Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වසර දහසයක් උපවාස කළ මනිපූර් හි යකඩ ගැහැණිය – ඉරෝම් ශර්මිලා

වසර 16ක් එක් අරමුණක් සඳහා උපවාසයක නිරත වූ ඉන්දියානු යකඩ කත ගැන ඔබ දන්නවා ද? ඒ අන් කිසිවෙකුත් නොව ඉන්දියාවේ මනිපූර්හි යකඩ ගැහැණිය ලෙස හදුන්වන ඉරොම් චානු ශර්මිලා යි. සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් වසර 16ක් එලෙස උපවාසයක නිරත වූ ඇයව හදුන්වන්නේ ලෝකයේ දීර්ඝතම කාලයක් එක දිගට උපවාසයක නිරත වූ පුද්ගලයා ලෙස යි.

උපවාසය සඳහා වටපිටාව නිර්මාණය වීම

තරුණ ශර්මිලා (The Indian Express)

ඉන්දියාවේ මනිපූර්හි දී 1972 වසරේ මාර්තු මාසයේ උපත ලබන ඉරොම් චානු ශර්මිලා, එම ප්‍රදේශයේ හමුදාවට විශේෂ බලයක් ලැබෙන ලෙස සම්මතව තිබූ පනතට (Armed Forces (Special Powers) Act) තදින් විරුද්ධ වෙනවා. මෙම පනත මුලින්ම ඉන්දියානු පාර්ලිමේන්තුවේ සම්මත වෙන්නේ 1958 වසරේ දී යි. එම පනතට අනුව හමුදාවට හා පැරා මිලිටරි කණ්ඩායම්වලට අසීමිත බලයක් පවරා තිබූ අතර ඕනෑම කෙනකු ඕනෑම වෙලාවක අත් අඩංගුවට ගැනීමටත්, රඳවා තබන්නටත් බලය ලැබී තිබුණා. ඊට අමතරව හමුදාවෙන් සාමාන්‍ය ජනතාවට නොයෙකුත් පීඩන එල්ල වූ අතර නිරපරාදේ මනුෂ්‍ය ඝාතන විශාල ප්‍රමාණයක් සඳහා හමුදාව වගකිවයුතු බවත් මනිපූර් වැසියන් චෝදනා කරනවා.

මෙම පනත ඉවත් කරන ලෙස ප්‍රාන්ත වැසියන් ඉල්ලීම් කළ නමුත් ඉන්දියානු මධ්‍යම රජය එයට ඇහුම්කන් දෙන්නේ නෑ. අද වන විටත් එම නීතිය මනිපූර්, ජම්මු, කාශ්මීර් ඇතුළු ප්‍රදේශ ගණනාවක ක්‍රියාත්මක වෙනවා. ත්‍රස්තවාදී කටයුතු මර්දනය කිරීමට මෙම නීතිය ක්‍රියාත්මකවන බව ඉන්දියානු මධ්‍යම රජය පවසන නමුත් ඒ හේතුවෙන් සිවිල් වැසියන් බොහෝ ප්‍රමාණයක් හමුදා අතින් නිරපරාදේ ඝාතනය වන බව එම ප්‍රාන්ත වැසියන් පවසනවා.

ඉරොම් චාර්නු ශර්මිලාගේ උපවාසය

රෝහල් කාමරය තුළ (Outlook India)

මෙම පනතට විරුද්ධවත් මනිපූර් හි මානව හිමිකම් හා සිවිල් අයිතිවාසිකම් රැකදෙන ලෙසත් රජයට ඉල්ලීම් කරමින් ඉරොම් ශර්මිලා සිය උපවාසය ආරම්භ කරන්නේ 2000 වසරේ නොවැම්බර් 2 වන දින යි. ඊට ආසන්නම හේතුව වන්නේ සිවිල් වැසියන් 10 දෙනෙකුව මනිපූර් බස්නැවතුම්පොළක දී රජයේ පැරා මිලිටරි කණ්ඩායමක් විසින් ඝාතනය කිරීම යි. එම කණ්ඩායම හදුන්වන්නේ Assam Rifles නමින්.

ඒ වන විට 28 වැනි වියේ පසු වූ ශර්මිලා එම සිදුවීමට තම විරුද්ධත්වය ප්‍රකාශ කරමින් නොවැම්බර් 5 වන දා සිය උපවාසය ආරම්භ කරනවා. ආහාර ගැනීම මෙන්ම ජලය පානය කිරීම ද ඇය ප්‍රතික්ෂේප කරනවා. ඇයගේ ප්‍රධානම ඉල්ලීම වන්නේ තම ප්‍රදේශයට පනවා තිබෙන හමුදා නීතිය සම්බන්ධ පනත වහා අහෝසි කරනු ලෙස යි.

උපවාසය පටන්ගෙන දින තුනකින් පසුව ඇයව අත්අඩංගුවට ගැනීමට ඉන්දියානු පොලිසිය කටයුතු කරනවා. ඒ සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීම යන චෝදනාව මත යි. මේ අනුව අත්අඩංගුවට ගන්නා ඇය විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ මනිපූර් බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරෙනවා.

එසේ වුවත් ඇය තම තීරණයේ දැඩි ලෙස එල්බ සිටි අතර මේ හේතුවෙන් අධිකරණ තීන්දුවක් ගන්නා බලධාරීන් ඇයට බලෙන්ම ආහාර කැවීමට උත්සාහ කරනවා. ආහාර ගැනීම ප්‍රතික්ෂේප කළ බැවින් ඇයට දියර ආහාර ලබා දීමට අවසානයේ තීරණය වෙනවා. ඇගේ නාසයෙන් කුසට ඇතුළු කළ ප්ලාස්ටික් බටයක ආධාරයෙන් දියර ආහාර ශරීරයට ඇතුළත් කෙරෙනවා.

උපවාසය පැවැත්වූ වසර16ම ආහාර ගැනීම ප්‍රතික්ෂේප කළ බැවින් ඉරෝම් ශර්මිලා ජීවත් වන්නේ ප්ලාස්ටික් බටයෙන් ලබා දුන් දියර ආහාරවලින් පමණි. ඇය කිහිපවතාවක්ම නිදහස් කළ නමුත් උපවාසය අත්නොහරින බැවින් පසුදිනම නැවත අත්අඩංගුවට ගැනීමට ඉන්දියානු පොලීසිය කටයුතු කරනවා.

වසර 16ක අඛණ්ඩ උපවාසය

රෝහල් කාමරය තුළ (Change.org)

මෙම අඛණ්ඩ උපවාස වසර 16ක කාලය තුළ ඇය ඉන්දියානු දූෂණ විරෝධී නායකයෙන් වන අන්නා හසාරේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳව නියෝජිතයන් හා ලෝකය පුරා විසිරි සිටින මානව හිමිකම් ක්‍රියාකාරිකයන් හා මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් මුණගැසීමට අවස්ථාව ලැබෙනවා.

ඒ වගේම ඉන්දියාවේ ක්‍රියාත්මක වන වාමාංශික පක්ෂ කිහිපයක් ද ඇයගේ මෙම උපවාසය වෙනුවෙන් සිය සහාය පල කරනවා. ඇය සමග අත්වැල් බැඳ ගන්නා විවිධ සංවිධාන අවස්ථා කිහිපයක දීම හමුදාවට විශේෂ බලයක් හිමිවෙන මෙම පනත අහෝසි කරන ලෙස මධ්‍යම රජයෙන් ඉල්ලා සිටිනවා. නමුත් ඒ පිළිබඳව ඉන්දියානු රජය සිය අවධානය යොමු කරන්නේ නෑ.

මෙම කාලය අතරතුර විවිධ දේශපාලන සංවිධාන කිහිපයක්ම තම දේශපාලන ප්‍රවාහය හා එකතුවෙන ලෙස ඇයට ආරාධනා කරනවා. නමුත් එම ඉල්ලීම් සියල්ල ඇය විසින් ප්‍රතික්ෂේප කරනවා.

වසර 16ක අඛණ්ඩ උපවාසය අත්හැරීම

උපවාසය අතහැරීමෙන් පසුව (Zee News)

2016 වසරේ වසර 16ක අඛණ්ඩ උපවාසය අත්හැරීමට ඇය විසින්ම තීරණය කරනවා. උපවාසය අතහරින ඇය එදින මාධ්‍ය සාකච්ජාවක් සඳහා සහභාගී වෙමින් පවසන්නේ උපවාසය අතහැරියත් හමුදාවට විශේෂ බලයක් ලැබෙන පනත අහෝසි කිරීමේ සටන අත නොහරින බව යි. එහිදී තවදුරටත් අදහස් දක්වන ඇය තමන් මනිපූර් ප්‍රාන්ත ජන්දයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙන බවත් දන්වා සිටිනවා.

පසුව පැවතුනු මනිපූර් ප්‍රාන්ත මැතිවරණයට ඇය විසින් නිර්මාණය කරන ලද දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් සහභාගී වන නමුත් එම මැතිවරණයේ දී ඇය අන්ත පරාජයක් ලබනවා. පරාජයට හේතුව ලෙස බොහෝ දෙනා පෙන්වා දෙන්නේ ඇය විසින් අඛණ්ඩ උපවාසය අතහැර දැමීම යි. මනිපූර් ජනතාව මෙම උපවාසය ජයග්‍රහණයකින් තොරව අවසන් නොකරනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටි බව සඳහන් වෙනවා.

මැතිවරණ සටනේ (NewsX)

මැතිවරණ පරාජයෙන් පසුව ඇය මනිපූර්වල වාසය නොකරන අතර මේ වන විට ඇය වාසය කරන්නේ කාශ්මීර් ප්‍රාන්තය තුළ යි. ඇය ආරම්භ කළ දේශපාලන පක්ෂයේ සාමාජිකයන් සමග ද කිසිදු සම්බන්ධතාවක් පවත්වන්නේ නෑ. ඇය මේ වන විට බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සමග විවාහ වී සිටින අතර දරුවන් දෙදෙනෙකුගේ මවක් ද වෙනවා. නමුත් තම පැරණි අරමුණ තවත් අතහැර නොමැති බව ඇය සඳහන් කරනවා.

කවරයේ පින්තූරය - The New York Times

මුලාශ්‍රයයන් -

indiatimes.com

timesofindia.com

bbc.com

Related Articles