ක්ලිමෙන්ත් වරශිලොෆ් වසර ගණනාවක් සෝවියට් දේශයේ පාලකයා වූ ස්ටාලින්ගේ සමීපයෙකු වුණා. එහෙත් ඔහු බලයට කෑදර වූයේ නැහැ. ඔහු දක්ෂ වෙඩික්කරුවකු සහ නිර්භීත සටන්කාමියෙකු වුණා. තමන් යටතේ වූ පිරිස් ශක්තිමත් කිරීමේ සහ දිරිමත් කිරීමේ ශූරයකු වුණා. එමෙන්ම සෝවියට් දේශයේ පළමු මාර්ෂල්වරුන් පස්දෙනාගෙන් අයෙකු බවටත් පත් වුණා. එහෙත්, වරශිලොෆ් අන්තිම අසාර්ථක සෙන්පතියෙකු ද වුණා.
වරශිලොෆ්ගේ නිර්භීතත්වය සහ රතු හමුදාව කෙරෙහි වූ නොසැලෙන කැපවීම හේතුවෙන් ඔහු “පළමු රතු සොල්දාදුවා” සහ “පළමු මාර්ෂල්වරයා” ලෙස හඳුන්වනු ලැබුණා. ඔහු පිළිබඳ ගීත පවා ලියැවුණා. සෝවියට් දේශයේ ඔහුගේ නම කියැවුණේ වීරත්වයේ සංකේතයක් ලෙස යි.
ක්ලිමෙන්ත් හෙවත් ක්ලිම් වරශිලොෆ් උපන්නේ 1881 පෙබරවාරි 4 වනදා වර්තමාන යුක්‍රේනයේ ලුහාන්ස්ක් ප්‍රදේශයේ යි. දරුවන් පස් දෙනකුගෙන් යුතු දුගී පවුලක උපන් ඔහුට කුඩා කාලයේ දී ම රැකියාවක් සොයාගැනීමට සිදුවුණා. ඔහුගේ පියා නිතර හාම්පුතුන් සමග ආරවුල් ඇති කරගැනීම හේතුවෙන් කිසි රැකියාවක දිගු කලක් සිටීමට නොහැකි වීම ඊට හේතුව යි.
වයස අවුරුදු හයේ දී ගවයින් බලාගැනීමේ රැකියාවක් ලබාගත් ඔහු, ස්වල්ප කලෙකින් ගල් අඟුරු ආකරයක රැකියාවක් ලබාගත්තා. ගල් අඟුරු, ආකරයේ සිට පිටතට රැගෙන ඒම ඔහුගේ රාජකාරිය වුණා. ඔහුගේ කැපවීම දුටු පරීක්ෂකයෙකු ඔහුව ගල් අඟුරු යන්ත්‍ර ලිහිසි ගන්වන්නෙකු ලෙස පත් කළා. ක්ලිම්ගේ උසස් වීම නොරිස්සූ වැඩිමහළු ළමුන් පිරිසක් ඔහුට සිහි නැති වන තුරු පහර දුන්නා. දින කිහිපයකට පසු ඔහුට සිහිය එළඹියේ රෝහලක දී යි. මෙම පහරකෑම නිසාවෙන් වරශිලොෆ්ට ජීවිත කාලය පුරාම විටින් විට මතු වන හිසරදයක් තිබුණා.
වයස අවුරුදු 12 දී මුල් වරට පාසැල් ගිය ක්ලිම්, ලියන්නට සහ කියවන්නට ඉගෙන ගත්තා. ඔහු කියවීමට ඉතා ප්‍රිය කළ අයෙක්. ජීවිත කාලය තුළ ඔහු විශාල පොත් ප්‍රමාණයක් එකතු කළ අතර, එම එකතුව වර්තමානයේ ලුහාන්ස්ක් ඉතිහාස සහ සංස්කෘතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා.
තරුණ කාලය
වයස අවුරුදු 17 දී ඔහු අතට පත් වූ පොතක් ඔහුගේ දේශපාලන මතවාදය තීරණය කිරීමට සමත් වුණා. එය කොමියුනිස්ට් පක්ෂ ප්‍රකාශනය යි. එය කියවීමෙන් පසු මාක්ස්වාදියෙකු බවට පත් වූ ඔහු, ඉන් කලකට පසු රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයට බැඳුණා. කෙසේ වෙතත්, ඔහු කොමියුනිස්ට් සිද්ධාන්ත පිළිබඳ විශේෂ දැනුමක් ඇති අයෙකු වූයේ නැහැ. ඔහුගේ දක්ෂතාව තිබුණේ භාවිතයේ යි.
1905 දී රුසියානු අධිරාජ්‍යය විප්ලව උණුසුමෙන් ඇළලී යද්දී ලුහාන්ස්ක් හි හාර්ට්මාන් දුම්රිය කර්මාන්ත ශාලාවේ සේවක වර්ජනයට නායකත්වය දුන් ක්ලිමෙන්ත් වරශිලොෆ්, එම සේවයකයන්ගේ ඉල්ලීම් 29ක් දිනා දීමට සමත් වුණා. එහෙත්, ඉන් ස්වල්ප දිනකට පසු ඔහුව පළමු වරට අත්අඩංගුවට ගැනුණා. මාස කිහිපයක් සිරභාරයේ සිටි ඔහුට එරෙහිව නඩු පැවරුණේ නැහැ. ඔහු නිදහස් කරන ලෙස ලුහාන්ස්ක් හි කම්කරුවන් උද්ඝෝෂණය කළ අතර නගර පාලකයින් එම ඉල්ලීම ඉටු කළා.
වරශිලොෆ් 1906 දී ලුහාන්ස්ක් හි නියෝජිතයා ලෙස පක්ෂ සම්මේලනයට සහභාගී වුණා. ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ පැවති මෙම සම්මේලනය දිනවල ඔහු සමග එක කාමරයේ නැවතී සිටියේ ඉයොසිෆ් ජුගෂ්විලි නම් වූ තරුණයෙක්. ස්ටාලින් නමින් ලෝක ප්‍රසිද්ධ වූයේ ඔහු යි. වරශිලොෆ් පක්ෂ සම්මේලනයේ කතාබහට ලක් වූ දේ පිළිබඳව මෙම තරුණයා සමග සාකච්ඡා කිරීමට පුරුදුව සිටියා.
මෙම සම්මේලනයෙන් ස්වල්ප කලකට පසු වරශිලොෆ් නැවත අත්අඩංගුවට පත් වුණා. මේ අවස්ථාවේ දී ඔහුව අහන් ගෙල්ස්ක් වෙත පිටුවහල් කෙරුණා. ඔහුට තම අනාගත බිරිඳ ද මුණගැහුණේ එහි දී යි. පිටුවහල් කළ විප්ලවවාදී ක්‍රියාකාරිණියක වූ ඇය, ගොල්ඩා ගොර්බ්මන් නම් වූ යුදෙව් තරුණියක වුණා.
1910 දී ඔවුන් විවාහ වුණා. එහෙත් එම විවාහය සඳහා අවසර ලැබුණේ, ගොල්ඩා ඕර්තඩොක්ස් ක්‍රිස්තියානි දහම වැළඳගත්තේ නම් පමණයි. ඒ අනුව ඇය, එකතරීනා දවිදොව්නා ලෙස සිය නම වෙනස් කරගනිමින් ඕර්තොඩොක්ස් ක්‍රිස්තියානි පල්ලියේ බෞතිස්ම වුණා.
විප්ලව සමය
1917 පෙබරවාරි විප්ලවය වන විට වරශිලොෆ් සිටියේ පෙත්‍රොග්‍රාදයේ යි. නමුත් බෝල්‍ෂවික් පක්ෂය විසින් ඔහුව වහාම ලුහාන්ස්ක් වෙත යවන ලද්දේ එහි ප්‍රචාරණ කටයුතු සඳහා යි. වරශිලොෆ් ප්‍රචාරණයේ දී ස්වභාවයෙන්ම සාර්ථක වූ අයෙක්. ලුහාන්ස්ක් හි වෘත්තිය සමිති පමණක් නොව නගර සභාව පවා බෝල්‍ෂවික්වාදීන් අතට පත් වුණා.
කියවන්න: සෝවියට් විප්ලවයට මං විවර කළ පෙබරවාරි විප්ලවය
සමස්ථ රුසියානු ව්‍යවස්ථාදායක සභාවට තෝරා ගන්නා ලද වරශිලොෆ් එහි සැසිවාර සඳහා සහභාගී වීම පිණිස පෙත්‍රොග්‍රාද් වෙත පැමිණියා. මේ අවස්ථාවේ ඔක්තෝබර් විප්ලවය සිදුවුණා. ඉන් අනතුරුව, වරශිලොෆ් පෙත්‍රොග්‍රාද් මිලිටරි කමිටුවේ ප්‍රධානියා ලෙස පත් කෙරුණා.
සිවිල් යුධ සමයේ දී වරශිලොෆ් 1918 පෙබරවාරියේ සිට තාවකාලික සෝවියට් සමූහාණ්ඩුවක් වූ ඩොනෙට්ස්- ක්‍රිවොයි රොග් සෝවියට් සමූහාණ්ඩුව වෙනුවෙන් ලුහාන්ස්ක් ප්‍රදේශයේ සෙබළුන් සංවිධානය කළා. ඔහු නිර්භීත සටන්කාමියකු ලෙස එහි දී නමක් දිනාගත්තා. කෙසේ නමුත්, ජර්මන් ප්‍රහාර හමුවේ එම සමූහාණ්ඩුව බිඳ වැටුණ අතර පළා යන බෝල්‍ෂවික්වාදී සේනාංක ත්සරිත්සින් (වර්තමාන වොල්ගොග්‍රාද්) වෙත ගෙන යාමේ පෙරමුණ ගත්තේ වරශිලොෆ් විසින්. සතුරු බල ප්‍රදේශ මැදින්, කැඩී බිඳී ගිය පාලම් සහ දුම්රිය මාර්ග පිළිසකර කරමින් මෙසේ ගිය ගමන අතිදුෂ්කර එකක් වුණා. වරශිලොෆ් නොවන්නට එම පසුබැසීම අසාර්ථක වීමට ද ඉඩ තිබුණා.
වරශිලොෆ් ත්සරිත්සින්වලට පැමිණි වහාම මෙන් එම නගරයට ද සුදු හමුදා ප්‍රහාර එල්ල වුණා. ස්ටාලින් සහ වරශිලොෆ් ත්සරිත්සින් ආරක්ෂා කිරීම පිළිබඳ නමක් දිනාගත්තේ මෙහි දී යි. එමෙන්ම ස්ටාලින් සහ ට්‍රොට්ස්කි අතර ගැටුම් වර්ධනය වූයේ ද මෙම සමයේ යි. වරශිලොෆ් මෙහි දී ස්ටාලින්ගේ පසින් සිටගත්තා.
1919 දී වරශිලොෆ්ට 14 වන හමුදාවේ අණදෙන නිලධාරී තනතුර ලැබුණා. එහෙත් එය වැඩිකල් නොගොස් අසාර්ථක වූ අතර, ඒ පිළිබඳ පැවති පරීක්ෂණයේ දී හෙළි වූයේ වරශිලොෆ් බැටෑලියනයක් තරම්වත් පිරිසක් මෙහෙයවීමට හැකි යුධ ඥානයකින් යුක්ත නොවන්නකු බව යි. නිර්භීතකම හෝ ඉලක්කයට වෙඩි තැබීමේ දක්ෂතාව විසින් යුධ සෙන්පතියකු බිහි වන්නේ නැති බවට ඔහු හොඳම සාක්ෂ්‍යයක් වුණා.
වරශිලොෆ්ට සැපයුම් කටයුතු, පිරිස් බඳවාගැනීම් සහ සෙබළුන් අතර ප්‍රචාරණ සහ චිත්ත ධෛර්යය වර්ධනය කිරීමේ කටයුතු භාරදෙන ලද අතර, එහි දී ඔහු වැඩි සාර්ථකත්වයක් පෙන්නුම් කළා.
නමුත්, ඔහු හමුදාවේ කටයුතු කිරීමට වඩා දේශපාලන කටයුතු සඳහා කැමැත්තක් දැක්වූවා. ඔහු ඒ සඳහා අවසර ඉල්ලූ නමුත් ඊට අවසර ලැබුණේ නැහැ. සිදුවූයේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්.
ලෙනින්ගේ මරණින් පසු ට්‍රොට්ස්කිව රතු හමුදාවේ තනතුරුවලින් එළවීමට ස්ටාලින් සමත් වුණා. 1925 ජනවාරියේ දී යුධ සහ නාවික හමුදා පිළිබඳ මහජන කොමිසාර් ලෙස මිහයිල් ෆෘන්ස පත් වුණා. වරශිලොෆ් ඔහුගේ දෙවැනියා ලෙස පත් කෙරුණා. එම වසරේම ඔක්තෝබරයේ දී ෆෘන්ස හදිසියේ අභාවප්‍රාප්ත වූයෙන් නොවැම්බර් 6 වනදා යුධ සහ නාවික හමුදා පිළිබඳ මහජන කොමිසාර් ලෙස එනම්, යුධ සහ නාවික හමුදා ඇමති හෙවත් ආරක්ෂක ඇමති ලෙස වරශිලොෆ් පත් වුණා. 1935 දී සෝවියට් දේශයේ පළමු මාර්ෂල්වරුන් පස්දෙනා නම් කළ අවස්ථාවේ වරශිලොෆ් ද ඒ අතර සිටියා.
මහා භීම කාලය සහ ලෝක යුද්ධය
1936 සිට ස්ටාලින් පැරණි බෝල්‍ෂවික්වරුන් ආදී තමන්ට එරෙහි වේ යයි සිතූ පුද්ගලයින් පක්ෂයෙන් ඉවත් කිරීමට පටන් ගත්තා. මේ අතර රතු හමුදාව කෙරෙහි ද අවධානය යොමු කරනු ලැබුණා. මාර්ෂල් තුකෂෙව්ස්කි අත්අඩංගුවට ගෙන මරණ දණ්ඩනය නියම කිරීම මෙකල සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීමක් වුණා. ඇතැමුන් සැක කරන්නේ තුකෂෙව්ස්කි සත්‍ය ලෙසම දක්ෂ යුධ සෙනවියෙකු වූ හෙයින් වරශිලොෆ් ඔහුව තර්ජනයක් සේ දුටු බව යි. එහෙත් තුකෂෙව්ස්කි ඉවත් කිරීම පිළිබඳව වරශිලොෆ්ට වැරදි පැටවීමට නිශ්චිත සාධක මෙතෙක් හමුව නැහැ.
1939-40 සීත ඍතුවේ දී ෆින්ලන්තය සමග සිසිර යුද්ධය ක්‍රියාත්මක වුණා. එහි දී වරශිලොෆ් රතු හමුදා මෙහෙය වූ අතර නැවතත් ඔහු අසාර්ථක වුණා.
කියවන්න: දෙවන ලෝක යුධ සමයෙහි ෆින්ලන්තය
1941 ජූනි මාසයේ දී ජර්මානුන් සෝවියට් දේශය ආක්‍රමණය කළ විට වරශිලොෆ් ලෙනින් ග්‍රාද් ගලවා ගැනීමේ උත්සාහය මෙහෙය වීමට යවනු ලැබුණා. හැට හැවිරිදි වියේ වුවද, ඔහුගේ නිර්භීතකමෙහි අඩුවක් වූයේ නැහැ. ඔහු සටන් පෙරමුණෙහිම සටන් වැදුණා. එහෙත් ඔහු යුධ සෙන්පතියකු සහ උපායශීලියෙකු ලෙස සාර්ථක වූයේ නැහැ. 1941 සැප්තැම්බර් 8 වනදා ඔහුව එම පෙරමුණෙන් ඉවත් කෙරුණා. යුද්ධයේ ඉතිරි කාලයේ ඔහු වැඩි වශයෙන් කටයුතු කළේ සංවිධාන, සැපයුම් සහ ප්‍රචාරණ කටයුතු සඳහා යි. නව සෝවියට් ජාතික ගීය නිර්මාණය කළ කමිටුවේ ද සභාපති වූයේ ඔහු යි.
බලයෙන් විසි වීම
1953 මාර්තු මස මුල දී ස්ටාලින් මියගියා. ඉන්පසු, ස්වල්ප කලක් යන තුරු සෝවියට් නයකත්වය කා අතට පත් වේ ද යන්න සැක සහිතව තිබුණා. මාර්තු 15 වනදා වරශිලොෆ් උත්තරීතර සෝවියට් සභාවේ සභාපති මණ්ඩලයේ සභාපති ලෙස පත් කෙරුණා. එනම්, නිල වශයෙන් රාජ්‍ය නායකයා වූයේ ඔහු යි. එහෙත් ඔහුට එතරම් බලයක් වූයේ නැහැ. සෝවියට් දේශයේ සත්‍ය ලෙසම බලය තිබුණේ කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම් අත යි.
ස්ටාලින්වාදීන් පසෙකට කරමින් කොමියුනිස්ට් පක්ෂයේ බලය නිකිතා කෘශ්ෂොෆ් විසින් අල්ලා ගනු ලැබුණා. 1957 දී ඔහුව බලයෙන් නෙරපීමට කෙරුණ උත්සාහය ව්‍යර්ථ වුණා. වරශිලොෆ් ද එම ප්‍රයත්නයට සම්බන්ධ වූවන්ට සහාය දුන්නත්, අනෙක් අය මෙන් ඔහුගේ තනතුරු අහිමි කෙරුණේ නැහැ. වරශිලොෆ් 1960 තෙක් නිල රාජ්‍ය නායකයාව සිට පසුව විශ්‍රාම ගත්තා.
1959 දී සිදු වූ ඔහුගේ බිරිඳගේ මරණය ඔහු විශ්‍රාම ගැන්වීම කඩිනම් කරන්නට හේතු වන්නට ඇතැ යි සිතිය හැකියි. බලය පිළිබඳ විශේෂ කෑදරකමක් නොතිබූ වරශිලොෆ් තම බිරිඳගේ මරණයෙන් දැඩි කම්පනයකට පත් වූ බව සඳහන් වනවා.
1964 දී කෘශ්ෂොෆ් බලයෙන් පහ වූ පසු වරශිලොෆ් යළි පක්ෂ මධ්‍යම කාරක සභාවට පත් වුණා. එහෙත් ඔහුට විශේෂ බලයක් වූයේ නැහැ. එමෙන්ම ඒ වන විට ඔහු බෙහෙවින් වයෝවෘද්ධ ව සිටියා.
1969 නොවැම්බර් මස අන්තිම කාලයේ දිනෙක, රාත්‍රියේ වරශිලොෆ්ගේ සෞඛ්‍යය තත්ත්වය පහළ වැටුණා. රෝහල කරා යන ලෙස හිතවතුන් කළ ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කළා. ඊළඟ දිනයේ සම්පූර්ණ නිල ඇඳුමින් සැරසුණ ඔහු රෝහල කරා ගියා. ඉන් දින කිහිපයකට පසු, 1969 දෙසැම්බර් 2 වනදා වරශිලොෆ් මියගියා.