අාදරේ කියන්නෙ අපි හැමෝටම පොදු හැඟීමක්. විරහවත් අපිට නුහුරුම නෑ. ජීවිතය ගලා යන්නෙ දුක, සතුට යන කාරණා මැද. නුදුරේ දී එළිදැක්වීමට නියමිත ඉරෝශන් ප්‍රනාන්දුගේ කුළුඳුල් පොත ගැන අපි කළ කතා බහක් මේ. මොකද්ද මේ වැඩේ කියලා අපි ඔහුගෙන්ම අහමු.
ඉරෝශන් ප්‍රනාන්දු ගැන කෙටියෙන් කිව්වොත්?
මෙහෙම යි. කතාව හරිම සංකීර්ණ යි. තමන්ට තමන්ව හඳුන්වලා දෙන එක. ඒක ඊට වඩා ලේසි යි, ලෝකයා තමන් දිහා බලන විදියෙන් හඳුන්වලා දෙන්න. රස්සාව හැටියට, Roar සිංහල වෙබ් අඩවියට සම්බන්ධ වෙලා කටයුතු කරනවා. ඇත්තටම රස්සාවට කරන්නේ ආස දේ. ලියන එක ආසාවට කරනවා. ඒ අතරින් පතර ඩිසයින් වැඩත් කරනවා. තාම ඔක්කොම ඉගෙන ගන්නවා.
මම මං ගැන කියනවා නම්, ටිකක් වෙනස් විදියට වැඩ කරන්න කැමති කෙනෙක්. සරල දේවල් අස්සේ ලොකු දෙවල් යටි පෙළක් විදියට ගොඩනගන්න ආස යි. තාම පඩි පෙළ නගින්න ගත්තා විතරයි. තව ගොඩාක් ඉගෙන ගන්න තියෙනවා. රස්තියාදුව ඇතුළේ ගොඩාක් දේවල් හම්බකර ගත්තා. මේ ඉන්ටර්වීව් එක පවා ඒ ඉගෙන ගන්න එකේ කොටසක්. කෙටියෙන්ම කිව්වොත් මහප්‍රාණ නෑ. සරල යි. මං ආසයි මාව “ඇඩවර්ටයිසින්කාරයෙක්” විදියට හඳුන්වලා දෙන්න. හැබැයි තාම ඉගෙන ගන්නවා. ඒ වගේම කෙටි මාර්ගවලට වඩා දිගු ගමංවල යෙදුණු කෙනෙක්.
“කළුපාට රොමෑන්තිකයාගේ ආදරවන්තිය” ගැන කවියෙන් හෙළිදරව් කරන්න හිතුවේ ඇයි?
ඔතන පොඩි අවුලක් තියෙනවා. සිංහල සංස්කෘතිය, එහෙම නැත්නම් සාහිත්‍ය ඇතුළේ කවිය කියන එක නිර්මාණය වෙන යම් යම් රීති තියෙනවා. හැබැයි, මේ පොත ඇතුළේ එසේ නොවෙන තැන් ගොඩාක් තියෙනවා. මං ආසයි මේක කවි පොතක් කියන තැන ස්ථාන ගත කරන්නේ නැතුව ආත්මීය ප්‍රකාශනයක් එළිදැක්වීමක් වගේ තැනක තියන්න. ඒ හැම අකුරු කෙටුමකටම යටි කතාවක් තියෙනවා. ඒවා සංකීර්ණ නෑ. අපිට එදා මෙදා ජීවිතය ඇතුළේ මනුස්සයෙක් විදියට අත්දකින්න වෙන දේවල්. ඒ දේවල් දිහා වෙන තැනක ඉඳන් බලන කොට ඒවා මාර ලස්සන යි. ඒ අල්ලගත්ත තැන ඉඳන් ලියපු දේවල් තියෙන්නේ. කතා දෙකකුත් තියෙනවා. සමහරක් පිටුවල තියෙන්නේ වාක්‍ය විතර යි. මදුරුවෙක් එළවන්නේ නැතුව මිනිස්සු මරන්නේ ඇයි කියන එක පවා ඒකේ තියෙනවා. හැබැයි, මදුරුවාට එතන ආදරය ඉන්සර්ට් කළාෙත් අපිට එන විෂුවල් එක වෙනස්. එක කතාවක් ඇතුළේ කතා ගොඩාක් තියෙන්න පුළුවන්. ඉතින් ඒවා කවිම නෙමෙයි. නමුත් පැහැදිලිවම ඔබට ඒවා ඔබේ කරගන්න සහ ඔබේ කතාන්දර වෙන්නත් පුළුවන්.
ඔබට අනුව කවිය සහ සමාජය අතර අන්තර් සබඳතාවක් තිබෙනවා ද?
මෙහෙම ගමු. කවිය කියන නිර්මාණයට ලඝු නොකර, අපි ලියන ඒවා ගත්තම ඒ හැම දෙයක් එක්කම සමාජීය කාරණාවක් තියෙනවා. මං කියන්නේ සමාජය අපිට හිස් කැන්වස් එකක් පාට කරන්න පාට දෙනවා. අපිට එදිනෙදා හම්බෙන මිනිස්සු එක එක පාට යි. සමාජය කියන්නේ අපි ගැටෙන තැන. එතන එක්ක සම්බන්ධතාවයක් නැතුව දේවල් ලියන්න පුළුවන්. හැබැයි අපි ලියන ගොඩාක් ඒවා සමාජයට ආයේ කොතනින්ම හරි සම්බන්ධ වෙනවා.
අතීත කවියේ ඉඳන් අද අපි ලියන කවි හා කවි වගේ ඒවා, (ගොඩාක් වෙලාවට මං ලියන්නේ ඒ වගේ ඒවා) කොහෙන් ම හරි සමාජයට අනුබද්ධ වෙනවා. ඒක හැබැයි කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. ලංකාව අැතුළේ සමාජය අලලා ලියන දේවල් මාර්කට් කරන්න ලේසි යි. අපි ටිකක් සංවේදී වගේ පෙන්නන්න ආස මිනිස්සු ඉන්න රටක්. ඒ නිසා එ්වාට වාව් කියන ගාන, වෙන දෙයක් ලිව්වම බනින ගානට වඩා දහස් ගුණයක් වැඩි යි.
‘කවිය’ ඔබ අර්ථ දක්වන්නේ කොහොමද?
කවිය අර්ථ දක්වන්නේ කොහොම ද කියන තැන අග තියන ප්‍රශ්නාර්ථය මටත් ඒ විදියටම තියෙනවා. මං හිතන්නේ මිනිස්සු ඔක්කොටම කවි ලියන්න පුළුවන්. එහෙම බැරි කෙනෙක් වෙන්න විශේෂ අවශ්‍යතා සහිත කෙනෙක් වෙන්න ඕනා.
හැබැයි, අර උඩ මං කිව්ව රීති ඇතුළේ ඒක රිජෙක්ට් වෙන්න පුළුවන්. මිනිස්සු පිළිවෙලකට අකුරු කරන හැඟීම් ඔක්කොම කවි නොවෙන්න පුළුවන්. අපිට විඳින්න පුළුවන් ඕනෑම නිර්මාණයක් කවියක්. සරලව කියනවා නම් සිංදුවක ලිරික්ස් කියන්නෙත් කවියක්. සමහරක් සිංදු තියෙනවා. ඒවා නොකියා ලියලා විතරක් තිබ්බා නම් කියලා හිතෙන. ඉතින් කවිය මට අනුව නම් පිළිවෙලට අකුරු කරන හැඟීම්.
පොඩි උදාහරණයක් දෙන්නම්.
අර සංවේදී මිනිස්සු ඉන්න රටක් කිව්ව නිසා මෙන්න මෙහෙම එකම එක දෙවිදියකට කියන්න පුළුවන්.
නිමිත්ත – ගල් කඩන තැන ගල්බෝරේට යට වූ අම්මාට
පළවෙනි විදිය අපි සම්ප්‍රදායිකව ගමු.
කළුපාට ගල් කන්දකි උඩට විහිදෙන
දූවිලි ගොඩකි සද්දක් එක්ක අහස ඉඹින
අම්මා කෙනෙකි දරු දුක නිවා සනහාලන
ගල්බෝරයකි ඒ දරු දුක නිවූ අම්මා ඉඹින
ඕක එක විදියක්. මං කියන්නේ අපේ නිමිත්තේ එන්ඩ් ෆීල් එක ඔය පද පේලි හතර ඇතුළේ තියෙනවා.
අපිට ඕක මෙහෙම කියන්නත් පුලුවන්.
අම්මා ගිය
ගල් වැඩ පොළේ
ගල්බෝර
එක්කම නිවන් ගිය
මගේ අම්මා…
ෆීල් එකේ වෙනසක් නෑ. කියන තැන වෙනස්.
කවිය, සමස්ථයක් විදියට ගත්තොත් කලා නිර්මාණ කියන්නෙ සමාජ වගකීමක් ද?
මිනිස්සු නිර්මාණ කරන්න ඕනා වගකීමක් වගේ එකක් වෙනුවෙන් නම් ඊට වඩා හොඳයි කසාදයක් බැඳලා ළමයින්ට නම් තියන එක. මං කියන්නේ සමාජ වගකීම් කියන්නේ තරමක් බරපතල තැනක්. අපි කරන ගොඩාක් එ්වා සමාජය එක්ක සම්බන්ධ වෙන නිසා අපිට යම් වගකීමක් තියෙනවා ඔය කියන සමාජය ඇප්‍රෝච් කරන තැන පොඩ්ඩක් හිතන්න. මං කියන්නේ ඒක වගකීමක් නෙමෙයි. යුතුකමක්. හැබැයි, ඒක must එකක් වෙන්න ඕනා නෑ. කවිය කියලත් ලොකු එකක් නෑ. අපි, පෞද්ගලිකව මං අකුරු කරන්නේ සිදුවීම්. ඒක ඒ ඒ සිදුවීමේ ශුද්ධ ප්‍රතිඵලයම නෙමෙයි. ප්‍රතිඵල වෙනස් වුණාට, අපිට නිර්මාණකරුවන් විදියට ඒක වෙන තැනක බිල්ඩ් කරන්න පුළුවන් වෙන්න ඕනා. මං ලියන්නේ අන්න එතනට. ඒවා විඳින්න පුළුවන් වුණාම ඇති.
ඇත්තටම ඉරෝශන් ඇයි කවි පොතක් කරන්න හිතුවේ? ඒ පොතට ආදරය වස්තු විෂයය කරගත්තෙ?
ආයෙත් මං කියනවා මේක කවි පොතක් නෙමෙයි. එහෙම පොත් කරන අය ඕනා තරම් ඉන්නවා. මේ පොත කියවන කෙනෙක්ට තේරෙයි පැහැදිලිවම මේකේ ඇතුළ වෙනස් කියලා. හැබැයි, මං ලියපු ඔක්කෝටම මං වග කියනවා.
ආදරය වස්තු විෂයය කරගත්තෙ? හොඳ ප්‍රශ්නයක්. මිනිස්සු තමන්ට වැඩිපුරම වැරදිච්ච තැන් හිතේ තියාගෙන විඳවන්න ඕනා නෑ. ආදරය කියන්නේ එහෙම එකක්. ඉතින් මං මේකට වස්තු විෂයය විදියට ඒක ගත්තා. ඒත් මේකේ ආදරය විතරක් නෙමෙයි, ගොඩාක් දේවල් තියෙනවා. ඒ හැමදෙයක් ඇතුළේම මට මගේ කතාවක්, මගේ වීව් එකක් තියෙනවා. මිනිස්සු ළමයි හදනවා. නමුත් උන් ලොකු වෙලා සමාජයට යන්නේ උන්ට ඕන හැටියට. මං පොතක් ලිව්වා. ළමයෙක් බිහි කරා. ඉතින් ඌත් ඌට ඕනා විදියට ගියාදෙන්. මං ජීවිතය දුන්නට. ජීවිතය ඌගේ.
අවසාන වශයෙන් අපි පොතේ එළිදැක්වීම ගැන විස්තර සහ ඔබේ යම්කිසි පණිවුඩයක් වේ නම් සහෘදයින්ට කියමු.
මගේ පණිවුඩය තමා මං මේක කරලා මට මහා ලොකු සාහිත්‍යකාරයෙක් වෙන්න බලාපොරොත්තුවක් නෑ. මං ඉස්සරහටත් ලියනවා. ඒ මගේ සෙල්ෆ් සැටිස්ෆැක්ෂන් එකට. තවත් දෙයක්, මේ පොතේ ලියලා තියෙන මොහොතවල් පහු කරලා හරි, ඒවාට ලඟා නොවෙච්ච සුළුතරයකට මේ පොත විහිළුවක් වගේ වෙන්න පුළුවන්.
පොත අගොස්තු 26 හවස 3ට නුගේගොඩ විජේරාම හන්දියේ රෝයල් තැප්‍රොබේනියන් එකේ දී එළිදැක්වෙනවා. එදාට එන්න. අපිට ආදරය ගැන කතා කරන්න ගොඩාක් දේවල් තියේවි. එයාවත් එක්කන් එන්න.