Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සමාජවාදී දර්ශනය ලොවට හඳුන්වා දුන් කාල් මාක්ස්

ලංකාවේ වගේම ලෝකයේම කතාබහට ලක්වුණු නිතර කතා බහට ලක්වෙන මාතෘකාවක් තමයි මේ නිර්ධන පන්ති හා ධනපති පන්ති අරගලය. මේ වචන දෙක සාමාන්‍ය ජනතාව වන අපට හුරු පුරුදු වුවත් ඇත්තටම එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියල පැහැදිලි නැතිවෙන්න පුළුවන්. මේ වචන දෙක හරහා ලෝකයට දර්ශනයක් එහෙම නැතිනම් ලෝකය වෙනස් වියයුතු මෙසේ යැයි උගන්වමින් ඒ වෙනස් වීමට යායුතු මාර්ගය විස්තර කරන ක්‍රමයක් හඳුන්වා දීමේ මූලික​ අඩිතාලම දැමීමට සමත්වූ පුද්ගලයා වන කාල් මාක්ස් පිලිබදවයි මේ ලිපිය ගෙන එන්නේ.

කාල් මාක්ස් (upload.wikimedia.org)

ඔහුගේ මේ දර්ශනය මාක්ස්වාදය විදියට හඳුන්වනවා. මේ ලිපිය හරහා ඔහුගේ ජීවිතය පිලිබදව වගේම ඔහු ඔහුගේ දර්ශනය හරහා සිදුකල සමාජ පරිවර්තනය පිළිබඳවත් කියවන ඔබට දැනගන්න පුළුවන්.

කුඩා කාලය

1818 වසරේ මැයි 5 වන දින ජර්මනියේ උපත ලබන කාල් මාක්ස් මධ්‍යම පාන්තික පවුලක දරුවන් නම දෙනෙකු අතරින් පවුලේ තුන්වෙනි දරුවා වුවා. වෘත්තියෙන් නීතිඥයෙකු වූ හයින්රික් මාර්කස් ඔහුගේ පියා වූ අතර මව හෙන්රියෙට් ප්‍රෙස්බර්ග්  නම් වූවා. කාර්ල්ස් මාර්කස්ගේ මුලික අධ්‍යාපන කටයුතු ඔහුගේ පියා විසින්ම සිදු කල අතර පසුව Friedrich Wilhelm Gymnasium නම් උසස් පාසලට ඇතුලත් කෙරුණා.

කාල් මාක්ස් කුඩා කාලයේ ජායාරුපයක් (3.bp.blogspot.com)

එහි වසර පහක් පමණ අධ්‍යාපනය හැදෑරු මාක්ස් 1835 වසරේ ඔහුගේ උපාධිය සම්පුර්ණ කිරීමට සමත් වෙනවා. ඔහුගේ අධ්‍යාපනය ලබන කාලයේ ඉතිහාසය, ගණිතය, සාහිත්‍ය හා භාෂාව යන විෂයන් හැදෑරු අතර ඔහු ග්‍රීක් හා ලතින් යන භාෂාවන් මනාව හැසිරවීමේ සමතෙක් බවට පත්වී තිබෙනවා. ඊට අමතරව ස්පාඤ්ඤ, ඉතාලි, ලන්දේසි, රුසියානු හා ඉංග්‍රීසි යන භාෂාවන්ද හැසිරවීමටද ඔහු සමත් වෙනවා.

තරුණ අවධිය

1835 වසරේ ඔහු බෝන් විශ්වවිද්‍යාලයට ඇතුලත් කරන්නේ ඔහුගේ පියාට ඔහුව නීතිඥයෙකු කරලීමේ අවශ්‍යතාව මතුවීම නිසයි. නමුත් එහිදී ඔහු දර්ශනය හා සාහිත්‍ය යන අංශ හැදෑරීමට අවස්ථාව සලසා ගන්නවා. වසරක් තරම් කෙටිකලක් එහි ගතකරන අතර කාව්‍ය රචනාවටත් මේ කාලයේ යොමුවී තිබෙනවා. ඔහුගේ මේ හැසිරීම් නිසාවෙන්ම ඔහුව එම විශ්වවිද්‍යාලයෙන් ඉවත්කරගන්නා ඔහුගේ පියා මාක්ස්ව​ නැවත බර්ලින් විශ්වවිද්‍යාලයට ඇතුල් කරනවා. බර්ලින්හිදී මාක්ස් වෙනස් මතධාරීන්ගේ එකමුතුවකට සම්බන්ද වෙනවා. එහිදී ආගමික, දර්ශනය, හැසිරීම් හා දේශපාලනය පිලිබදව ඔහුගේ දැක්ම පෝෂණය කරගැනීමටත් ඔහුට හැකි වෙනවා. 1841 වසරේදී බර්ලින් විශ්වවිද්‍යාලයෙන් තමන්ගේ ආචාර්ය උපාධිය සම්පුර්ණ කිරීමට මාක්ස්ට​ හැකි වෙනවා.

මාක්ස්ගේ දේශපාලනික ජීවිතය

මාක්ස්ගේ පියාගේ අභාවය මේ කාලයේම සිදුවූ අතර ඒ නිසාම ඇතිවූ ආර්ථික අපහසුතා නිසාවෙන් මාක්ස් ලේඛණ කලාවට අවතීර්ණ වෙනවා. 1941 වසරේ ‘The Difference Between the Democritean and Epicurean Philosophy of Nature’ නම් ග්‍රන්ථය ඔහු රචනා කරනවා. මේ වෙනුවෙන් ඔහුගේ ආර්ථික, දේශපාලනික වගේම භාෂාමය හැකියාවත් මහත් පිටුවහලක් වෙනවා. ඔහුගේ රචනාවල බොහෝවිට විප්ලවවාදී අදහස් ගැබ්ව තිබු අතර ඒවා සමාජය ඒ කාලය වනවිට පැවති තත්වය හමුවේ ඉතා ඉහලින් පිළිගනු ලැබුවා. 1942 වර්ෂයේ ‘Rheinische Zeitung’ නම් පුවත් පතෙහි කතෘ තනතුරක් ලබාගන්නා මාක්ස් මේ හරහා එකල සමාජයේ පැවති ආර්ථික හා සමාජයීය ගැටළු මනාව විස්තර කරන්නට කටයුතු කලා. මේ නිසාම ප්‍රශියානු රජය එම පුවත්පත තහනම් කලා.

ඉන් පසු 1843දී මාක්ස් පැරිස් නුවරට පිටත්වෙන අතර එහි විප්ලවවාදී පුවත්පතක් වන ‘Deutsch Franz sische Jahrb cher’ හා සම්බන්ධ​ වෙනවා. එයත් අවාසනාවන්ත ලෙස රජය විසින් නවතා දමන අතර ඉන් පසු ‘Vorwarts!’ නම් පුවත් පතකට ඔහු සම්බන්ධ​ වෙනවා. මේ කාලයේ ඔහුට ෆෙඩ්‍රික් එංගල්ස් (Friedrich Engels) එනම් මාක්ස් දර්ශනය ගොඩනැගීමේ දෙවන මුලිකයා හමුවෙනවා.

මාක්ස් හා එංගල්ස්  (lifeinablog.com)

මේ දෙදෙනා එක්ව විශාල පර්යේෂණ ප්‍රමාණයක් සිදුකර දාස් කැපිටල් ( ‘Das Kapital’) නම් දර්ශනවාදී ප්‍රකාශනය නිමවනවා. පෙර ලෙසම මෙයද​ තහනම් කරන අතර ඔහු ලේඛණ කලාව ඉදිරියට නොනවත්වාම කරගෙන යනවා. ඒ අතරතුර 1845දී බ්‍රසල්ස් බලා ගමන් කරන අතර එහිදී  ‘League of the Just’ නම් රහස් සංවිධානයක් හා සම්බන්ධ වෙනවා.

දාස් කැපිටල් ග්‍රන්ථයේ ජායාරුපයක් (s.s-bol.com)

සංවිධානය ඔහු ඔහුගේ දර්ශනය සමාජගත කිරීමේ ක්‍රමය ලෙස යොදාගන්නා අතර රහස් සංවිධානය  ‘The Communist League’ යන නමින් දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කරලීමට ඔහු සමත් වෙනවා. ඔහුගේ දේශපාලන කටයුතු නිසාම ඔහුව පිටුවහල් කරන අතර ප්‍රංශයටත් පසුව 1849 මැයි 16 වනදා එංගලන්තයටත් ඔහුට ගමන් කිරීමට සිදුවෙනවා. එහි ඔහු ජර්මන් සමාජවාදී කම්කරු අධ්‍යාපන සංගමය හා සම්බන්ධ වන අතර New York Daily Tribune නම් පුවත් පත සමගින් ඔහුගේ දර්ශනය සමාජගත කිරීමේ කටයුතු සිදුකරනවා. 1864 වසරේ ජාත්‍යන්තර කම්කරු සංගමය හා එක්වන මාක්ස්, කම්කරුවන් අධ්‍යාපනික වශයෙන් දැනුවත් කිරීමේ කටයුතු ඒ හරහා සිදුකලා.

මාක්ස් දර්ශනය ලෝකයට කල බලපෑම

මාක්ස් දර්ශනයට අනුව ලෝකයේ සමාජ විකාශනය කොටස් 5කට බෙදෙනවා. ප්‍රාථමික සාමුහික සමාජය ( දඩයම්,ගල් හා එඩේර යුගයන්), වහල් සමාජය (බලය ඇති හා නැති ලෙස කොටස් කෙරුණු යුගය, මෙහි වහලෙකු සේම වහල් හිමියෙකුත් සිටියා), වැඩවසම් සමාජය (රජ කෙනෙකු සිටි අතර මෙහි විවිධ සමාජ පන්ති හෝ කුල පිහිටා තිබුනා), ධනවාදී සමාජය (මෙහි අනිකුන්ගෙන් වැඩ සිදුකරගන්නා වගේම වැඩ සිදුකරදෙන ලෙස සමාජ කොටස් දෙකක් පවතිනවා), සමාජවාදී සමාජය (මෙය සමාජයේ සැමට එක ලෙස සලකන පොදු අරමුණු වෙනුවෙන් ගමන් කරන සමාජයක් වෙනවා) ලෙස ඒවා හඳුන්වනවා.

ධනවාදයෙන් පසුව ඇතිවන සමාජ ක්‍රමය විදියට මාක්ස් දර්ශනයේ සදහන් වන්නේ මේ සමාජවාදී ක්‍රමයයි. මේ දැක්ම සමාජයේ විශාල වෙනස්කම් රාශියකට මූලික වුණා. ඊට උදාහරණ විදියට රුසියානු සමාජවාදී අරගලය, චීන සමාජවාදී අරගලය, ප්‍රංශ හා යුරෝපීය කම්කරු විප්ලව, උතුරු කොරියානු අරගලය, වියට්නාම් අරගලය වගේම අදත් පවතින කියුබානු සමාජවාදී රාජ්‍ය දක්වන්න පුළුවන්. මෙවැනි අරගල හරහා කම්කරුවන් විශාල අයිතීන් ප්‍රමාණයක් දිනාගත් බවත් නොරහසක්.

ඒ වගේම ඔහුගේ දර්ශනය​ හරහා චේ ගුවේරා, ලෙනින්, ෆිදෙල් කස්ත්‍රෝ, මාඕ සේතුං වැනි ලෝක පූජිත​ දේශපාලන චරිත බිහිකරන්නත් හැකියාව ලැබුනා. මොවුන් අතරින් ලෙනින් විශේෂයි. මන්ද, ඔහු මාර්ක්ස් දර්ශනය කාලයට සුදුසු ලෙස නැවත සකසා ජනතාව අතරට ගෙනයාම සිදුකරනු ලැබුවා.

ලෝකයේ බිහිවූ මාක්ස්වාදීන් සමහර දෙනෙක් (www.kinyu-z.net)

කාල් මාක්ස්ගේ ජීවිතයේ අවසාන කාලය

1883 වසරේ මාර්තු 14 වනදා එංගලන්තයේ ලන්ඩන් නුවරදී කාල් මාක්ස් මියයනවා. පෙනහළු ආශ්‍රිත ආභාදයක් නිසාවෙන් මියයන ඔහු ජිවිත කාලයම තමන්ගේ දර්ශනය වෙනුවෙන් කැපවී කටයුතු කලා. ඔහුගේ දර්ශනයේ විශේෂිතතාවය වන්නේ ඔහුගේ ඉගැන්වීම් ඉතා තර්කානුකූල වීමයි. විද්‍යාත්මකව ඔහුගේ ඉගැන්වීම් සාදනය කල හැකිවීමයි.

එංගලන්තයේ පිහිටි කාල් මාක්ස් සිහිපත් කරන ඔහුගේ සොහොන (image.turizmusonline.hu)

කාලයත් සමග මෙසේ ශ්‍රේෂ්ඨ චරිතයන් ජිවිතයෙන් සමුගත්තත් අද වනතුරුත් ඔවුන් ලෝකයට තිලිණ කල දේ රැදී පවතිනවා. ඒ නිසාම ඔවුන් අදත් සමාජ ගෞරවයට පත් වෙනවා. කාර්ල්ස් මාර්ක්ස් චරිතය අදත් බොහෝ පිරිසක් අතර ජීවමාන වී ඇත්තේ ඒ නිසාමයි.

කවරයේ පින්තුරය : brewminate.com

Related Articles