ඉතිහාසය විෂය හැදෑරීමේ දී හමුවන දේශ ගවේෂකයන් ගණනාවක් අතර යුරෝපා ජාතික දේශ ගවේෂකයෙක් වන ක්‍රිස්ටෝපර් කොළොම්බස්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. අත්ලාන්තික් සාගරය හරහා යාත්‍රා කරමින් කොළොම්බස් සිදු කළ බටහිර අර්ධ ගෝලයේ ගවේෂණ කටයුතු සමඟ, එම කලාපයේ ජනාවාස පිහිටුවීම සඳහා යුරෝපා ජාතිකයන්ගේ වැඩපිළිවෙළ ආරම්භ වූ බව කියැවේ.
කොළොම්බස්ගේ දේශ ගවේෂණ සහ නාවික කටයුතු පිළිබඳ බොහෝ තොරතුරු විවිධ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් ව ඇත. කෙසේ වෙතත්, ඔහුගේ කුඩා කාලය, පවුල් ජීවිතය සහ අවසාන කාලය ආදී දෑ සම්බන්ධයෙන් විශාල වශයෙන් ප්‍රසිද්ධ නොවූ කරුණු කිහිපයක් තිබෙන අතර, මේ ලිපියෙන් ඒවා පිළිබඳ ව විමසා බලමු.
ක්‍රිස්ටෝපර් කොළොම්බස්
1451 අගෝස්තු-ඔක්තෝබර් කාලය තුළ, ඉතාලියේ උපන් බවට සැලකෙන කොළොම්බස් නාවිකයෙක්, දේශ ගවේෂකයෙක්, සහ ජනපද පිහිටුවීමේ පුරෝගාමියෙක් විය. ඩොමිනිකෝ කොලොම්බෝ සහ සුසානා ෆොන්ටනරෝසා ඔහුගේ මව්පියන් වූ අතර කොළොම්බස්ට සහෝදර සහෝදරියන් සිව් දෙනෙක් වූහ. පෘතුගාලයේ ප්‍රභූ පවුලකින් පැවැත ආ කාන්තාවක් වූ ෆිලිපා මොනිස් සමග 1479 දී විවාහ වූ කොළොම්බස්ට දියේගෝ සහ ෆර්ඩිනැන්ඩු නමින් දරුවන් දෙදෙනෙක් වූහ. කොළොම්බස්ට ස්පාඤ්ඤ රජවරු ගණනාවක් ‘අද්මිරාල්’ ඇතුළු විවිධ නම්බුනාම පිරිනමා ඇත.
කොළොම්බස් අත්ලාන්තික් සාගරය අවට ස්පාඤ්ඤ ජනපද හතරක් පිහිටවූ බවත්, ඒ සඳහා ස්පාඤ්ඤයේ ජීවත් වූ කතෝලික රජවරුන්ගේ සහිය ලැබුණු බවත් කියැවේ. මෙම ජනපද පිහිටුවීම, පසුකාලීනව සිදු වූ යුරෝපා දේශ ගවේෂණ කටයුතුවල මූලාරම්භය ලෙස සැලැකේ. කොළොම්බස් කැරිබියානු, උතුරු අමෙරිකානු සහ දකුණු අමෙරිකානු කලාපවල සිදු කළ සංචාර එම කලාප යුරෝපීයයන් සමඟ සම්බන්ධ වූ පළමු අවස්ථාව විය. ඉතා තරුණ වියේ දී නාවික කටයුතුවලට සම්බන්ධ වූ කොළොම්බස්, වර්තමාන ඝානා රාජ්‍යය වැනි දුර බැහැර පිහිටි රටවලට පවා සංචාරය කර ඇත. නූතන ලෝකය, ගෝලීයකරණය සහ යටත් විජිතකරණය වැනි සංකල්පවල මූලාරම්භකයෙක් වූ කොළොම්බස් 1506 මැයි 20 දින අභාවප්‍රාප්ත විය.
කොළොම්බස් උපන් රට
කොළොම්බස් උපත ලබා ඇත්තේ ඉතාලියේ වර්තමාන ජිනෝවා නගරයේ හෝ ඒ ආසන්න ප්‍රදේශයක බව බොහෝ මූලාශ්‍රවල සඳහන් වේ. කෙසේ නමුත් ඔහුගේ උපන් රට ඉතාලිය නොවන බවට ද මත පළ වී ඇත. සමහර ඉතිහාසඥයන්, විද්වතුන් සහ වෙනත් පාර්ශව පෙන්වා දී ඇත්තේ කොළොම්බස් උපත ලබා ඇත්තේ ස්පාඤ්ඤය, පෝලන්තය හෝ ග්‍රීසිය යන රටවලින් එකක බව යි. ඔහු සිය දේශ ගවේෂණ කටයුතු බොහොමයක් සිදු කර ඇත්තේ ස්පාඤ්ඤ රජවරුන්ගේ අනුග්‍රහය යටතේ වීම හරහා ඔහු ස්පාඤ්ඤ සම්භවයක් ඇති අයකු බව තහවුරු වන බව සමහරුන්ගේ මතය යි.
කොළොම්බස්ගේ නම
විවිධ රටවල කොළොම්බස්ගේ නම භාවිතා කරන ආකාරයේ ද වෙනස්කම් ගණනාවක් තිබේ. ඉතාලියේ ජනතාව ඔහු හඳුන්වන “ක්‍රිස්ටෝෆොරෝ කොලොම්බෝ” යන නම ඔහුගේ උපන් නම බව බොහෝ දෙනකුගේ මතය යි. ස්පාඤ්ඤ ජනතාව ඔහු හඳුන්වන්නේ “ක්‍රිස්ටෝපර් කොලෝන්’ නමිනි. එම නම්වලට අමතර ව “ක්‍රිස්ටෝවම්”, “ක්‍රිස්ටෝෆරස් ද කොලොම්බෝ” සහ “එක්ස්පෝවල් ද කොලෝන්” වැනි නම් ද, කොළොම්බස් හැඳින්වීමට යොදා ගනී. මෙම නම්වලින් බොහොමයක්, අන් අය මෙන්ම කොළොම්බස් ද ඔහු හඳුන්වා දීමට භාවිතා කර ඇතැයි කියැවේ.
නැව් හැඳින්වූ සුරතල් නම්
වර්තමානයේ නැව් හැඳින්වීමට බොහෝ විට යොදා ගන්නේ වෙළෙඳ නාම වුවත් කොළොම්බස් දේශ ගවේෂණ කටයුතු සඳහා යොදාගත් නැව් හැඳින්වීමට විවිධ සුරතල් නම් යොදාගෙන ඇත. ඔහු භාවිත කළ නැව් අතර “නිනා” සහ “පින්ටා” යනුවෙන් නම් යෙදූ ඒවා තිබී ඇතැයි කියැවේ. එවැනි සුරතල් නාමවලට අමතර ව කතෝලික ශාන්තුවරයන්ගේ නම්වලින් ද එකල නැව් හඳුන්වා ඇත.
උදාහරණ ලෙස කොළොම්බස්, “ශාන්ත මරියා” සහ “ශාන්ත ක්ලාරා” වැනි නම්වලින් හැඳින් වූ නැව් සිය දේශ ගවේෂණ කටයුතුවලට යොදා ගෙන ඇතැයි මූලාශ්‍රයන්හි සඳහන් වේ.
ගණිතයට දුර්වල වූ කොළොම්බස්
කොළොම්බස් දේශ ගවේෂණ කටයුතු සිදු කළ කාලය වන විට ඒ සියල්ල අනුමාන කිරීම් මත පදනම් විය. ඊට හේතුව ඒ කාලය වන විට ලෝකයේ බොහෝ ප්‍රදේශ ජනාවාසවලින් තොර, හඳුනා නො ගත් ඒවා වීම යි. ඒ වන විට අක්ෂාංශ අංශක මැනීමට භාවිත කළ ප්‍රධාන ක්‍රම දෙකක් තිබිණි. ඉන් එකක් ග්‍රීක දාර්ශනික පොසෙයිඩොනියස් නිර්මාණය කළ ක්‍රමයක් වූ අතර අනික් ක්‍රමය මධ්‍යකාලින අරාබිවරුන් නිර්මාණය කළ එකක් විය. මෙම ක්‍රම පිළිබඳ අදහස් දක්වමින් කොළොම්බස් පැවසුවේ එම ක්‍රම දෙක භාවිත කර සිදු කරන මැනුම්වලින් ලැබෙන අගයන් සමාන බව යි.
කෙසේ වෙතත් අරාබි මිනුම් ඒකකවලින් ගණනය කළ සැතපුම රෝමානු මිනුම් ඒකකවලින් ගණනය කළ සැතපුමට වඩා දිගින් වැඩි විය. මේ නිසා කොළොම්බස් තර්ක කළ ආකාරයෙන් එම ක්‍රම දෙක භාවිතයෙන් සිදු කළ ගණනය කිරීම්වල ප්‍රතිපල එක සමාන විය නොහැකි බව පසුකාලීන ව අනාවරණය විය. දැවයෙන් කළ, කුඩා ප්‍රමාණයේ බෝට්ටුවකින් ස්පාඤ්ඤයේ සිට දින 30ක කාලයක් ඇතුළත ජපානයට යාත්‍රා කළ හැකි බවට කොළොම්බස් සිදු කළ අනුමාන කිරීමක් ද නිවැරදි නොවන බව පසුකාලීනව තහවුරු වී ඇත. එවැනි කරුණු නිසා ඔහු ගණිතය විෂයයට දුර්වල අයෙක් වන්නට ඇතැයි මත පළ වී තිබේ.
තැනින් තැනට ගෙන ගිය කොළොම්බස් ගේ භෂ්මාවශේෂ
වෘත්තියෙන් දේශ ගවේෂකයෙක් වූ කොළොම්බස් බොහෝ රටවල සංචාරය කර ඇති බව විශේෂයෙන් කිව යුතු නොවේ. කෙසේ වෙතත්, ඔහුගේ භෂ්මාවශේෂ ද, ඔහු ජීවත් ව සිටිය දී මෙන් අවස්ථා ගණනාවක දී රටින් රටට ගෙන ගොස් තිබීම සුවිශේෂී කරුණකි. 1506 වසරේ දී කොළොම්බස් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගිය අතර, ඒ වන විට ඔහුට වයස අවුරුදු 54ක් පමණි. මිය ගිය පසු ඔහුගේ භෂ්මාවශේෂ ස්පාඤ්ඤයේ “Valladolid” ප්‍රදේශයේ තැන්පත් කිරීමට අදාළ පාර්ශව කටයුතු කර තිබිණි.
1509 වසරේ දී එම භෂ්මාවශේෂ “Sevilla” වෙත රැගෙන ගොස් ඔහුගේ පවුලේ සුසාන භූමියේ තැන්පත් කර තිබේ. ඔහුගේ පුත්‍රයා වූ දියේගෝ ගේ ඉල්ලීමක් අනුව 1542 දී කොළොම්බස්ගේ භෂ්මාවශේෂ වර්තමාන ඩොමිනිකන් ජනරජය වෙත රැගෙන ගොස් එහි සැන්ටෝ ඩොමින්ගෝ නම් ප්‍රදේශයේ තැන්පත් කර ඇත. කොළොම්බස් ගේ අස්ථි කොටස් 1795 වසරේ දී කියුබාවට යවා ඇති අතර 1898 දී නැවතත් එම අස්ථි කොටස් ඔහුගේ පවුලේ සුසාන භූමිය පිහිටි ස්පාඤ්ඤයේ “Sevilla” වෙත රැගෙනවිත් තිබේ.