Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අන්තර්ජාතික විද්‍යා ක්ෂේත්‍රය ජයගත් ලාංකිකයා- මහාචාර්ය මොහාන් මුණසිංහ

ශ්‍රී ලංකා ඉතිහාස තුළ ජාත්‍යන්තරයේ නම රැඳ වූ ලාංකික විද්‍යාඥයන් හා පර්යේෂකයන් අතර ජීව විද්‍යාඥ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ, නාසා ආයතනයේ සේවය කළ මුල්ම සඳ ගමනේ දී ගෙන ආ පාෂාණ පරික්ෂා කළ ආචාර්ය සිරිල් පොන්නප්පෙරුම, පාත් පයින්ඩර් යානයේ කැමරා පද්ධතිය සකස් කිරීමේ කාර්යභාරය කළ වර්තමානයේ නාසා ආයතනයේ සේවය කරන ආචාර්ය සරත් ගුණපාල, එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ උප සභාපති ලෙස 2007 සාමය සඳහා වූ නොබෙල් ත්‍යාගය එම ආයතනය වෙනුවෙන් දිනා ගත් මහාචාර්ය මොහාන් මුණසිංහ ඒ අතරින් විශිෂ්ටයන් ලෙස හැදින්විය හැකි යි. ඉතින් අද ලිපියේ ඉඩ වෙන් වන්නේ මහාචාර්ය මොහාන් මුණසිංහට යි.

ගෞරව ආචාර්ය උපාධි ගණනාවක් ලැබී ඇති මහාචාර්ය මොහාන් මුණසිංහ තිරසාර සංවර්ධනය, දේශගුණ විපර්යාස, බලශක්තිය, ආර්ථික විද්‍යාව, පරිසරය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්ති ක්ෂේත්‍ර පිළිබඳ ලෝක විශේෂඥයෙක් ලෙස හැඳින්වීමට පුළුවන්.

භෞතික විද්‍යාඥයෙක්, අධ්‍යාපනඥයෙක් සහ ආර්ථික විද්‍යාඥයෙක්

මොහාන් මුණසිංහ ඇතුළු පිරිසක් ජයවර්ධන ජනාධිපතිවරයා සමග (history.lk)

මොහාන් මුණසිංහ, කොළඹ රාජකීය විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබනවා. අනතුරුව මූලික උපාධිය නිමා කිරීමෙන් පසුව පසුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් විද්‍යාපති උපාධියක් හිමිකර ගන්නවා. පසුව ඔහු, මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ (Massachusetts Institute of Technology) විදුලි ඉංජිනේරු උපාධියක් ලබා ගන්නවා.

ඊට අමතරව ඔහුට කැනඩාවේ මැක්ගිල් විශ්වවිද්‍යාලය පිරිනමන අචාර්යය උපාධියකුත්, කැනඩාවේ කොන්කෝඩියා විශ්වවිද්‍යාලයෙන් පිරිනැමෙන ආර්ථික විද්‍යාව පිළිබඳ ශ්‍රාස්ත්‍රපති උපාධියක් ද ලබා ගන්නවා.

මේ වන විට දේශගුණ විපර්යාස, ස්වභාවික විපත්, පරිසර හානි, ධරණීය සංවර්ධනය, බලශක්තිය, ප්‍රවාහනය, නගරබද යටිතල පහසුකම්, ජල මූලාශ්‍ර, ටෙලි සන්නිවේදනය, ධරණීය නිෂ්පාදනය හා පරිභෝජනය වගේ පුළුල් ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණ වාර්තා සිය ගණනක් ඔහු විසින් පළ කර තිබෙනවා. මෙම විෂයය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පොත් 120කට වඩා ලියා ඇති මොහාන් මුණසිංහ, ඒ වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන විශාල ප්‍රමාණයක් දිනාගෙන තිබෙනවා.

ඇමරිකානු ජනාධිපතිවරයාගේ පරිසර ගුණාත්මකභාවය පිළිබඳ කවුන්සිලයේ (Council on Environmental Quality)” උපදේශකයෙක්

මහාචාර්ය මොහාන් මුණසිංහ (pata.org)

1982 වසරේ සිට 1987 වසර දක්වා ශ්‍රී ලංකාවේ ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සකස් කිරීමට දායකත්වය දක්වන ඔහු, මෙරට බලශක්තිය පිළිබඳව ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ පරිගණක ප්‍රතිපත්තිය නිර්මාණය කිරීමට තම දායකත්වය ලබා දෙන ඔහු, පරිගණක හා තොරතුරු තාක්ෂණය පිළිබඳ රජයේ ප්‍රධානම ආයතනය ලෙස 1984 දී ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්ෂණවේද ආයතනයේ  (CINTEC) ආරම්භක සභාපතිවරයා ලෙස කටයුතු කරනවා.

පරිගණක ප්‍රතිපත්තිය පිළිබඳ ජනාධිපති කමිටුවේ (COMPOL) සභාපති ලෙස කටයුතු කරමින් පරිගණක හා තොරතුරු තාක්ෂණවේද ආයතනය කිරීමේ ප්‍රධාන කාර්ය භාරයක් ඉටුකරන්නේ ද ඔහු යි. ඊට අමතරව විදුලි සංදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ජනාධිපති කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරනවා.

නවීන තාක්ෂණය සඳහා වූ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ආරම්භක ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ද, මොහාන් මුණසිංහ යි. ඊට අමතරව ශ්‍රී ලංකා ස්වාභාවික සම්පත්, බලශක්ති හා විද්‍යා අධිකාරියේ (NARESA) ආරම්භක මහා මණ්ඩල සාමාජික ලෙසත් ඔහු තේරී පත්වෙනවා. ඉන් අනතුරුව 1990 – 1992 වසරවල දී ඔහු, එවකට ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ “පරිසර ගුණාත්මකභාවය පිළිබඳ කවුන්සිලයේ (Council on Environmental Quality)” උපදේශකයෙකු ලෙස කටයුතු කරනවා.

අන්තර් රාජ්‍ය දේශගුණ විපර්යාස මඩුල්ල නියෝජනය කරමින් නොබෙල් ත්‍යාගය ලබාගැනීම 

මොහාන් මුණසිංහ මහාචාර්යවරයා (mindlanka)

2007 සාම ත්‍යාගය සම සේ බෙදී ගියේ දේශගුණ විපර්යාසය පිළිබඳ අන්තර් රාජ්‍ය දේශගුණ විපර්යාස මණ්ඩලය (Inter-governmental Panel on Climate Change) හා හිටපු අමෙරිකානු උප ජනාධිපති හා දේශගුණික ක‍්‍රියාකාරික ඇල් ගෝ (Al Gore) අතරේ යි. මෙම මණ්ඩලයේ උප සභාපතිවරයා ලෙස ඉතා සක්‍රීයව කටයුතු කළ මොහාන් මුණසිංහ, නොබෙල් සාම ත්‍යාගය අන්තර් රාජ්‍ය දේශගුණ විපර්යාස මණ්ඩලය නියෝජනය කරමින් ඔස්ලෝ නුවර දී ලබා ගන්නවා.

ජාතිය උදෙසා කරන ලද අතිවිශිෂ්ට වූත්, ප්‍රශංසනීය වූත් සේවයට උපහාර වශයෙන් පිරිනැමෙන දේශමාන්‍ය සම්මානය (මෙය දෙවැනි වන්නේ ශ්‍රී ලාංකික සිවිල් වැසියෙකුට හිමිවෙන ඉහළම සම්මානය වන ශ්‍රී ලංකා අභිමාන්‍ය සම්මානයට පමණයි) 2019 වසරේ දී ජනාධිපතිවරයා විසින් මොහාන් මුණසිංහට ප්‍රදානය කරනවා. ඊට අමතරව ඔහු විසින් දිනාගෙන තිබෙන ජාතික හා ජාත්‍යන්තර සම්මාන ප්‍රමාණය ඉතා විශාල ගණනාවක් වෙනවා.

බරක් ඔබාමා සමග (static)

2017 දී ප්‍රංශ ජනාධිපතිවරයා විසින් පරිසරය, දේශගුණික විපර්යාස හා තිරසාර සංවර්ධනය සඳහා සුවිශේෂී ලෙස ගෝලීය දායකත්වය දැක්වීම වෙනුවෙන් ප්‍රංශයේ ගෞරවනීය සම්මානය ලබා දෙනවා. ශ්‍රී ලංකාවේ හා ලොව පුරා බලශක්ති, දේශගුණික විපර්යාස හා තිරසාර සංවර්ධනය සඳහා කළ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් 2016 දී ජනාධිපතිවරයා විසින් සුවිශේෂීත්වය උදෙසා එක වරක් පමණක් පිරිනැමෙන සම්මානය (Outstanding Lifetime Achievement Award) මොහාන් මුණසිංහට පිරිනමනවා. බලශක්ති, තිරසාර සංවර්ධනය හා දේශගුණික විපර්යාස පිළිබඳ කැපී පෙනෙන කාර්යයන් වෙනුවෙන් 2016 දී ඔහුට වියානා ලෝක බලශක්ති පදනමේ ඉහළම සම්මානය හිමි වෙනවා.

සාමය සහ සංවර්ධනය පිළිබඳ සම්මානය, ඉංජිනේරු විද්‍යාවේ උසස්ම හැකියාව වෙනුවෙන් සම්මානය (Eminence in Engineering Award) හා 2006 වසරේ දී පරිසරය වෙනුවෙන් පිරිනැමෙන සයීඩ් අන්තර්ජාතික සම්මානය (Zayed International Prize for Environment ) ඔහු දිනා ඇති විශාල ගණනාවක් වූ අනෙක් සම්මාන අතරින් කිහිපයක් ලෙස හැඳින්විය හැකි යි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් එහි සාමාජික රටවල් 2030 වසරේ දී සපුරාගත යුතු ලෙස 2015 වසරේ ලබා දුන් තිරසාර සංවර්ධන අභිමතාර්ථ 17 මෙරට ක්‍රියාත්මක කිරීමේ දී, එහි ප්‍රධාන උපදේශකයෙකු ලෙස ද ක්‍රියා කරන්නේ මොහාන් මුණසිංහ යි.

කවරයේ පින්තූරය- webflow

මූලාශ්‍රය- 

mohanmunasinghe.com

 

Related Articles