Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගිනි අවි අත නොදැරූ ‘හැක්සෝ රිජ්’ හි විරුවා – ඩෙස්මන්ඩ් ඩොස්

දෙවන ලෝක යුද සමයේ දැඩි ලෙස යුද ගිනි ඇවිළ ගිය  දේශයක් ලෙස ජපානය හඳුනාගත හැකි යි. එහි වූ මිත්‍ර පාක්ෂික හමුදාවලට නිතර ම දරුණු යුද්ධවලට මැදි වන්නට සිදු වූ අතර, ඔවුන් බොහෝ දෙනෙක් ඒවා අතරතුර දී මිය ගියා. ‘ඔකිනාවා යුද්ධය’  මේ අතරින් ප්‍රමුඛත ම සටනක්.

ඔකිනාවා යුද්ධය පිළිබඳ ව කතා කිරීමේ දී, අමෙරිකානු හමුදාවේ වෛද්‍ය අංශයට අනුයුක්ත ව සේවය කළ ‘ඩෙස්මන්ඩ් ඩොස්’ ගේ නාමය අදටත් අමෙරිකානුවන් සිහිපත් කරන්නේ ඉතාමත් කෘතඥ පූර්වකව යි. 1945 වසරේ දී ඇති වූ මේ යුද්ධයේ දී, ඔහු තනිව ම 75 දෙනකුගේ දිවි බේරා ගත්තේ, තුවක්කුවක් ආධාරයෙන් එකදු උණ්ඩයක් හෝ පිට නොකරමිනු යි. සිය යුද රාජකාරී සමයේ දී ඔහු කිසිදා ගිනි අවියක් රැගෙන යුද බිමට නොගියේ තමන්ගේ රාජකාරිය වන්නේ යමකුගේ දිවි රැකීම විනා, දිවි හානි කිරීම නොවන බැව් පවසමිනු යි. මේ නිසා වීර කමින් ඔබට ගිය ධීර ගුණයක් ඇති අයකු ලෙස බොහෝ දෙනෙක් ඩෙස්මන්ඩ් ඩොස්ස් හඳුන්වනවා. 

ඩෙස්මන්ඩ් ඩොස් – IMDB.com

ඩෙස්මන්ඩ් ඩොස් පිළිබඳ ව ලෝකයේ බොහෝ දෙනා හඳුනා ගත්තේ 2016 දී ඇකඩමි සම්මාන දිනූ ‘ද හැක්සෝ රිජ්’ නම් චිත්‍රපටය මඟිනු යි. ඇත්තෙන්ම විචාරකයන් පවසන ආකාරයට, එම සිනමා කෘතියෙන් පවා මෙම ශ්‍රේෂ්ඨ පුද්ගලයාට නිසි සාධාරණය ඉටු වී නැහැ. එදා ඔකිනාවා හී දී ඔහු සිදු කළ නිර්භීත මෙහෙය ඇත්තෙන් ම ඊටත් එහා ගිය විශ්වකර්ම එකක් බැව් ඔවුන්ගේ මතය යි.

ඩෙස්මන්ඩ් ඩොස් ගේ දිවියේ මුල් කාලය

ඩෙස්මන්ඩ් ඩොස් උපත ලැබුවේ 1919 වසරේ පෙබරවාරි මස 7 වනදා යි. සිය දිවියේ පසුකාලීනව ප්‍රකට කළ දයානුකම්පා සහගත අදහස් කුඩා කල සිට ම ඔහුගෙන් විද්‍යමාන වුණා.

නව යොවුන් වියෙහි සිටිය දී, තමන් නොහඳුනන අයකු, අනතුරකට ලක් වී, රුධිරය අවශ්‍ය ව සිටින බැව් අසා, ඔහුට රුධිරය ලබා දීම පිණිස, විටෙක ඔහු සැතපුම් 6 ක් පයින් ඇවිද ගොස් තිබුණා. ඔහුට මෙම පුවත ඇසී තිබුණේ, ගුවන්විදුලියෙනු යි. එක් වරකින් නොනැවතුණු ඔහු, මෙම පුද්ගලයාට රුධිරය ලබා දීම සඳහා කිහිප විටක් ම ගොස් තිබුණා.

මේ කාලයේ දී ම ඩොස් අවි ආයුධවලට සිය අකමැත්ත ප්‍රකාශ කරන්නට වුණා. මෙය ඔහුගේ දිවිය පුරාම පැවතුණු අතර, යුද කටයුතුවලට අනුයුක්ත කළ පසු ද එහි වෙනසක් වූයේ නැහැ.

ඇකඩමි සම්මාන දිනූ ‘ද හැක්සෝ රිජ්’ නම් චිත්‍රපටයේ දර්ශනයක් – variety.com

ඩොස් ගේ, අවි ආයුධවලට එරෙහි අකැමැත්ත ඇති වුණේ ඔහු ඇදහූ ආගම නිසා යි. කුඩා කල පටන් ඔහු භක්තිමත් ‘සෙවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස්ට්’ වරයෙක් වුණා. කුඩා කල සිය බීමත් පියා, ගිනි අවියක් ඉවතට ඇද ගෙන, ඔහුගේ ඥාතියකුට වෙඩි තබන්නට ගත් උත්සාහයක දී, ඩොස් ගේ මව එය ඇද, ඩොස් වෙත ලබා දුන්නේ එය සඟවන ලෙස පවසමිනු යි. මේ අවසථාවේ දැඩි කම්පනයට පත් වූ ඔහු, අවස්ථානුකූලව එය සිදුකළත්, ඉන් පසු ව දැඩි ලෙස කියා සිටියේ, තමන් මින් මතුවට කිසි ම දිනෙක අවි ආයුධ අත නොදරන බව යි.

කුඩා කල දුම්රිය පාරවල කාසි තබා, ඒවා තැලී පොඩි වී යනු දැක සතුටු වූ ඩෙස්මන්ඩ් ඩොස්, සිය බාල සොයුරු හැරල්ඩ් සමඟ මල්ලව පොර ක්‍රීඩාවේ නිරත වන්නට ද ආසා කළා, ඉන් ඔහු පැරදවීම ඉතා අසීරු වූයේ ඔහු කිසි විටෙක පසුබසින්නට අකැමැති වූ නිසා යි.

පසුකාලීන ව ඩෙස්මන්ඩ් ඩොස්ගේ මේ ශක්තිමත් බව සහ, පසුනොබස්නා ගුණය, යුද්ධයට යාමේ දී ඔහුට මහෝපකාරී වුණා. 

යුද්ධයට ගිය ‘අවි අත නොදරන්නා’

18 වැනි වියේ දී ඩොස්ට, වර්ජිනියාවේ නිව්පෝර්ට් හි, නැව් තොටුපොළක රැකියාවක් ලැබුණා. එහි නිරතවෙද්දී දෙවැනි ලෝක යුද්ධය ඇවිළ ගිය අතර, තමන්ට රට වෙනුවෙන් යමක් කළ හැකි යැයි වූ විශ්වාසය නිසා ස්වෙච්ඡාවෙන් ම යුද හමුදාවට බැඳීම සඳහා ඔහු ඉදිරිපත් වුණා.

අමෙරිකානු හමුදා දෙවන ලෝක යුද සමයේ ජපානයේ ඔකිනාවා හි සටන් වදිමින් – Wikimedia Commons

යුද හමුදාවට බැඳුණ ද, තමන් ගිනි අවි අත දරා, කිසිවකුට හානි නොකරන්නේ ය යන ස්ථාවරය ඔහු වෙනස් කළේ නැහැ. සමහරෙක් ඔහුගේ මෙම මතයන් විහිළුවක් මෙන් දුටුවා. ගිනි අවි අත දරන්නේ නැත්නම් ඔහු යුද හමුදාවට බැඳුණේ මන්දැයි අයෙක් තර්ක කළා. තවත් සමහරෙක් පැවසුවේ, ඔහු හිතා මතාම යුද හමුදාව අපහසුතාවට පත් කිරීම සඳහා ඊට බැඳුණු බව යි. 

මේ සියල්ල මධ්‍යයේ ඔහු එහි වෛද්‍ය අංශය තෝරා ගැනීමට උත්සාහ කළා. ඔහුගේ දැඩි මතය සහ ක්‍රියා නොඉවසූ බලධාරීන්, ඔහු අවඥා සහගත ලෙස හමුදාවෙන් ඉවත් කිරීමේ අරමුණෙන්, අවසාන මොහොතේ, රයිෆල් බළකායට අනුයුක්ත කළා. කෙසේ නමුත්, පසු බැසීමට අකැමති වූ ඩොස් ඉතා උපායශීලී සහ දැඩි ලෙස, තමන්ට වෛද්‍ය බළකායට යාමට අවශ්‍ය බැව් පැවසුවා. අවසානයේ අකැමැත්තෙන් හෝ ඔහු වෛද්‍ය බළකායට අනුයුක්ත කිරීමට බලධාරීන්ට සිදුවුණා.

හමුදාවෙන් සිදු වුණු කෙනෙහිලිකම්

වෛද්‍ය බළකායට අනුයුක්ත කිරීමෙන් පසුත් බලධාරීන්ගේ සහ අනෙක් සටන් සගයන්ගේ කෙනෙහිලිකම්වලට ලක් වන්නට ඩොස්ට සිදු වුණා. සමහරෙක් තාඩන පීඩන කරමින් ඔහු යාඥා කිරීම නැවැත්වීමට උත්සාහ කළ අතර, තර්ජනය කරමින් ඔහුගේ අත අවි දැරවීමටත් උත්සාහ කළා. එහෙත් ඒ කිසිවකින් සැලුණේ ඩොස් නොවේ. බලධාරීන් නිතරම ඔහු හට පල නොකියා පලා බෙදූ අතර, බොහෝ සෙබළුන් ඔහු සැලකුවේ ‘අවියක්වත් අත දැරීමට ආත්ම ශක්තියක් නැති, ධෛර්යය හීන පුද්ගලයෙක්’’ ලෙසට යි.

ඩෙස්මන්ඩ් ඩොස්ට පිරිනැමුණු ගෞරව පදක්කම ලුසියානා හි New Orleans හි ජාතික දෙවන ලෝක සංග්‍රාම කෞතුකාගාරයේ තබා තිබූ අයුරු – Getty Images

1945 වසරේ මැයි මස 5 වැනි දා අමෙරිකානුවන්ට අමතක නොවන දිනයක්. ඔකිනාවා හි, මඉදා මොහොර හෙවෙත් ‘හැක්සෝ රිජ්’ හි යු සටන් දරුණුවට ම ඇවිළ ගියේ එදින යි. ඒ වන විට ජපානයේ මෙම පෙදෙසට අනුයුක්ත කර සිටි අමෙරිකානු හමුදා ඛණ්ඩයට ඩෙස්මන්ඩ් ඩොස් ද අන්තර්ගත වුණා. එදින සෙනසුරාදාවක් වූ අතර, ඩොස් ‘සබත්’ සඳහා නිවාඩු ගෙන තිබුණා. එක්වර ම අමෙරිකානු හමුදාවන්ට හතර වටින් කාලතුවක්කු ප්‍රහාර එල්ල වන්නට පටන් ගත් අතර, ඉක්මනින් ම එය ඉතා දරුණු තත්ත්වයට පත් වුණා.

හැක්සෝ රිජ් හි වීරයා

ජපාන හමුදා සූදානම් ව සිට තිබුණේ අමෙරිකානු හමුදා මොහොරෙහි ඉහළ කොටසට ළඟා වෙන තුරු යි. එක් වරම එල්ල වූ මේ ප්‍රහාරවලින් අමෙරිකානු භටයන් රාශියකට තුවාල සිදු වුණා. මේ අවස්ථාවේ දී, නිවාඩු පිට සිටිය ද, සම භට කාණ්ඩ සමඟ සිටි ‘බියසුළු’ යැයි අවලාද ලත් ඩෙස්මන්ඩ් ඩොස් ක්‍රියාත්මක වුණා. වෙඩි ප්‍රහාර මැද, නිර්භීත ව ඉදිරියට ගමන් කළ ඩොස්, තුවාල ලත් සමහර සොල්දාදුවන්, ආරක්ෂිත ස්ථානවලට ඇදගෙන ගොස්, ඔවුනට ප්‍රතිකාර කිරීමට සමත් වූයේ, ඔහුගේ අනෙක් සටන් සගයන් පසුබා ගිය මොහොතක යි.

එවක අමෙරිකා ජනපති හැරී ටෲමන් (වමේ) ඩෙස්මන්ඩ් ඩොස්ට ගෞරව පදක්කම් පිරිනමමින් – Bettmann/Getty Images

පැය 12 ක කාලයක් ගෙවමින්, සියොළඟ රුධිරයෙන් නහවාගෙන, ඩොස් තුවාල ලත් සොල්දාදුවන් ආරක්ෂිත ස්ථාන කරා ගෙන ගියේ සිය දිවි දෙවැනි කොට යි. වාසනාවට කිසිදු ප්‍රහාරයකට ඔහු ඉලක්ක වූයේ නැහැ. තැනින් තැන වැටෙන කාලතුවක්කු සහ රයිවල් උණ්ඩ මැදින්, බඩගාමින් ගමන් කළ ඔහු අවම වශයෙන් ඒ ආකාරයෙන් 75 දෙනකුගේ වත් දිවි රැක ගන්නට සමත් වුණා. තුවාල ලත් තම සගයන් සතුරාට හසු වුවහොත්, විවිධ වධ බන්ධනවලට ලක් කරන බැව් දැන සිටි ඩොස්, ක්සිවෙක් තුවාල පිටින් යුද බිමෙහි අතැර ඒමට අකැමැති වුණා.

කිහිප විටක ම ජපාන හමුදාවන්ට ඩොස් ගේ ක්‍රියාව දර්ශනය වූ මුත්, ආශ්චර්යයකට මෙන්, ඔහු ඉලක්ක කිරීමට යාමේ දී, විවිධ හේතූ නිසා එය සිදු කිරීමට ඔවුනට නොහැකි වුණා. පසුකාලීන ව හෙළි වූ ආකාරයට, විටෙක ජපාන හමුදාවන්ට ඉතා පැහැදිලි ව ඩොස්ගේ හිස බිඳී යන ආකාරයට වෙඩි තැබීමට අවස්ථාවක් ලැබුණු මුත්, අවශ්‍ය ම මොහොතේ ගිනි අවිය ක්‍රියා විරහිත වීම නිස, එය ව්‍යර්ථ වී තිබෙනවා. ඩොස්ට අනුව, ඒ මොහොතේ දී තමන් කළ යහපත් ක්‍රියාව නිසා, දෙවියන්ගේ ආශිර්වාදය ඔහුට ලැබී තිබෙනවා.

 කෝප්‍රල් ඩෙස්මන්ඩ් ටී. ඩොස්, ධවල මන්දිරයේ පැවති සම්මාන ප්‍රදානයෙන් පසු ඔහුගේ බිරිය ගෙන් හාදුවක් ලබමින් – gettyimages.com

මේ සිදුවීමෙන් සති දෙකකට පසු රාජකාරියේ නිරත ව සිටිය දී, ග්‍රෙනේඩයක් පුපුරා යාම නිසා ඩොස්ගේ පාදයකට හානි සිදු වුණා. ආධාරයට කිසිවෙක් නොවූ වටපිටාවක ඔහු ම සිය තුවාලවලට බෙහෙත් කර ගෙන තිබූ අතර, සිද්ධියෙන් පැය කීපයකට පසු ව, ඔහුගේ යුද සඟයින්, ඔහු සොයා ගෙන ඔසවාගෙන ගියා. එහිදී බරපතල ලෙස තුවාල ලබා සිටි අයෙක් දුටු ඩොස්, ස්ට්‍රෙචරයෙන් පැන, එම පුද්ගලයාට ප්‍රතිකාර කරන්නට කටයුතු කළ බැව් ද සඳහන්.

කොහෙන්දෝ ආ ස්නයිපර් ප්‍රහාරයකින්, ඩොස්ගේ වම් අතෙහි අස්ථි බිඳී ගියා.  කෙසේ නමුත්, මොහොතින් සිහි එළවා ගත් ඔහු කිසිවකුගේ සහායක් නොමැති ව, යාර 300 ක දුර බඩ ගා යමින් ගමන් කොට, සිය පිරිස හා එක් වී දිවි බේරාගත් බැව් සඳහන්.

වියපත් ඩෙස්මන්ඩ් ඩොස්- Youtube.com

ගරු බුහුමන් ලද යුද විරුද්ධවාදියා

 දෙවන ලෝක යුද්ධයෙන් පසු ඩෙස්මන්ඩ් ඩොස්ට යුද්ධයේ දී විස්කම් පෑම වෙනුවෙන් වූ අමෙරිකානු ගෞරව පදක්කම ලැබුණා. මෙය යුද විරුද්ධවාදියකුට ලැබුණු පළමු අවස්ථාව යි.

දීර්ඝ කාලයක් ජීවත් වූ ඩෙස්මන්ඩ් ඩොස් මියගියේ 2006 වසරේ මාර්තු මස 23 වනදා, 87 හැවිරිදි ව සිටිය දී යි. ඔහුගේ මරණයෙන් වසර 16 ක් ගත් වී ඇති අද දිනය වන තුරුත් ඔහුගේ නාමය ඇමෙරිකානු ජනතාවගේ මුවග රැව් පිළිරැව් දෙන්නේ එනිසා යි.

කවරයේ ඡායාරූපය - ඩෙස්මන්ඩ් ඩොස් සිය බිරිය සමඟ - veteranlife.com 
මූලාශ්‍ර:
Allthatsinteresting.com
Desmonddoss.com
Myhero.com

Related Articles