Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජාන විකෘතියක් නිසා “බොඩිබිල්ඩර්” සිරුරක් ලැබූ දරුවා

සෑම මොහොතකම ලොව අපූරු දෑ සිදුවෙමින් පවතිනවා. ස්වභාව ධර්මය තුළ, ජීවය තුළ සිදුවන චමත්කාරජනක සිදුවීම් එහි පවතින සුවිශේෂතා හේතුවෙන් ඉක්මනින්ම බොහෝදෙනාගේ අවධානය දිනාගන්නවා. උදාහරණයක් ලෙස, ඇතැම්විට ජීවීන්ට ඔවුන්ට වඩා වෙනස් ලක්ෂණ ඇති පැටවුන් ඉපදීම විද්‍යාත්මකව විස්මයජනක කරුණක් නොවුණත්, විද්‍යාත්මක කාරනා හරිහැටි නොදත් පුද්ගලයෙකුට විය නොහැකි දෙයක් සේ පෙනෙන්නට පුළුවන්. ඒ වගේම මිනිසුන් නිග්‍රොයිඩ්, කොකේසියන්, මොංගොලොයිඩ් යනාදී වශයෙන්  බෙදා තිබුණත්, ඒ එක් එක් පිරිස් අතර පෙනුමට අමතරව විශාල වෙනස්කම් නැහැ. මේ සියල්ල තීරණය කරන සාධකයක් වන්නේ ඔවුන්ගේ ජාන සහ වර්ණදේහ යි.

ජීවයේ ආකෘතිය බොහෝවිට තීරණය වන්නේ මෙකී ජාන සංයුතිය මත. පරම්පරාවෙන් පරම්පරාවට ජීවයේ පොදු ලක්ෂණ රැගෙන යන්නේ ජාන මඟින්. මේ ජානමය සැකැස්ම දෙමාපියන්ගෙන් දරුවන්ට ලැබෙන්නක්. කෙසේ නමුත් ඇතැම් දරුවන් තුළ මෙකී ජාන රෝපණය වන්නේ විකෘතිතාවන් සහිතව යි. “විකෘතියක්” යන වචනය ඇසූ පමණින් අප‍ගේ මනස හඳුනාගන්නේ කිසියම් වූ සෘණාත්මක තත්ත්වයක්. නමුත් ජාන විකෘතිතාවක් සෑම විටම අවාසි සහගතවූවක් වන්නේ නැහැ. ඇතැම් ජාන විකෘතිතාවන් විශේෂ හැකියාවන් හෝ වාසි සහිත දුහිතෘන් නිර්මාණය කරනවා. මේ අවධානය යොමුවන්නේ එවන් අතිශයින් විශේෂී දරුවෙකු පිළිබඳව.

කුඩා ලයම් 

කාය වර්ධනය, අද වන විට බොහෝදෙනෙකු ප්‍රිය කරන විෂය ක්ෂේත්‍රයක්. තමා ගන්නා ආහාරපාන සහ ජීවන රටාවේ ඒකාකාරී බව හේතුවෙන් ඇතිවන ශාරීරික ස්ථුලතාව මඟහරවා ගැනීමටත්, ශරීරයේ මාංශපේශීන් නිසි හැඩයකින් යුක්තව වර්ධනය කර ගැනීමටත් බොහෝ දෙනා කාය වර්ධන මධ්‍යස්ථාන කරා යොමු වෙනවා. කෙසේ නමුත් කාය වර්ධනය විශාල පරිශ්‍රමයක් දරා ළඟා කරගත යුත්තක්. සාමාන්‍යයෙන් ශරීරයේ මාංශපේශීන් නිරන්තරයෙන් ක්‍රියා කරවන ක්‍රීඩකයන්ගේ සහ නිරන්තරයෙන් විශාල බර ඔසවන්නන්ගේ හැර, ස්වභාවිකව මාංශපේශීන් කැපී පෙනෙන සේ වර්ධනය වූ පුද්ගලයන් ඉතා අල්ප යි. සැබවින්ම, මාංශ පේශීන් වර්ධනය වීමකට වඩා, වර්ධන කරවීමක් තමයි සිදුවන්නේ.

කුඩා ලයම් (manchestereveningnews.co.uk)

අද අපේ අවධානයට යොමුවන ලයම් හෙක්ස්ට්‍රා නමැති දරුවා කුඩාකල පටන් විශේෂ ලක්ෂණ පෙන්නුම් කළා. ලයම් උපදින්නේ 2005 වර්ෂයේ සැප්තැම්බර් මස 1 වන දින රූස්වෙල්ට් පාර්ක්හි දී. විවිධ වෛද්‍යම කාරණවෙන් හේතුවෙන් ඔහු‍ගේ ජීව විද්‍යාත්මක මව ඔහු හදාවඩා ගැනීම සඳහා වෙනත් යුවලකට පවරා දෙනවා. මිෂිගන්හි රූසවෙල්ට් ප්‍රදේශයේ වාසය කළ නීල් සහ ඩේනා හෙක්ස්ට්‍රා යුවල ලයම්ගේ භාරකාරී මව්පියන් වශයෙන් ඔහුව හදාවඩා ගන්නවා. ලයම්, තම නිවස වෙත රූපවාහිනී නාලිකා කැඳවීමටත්, තමන්ව ප්‍රසිද්ධියට පත් කරවාලීමටත් හැකියාව ලැබූ දරුවෙකු බව හෙක්ස්ට්‍රා යුවල දැන සිටියේ නැහැ.

ලයම්ගේ අමුත්ත

සාමාන්‍යයෙන් මාස 4ක් පමණ වන කුඩා දරුවන්ට හැකි වන්නේ යාන්තමින් අනිත්පැත්තට පෙරලෙන්නට පමණ යි. නමුට් වෙනත් දරුවන් මෙන් නොව, මාස 4ක් වයසැති කුඩා ලයම් සිය ශරීරය ඔසවා නැගී සිටීමට උත්සාහ කළා. ඔහුගේ දෑත්වල වීර්යයෙන් ශරීරයේ උඩු කොටස එසවීමට පුංචි ලයම්ට හැකිවුණා. මාස පහක් වන විට කුඩා ලයම් පඩිපෙළ නැගයාම ආරම්භ කළා. මාස හයක් වන විට පඩිපෙළේ පහළටත් තනිවම බැසයාමට තරම් පුංචි ලයම් සමත්කම් පෑවා. මාස 14ක් වන විට ලයම්ගේ ශරීරයේ මාංශපේශී වර්ධනය ඔහුගේ වයසේ සෙසු ළමුන්ට සා‍‍පේක්ෂව 40%කින් පමණ අධික වූවා. මාස 18ක් වන විට ලයම් සිය නිවසේ දැවභාණ්ඩ පවා ඒ මේ අත හැසිරවීමේ හැකියාවෙන් යුක්ත වුණා. 

ඔය අතරේ, ලයම්ව හදාවඩාගත් දෙමාපියන්ට ලයම්ගේ ශරීරයේ මාංශපේශීන්වල අසාමාන්‍ය වර්ධනයක් ද නිරීක්ෂණය වුණා. ඒ අනුව ලයම්ව වෛද්‍යවරුන්ට පෙන්වාලීමට ඔවුන් තීරණය කළා. එහෙත් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමට නොහැකි තරම් ලයම් ලාබාල වූයෙන්, වෛද්‍යවරුන් සිදුකළේ ලයම්ගේ සෞඛ්‍ය තත්ත්වය වරින්වර අධ්‍යයනය කිරීම පමණ යි. 

Caption

කෙසේ නමුත්, ලයම්ගේ භාරකාරී මව්පියන් ඉතාමත්ව නැණවත් තීරණයක් ගනු ලබනවා. ඔවුන් ලයම්ව වහාම ජිම්නාස්ටික් සහ නර්තනය උගන්වන පන්තිවලට යොමු කරනවා. එහිදී සෙසු ළමුන් මෙන් නොව, ලයම් වැඩි අපහසුතාවකින් තොරව ඉතා දුෂ්කර වූ ව්‍යායාම්වල නිරත වනවා. වයස අවුරුදු තුන වන විටත් වයස අවුරුදු 6ක ළමයෙකුගේ ශාරීරික ක්‍රියාකාරම්වල නියැලීමේ හැකියාව ලයම් සතුවුණා. ඔහුගේ ශරීරයේ අධික්‍රියාකාරීත්වය ශරීරයේ කැලරි දහනයත් වැඩි කළා. ඒ හේතුවෙන්ම ලයම්ගේ ආහාර පරිභෝජනය ද ඔහුගේ වයසේ සෙසු ළමුන්ට සාපේක්ෂව අධික වූවා. වයස අවුරුදු තුනක කුඩා ලයම්ට කිලෝග්‍රෑම් පහකට අධික සහ හයක‍ට වඩාත් ආසන්න බරක් ඇදීමේ හැකියාව පැවතියා. සාමාන්‍යයෙන් ඔහුගේ සමවයසේ සෙසු ළමුන්ට ඇදීමට හැකි වූයේ කිලෝග්‍රෑම් දෙකකට ආසන්න බරක් පමණ යි. ඒ අනුව වයස අවුරුදු තුනක කුඩා ලයම්ට පැවතියේ වයස අවුරුදු 7ක පමණ දරුවකුගේ ශක්තියක්.

මාංශපේශී වර්ධිත කුඩා ලයම් (Tinu Sahrawat)

Myostatin gene mutation/Muscle hypertrophy නමැති ජානමය තත්ත්වය හේතුවෙන් ලයම්ට මෙකී විශේෂිත ශාරීරික ශක්තිය සහ කාය වර්ධනය හිමිවන බව වෛද්‍යවරුන් විසින් පසුව අනාවරණය කෙරෙනවා. ඒ අනුව ලයම්ගේ ශරීරයේ මේදය තැන්පත්වීමක් සිදුවන්නේ නැහැ. ඒ වෙනුවට ඔහුගේ ශරීරයේ මාංශපේශී ඉතා ක්‍රමානුකූලව සහ ශක්තිමත්ව වර්ධනයවීම පමණක් සිදු වනවා. මෙකී විශේෂ ජානමය තත්ත්වය හේතුවෙන් ලයම් කුමන ආකාරයේ ආහාරයක් පරි‍භෝජනය කළත් ඉන් ඔහු ස්ථුල වීමක් සිදුවන්නේ නැහැ. ඒ වෙනුවට ඔහුගේ සැකිලි පද්ධතිය සහ මාංශපේශී පද්ධතිය මනා‍ව වර්ධනය වීම සිදුවනවා. මෙකී මාංශපේශී වර්ධන ජානමය විශේෂත්වය ඇතැම් සතුන්ටත් පවතිනවා. එකී විශේෂත්වය සහිත සතුන්ගේ මාංශපේශීන් ඉතා ශක්තිමත් ස්වරූපයෙන් වැඩී පවතිනු පෙන්නුම් කරනවා.

ලයම්ගේ පුද්ගලිකත්වය වෙනුවෙන් දෙමාපියන්ගේ පෙනීසිටීම.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයන්ගේ අවධානයට පුංචි ලයම් යොමුවනවා. ඔවුන් ලයම් සතු ජානමය විශේෂත්වය පිළිබඳ හැදෑරීමටත්, එකී ජානමය තත්ත්වය හේතුවෙන් රෝගීභාවය මුහුණදුන් පුද්ගලයන්ට පිළියම් සෙවීම සඳහාත් ලයම් අධ්‍යයනය කිරීමට කැමැත්ත පළකරනවා. කෙසේ නමුත් එකී පරීක්ෂණ සඳහා වැඩිහිටියන් ගණනාවක් ඉදිරිපත්වීමත් සමග ලයම්ට ඉන් නිදහස්වීමේ හැකියාව ලැබෙනවා. ඉන් වඩාත්ම ප්‍රීතියටත් සැනසීමත් පත් වන්නේ ලයම්ගේ දෙමාපියන්. ඔවුන් පවසන්නේ ලයම්ගේ මාංශපේශී වර්ධනය සෙසු ළමුන්ට සාපේක්ෂව අධික වුවත්, ලයම් ද සෙසු ළමුන් මෙන්ම නිදහස් ළමා කාලයක් ගතකළ යුතු බව යි. ඒ අනුව දරුවාගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව හඳුනාගන්නා ලයම්ගේ දෙමාපියන් ඔහු මාධ්‍ය වෙත නිරාවරණය වීමේ අවස්ථා අවම කරනවා.

කුඩා ලයම් ඇසුරින් හර්කියුලිස් පිළිබඳ යම් අදහසක් ඉස්මතුවීම

අසාමාන්‍ය ශක්තියක් හිමි වූ බවට පුරාවෘත්තයන්හී සඳහන් වන හර්කියුලිස්ගේ පිළිරුවක් (Greek Mythlogy)

ග්‍රීක පුරාවෘත්තවල, අසාමාන්‍ය ශක්තියක් හිමි හර්කියුලිස් නැමැත්තෙකු ගැන කියවෙනවා. ලයම් ලැබූ ජාන විකෘතිය ගැන සලකා බැලීමේ දී, ඇතැම්විට හර්කියුලිස් ද, පුරාවෘත්තවල කියවෙන යෝධ පුරුෂයින් ද ලයම් මෙන්ම විකෘති ජානයක් ලැබූ පුද්ගලයින් විය හැකි බව අපට උපකල්පනය කළ හැකියි නේද? 

හර්කියුලිස්ගේ කතා ඔබට මෙතැනින් කියවිය හැකියි: හර්කියුලීස්ගේ වැඩ දොළස

කවරයේ පින්තූරය (Roscoe Lilly).jpg 

මූලාශ්‍රයයන්:

Interested in the potential for SUPER HUMANS? Meet Liam Hoekstra!, medium.com

stillunfold.com, World's Strongest Toddler - Liam හෙක්ස්ට්‍රා

mlive.com, Liam Hoekstra, the 'World Strongest Toddler' to hit TV

LIAM Hoekstra, idolbirthdays.net

fitnessgenes.com, Interested in the potential for super humans? Meet Liam Hoekstra!

ctvnews.ca, Rare condition gives toddler super strength

World's Strongest Toddler, manchestereveningnews.co.uk

Related Articles