Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පරිගණක ලොවේ විප්ලවයක් ඇති කළ මිනිසා – ස්ටීව් ජොබ්ස්

පරිගණක ලොවේ විප්ලවයක් ඇති කළ ඇපල් සමාගම පිළිබඳව නොදන්නා කෙනෙක් නොමැති තරම්. ස්ටීව් ජොබ්ස් විසින් ආරම්භ කර අවසානයේ දී ඔහුටම තම සමාගමෙන් ඉවත් වීමට සිදු වූ අතර නැවත ඇපල් සමගම වෙත තම උත්සාහයෙන්  පැමිණෙන ඔහුට එය ලොව ජනප්‍රිය ආයතනයක් බවට පත් කිරීමට හැකියාව ලැබෙනවා.

පහළ මධ්‍යම ප්‍රාන්තික පවුලක තරුණයෙක් වූ ස්ටීව් ජොබ්ස් වයස අවුරුදු 27 වන විට කෝටිපතියෙක් බවට පත් වෙන අතර ඔහු ආරම්භ කල ඇපල් සමාගම ඔහු වයස අවුරුදු 57 දී මිය යන විට ලොව වටිනාම සමාගම් අතරින් එකක් විය. ඉතින් අද ලිපියෙන් ගෙන එන්නේ ස්ටීව් ජෝබ්ස්ගේ ජීවන කතාව හා ඔහු ඇපල් සමාගම ආරම්භ කළ ආකාරය පිළිබඳව යි.

මව පියා අහිමිව ඉපදුණු කොළු ගැටයා

තමා හදාවඩා ගත් පියා සමඟ කුඩා ස්ටීව් (Pinterest)

1955 පෙබරවාරි 24 වන දින අබ්දුල්ෆාටා ජන්දොලි නම් මුස්ලිම් ආගමික පියෙකුටත් ජොහානා සිබල්ස් නම් ක්‍රිස්තියානි ආගමික මවකටත් දා ව ස්ටීව් ජොබ්ස් ඇමරිකාවේ සැන් ප්‍රැන්සිස්කෝ නගරයේ විවාහයට පෙර ගැබ් ගන්නා තරුණියන්ට රැකවරණය සැලසූ නිවසක මෙලොව එලිය දකියි. ඔහුගේ මව හා පියා ඒ වන විටත් විශ්වවිද්‍යාල ශිෂ්‍යන් වූ අතර තම දියණිය මුස්ලිම් ජාතිකයෙකු හා විවාහ වනු දැකීමට අකමැති වූ ජෝහානාගේ පියා මෙම විවාහයට තම කැමැත්ත ලබා දෙන්නේ නෑ.

මේ හේතුවෙන් ස්ටීව්ව හදා වඩා ගැනීමට මධ්‍යම ප්‍රාන්තිකයන් වන ජොබ්ස් යුවළට භාර දීමට ජොහානා විසින් කටයුතු කරන්නේ කුඩා ස්ටීව් ට යම් දවසක විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා දිය යුතු යැයි ජොබ්ස් යුවළ පොරොන්දු කරවා ගැනීමෙන් අනතුරුවයි.

කුඩා කල සිට වෙන කිසිවකුගේ ආධිපත්‍යට යට වීමට අකමැති වූ ස්ටීව් නිර්මාණශීලිත්වය අතින් අනෙක් ළමුන් අතර ඉදිරියෙන් සිටි අතර හොම්ස්ටට් උසස් විද්‍යාලයට ඇතුලත් වන ඔහු එහිදී ගණිතය, විද්‍යාව හා ඉලෙක්ට්‍රොනික විද්‍යාවට දස්කම් දක්වනවා.

ස්ටීවන් වොස්නියැක්ගේ හමුවීම

වොස්නියැක් සමඟ (9to5Mac)

පාසල් කාලයේ දී ඔහුට තම ප්‍රියතම මිතුරා වන ඉලෙක්ට්‍රොනික විද්‍යාවට තදින් ඇළුම් කළ ස්ටීවන් වොස්නියැක් හමු වෙනවා. ට්‍රාන්සිස්ටර් හා රෙසිස්ටර් යොදා ගනිමින් විවිධ අත්හදා බැලීම් සිදු කරනවා.වරෙක ඔවුන් දෙදෙනා විසින් අසල්වැසි මිතුරන් සිටි නිවාස හයක් එකිනෙකට සම්බන්ධ කරමින් අන්තර් සන්නිවේදන පද්ධතියක් ගොඩ නගනවා.

තවත් වරෙක පාසලේ විවේක කාමරයේ ඇති රූපවාහිනියේ දිස්වන රූප විකෘති කරන උපකරණයක් සෑදීම මගින් මහත් විනෝදයක් ලබනවා. තවත් විටෙක මුදල් නොගෙවා දුරකථන ඇමතුම් ලබා ගත් හැකි උපකරණයක් නිර්මාණය කරන ඔවුන් එම උපකරණය හොර රහසේ අලෙවි කිරීමට පවා කටයුතු කරනවා.

විශ්ව විද්‍යාලයෙන් ඉවතට

තරුණ ස්ටීව් (Business Insider)

රීඩ් විද්‍යාලයට ඇතුළත් වී මාස 18කට පසුව ඔහුට තමන් ඉගන ගන්නා දෙය පිළිබඳව කිසිඳු තෘප්තිමත්භාවයකට පත් විය නොහැකි වූ අතර ඔහු තම පාඨමාලාවට අයත් නොවන පන්ති වලට සහභාගී වන්නට දැඩි ලෙස ඇලුම් කරනවා. අධ්‍යාත්මක විමුක්තිය ලබාගැනීම සඳහා දැඩි ලෙස කැපවීමෙන් කටයුතු කල ඔහු හින්දු පූජකයින්ගේ භාවනා ක්‍රම හා යෝගී ව්‍යායාම ඉගෙන ගනු ලබනවා.

එලෙසම මත්ද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහි වූ ස්ටීව් තමන්ට මුදල් අවශ්‍ය වූ විට ඉලෙක්ට්‍රොනික උපකරණ අලුත්වැඩියා කිරීමෙන් ඒ මුදල සොයා ගන්නවා.

විශ්වවිද්‍යාල ජීවිතය සම්පුර්ණයෙන් අතහැර දමන ස්ටීව් අටාරී නම් වීඩියෝ ක්‍රීඩා නිර්මාණය කරන සමාගමක රැකියාවක නිරත වෙනවා.

ඇපල් සමාගම නිර්මාණය කිරීම

ඇපල් 1 පරිගණකය සමඟ (The Verge)

මේ වන විට වොස්නියැක් දක්ෂ සැලසුම් ශිල්පියෙක් බවට පත් වී සිටිනවා. මේ වන විට ඔහු විසින් නිර්මාණය කරන ලද මෘදුකාංග අලෙවි කිරීම් කරනු ලැබුවේ ස්ටීව් විසින්. දෙදෙනා එක් ව නව සමාගමක් ඇපල් නමින් ආරම්භ කරන්නේ ඩොලර් 1350ක් ප්‍රාග්ධනය ලෙස යොදා ගනිමින්. නමුත් වොස්නියක්ට හිමි වන්නේ සමාගමෙන් 10%ක කොටස් පමණයි.

ඔවුන් දින 30ක් ඇතුළත පරිඝනක යන්ත්‍ර 100ක් නිපදවන අතර එම පරිඝනකය ඇපල් 01 ලෙස නම් කරනවා. ඉන් 50ක් බයිට් ෂොප් නම් සමාගමට විකුණු අතර ඉතිරි 50  මිතුරන්ට අලෙවි කරනවා.

1977 වසරේ ජනවාරි 3 වන දා පැරණි ඇපල් සමාගම අවසන් කර නව කළමනාකාරිත්වයක් යටතේ එනම් ව්‍යාපාරික ලෝකයේ අත්දැකීම් සහිත මාර්කුලා ෆෙයාර්චයිල්ඩ් සමඟ එකතුව නව ඇපල් සමාගම බිහි වන අතර 1977 වසරේ ඇපල් 2 පරිඝනකය ඉතා සාර්ථකව වෙළඳ පොළට හඳුන්වා දෙනවා. 1981 වසරේ දී එහි අලෙවිය 210, 000 දක්වා ඉහළ යනවා. 1980 මැයි මාසයේ දී ඇපල් 3 පරිගණකය වෙළඳ පොළට හඳුන්වා දුන්නත් එය එතරම් සාර්ථක වන්නේ නෑ. ආරම්භ කර වසර හතරකින් ලොව පුරා ඉතා ප්‍රසිද්ධ වූ ඇපල් සමාගම වසර හතරකට පසුව එහි වටිනාකම ඩොලර් කෝටි 179ක් දක්වා වර්ධනය කර ගන්නවා. සමාගමේ කොටස් හිමිකාරිත්වය හේතුවෙන් වයස අවුරුදු විසි පහ වන විට ස්ටීව් ඩොලර් දශ ලක්ෂ 256ක ධනවතෙක් බවට පත්වෙනවා.

ස්ටීව් ධනවතෙක් බවට පත් වූවත් ඔහුගේ ප්‍රතිසංස්කෘතික අදහස් වෙනස් නොවුණු බව දකින්නට පුළුවන්. වරෙක ස්ටැන්ෆෝඩ් විශ්වවිද්‍යාලයේ සිසුන් අමතන්නේ තමන් පැළඳ ගිය පාවහන් හා බ්ලෙසරය ගලවා දමා මේසයක් මත වාඩි වීමෙන් පසුව යි.

ගැටුම්

ඇපල් 1 පරිගණකය (Wikipedia)

ස්ටීව් විසින්ම පෙප්සි සමාගමෙන් ඇපල් සමාගමට ගෙන ආ ජෝන් ස්‌කලේ නම් ප්‍රධාන විධායක නිලධාරියා විසින් ස්ටීව්ට එරෙහි ව අධ්‍යක්‌ෂ මණ්‌ඩලය තුළ කළ සටනකින් පසු ස්ටීව් පසු බසිනවා. 1985 දී පමණ ස්ටීව්ව තමාගේම සමාගමෙන් නෙරපා හැරෙන්නේ දරුණු අධ්‍යක්‌ෂ මණ්‌ඩල තීරණයකින් පසුව යි.

ස්ටීව් පසුව පවසන්නේ එකී නෙරපා හැරීම තම ජීවිතය සම්බන්ධයෙන් සිදු වූ හොඳම දෙය බවයි. අනතුරුව ඔහු විසින් පික්‌සාර් නම් පරිගණක සජීවිකරණ සමාගම මිලට ගන්නා අතර පික්‌සාර් යනු සිනමා ඉතිහාසයේ දැවැන්තම සජීවිකරණ චිත්‍රපට නිපද වූ සමාගමක්.

ස්ටීව් නැවතත් වසර 11 කට පසු ඇපල් වෙත එන්නේ එම සමාගමට එරෙහිව හතර වටින් ව්‍යාපාරික අභියෝග එල්ල වෙමින් පැවති විට යි. ඒ වන විට ඇපල් සමාගම වසරක්‌ ඇතුළත ඩොලර් බිලියනයක්‌ අහිමි කර ගත් අතර බංකොලොත්භාවය ප්‍රකාශ කිරීම සඳහා සමාගමට තිබුණේ තවත් දින 90ක් පමණ යි.

නැවත පැමිණි ස්ටීව්ගේ අලෙවිකරණ හැකියාව අති විශිෂ්ට විය. ලෝකයේ ධනවත් ම පුද්ගලයා වන බිල් ගේට්‌ස්‌ සමඟ පවා ඔහු ගිවිසුම් වලට එළඹෙනවා. ඒ ඇපල් සමාගම බංකොලොත්භාවය අබියස සිටිය දී මයික්‍රොසොෆ්ට් හරහා ස්ටීව් විසින් නැවතත් තම සමාගම බේරා ගැනීමේ ක්‍රියාවලියේ දී යි.

බිල් ගේට්ස් සමඟ (MSPoweruser)

ඇපල් සමාගමේ ‘අයිෆෝන්’, ‘අයිෆෝඩ්’ හා ‘අයිටියුන්’ යන අති නවීන තාක්ෂණයෙන් නිපද වූ ඉලෙක්ට්‍රොනික උපාංග රැසක් ලොවට හඳුන්වා දීමේ පුරෝගාමියා වන්නේ ද ස්ටීව් ය.

මරණය

ස්ටීව් පිළිබඳව මතක සැමරුමක් (Society of Publication Designers)

ස්ටීව් මියයන්නේ දීර්ඝ කාලයක් තිස්සේ පිළිකාවකින් පීඩා විඳීමෙන් පසුව යි. ඉතා විරල වර්ගයේ පිළිකාවක් අගන්‍යාශය තුළ හටගෙන ඇති බව ජොබ්ස් දැන ගන්නේ 2004 වසරේදී යි. 2009 වසරේ දී ඔහුට අක්මා බද්ධයක් ද සිදු කෙරුනු අතර  2011 වසරේ අගෝස්තු 24 වැනිදා ජොබ්ස්, ඇපල් සමාගමේ විධායක නිලධාරී ධුරයෙන් ද  ඉල්ලා අස් වන්නේ අයහපත් සෞඛ්‍යය තත්ත්වය හේතුවෙන්.

2011 වසරේ ඔක්තෝම්බර් 15 වන දින ඔහු මෙලොව අතහැර යනවා. මිය යන විට ස්ටිව්ගේ වයස අවුරුදු 57ක්.සෑම දිනයක්ම ඒ ඔබගේ අන්තිම දිනය සේ සලකා කළ හැකි සියලු දේ හැකි ඉක්මනින් කරන්න” ස්ටිව්ගේ ආදර්ශ පාඨය වූයේ එය යි.

කවරයේ ජායාරූපය- CNBC.com

මූලාශ්‍ර – අපූරු මිනිසෙක් – අනුවර්තනය – මහින්ද හත්තක ISBN – 978 955 652 908 1

https://www.biography.com/people/steve-jobs-9354805

http://allaboutstevejobs.com/bio/timeline.php

https://www.entrepreneur.com/article/197538

Related Articles