Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යුද්ධය සමනය කළත් වරදකට හසු වී පුටුව අහිමි වුණු ඇමරිකානු ජනපති – රිචඩ් නික්සන්

උතුරු කොරියානු න්‍යෂ්ඨික අත්හදාබැලීම් සමග මෑත කාලයේ නැවතත් ඇමරිකානු න්‍යෂ්ටික බලය පිළිබඳව කතාබහ ඇතිවෙමින් පවතී. මින් පෙර ඇමරිකානු යුධ බලය න්‍යෂ්ඨික බලය දක්වා භාවිතයට ගැනීම ගැන කතාබහ වුණු කාලයක් වෙත් නම් ඒ ඇමරිකානු ජනාධිපති රිචඩ් නික්සන් ගේ කාලයේදී පැවති වියට්නාම යුද්ධයේදීය.

උතුරු වියට්නාමීය කැරළිකරුවන් සාකච්ඡා මේසයට පැමිණවීම පිණිස ඇමරිකාව උතුරු වියට්නාමය වෙත දැඩි බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන ලදී. 1972 දෙසැම්බර් මසදී අගදී කොමියුනිස්ට්වාදී උතුරු වියට්නාමය වෙත ටොන් 20,000ක බෝම්බ ඇමරිකානු B-52  යානා මගින් හෙළා තිබේ. දිගින් දිගටම ඇදෙමින් තිබූ වියට්නාම සාම සාකච්ඡාවලදී උතුරු වියට්නාමය නම්‍යශීලි කරගැනීමට අවශ්‍ය වීම රිචඩ් නික්සන් සහ ඔහුගේ රාජ්‍ය ලේකම් හෙන්රි කිසෙන්ජර් ගේ නායකත්වයෙන් එවන් සුවිශාල බෝම්බ ප්‍රමාණයක් වියට්නාමයට හෙලීමට හේතු විය.

උතුරු වියට්නාමීහු සිය සටන්කාමීත්වය එතනිනුදු නතර නොකළේ වී නම් න්‍යෂ්ඨික බලය පවා යොදා යුද්ධය කෙසේ හෝ හමාර කරන්නට සියලු කටයුතු රිචඩ් නික්සන් ඇමරිකානු ජනාධිපති විසින් සම්පාදනය කොට තිබුණි. අමෙරිකානු න්‍යෂ්ඨික අවි සක්‍රීය වීමට නම් අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා සතු සැඟවුණු රහස් කේතයක් සමග එය නිකුත් කල විය යුතු වේ. එම වැඩපිළිවෙළ පවා විසින් වඩාත් කාර්යක්ෂමව කිරීමට තරම් යුධ සූදානමකින් එවක නික්සන් සමයේ ධවල මන්දිරය ක්‍රියාකර ඇති බැව් වාර්තාවල දැක්වේ.

වියට්නාම යුද්ධයේ අවස්ථාවක් (cdn.hpm)

රිචඩ් නික්සන්ගේ කාර්යභාරය

වියට්නාම යුද්ධය හමාර කිරීමේදී රිචඩ් නික්සන්ගේ සහ හෙන්රි කිසින්ජර් ගේ රාජ්‍යතාන්ත්‍රික සහ මිලිටරිමය තර්ජනය කිරීම් හමුවේ න්‍යෂ්ඨික බලය පෙන්වීමට පෙර උතුරු වියට්නාමය සාකච්ඡාවලට නම්‍යශීලී විය. දිනකට මිනීපෙට්ටි සියයකට වඩා ඇමරිකාවට එවමින් තිබූ වියට්නාම යුද්ධය හමාර කරන්නට නික්සන්ට හැකි වූයේ එලෙසිනි. වියට්නාම යුද්ධය හමාර කිරීමට ඇමරිකානුවන්ගේම දැඩි විරෝධතා එල්ල වූ අතර ලෝක ජනයාට සෙත්සුව පැතීමේ අමෙරිකානු රාජ්‍ය අරමුණු කෙසේ වුවත් ලෝකයේ අනෙක් අන්තයක සිදුවන යුද්ධයක් නිසා සිය රටේ මිනිස් ජීවිත සහ ඩොලර් මිලියන ගණනක මුදල් නැති නාස්ති වනු දැකීමට ඇමරිකානු ජනයා අකමැති විය.

සීතල යුද්ධය හේතුවෙන් අමනාපව සිටි සෝවියට් රුසියාව සහ කලක පටන් සබඳකම් අඩුව තිබූ චීනයත් මිතුරු කරගන්නට කිසින්ජර් නික්සන් සංයෝගයට හැකිවිය. එය වර්තමාන දෘෂ්ඨි කෝණයෙන් එතරම් වැදගත් නොවන දෙයක් ලෙස දිස්වන්නට හැකි වුවද ධනවාදී ඇමරිකාව, කොමියුනිස්ට් චීනය සහ රුසියාව ලෙස දැඩි ලෙස බෙදී තිබූ සමයක නික්සන් රුසියානු චීන සබඳතා වර්ධනය කර ගැනීමට කටයුතු කිරීම සැලකිය යුතු වෑයමකි. උතුරු වියට්නාමී සටන්කාමීන් ද කොමියුනිස්ට්වාදී අදහස් ඇත්තෝ වූහ. චීනය සහ රුසියාව සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරඹීමත් සමඟ උතුරු වියට්නාමීන්ට ලැබෙන ආයුධ සැපයුම් අඩුකර ඔවුන් සාකච්ඡා මේසය වෙත යැවීමට රිචඩ් නික්සන් ජනාධිපති වරයාගේ දුරදක්නා වැඩපිළිවෙල හේතු විය.

එපමණක් නොවේ: ලොවම කඳවුරු දෙකකට බෙදී පරමාණුක අවි සඟවාගෙන එකිනෙකාට විවිධ අඩන්තේට්ටම් කරගනිමින් සිටි සමයෙක පරමාණුක අවි පිළිබඳ සම්මුතියකට ඒමටද රිචඩ් නික්සන් ජනපතිවරයාට හැකිවිය. එ් ඔහුගේ පාලන කාලය වූ වසර පහකුත් මාස 7ක් (1969 ජනවාරි 20 – 1974 අගොස්තු 9) තුළදී ඉටු කර ගැනීමට හැකි විය.

ඔහු 1972 දී දෙවනවර ජනපති පුටුවට පත් වන්නේ සියයට 62ක තරම් විශාල ජනබලයකිනි. එහෙත් එම මැතිවරණයේදී වෝටර්ගේට් සිද්ධිය හරහා නික්සන් සිදුකළ අයථා ක්‍රියා හේතුවන් අමෙරිකානු ඉතිහාසයේ එදා මෙදාතුර ජීවත්ව සිටියදී බලයෙන් ඉවත්වන්නට සිදු වූ එකම අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස රිචඩ් නික්සන් ඉතිහාසයට එකතු විය.

නික්සන් සහ කිසෙන්ජර් (jewishcurrents.org)

මහ බලවතා ලෙස පත්වීම

දෙවන ලෝක යුද්ධයේදී මිත්‍රපාක්ෂික ඇමෙරිකාවේ පැසිපික් කලාපයේ මහා සෙනවියා ලෙස කටයුතු කළ ඩ්වයිට් ඩී. අයිසන්හවර් ඇමරිකා එක්සත් ජනපදයේ 34 වන ජනාධිපතිවරයා විය. රිචඩ් නික්සන් අයිසන්හවර් ජනපතිතුමාගේ ජනාධිපති කාල පරිච්ඡේද දෙකේදීම (1953-1961) ඔහුගේ උප ජනාධිපතිවරයා විය.

1913 දී ඉපදුණු රිචඩ් නික්සන් විටර් විද්‍යාලයේ සහ ඩියුක් සරසවියේ වාර්තාගත සාමාර්ථ ලාභියෙකි. ඔහු දෙවන ලෝක යුධ සමයේ ලුතිනන් කමාන්ඩර් වරයෙක් ලෙසද පැසිෆික් යුධ පෙරමුණේ දී හමුදාවට සේවය සැපයීය. 1950 දී කැලිෆෝනියාවේ සෙනෙට්වරයෙකු වූ නික්සන්ව ඉන් වසර දෙකකට පසු අයිසන්හවර් විසින් සිය ක්‍රියාකාරී අනුගාමිකයා ලෙස තෝරාගන්නා ලදී. උප ජනාධිපති ලෙස පත්වන විට නික්සන් ගේ වයස අවුරුදු 39කි.

1960 අමෙරිකානු මැතිවරණයට පළපුරුදු උප ජනාධිපති නික්සන් සහ ජනප්‍රිය සෙනෙට් සභිකයෙකු වූ ජෝන් එෆ්. කෙනඩි තරඟ වැදුණි. ඇමෙරිකානු ජනපතිවරණයක් සඳහා රූපවාහිනී විවාදයක් පැවැත්වූ ප්‍රථම අවස්ථාව වූ එම මැතිවරණයේදී රූපවාහිනී විවාදයේ වැඩි වාසි අත්කරගන්නට ජෝන් එෆ්. කෙනඩි සමත් විය. ගුවන්විදුලියෙන් එම විවාදය ඇසූ අය වෙත් නම් නික්සන් එහි ජයග්‍රාහකයා බවත්, රූප මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීමේදී පෞරුෂයේ වාසිය ගත් කෙනඩි රූපවාහිනියෙන් ජයගත් බවත් එම ඡන්ද විවාදය සම්බන්ධ ප්‍රකට මතයකි. ඡන්ද සංඛ්‍යාව අනුව බැලූ කල මිලියන 70ක ඡන්ද ප්‍රමාණයක් ප්‍රකාශ වූ එම මැතිවරණයේදී නික්සන් පරාජය වන්නේ ඡන්ද ලක්ෂයකිනි. එහෙත් ඇමරිකානු මැතිවරණ විද්‍යාල ක්‍රමය අනුව කෙනඩි ඉදිරියෙන් සිටියේය.

කෙනඩි අවාසනාවන්ත ලෙස ඝාතනය වීමෙන් පසුව නැවතත් 1969 මැතිවරණයට ඉදිරිපත් වූ නික්සන් එයින් ජයගත්තේය. අන්තර්ජාතිකව සාර්ථක වූවා සේම පරිසර ආරක්ෂණය සම්බන්ධ ක්‍රියාකාරී වැඩපිළිවෙළක් සකස් කරන්නට නික්සන් ප්‍රබල ලෙස දායක විය. පාසැල් අධ්‍යාපනය, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය යනාදිය සම්බන්ධයෙන්ද වැදගත් තීන්දු රැසක් රිචඩ් නික්සන් ජනාධිපති ධූර කාලය තුලදී ගෙන තිබේ.

කෙනඩි සහ නික්සන් (redd.it)

නික්ම යෑම

දේශපාලකයින් රාජ්‍ය ආයතන සහ පොලීසිය වැනි ආයතන සිය වාසිය තකා භාවිත කිරීම අප රට දී නම් මහත් විශාල ආන්දෝලනයක් ඇතිකරන සිද්ධියක් නොවේ. එහෙත් ඇමරිකානු සමාජය ඒ සම්බන්ධයෙන් ඇත්තේ වෙනස් ස්වරූපයකි.

සිය ජනාධිපතිවරණ සටනට සහාය වන පරිදි විශේෂ නියෝජිත කණ්ඩායමක් හා එක්ව වෝටර්ගේට් නම් හෝටලය තුල රහසේ සංවිධානය වී විවිධ රහසිගත ක්‍රියාකාරකම් හි යෙදීම නික්සන්ට පුටුවෙන් බැසයන්නට හේතු වූ ප්‍රබලතම චෝදනාව විය. නික්සන් එක්තරා ආකාරයකට නිහඬ, වෙන්වූ චරිතයක් ලෙස ධවල මන්දිරයේ විසූ බවට ඉතිහාසඥයින්ගේ අදහස වේ.

ඔහු ධවල මන්දිරයේ විස්තර සොයන්නට වෙනමම දුරකථන පණිවුඩ පටිගත කරන පද්ධතියක්ද ස්ථාපනය කොට තිබුණි. නිතරම සතුරන් ඇතැයිද, ඔවුන් තමුන්ට එරෙහිව කුමන්ත්‍රණ කරනු ඇතැයිද යන හීනමානී ව සිතීමේ ගුණයක්ද නික්සන්ගේ විය. නික්සන් තුලම තිබූ යම් යම් අයහපත් පුරුදු ඔහුවම ගිලගන්නට විය. වෝටර්ගේට් සිද්ධියේදි ප්‍රබල සාක්ෂි වශයෙන් ඔහුගේ පටිගත කිරීමේ පටම භාවිත වන්නට විය.

නික්සන්ට 1974 දී සිය ජනපති පුටුවෙන් ඉල්ලා ඉස්වීමට සිදුවිය. ඉල්ලා අස් නොවුණි නම් ඔහුගේ ඉරණම එරට නීති පද්ධතිය මගින් තීරණය කරනු ලැබීමට ඉඩ තිබුණි.

නික්සන් වියට්නාම යුද්ධයෙන් ඇමරිකාවට ඇදෙන සෙබළ මළකඳන් නවත්වන්නට සමත් විය. වියට්නාම යුද්ධය විසඳන සාර්ථකම ක්‍රමය එය නොවිය හැකි වුවත් කෙලෙස හෝ වියට්නාම යුද්ධය අවසානය දකින්නට නික්සන් ගේ වැඩපිළිවෙල සමත් විය. සීතල යුද්ධය ඇවිලෙන්නට නොදී සමනය කරන්නටද ඔහු දායක විය. රට තුලද ඔහු යම් වැඩකොටසක් සිදු කරන ලදී. ආසන්නයට පැමිණි ජයග්‍රහණවල හිමිකාරයෙකු වුවද ඇමෙරිකානු ජනතාව නික්සන් යනු දෙවියෙක් හෝ මහා බ්‍රහ්මයෙක් ලෙස සිතා වැඳුම් පිදුම් කරන්නට සැරසුණේ නැත.

ධූරයෙන් නික්මෙන නික්සන් (www.history.com)

“ඔබට වෛර කරන්නාට පෙරළා වෛර නොකරන තාක්කල් ඔබට ජයගන්නට නොහැකි වේවි. එහෙත් ඒ වෛරයම ඔබව දවා අළු කරාවි.“ රිචඩ් නික්සන් ඉල්ලා අස් වී නික්ම යන්නට මත්තෙන් මාධ්‍ය හමුවේ එසේ ප්‍රකාශ කළේය.

Related Articles