ලෝක සිනමාව යන විෂය සැලකිල්ලට ගැනීමේදී පළමු කතානාද චිත්‍රපටය වූ, 1927 වසරේ තිරගත වූ ‘ද ජෑස් සිංගර්‘ චිත්‍රපටය බිහිවීමෙන් පසු ලොව පුරා විශිෂ්ට සිනමා අධ්‍යක්ෂකවරුන් බිහිවුණා. යුරෝපය ද එවැනි විශිෂ්ටතමයින් රාශියක් ලොවට දායාද කළ මහාද්වීපයක්.
ස්කැන්ඩිනේවියාවට අයත් ස්වීඩනය ලෝක සාහිත්‍යයට ඉතා විශාල මෙහෙයක් සිදුකළ රටක්. ලෝක සිනමාවටත් ස්වීඩනයෙන් මහඟු දායාද කිහිපයක්ම ලැබුණා. ඒ අතරින් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ඉන්ග්මාර් බර්ග්මාන්ට හිමිවන්නේ ප්‍රමුඛතම ස්ථානයක්. විසිවන සියවසෙහි බිහිවූ ලොව විශිෂ්ටතම සිනමාකරුවන් කිහිපදෙනා අතර ඉදිරි ස්ථානයක ඔහුගේ නාමය වැජඹෙනවා. ඔහුටම ආවේණික වූ ශෛලියකින් නිර්මාණ කළ බර්ග්මාන් අධ්‍යක්ෂණය කළ, ලෝ පතල සිනමා කෘතීන් කිහිපයක්ම වෙනවා.
කුඩා කාලය
ඉන්ග්මාර් බර්ග්මාන් උප්පත්තිය ලැබුවේ 1918 වසරේ ජූලි මස 14 වන දින ස්වීඩනයේ උප්සාලාහි දී යි. ඔහුගේ පියා දැඩි ආගමික නැඹුරුවක් තිබූ අයෙකු වූ අතර ඉතා තද විනයක් සිය නිවස තුළ පවත්වාගෙන යන්නට කටයුතු කළා. මේ හේතුව නිසා කුඩා ඉන්ග්මාර් බර්ග්මාන්ට හැදී වැඩීමට සිදුවූයේ ඉතා දැඩි නීති රීති සහිත වූ පරිසරයක යි.
ඉන්ග්මාර් බර්ග්මාන් කුඩාකල සිටම චලන චිත්‍රවලට ඉතා දැඩි ලැදියාවක් දැක්වූවා. එකල ලොවට කතානාද සිනමාව හඳුන්වා දී තිබුණේ නැහැ. ලත් අවසරයෙන් නිහඬ චිත්‍රපට නැරඹීම ඔහු විනෝදාංශයක් කරගත්තා. සය වියැති වන විට එම චිත්‍රපටවල තමන් දකින් දේ පොත්වල ඇඳ, විවා පෙරළමින් තමන්ගේම කෙටි ‘චිත්‍රපට’ නිපදවීමට ඔහු උත්සුක වුණා. අනතුරුව චිත්‍රපට සංස්කරණය කිරීමේ දී කපා ඉවත දමන ලද සේයාපට කොටස් එකතු කරගත් ඔහු ඒවා කපා කොටා තමන්ගේම කියා චිත්‍රපට කැබලි තනන්නට උත්සුක වුණා. තමන් ජීවත් වූ ඒකාකාරී පරිසරයෙන් මිදීම සඳහා ඔහු විසින් සිදුකළ මේ ව්‍යායාමයන් අවසානයේ ඔහුගේ ප්‍රියතම විනෝදාංශය බවට පත් වුණා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ අවධානය රූකඩ කලාව දෙසට ද යොමු වූ අතර, නව යොවුන් වියේදීම සිය ප්‍රථම වේදිකා නිර්මාණය ද සිදුකරනවා.
හොඳින් සිය මූලික අධ්‍යාපනය නිමා කළ බර්ග්මාන් 1937 වසරේ දී ස්ටොක්හෝම් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබනවා. ඉතා ඉක්මණින්ම ඔහු අධ්‍යක්ෂකවරයෙකු ලෙස එහි නමක් දිනාගැනීමට සමත්වන අතර ශිෂ්‍ය වේදිකා නාට්‍ය කණ්ඩායමේ ක්‍රියාශීලී සමාජිකයෙකු බවට පත්වෙනවා. 1942 වසරේ දී විලියම් ශේක්ස්පියර්ගේ ‘මැක්බෙත්’ නාට්‍යය ප්‍රතිනිර්මාණය කිරීමේ මහඟු අවස්ථාව ඔහුට හිමිවන අතර විශිෂ්ට ලෙස එය සිදුකිරීමත් සමග දස දෙසින් ඔහුට නොමද පැසසුම් ගලා එන්නට පටන්ගත්තා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔහු ස්වීඩන රාජකීය ඔපෙරාවේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස තෝරා පත්කර ගැණුනා. මේ කාලය තුළ දී තමන් සිනමා අධ්‍යක්ෂකවරයෙකු ද විය යුතු යැයි ඉටාගත් බර්ග්මාන් ඉදිරි වසර කිහිපය තුළ වේදිකාවේත්, රිදී තිරයේත් පෙළහර පෑවා.
මුල් කාලීන සිනමා නිර්මාණ
1945 වසරේදී බර්ග්මාන් සිය ප්‍රථම සිනමා නිර්මාණය සිදුකළා. ‘ක්‍රයිසිස්’ නම් වූ මෙය අසතුටුදායක ආදර සම්බන්ධයක් අවසානයේ සිදුවන සියදිවි නසාගැනීමක් ගැන පැවසෙන චිත්‍රපටයක්. මෙයට හොඳ නරක ප්‍රතිචාර දෙකම ලැබුණු අතර ඉන් පසු වසර දහයක පමණ කාලයක් ඔහු විසින් අධ්‍යක්ෂණය කළ සිනමා කෘතීන් සියල්ලටම පාහේ ලැබුණේ මධ්‍යස්ථ ප්‍රතිචාර යි. කෙසේ නමුත් 1956 වසරේ බර්ග්මාන් විසින් අධ්‍යක්ෂණය කොට තිරගත වන්නට යෙදුණු ‘ද සෙවන්ත් සීල්’ චිත්‍රපටයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. සත්‍ය සොයායන නයිට්වරයෙකු වට ගොඩනැගුණු කුතුහලයෙන් පිරි කතාවක් සහිත මෙම සිනමා නිර්මාණයත් සමග ලෝක ප්‍රජාව බර්ග්මාන් ගැන කතා වන්නට පටන්ගත්තා.
බර්මාන් සිය සිනමා නිර්මාණ තුළ ඉතා විශිෂ්ට ලෙස සංකේත යොදාගත්තා. 50 දශකය අග භාගයේ හා 60 දශකය මුල් භාගයේ ඔහු අතින් නිපැයුණු ‘වයිල්ඩ් ස්ට්‍රෝබෙරීස්’ (1957), ද මැජිෂන් (1959) හා ද වර්ජින් ස්ප්‍රිං (1960) යන සිනමා නිර්මාණ තුළ එය හොඳින් දැකගන්නට පුළුවන්.
බර්ග්මාන් සිනමාකරුවෙකු වශයෙන් උපරිමයට පැමිණි සමයේ දී හරබර ජීවන දර්ශනයක් සහිත තෲ අ ග්ලාස් ඩාක්ලි (1961), වින්ටර් ලයිට් (1962) හා ද සයිලන්ස් (1963) නම් සිනමා නිර්මාණ ත්‍රිත්වයක් නිපදවීම සිදුකළා. මේ ත්‍රිත්වය ඔහු ලෝ පතළ සිනමාකරුවෙකු බවට පත් කරන්නට සමත් වුණා.
පසුකාලීන වැඩ කටයුතු
1960 දශකයේ මැද භාගයේ දී බර්ග්මාන්ට ලිව් උල්මාන් නම් නෝවීජියානු ජාතික තරුණ නිළියක මුණගැසෙනවා. ඇයගේ දක්ෂතාවලට මෙන්ම පෞරුෂයට ද බර්ග්මාන්ගේ හිත ඇදී යන අතට 1966 වසරේ ඇය යොදාගෙන ‘පර්සෝනා’ නම් අති සාර්ථක නිර්මාණයක් කරනවා. මින් පසු ඔහුගේ නිර්මාණ බොහොමයකට ඔහු විසින් උල්මාන් යොදාගත් අතර මේ දෙදෙනා අතර සංකීර්ණ පෙම් සබඳතාවක් ද ගොඩනැගුණේ බර්ග්මාන් විවාහකයෙකුව සිටිය දීම යි. බර්ග්මාන්ට දාව උල්මාන්ට දියණියක ද ලැබෙනවා. ඉන් පසු ඔහු 1968 වසරේ දී ‘ද අවර් ඔෆ් ද වුල්ෆ්‘ නම් තවත් සාර්ථක නිර්මාණයක් කරනවා. එහි තේමාව අද්භූත එකක්.
1970 දශකය බර්ග්මාන්ට එතරම් සුභවාදී වුණේ නැහැ. ආදායම් බදු ප්‍රශ්න කිහිපයක් නිසා ඔහුට ස්වීඩනයෙන් පිටව විසීමට සිදු වූ අතර ඒ කාලයේ දී ඔහු කළ සිනමා නිර්මාණ අතර ක්‍රයිස් ඇන්ඩ් විස්පර්ස් (1971) හා ඕටම් සොනාටා (1978) වෙනවා.
1982 වසරේ දී බර්ග්මාන් ෆැනී ඇන්ඩ් ඇලෙක්සැන්ඩර් නම් සිනමා නිර්මාණයක් අධ්‍යක්ෂණය කරන අතර එහි ගැබ්ව තිබුණේ ඔහුගේම ජීවිත කතාව යි. මෙය ඔහුගේ අවසාන සිනමා නිර්මාණය ලෙස සනිටුහන් වී තිබෙනවා. කෙසේ නමුත් එයිනුත් පසුව කාලයක් රූපවාහිනිය හා වේදිකාව සමග රැඳී සිටි ඔහු එහිදී ද සාර්ථක නිර්මාණ කිහිපයක්ම කරනවා. 2001 වසරේදී බර්ග්මාන් සිය ජීවිත කතාව අළලා ‘ෆේත්ලස්’ නම් තිර පිටපතක් රචනා කළ අතර එය අධ්‍යක්ෂණය කළේ ලිව් උල්මාන් විසිනුයි. එය ලොව පුරා කතාබහට ලක් වුණා.
අවසානය
ඉන්ග්මාර් බර්ග්මාන් 2003 වසරේ දී අධ්‍යක්ෂණයෙන් සමුගත්තා. අනතුරුව ස්වීඩනයේ පිටිසර පෙදෙසක පිහිටි දූපතක් සිය වාස භවන ලෙස තෝරාගත්තා. 2007 වසර වන තුරු එහි රැඳී සිටි ඔහු එම වසරේ ජූලි මස 30 වනදා නින්දේ දීම මෙලොව හැර ගොස් තිබුණා. ඒ වන විට ඔහු 89 වන වියෙහි පසු වුණා.
ඉන්ග්මාර් බර්ග්මාන් ලෝක සිනමාව නව මාවතකට හැරවූ බව සිනමා විචාරකයින් පවසනවා. විශෙෂයෙන් ඔහුගේ සිනමාකරණයේ හා තිර පිටපත් අන්තර්ගතයේ ඇති අද්භූතභාවය ඔහුටම ආවේණික ශෛලියක් වුණා. අදටත් සිනමා පාසල්වල ඉන්ග්මාර් බර්ග්මාන් ගේ නිර්මාණ අධ්‍යයන කටයුතු සඳහා යොදා ගැනෙනවා.