Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මැලේසියාව ගොඩනැගූ නායකයා- මහතීර් මොහොමඩ්

ගිනිකොනදිග ආසියාවට අයත් රටක් වන මැලේසියාව වර්තමානය වන විට ආසියාවේ දියුණු ම රටවල් කිහිපය අතරට අයත්. නමුත් 1970 දශකයේ අග භාගය වන විටත් මැලේසියාව එතරම් දියුණු තත්ත්වයකට පත් ව තිබුණු රටක් නොවෙ යි. මැලේසියාව අද තිබෙන දියුණු තත්ත්වයට පත් කිරීම සඳහා සුවිසල් මෙහෙවරක් ඉටු කළේ 80 දශකය මුල් භාගයේ දී බලයට පත්වුණු මහතීර් මොහොමඩ් නම් අගමැතිවරයා යි.

මහතීර් මොහොමඩ් එදා ගෙන ගිය දූරදර්ශී වැඩපිළිවෙළ නිසා මැලේසියාව දියුණු ආර්ථිකයක් ඇති රටක් බවට පරිවර්තනය වුණා. මේ මහතීර් මොහොමඩ් මැලේසියාව තුළ සිදුකළ මහා පෙරළිය යි. 

 අගමැති තනතුර දක්වා පැමිණි ගමන් මග 

වෘත්තියෙන් වෛද්‍යවරයෙක් වුණු මහතීර් මොහොමඩ් 1964 මහා මැතිවරණයෙන් මුල් ම වරට මැලේසියා පාර්ලිමේන්තු වරම් ලබා ගත්තා. ඉන් පසුව පසු පෙළ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ මහතීර් 1969 මහා මැතිවරණයේ දී පරාජයට පත් වුණා. 1973 දී ඔහුට නැවතත් පාර්ලිමේන්තු වරම් ලැබුණා. ඒ එවකට මැලේසියානු අගමැතිවරයා ලෙස කටයුතු කළ අබ්දුල් හුසේන්ගේ මැදිහත්වීමෙන්. 1974 දී පැවැති මැලේසියානු මහා මැතිවරණයෙන් ජය ලබාගත් මහතීර්ට අලුතින් පත් වුණු රජයේ අධ්‍යාපන කැබිනට් අමාත්‍ය ධූරය ලැබුණා. 

මහතීර් මොහොමඩ් අධ්‍යාපන ඇමතිවරයා ලෙස කටයුතු කළ යුගය – cilisos.my

 

ඔහු එම අමාත්‍ය ධූරයේ වගකීම් සාර්ථක ව ඉටු කළ නිසා වැඩි කලක් යන්නට පෙර ජනප්‍රියත්වයට පත්වුණා.මැලේසියානු අගමැති අබ්දුල් හුසේන් 1976 දී හදිසියේ ම අභාවයට පත් වුණා. ඉන් අනතුරුව එරට අගමැති ධූරය හුසේන් ඔන්ට හිමි වුණා.

හුසේන් ඔන් අගමැති තනතුරට පත්වෙද්දී නියෝජ්‍ය අගමැති තනතුර මහතීර්ට හිමි වුණා. එම තනතුර ලැබීමෙන් පසු ව ඔහු අගමැති අනුප්‍රාප්තිකයා බවට පත් වුණා. 

නියෝජ්‍ය අගමැතිවරයා ලෙස කටයුතු කරමින් – aseanrecords.world

 

අගමැති හුසේන් සහ මහතීර් අතර සමීප සබඳතාවක් තිබුණේ නැහැ. එම කාලයේ දී රටේ උන්නතිය වෙනුවෙන් මහතීර් ඉදිරිපත් කළ බොහෝ යෝජනා හුසේන් ප්‍රතිකේෂ්ප කළා. 1978-1981 කාලය තුළ කර්මාන්ත සහ වෙළෙඳ ඇමතිවරයා ලෙස කටයුතු කළ මහතීර් රටේ කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා සාර්ථක ව්‍යාපෘති රැසක් හඳුන්වා දුන්නා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් 1978 දී අමෙරිකානු ඩොලර් බිලියන 16.36ක් ලෙස පැවති එරට දළ දේශීය නිෂ්පාදිතය 1981 වසර වන විට අමෙරිකානු ඩොලර් බිලියන 25ක් දක්වා ඉහළ ගියා. එනිසා ඔහු මැලේසියානු ජනතාව අතර තව තවත් ජනප්‍රිය වුණා.

මුල්ම වරට අගමැති තනතුරට පත්වීම 

1981 ජූලි මාසය වන විට අගමැති හුසේන් ඔන්ගේ සෞඛ්‍යය තත්ත්වය අයහපත් අතට හැරුණා. එනිසා ඔහු අගමැති ධූරයෙන් ඉල්ලා අස් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස මහතීර් මොහොමඩ් එරට අගමැතිවරයා ලෙසින් දිවුරුම් දුන්නා. 1981 ජූලි 16 වැනිදා අගමැති තනතුරට පත්වන විට ඔහු 56 වැනි වියේ පසු වුණා.

එරට අගමැති තනතුරට පත් වුණු පළමු වංශාධිපති නොවන නායකයා  ලෙස ඉතිහාසගත වුණු මහතීර් දියුණු මැලේසියාවක් නිර්මාණය කිරීමට සිහින දුටුවා. ඒ සඳහා තිබුණු බාධක එකින් එක ඉවත් කිරීමට ඔහු සැලසුම් කළා.

මහතීර් මුල්ම වරට අගමැති තනතුරට පත් වුණු අවස්ථාව – taiwannews.com

මහතීර් බලයට පත්වෙද්දී මැලේසියාවේ ජීවත් වුණු ජාතීන් අතර අසමගියක් වර්ධනය වී තිබුණා. එහි දී මැලේ, චීන, සහ ඉන්දියානු ජන කොටස් අතර නිතර ගැටුම් ඇති වුණා. එම අසමගිය නිසා රටක් විදිහට ඉදිරියට යාම අපහසු බව තේරුම් ගත් මහතීර් බලහත්කාරයෙන් ම එම ජාතීන් අතර එකමුතුකමක් ඇති කළා. එය දියුණු මැලේසියාවක් නිර්මාණය කිරීමේ පළමු පියවර බවට පත් වුණා. 

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම 

1980 දශකයේ මුල් භාගය වන මැලේසියාවේ රාජ්‍ය සේවය පිරිහීමකට ලක් ව තිබුණා. දූෂිත සහ අකාර්යක්ෂම නිලධාරින් නිසා රාජ්‍ය සේවයට එම ඉරණම අත් ව තිබුණා. එපමණක් නොව දිගින් දිගට ම පාඩු ලබමින් තිබුණු රාජ්‍ය ආයතන එරට ආර්ථිකයේ දියුණුවට විශාල බාධාවක් වුණා. ඊට අමතර ව නුසුදුසු පුද්ගලයන් රජයේ ඉහළ නිලතලවලට පත්කිරීම නිසා රාජ්‍ය යාන්ත්‍රණයේ යම් බිඳවැටීමක් දක්නට ලැබුණා.

එම තත්ත්වය අවබෝධ කරගත් මහතීර් ඒ සඳහා කඩිනම් පිළියම් යෙදීමට කල්පනා කළා. දූෂිත සහ අකාර්යක්ෂම නිලධාරින්ට දඬුවම් කිරීම සඳහා දැඩි නීතිරීති පැනවීම, රජයේ ඉහළ තනතුරු සඳහා ඉහළ සුදුසුකම් සහිත නිලධාරින් පත්කිරීම, රජයේ රැකියා සඳහා බඳවා ගැනීමේ දී සුදුසුකම් පරීක්ෂා කිරීම, පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම වැනි ක්‍රමවේද හරහා රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට මහතීර්ට හැකි වුණා. 

මහතීර්ගේ වැඩපිළිවෙළ ගැන ජනතාව තැබූ විශ්වාසය 

අගමැති තනතුරට පත් ව මාස කිහිපයක් තුළ  මහතීර් අලුතින් හඳුන්වා දුන් ප්‍රතිපත්ති ජනතාවගේ ප්‍රසාදයට ලක් වුණා. එනිසා ඔවුන් නව අගමැතිවරයා පිළිබඳ ව විශ්වාසය තබන්නට පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1982 අප්‍රේල් මාසයේ පැවති මහා මැතිවරණයෙන් මහතීර්ගේ බරිසන් ජාතික පක්ෂයට විශිෂ්ට ජයග්‍රහණයක් හිමි වුණා. එහි දී එම පක්ෂය ආසන 154කින්  132ක් ජය ගැනීම විශේෂත්වයක් වුණා. ඒ අයුරින් ලැබුණු විශාල ජනවරම නිසා මහතීර් තවත් ශක්තිමත් වෙමින් සිය වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගියා.

1982 මැලේසියානු මහා මැතිවරණය ජයගැනීමෙන් පසුව  – taiwannews.com

 

කර්මාන්ත ක්ෂේත්‍රයේ ඇති වුණු පිබිදීම 

1970 දශකය ආරම්භ වෙද්දී අමුද්‍රව්‍ය අපනයනය මැලේසියාවේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්ව තිබුණා. එම දශකය මැද භාගයේ දී අමෙරිකානු සහ ජපන් කර්මාන්තශාලා කිහිපයක් මැලේසියාවේ ආරම්භ වුණා. එය එරට කර්මාන්ත ක්ෂේත්‍රයේ යම් කිසි පිබිදීමක් ඇති කිරීමට හේතුවක් වුණා.

ඉන් පසුව බලයට පත් වුණු මහතීර් රට තුළ නව කර්මාන්තශාලා ඇති කරමින් භාණ්ඩ නිෂ්පාදනය කිරීමට සැලසුම් කළා. පසුව ඒවා අපනයනය කිරීම හරහා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම ඔහුගේ අරමුණ වුණා. 

1980 දශකයේ මැලේසියානු කර්මාන්තශාලාවක් – cilisos.my

 

එහි දී මැලේසියාව තුළ නිෂ්පාදිනය වුණු වැදගත් භාණ්ඩ අතරට අර්ධ සන්නායක, ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ, රබර් අත්වැසුම්,  කැතීටර්, රබර් නූල්, කාමර වායු සමීකරණ වැනි දේවල් ඇතුළත් වුණා. එම කර්මාන්තශාලාවල සේවය කිරීම සඳහා ඉහළ දැනුමක් තිබුණු විදෙස් ශ්‍රමිකයන් එක් වුණා. ඔවුන් යටතේ මනා පුහුණුවක් ලැබූ මැලේසියානු තරුණ තරුණියන් වැඩි කලක් යන්නට පෙර නිපුණත්වයෙන් ඉහළ ශ්‍රමිකයන් බවට පත් වුණා.

ඉන් නොනැවතුණු මහතීර් රට තුළ නව තාක්ෂණික පුහුණු ආයතන ආරම්භ කරමින් තරුණ තරුණියන්ට ඉහළ තාක්ෂණික දැනුමක් ලබා දුන්නා. ඒ හරහා ලබා දුන් දැනුමින් ඉහළ තාක්ෂණික දැනුමකින් යුක්ත වුණු පිරිසක් කර්මාන්ත ක්ෂේත්‍රයට එකතු කිරීම මහතීර්ගේ සැලසුම වුණා. 

මැලේසියාවේ තාක්ෂණික විද්‍යාලයක් – gettyimages.com

 

1990 දශකය වන විට මැලේසියාව ලොව අර්ධ සන්නායක කර්මාන්තයේ ප්‍රමුඛයා බවට පත් වුණා. එම යුගයේ දී මැලේසියාව තුළ ඉලෙක්ට්‍රොනික විද්‍යාව, ජෛව තාක්‍ෂණය, ස්වයංක්‍රීය නිෂ්පාදන පද්ධති, විද්‍යුත් දෘෂ්ටි විද්‍යාව සහ රේඛීය නොවන දෘෂ්ටි විද්‍යාව, දෘෂ්ටි ඉලෙක්ට්‍රොනික විද්‍යාව, මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව, විකල්ප බලශක්ති ප්‍රභව සහ ගුවන් අභ්‍යවකාශ වැනි ක්ෂේත්‍ර පිළිබඳ ව විවිධ පර්යේෂණ සිදුවුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මැලේසියාව තාක්ෂණය අතින් දියුණු රටක් බවට පත් වුණා. 

රටේ සිදු වුණු දැවැන්ත සංවර්ධනය

මහතීර්ගේ පාලන කාලයේ දී රට තුළ තිබුණු ප්‍රධාන නගර සංවර්ධනය ආශ්‍රිත ව මහා පරිමාණයේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වුණා. එම නගරවල යටිතල පහසුකම් විශාල වශයෙන් දියුණු කිරීමට ඔහු කටයුතු කළා. එහි දී මැලේසියාවේ අගනුවර වුණු ක්වාලාලම්පූර් නගරය තුළ විශාල වෙනසක් සිදු වුණා. එම නගරයේ  අද දක්නට ලැබෙන සුවිසල් ගොඩනැගිලි පද්ධතිය ඉදිකිරීම සඳහා ආරම්භක පියවර තැබුවේ එම යුගයේ දීයි. 

ක්වාලාලම්පූර් නගරයේ සුවිසල් ගොඩනැඟිලි  – unsplash.com

 

1990 දශකයේ මුල් භාගයේ මැලේසියාව තුළ අන්තර්ජාල වාරණය කිරීම් නිතර සිදු වුණා. එකල බිල් ගේට්ස් ප්‍රමුඛ ජාත්‍යන්තර විශේෂඥ කමිටුවක් මහතීර්ට උපදෙස් දෙමින් අවධාරණය කළේ විදෙස් ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය නම් අන්තර්ජාල වාරණය සිදු නොකළ යුතු බව යි.

ඉන් අනතුරුව එම විශේෂඥයන්ගේ උපදෙස් මත 1996 පෙබරවාරි මාසයේ ආරම්භ කළ MSC (Multimedia Super Corridor) වැඩසටහනේ අරමුණ වුණේ මැලේසියාවේ ඩිජිටල් ආර්ථිකයේ වර්ධනය වේගවත් කිරීම යි. එම වැඩසටහන සමඟින් විදෙස් ආයෝජකයන් සම්බන්ධ වුණු නිසා මැලේසියාවට සැලකිය යුතු තරම් ආර්ථික ප්‍රතිලාභයක් ලැබුණා.

බිල් ගේට්ස් – youtube.com

 

රටේ නාගරික ප්‍රදේශ සංවර්ධනය කරද්දී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය නොකිරීම ගැන මහතීර්ට චෝදනා එල්ල වුණා. මහතීර් ඔහු උපන් කෙඩා ප්‍රාන්තය පවා සංවර්ධනය කිරීමට උනන්දු වුණේ නැහැ. එහි දී මහතීර්ගේ මතය වුණේ ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා වැය කරන මුදලෙන් රටට කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන බව යි. එවැනි සංවර්ධනයකින් එම ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ජන ජීවිතය යහපත් වීම පමණක් සිදු වන බව ඔහුගේ අදහස වුණා.

නාගරික ප්‍රදේශ සංවර්ධනය කර ඒ ආශ්‍රිත ව සිදුකරන ව්‍යාපෘති හරහා රටට විදෙස් ආයෝජකයන් ගෙන්වා ගත හැකි බව පෙන්වා දුන්නා. එමඟින් රටේ ආර්ථිකයට විශාල ප්‍රතිලාභයක් ලබා ගත හැකි බව මහතීර්ගේ මතය වුණා. එනිසා මහතීර් යුගය තුළ මුදල් කාබාසිනියා කළ නිශ්ඵල සංවර්ධන ව්‍යාපෘති වෙනුවට රටට ප්‍රතිලාභ ලැබුණු සංවර්ධනය ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා. 

මහතීර් මැලේසියානු අගමැතිවරයා ලෙස එක්සත් ජාතීන් අමතමින් – gettyimages.com

රට ආර්ථික වශයෙන් සවිමත් වුණු යුගයක් 

1981 දී මහතීර් බලයට පත්වෙද්දී එරට දළ දේශීය නිෂ්පාදිතය අමෙරිකානු ඩොලර් බිලියන 25ක් බවට පත්ව තිබුණා. ඔහු 2003 දී අගමැති තනතුරෙන් නික්ම යද්දී එරට  දළ දේශීය නිෂ්පාදිතය අමෙරිකානු ඩොලර් බිලියන 110.20ක් බවට පත් ව තිබුණා. මහතීර් මැලේසියාව පාලනය කළ 22 වසර තුළ එරට ආර්ථිකය සවිමත් වුණු බව එම දත්ත්වලට අනුව පැහැදිලිව ම පෙනී යන කරුණක්. 1988-1996 කාලයේ දී මැලේසියාවේ ආර්ථික වර්ධන වේගය 9% සීමාව තුළ රඳවා ගැනීම මහතීර් ලැබූ ජයග්‍රහණයක්.

1997-1998 කාලයේ රට තුළ දරුණු ආර්ථික අර්බුදයක් ඇති වුණු අවස්ථාවේ පවා එයට කඩිනම් විසඳුම් ඉදිරිපත් කරමින් රට යථා තත්ත්වයට පත්කිරීමට ඔහුගේ පාලනයට හැකි වුණා. 1981 දී මහතීර් භාර ගත් මැලේසියාව 2003 දී ආපසු භාර දෙන විට ඉතාමත් දියුණු මට්ටමකට පත් ව තිබුණා. එනිසා මැලේසියානු ඉතිහාසයේ වඩාත් සමෘද්ධිමත් කාලය ලෙස සැලකෙන්නේ මහතීර් මොහොමඩ් පාලන සමය යි. 

මහතීර් එරටින් බිහිවුණු යුග පුරුෂයෙක් – gettyimages.com

 

මැලේසියා ඉතිහාසයේ යුග පුරුෂයෙක් 

1981 දී අගමැති තනතුරට පත්වීමෙන් පසු ව ඔහුට ලැබුණු ජනප්‍රියත්වය දශක 2කට වැඩි කාලයක් එලෙස ම පැවතුණා. එනිසා ඔහුගේ පක්ෂය 1982, 1986, 1990, 1995, 1999 යන මහ මැතිවරණ ඉතාමත් පහසුවෙන් ජයග්‍රහණය කළා. සිය රටට උපරිම සේවයක් කිරීමෙන් පසුව ඔහු 2003 දී අගමැති තනතුරෙන් විශ්‍රාම ගියා. අගමැති ධූරයෙන් ඉවත් වී වසර 15ක් ගතවෙද්දී එනම් 2018 දී පැවති මහා මැතිවරණයෙන් අනපේක්ෂිත ජයක් ලබාගත් මහතීර් යළිත් මැලේසියානු අග්‍රාමාත්‍ය ධූරයට පත් වුණා.

එහි දී ඔහු ඡන්දයකින් පත් වුණු වයස්ගත ම නායකයා ලෙසින් වාර්තා අතරට එක් වුණා. ඔහු එම මැතිවරණයෙන් ජයග්‍රහණය කරන විට 92 හැවිරිදි වියේ පසු වුණා. ඒ අයුරින්  මැලේසියාව ලෝකයේ දියුණු රටක් කිරීමට කැප වුණු මහතීර් එරටින් බිහිවුණු යුග පුරුෂයෙක් බව අවිවාදයකින් තොරව පිළිගන්නා කරුණක්. ඔහුගෙන් අපේ නායකයන්ට ඉගෙන ගත හැකි පාඩම් බොහෝම යි. 

කවරයේ ඡායාරූපය- මහතීර් මොහොමඩ් - gettyimages.com

මූලාශ්‍ර:

factsanddetails.com

icwa.in

macrotrends.net

bbc.com

brookings.edu

 

Related Articles