කලින් කලට ලෝකය වෙනස් කරන සොයා ගැනීම් හඳුන්වා දෙමින් අසාමාන්‍ය බුද්ධියකින් යුතු පුද්ගලයන් බිහි වෙනවා. මේ අය අතරින් බොහෝමයක් දෙනා සාමාන්‍ය ළමා කාලයක් ගත කර වයසින් වැඩෙන විට ඉහළ බුද්ධියක් පෙන්නුම් කළ අය යි. මෙවැනි බුද්ධිමතුන් අතරේ බහ තෝරපු කාලයේ පටන් ම වයසට නොගැළපෙන තරම් බුද්ධි මට්ටමක් හිමි කර ගත් අය ද නැතුවා ම නොවෙයි.
වයස අවුරුදු 14 ක් ව තිබිය දී ලොව ඉහළ ම බුද්ධි ඵලය හිමි පුද්ගලයා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත් වූ කිම් උං-යෝන්ග්ගේ තොරතුරු යි මේ.
ලොව ඉහළ ම බුද්ධි ඵලය හිමි කාට ද?
මේ ලෝකයේ දැඩි ලෙස විවාදයට බඳුන් වූ ප්‍රශ්නයක් ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. ‘බුද්ධිය’ සිත් ඇද ගන්නා සුලු මෙන් ම අතිශය සංකීර්ණ විෂයය පථයක්. මේ නිසා සියවස් ගණනාවක් තිස්සේ පර්යේෂකයන් එක් එක් පුද්ගලයාගේ බුද්ධි ඵලය නිවැරදි ව ගණනය කිරීමේ ක්‍රමයක් සොයා ගැනීමට උත්සාහ කළා. බුද්ධි ඵල මානක හෙවත් IQ Tests බිහි වුණේ එහි ප්‍රතිඵලක් ලෙස යි.
සාමාන්‍යයෙන් සිදු කරන්නේ බුද්ධි ඵල මානක මගින් ලැබෙන ලකුණු සංඛ්‍යාව මත එක් එක් පුද්ගලයාගේ බුද්ධි ඵලය ගණනය කිරීම යි. මෙසේ ලැබෙන ලකුණු සංඛ්‍යාව වර්ගීකරණය සඳහා යොදා ගන්නා ක්‍රමයන් ද කිහිපයක් ම පවතිනවා. සම්මතයක් ලෙස බුද්ධි ඵල මානකයක දී ලකුණු ලබා දෙන්නේ සම්මත අපගමනය පදනම් කරගත් ක්‍රමයකින්. සාමාන්‍ය බුද්ධියක් හිමි අයෙකුට මෙහි ලකුණු 100ක් හිමි වන අතර සම්මත අපගමනයක් සඳහා ලකුණු 15ක් එකතු කෙරෙනවා. මෙහි ඉහළ ලකුණු ලැබීම වඩ වඩාත් අපහසු වෙනවා. සරලව කිවහොත් ලොව සියලු දෙනාගෙන් 69%ක් පමණ දෙනාට ලකුණු 85 – 115 සීමාවේ ලැබෙන අතර 115 – 130 සීමාවේ සිටිය හැක්කේ 13%ක පමණ ප්‍රතිශතයකට පමණයි. 130 – 145 සීමාවේ 2%කුත්, 145 – 160 සීමාවේ 0.1%ක පිරිසකුත් සිටිනවා. 160 ඉක්මවූ ලකුණු හිමි වන්නේ ඉතාම සුළු පිරිසකට පමණයි.
ස්ටැන්ෆර්ඩ්-බීනේ වර්ගීකරණය හෙවත් ටර්මාන් දර්ශකය අනුව බුද්ධි ඵලය 145 – 160 අතර අගයක් ගන්නා අය සැලකෙන්නේ ප්‍රවිඥයන් (geniuses) ලෙස යි. ඉන් එහා පිරිස් කලකට පමණක් පහළ වන සුපිරි ප්‍රාඥයන් කියා සලකන්න පුළුවන්. කුඩා දරුවන් වෙත මෙහිදී ලබා දෙන ගැටළුවල යම් යම් වෙනස්‌කම් පවතින නිසා ඍජුව වැඩිහිටියන් සමග සසඳන්න බැහැ. කෙසේ වෙතත් 160 ඉක්මවා යා හැක්කේ දරුවන් ඉතා සුළු දෙනෙකුට පමණයි.
1977 වර්ෂයේ දී වයස අවුරුදු 14 ක් ව තිබිය දී ලකුණු 210 ක බුද්ධි ඵලයක් වාර්තා කරමින් ගිනස් පොතට නම ඇතුළත් කර ගැනීමට කොරියානු ජාතික කිම් උං-යොන්ග්ට හැකියාව ලැබුණා. පසු කාලීන ව මැරලින් වොස් සැවන්ට් නම් ඇමෙරිකානු ජාතික කාන්තාවක් 1986 දී ලකුණු 228 ක් ලබා ගනිමින් ඔහුගේ වාර්තාව බිඳ දැමුව ද අදටත් අඩු වයසක දී ලෝකයේ වාර්තා වී ඇති ඉහළත ම බුද්ධි ඵලය ලෙස කිම් උං-යොන්ග්ගේ වාර්තාව සැලකෙනවා.
ඇත්තට ම කිම් උං-යොන්ග් කවුද?
කිම් උං-යොන්ග් උපත ලබා ඇත්තේ දකුණු කොරියාවේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇති ගැන්ග්නම් නම් නගරයේ දී යි. ඇතැම් මූලාශ්‍රයන් හි ඔහුගේ උපන් දිනය 1962 මාර්තු 8 ලෙස සඳහන් වන අතර අනෙක් මූලාශ්‍ර ඔහුගේ උපන් දිනය 1963 මාර්තු 7 ලෙස දක්වනවා. මහාචාර්යවරයෙකු වූ ඔහුගේ පියා සඳහන් කරන ආකාරයට කිම් උං-යොන්ග් කතා කිරීම අරඹා ඇත්තේ මාස 6 ක් තරම් වන කුඩා වයසක දී යි. දෙවැනි වියට පා නගන විට ඔහුට කොරියානු, ජපන්, ඉංග්‍රීසි, ජර්මානු ඇතුළු තවත් භාෂා රැසක් කතා කිරීමට සහ කියවීමට හැකියාව පැවති බව සඳහන් වෙනවා.
වයස අවුරුදු 4 සම්පූර්ණ වන විට කිම් උං-යොන්ග්, සංකීර්ණ ගණිත ගැටලු විසඳීම සඳහා දැඩි කැමැත්තක් දක්වා ඇති අතර විවේකයක් ලද විටෙක ඔහුගේ කාලය ගත වී ඇත්තේ කොරියානු සහ චීන බසින් රචනා සහ කවි පබැඳීම සඳහා යි. ඔහු විසින් රචිත කෙටි කතා පොත් ද්විත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද ඔහුගේ දෙමව්පියන් කටයුතු කර තිබෙනවා. වයස අවුරුදු 7 සපුරන ලද දරුවන් සඳහා පැවැත් වූ බුද්ධි ඵල විභාගයක දී ලකුණු 200 ක් ලබා ගැනීමට ඔහුට සමත් වී ඇත්තේ ද මේ කාලයේ දී යි.
එහි ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර අවධානය කිම් උං-යොන්ග් වෙත යොමු වුණා. ලොව පුරා පුවත්පත් ගණනාවක ඔහු ගැන ලිපි පළ වූ අතර 1967 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි ග්‍රාන්ට් උසස් පාසල ඔහුට පාසලට ඇතුළත් කර ගැනීමට කැමැත්ත පළ කරමින් ලිපියක් එවා තිබුණා. ඔහුගේ පියා එයට කැමැත්ත පළ කර 1967 පෙබරවාරි මාසයේ දී කිම් උං-යෝන්ග් ව ග්‍රාන්ට් උසස් පාසලට ඇතුළත් කිරීමට කටයුතු කළා. ඔහු ලැබූ ජාත්‍යන්තර කීර්තිය සමග බොහෝමයක් විදේශීය රූපවාහිනී වැඩසටහන් සඳහා කිම් උං-යෝන්ග් ව කැඳවන ලද අතර රූපවාහිනී තිරය ඉදිරියේ සංකීර්ණ ගණිත ගැටලු විසඳමින් සහ ඉංග්‍රීසි, මැන්ඩරින්, ස්පාඤ්ඤ, ජපන් සහ කොරියානු භාෂාවන්ගෙන් කවි රචනා කරමින් ඔහුගේ ළමා කාලය ගත වී ගියා.
නාසා ආයතනයේ අවධානයට
විද්‍යාවේ දියුණුව සඳහා අලුත් බුද්ධිමතුන් සොයමින් සිටි නාසා ආයතනයට කිම් උං-යොන්ග් ගැන දැන ගැනීමට ලැබුණේ මේ කාලයේ දී යි. ඒ අනුව වයස අවුරුදු 8 ක් තිබිය දී ඔහු ව නාසා ආයතනයට කැඳවා ගෙන ගොස් ඇති අතර ඉන් පසු ව එළැඹුණු දශකයක කාලය ඔහු ගත කර ඇත්තේ නාසා ආයතනයේ සේවය කළ විද්‍යාඥයින්ගේ මග පෙන්වීම යටතේ මනස වෙහෙස වන ගණිත ගැටලු විසඳමින්. “මගේ ජීවිතය ගත වුණේ යන්ත්‍රයක් වගේ. උදෑසනින් ම අවදි වෙලා මට පැවරී ඇති ගණිත ගැටලු විසඳීමෙන් අනතුරු ව ආහාර අනුභව කර නින්ද යාම යි සෑම දිනක ම සිදු කළේ. මම සිදු කළ දේවල් ගැන මට දැනුමක් තිබුණේ නැහැ. මිතුරන් නැති ව මම ගත කළේ හරි ම පාළු ජීවිතයක්.” ඒ කිම් උං-යොන්ග් ඔහු නාසා ආයතනයේ ගත කළ ජීවිතය විස්තර කරන ආකාරය යි.
තමන් ගත කළ ඒකාකාරී ජීවිතයෙන් පීඩාවට පත් වූ ඔහු නැවත වරක් කොරියාව වෙත පැමිණීමට තීරණය කරන්නේ යළිත් පුවත් මවන්නෙක් බවට පත් වෙමින්. බොහෝමයක් පුවත්පත් ඔහු බොරුකාරයෙක් ලෙස හංවඩු ගැසූ අතර නාසා ආයතනයේ ඔහු ගත කළ කටුක ජීවිතය ගැන දැන ගැනීමට සෑම අයෙක්ට ම වුවමනා වුණා. තමන් වෙත යොමු වූ අසීමිත අවධානයෙන් වෙහෙස පත් වූ කිම් උං-යොන්ග් බොහෝ කාලයක් යන තුරු සෑම දෙනාගෙන් ම වසන් වී තමන්ගේ නිවසේ කල් ගත කර තිබෙනවා.
කොරියාවේ දී සාමාන්‍ය ජීවිතයක්
තමන් වෙත යොමු වූ අවධානය ක්‍රමයෙන් අඩු වී යන විට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට තීරණය කළ කිම් උං-යොන්ග් ඔහුට මග හැරුණු උසස් අධ්‍යාපන කටයුතු කෙරෙහි යොමු වුණා. වසර දෙකක් තුළ දී පාසල් විභාග කටයුතු සියල්ල ම අවසන් කළ ඔහු චුංබුක් ජාතික විශ්ව විද්‍යාලයට ඇතුළත් වී සිවිල් ඉංජිනේරුවෙකු ලෙස උපාධිය ලබා ගත්තා. පසු කාලීන ව ආචාර්ය උපාධියක් ලබා ගැනීමට ඔහු සමත් වී තිබෙනවා.
උපාධිය ලබා ගැනීමෙන් පසු ව චුංබුක් ජාතික විශ්ව විද්‍යාලයේ ම කතිකාචාර්යවරයෙකු ලෙස සේවය කළ ඔහු 2014 වර්ෂයේ දී ෂිනැන් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කිරීම ආරම්භ කළ අතර මේ වන විට කොරියානු සංවර්ධන ආයතනයේ උප සභාපති තනතුර දරනවා.
අසාමාන්‍ය බුද්ධිමතෙක් ලෙස කටයුතු කරනවාට වඩා සතුට පිරි සාමාන්‍ය ජීවිතයක් ගත කිරීම යහපත් බව යි ඔහුගේ අදහස වන්නේ. මෑතක දී පුවත්පත් සාකච්ඡාවකට සහභාගී වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ “බොහෝ දෙනෙක් තමන්ගේ සාමාන්‍ය ජීවිතයෙන් මිදී විශේෂ කෙනෙක් වීමට උත්සාහ කරනවා. නමුත් සත්‍ය වශයෙන් ම සතුට පවතින්නේ සුන්දර ළමා කාලයක් ගත කිරීම, මිතුරන් සමග මතකයන් එකතු කිරීම වැනි දේ මත බව ඔවුන් තේරුම් ගත යුතු යි. මම මෙහෙම කියන්නේ ඒ කිසිවක් මට නොලැබුණු නිසා යි. ඒ නිසා විශේෂ කෙනෙක් වෙනවාට වඩා සාමාන්‍ය ජීවිතයක් ගත කිරීම වැදගත් බව මතක තබා ගත යුතු” බව යි.
කවරයේ පින්තූරය : (thoughtco.com)