයේ ලේඛකයෙකි. ඔහු අතින් වැඩි වශයෙන් ලියවුනේ අප්‍රිකානු මහද්වීපයේ ඇදහිලි, විශ්වාසයන්, සහ ජනප්‍රබන්ධවලින් උකහාගත් අනුභූතින් මත පදනම් වූ ත්‍රාසජනක නවකතා ය.

ඉහත දැක්වූ ඇලන් ක්වාර්ටමන් සහ King Solomon’s Mines හෙවත් “රත්නාගාරය”/ “සොලමන් රජුගේ දියමන්ති ආකර” (සිංහල පරිවර්ථන පොත්) ඊට උදාහරණ වේ.

හැගාඩ්, 1856 වසරේ දී බැරිස්ටර්වරයෙකු වූ සර් විලියම් මේබොම් රයිඩර් හැගාර්ඩ්ට සහ නැගෙනහිර ඉන්දියා වෙළඳ සමාගමේ වෙළඳ නියෝජිතයකුගේ දියණියක වූ එලා ඩව්ටන්ට දාව එංගලන්තයේ නෝෆෝක්හි පිහිටි බටහිර බ්‍රැඩන්හැම්වල වුඩ්ෆාම් ප්‍රදේශයේ උපත ලැබීය. කුඩාකල “ඉප්ස්විච් ව්‍යාකරණ විද්‍යාලය” නම් පාසැලෙන් ඉගෙනුම ලැබූ ඔහු පසුව හමුදාවට බැඳීමට අවශ්‍ය වූ විභාගයෙන් අසමත්ව, බ්‍රිතාන්‍ය විදේශ සේවය සඳහා අවශ්‍ය විභාගයට සූදානම් වීමට ලන්ඩනයට පිටත්කර හරින ලදී. 

රයිඩර් හැගාර්ඩ් වයස අවුරුදු 19 දී ඔහුගේ පියා විසින් එවකට දකුණු අප්‍රිකාවේ නතාලයේ ආණ්ඩුකාර ලුතිනන් ශ්‍රීමත් හෙන්රි බුල්වර්ට ස්වකීය පුත්‍රයා හඳුන්වාදුන්නේ ඔහුගේ ලේකම් සේවයට බඳවාගැනීමට ය. ඒ අනුව හැගාර්ඩ් ආණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි බුල්වර් යටතේ වැටුප් නොලබා පුහුණුවන ලේකම් රාජකාරියක් බාරගැනීම සඳහා පිටත්විය. සිය පියාගේ ඉල්ලීම පරිදි සිය වෘත්තීය ජීවිතය නටාල් ජනපදයේ ආණ්ඩුකාරවරයා යටතේ ආරම්භ කළේ ය.

රයිඩර් හැගාඩ්/Wikimedia

ඊළඟ වසර හය පුරා අප්‍රිකාවේ රැඳී සිටිමින්, රාජකාරියට අමතරව ඔහු ලබාගත් අත්දැකීම් පසුකාලීනව ඔහුගේම ලේඛන දිවියට මහත් ශක්තියක් ගෙනදුන්නේ ය. එවකට අඳුරු අප්‍රිකාව පුරා ප්‍රචලිත මිථ්‍ය විශ්වාස, මිථ්‍යා ඇදහිලි, මායාකර්ම, මෙන්ම ජනශ්‍රැතිවලින් ඔහු සන්නද්ධව සිටියේ ය. ඒවා ඔහුගේ සියලු ප්‍රබන්ධවලට මහත් ආලෝකයක් මෙන්ම විවිධ අනුභූතීන් ද සැපයීය.

පළපුරුද්දෙන් කෘෂිකාර්මිකයකු වූ හැගාර්ඩ් පසුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පුරාවට ආණ්ඩුවේ කෘෂිකර්මාන්තය පිළිබඳ කොමිෂන් සභා කීපයකම සේවය කළ අතර, වර්ෂ 1912 දී, ඔහු එතෙක් කලක් කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය වෙනුවෙන් කළ මෙහෙය ඇගයීම් වස් බ්‍රිතාන්‍ය රජය විසින් ඔහුට නයිට්වරයක් පිරිනැමීය. වර්ෂ 1919 දී Knight Commander of the Order of the British Empire ගෞරව සම්මානයෙන් පිදුම් ලබන්නට ඔහු සමත්විය

අප්‍රිකාවේ ජීවිතය

හැගාඩ් අප්‍රිකාවේ ගත කළ කාලය තුළ ඔහු බෝයර් ගෝත්‍රිකයන් කෙරෙහි දැඩි වෛරයක් ඇතිකරගෙන සිටි නමුත්, සුලූ ගෝත්‍රිකයන් කෙරෙහි යම් ප්‍රසාදයක් ඇතිව සිටියේ ය. නමුත් සෙසු බොහෝ යුරෝපීය ප්‍රජාව මෙන්, ඔහු ද පොදුවේ අප්‍රිකානු ජන ප්‍රජාව කෙරෙහි අවඥාවෙන් කටයුතු කළේ, එවකට පැවති පොදු මතය වූ “අප්‍රිකානුවන් සුදු ජාතිකයින්ට වඩා පහත් ය, සුදු හැම ඇති යුරෝපීයයන් ශිෂ්ඨසම්පන්නයැ යි” ද යන සම්ප්‍රදායික ජාතිවාදී විශ්වාසය පදනම් කරගෙන ය.

ඔහුගේ ලේඛන කලාවේ පළමු ලිපිය 1877 දී “Macmillan’s Magazine” (මැක්මිලන්ගේ සඟරාව) නම් ප්‍රකාශනයේ පලකරවූ අතර, ඔහු එයින් සිය ලිවීම ආරම්භ කළේ ය. සුලූ ගෝත්‍රික සටන්, චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව ඔහු මනාකොට අධ්‍යයනය කර සිටියේ ය.

ඔහු ට්‍රාන්ස්වාල්වල මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්ධුරයට 1878 දී පත්වීම ලබාගත් නමුත්, වැඩිකල් නොගොස්, 1879 මැයි මාසයේ දී එම රැකියාවෙන් ඉවත් වී, නතාලයේ එවකට වාසය කළ වෙනත් ඉංග්‍රීසි ජාතිකයකු සමග ගොවිපලක් ආරම්භ කළේ ය. නතාලයේ නිව්කාසල්වල පිහිටි එය පැස්බර ගොවිපලකි.

වර්ෂ 1880 දී නැවත එංගලන්තයට පැමිණි හැගාඩ් විවාහ දිවියට ඇතුළත් වූයේ ය. ඔහු විවාපත් වූයේ නෝෆෝක්හි විසූ, තම සොයුරියගේ මිතුරියක වන මරියානා ලුවිසා මාගිට්සන් සමග ය. විවාහයෙන් පසු ඇයත් සමග ආපිට අප්‍රිකාව බලා ගිය ඔහු දරුවන් සිවුදෙනෙකුගේ පියා බවට පත්විය. එයින් පිරිමි දරුවා ඔහුට වයස අවුරුදු දහයක්ව සිටියදී සරම්ප රෝගයෙන් මියගියේ ය. ඇන්ජෙලා, ඩොරති, සහ ලිලියාස් යන දැරියන් අතරින් ලිලියාස් පසුකලෙක කතුවරියක් බවට පත්ව, ස්වකීය පියාණන් වූ රයිඩර් හැගාර්ඩ් පිළිබඳව චරිතාපදානයක් පවා ලිවුවා ය. 

ඔහුගේ පළමු අප්‍රිකානු ත්‍රාසජනක නවකතාව ලෙස හැඳින්වෙන King Solomon’s Mines ලියනු ලැබුණේ 1885 දී ය. 

 

King Soloman’s Mines/pinterest.com/pin/508132770462249544/

 

හැගාර්ඩ්ගේ කෘතීන්

ඇලන් ක්වාටමේන් පොත් එකතුවට (Allan Quatermain series) අමතරව හැගාඩ් විසින් නවකතා 56ක්, සහ අනෙකුත් පොත් 10ක් ද, ලිපි, ලියුම්, සහ වාර්තා බොහෝ ගණනක් ද ලියවී ඇත. ඔහු ලියා ඇති පොත් කීපයක නම් පහත පරිදි වේ. එයින් සමහරක් සිංහලට පරිවර්තනය වී ඇත. 

  1. King Solomon’s Mines (1885) (රත්නාගාරය/ සොලමන් රජුගේ දියමන්ති ආකර)
  2. Allan Quatermain (1887) (ඇලන් ක්වාටමේන්)
  3. Allan’s Wife (1887) (ඇලන්ගේ බිරිඳ)
  4. Maiwa’s Revenge (1888)
  5. Marie (1912)
  6. Child of Storm (1913) (කුණාටුවෙන් උපන් දැරිය)
  7. The Holy Flower (1915) (ඇලන් සහ පූජනීය පුෂ්පය)
  8. Finished (1917)
  9. The Ivory Child (1916) (ඇත්දළ දරුවා)
  10. The Ancient Allan (1920) (අතීතයට ගිය ඇලන්)
  11. She and Allan (1920) (ඈ සහ ඇලන්)
  12. Heu-heu (1924)
  13. The Treasure of the Lake (1926)
  14. Allan and the Ice-gods (1927) (ඇලන් සහ අයිස් දෙවිවර්)
  15. Dawn (1884)
  16. The Witch’s Head (1884) (මන්ත්‍රකාරිය ගේ සිරස)
  17. Jess (1887)
  18. A Tale of Three Lions (1887)
  19. Colonel Quaritch, V.C (1888)
  20. Mr. Meeson’s Will (1888)
  21. Cleopatra (1889) (ක්ලියෝපැට්‍රා)
  22. Beatrice (1890)
  23. Nada the Lily (1892)
  24. Montezuma’s Daughter (1893)
  25. 25.The People of the Mist (1894)
  26. Church and State (1895)
  27. Heart of the World (1895)
  28. 28.Joan Haste (1895)
  29. The Wizard (1896)
  30. Doctor Therne (1898)

රයිඩර් හැගාර්ඩ්ගේ කෘතිවලින් එවකට අඳුරු කලාපයක්ව පැවති අප්‍රිකානු මහද්වීපයේ ඇතුළට පාඨකයා නිරන්තරයෙන්ම රැගෙන යන්නේ සංත්‍රාසය ද කුතුහලය ද නොනිමි දැනුම් පිපාසය ද සමග යි. හැගාර්ඩ්ගේ රසවත් කෘතීන් බොහෝමයක් විවිධ පරිවර්ථක ලේඛකයින් විසින් සිංහල බසට හරවා ඇති අතර සිංහලයේ මහා ලේඛකයෙකු වූ ඩබ්ලියු.ඒ. සිල්වා සූරීන් පවා හැගාර්ඩ්ගේ කෘතිවලින් (She වැනි පොත්) ආභාෂය ලැබූ බවත්, ඒ අනුව තමාගේ සමහර රචනා (ලක්ෂ්මී හෙවත් නොනැසෙන රැජිණි වැනි) කළ බවත් නවකථා විචාරකයින්ගේ මතයක්ව පැවතුනි. ඉතින් මේ හේතුත්, තවත් බොහෝ කාරනාත් නිසා විශ්ව සාහිත්‍යය පෝෂණය කරන්නට එච්.රයිඩර් හැගාඩ්ගෙන් ලැබුණු සාහිත්‍යමය දායකත්වය ඉතා ඉහළ බව අපට කිව හැකිය. 

මූලාශ්‍රයයන්:

gradesaver.com/

online-literature.com

thefamouspeople.com

fantasticfiction.com

කවරය: Turner Classic Movies - Tumblr - "She" චිත්‍රපටයේ රූපරාමුවකි

Related Articles