1990 පෙබරවාරි 18 වන දා පාන්දර 3.30ට කොළඹ වැලිකඩවත්තේ නිවසකට පැමිණි පිරිසක්, මවක් බලා සිටියදීම ඇගේ 32-හැවිරිදි පුත්‍රයාව නිවසේ පඩිපෙළ දිගේ පහළට ඇදගෙන ගොස් වාහනයක දමාගෙන පැහැරගෙන ගියා.
පසු දිනයේ මොරටුවේ කොරළවැල්ල ආසන්න වෙරළෙන් මීටර 200ක් පමණ ඈතින් පාවෙමින් තිබූ සිරුරක් ධීවරයෙකු විසින් සොයාගන්නා ලදුව ගොඩට ඇදගෙන එනවා. ඒ භීෂණ සමයේ මළ සිරුරක් එසේ හමුවීම අමුත්තක් වුණේ නෑ. නමුත් මේ සිරුර වෙරළට ගෙනගිය පසු රැස්වූ පිරිසෙන් කෙනෙකු එය හඳුනාගන්නවා. ඒ අන් කිසිවෙකුත් නොව, එකල නිර්භීත මාධ්‍යවේදියෙකු ලෙස බොහෝ දෙනෙකු හැඳිනූ, කඩවසම් නළුවෙකු ද, ප්‍රසිද්ධ රචකයෙකු ද වූ රිචර්ඩ් ද සොයිසා යි.
මාධ්‍යවේදියෙකු වූ කොළඹ තරුණයා
රිචර්ඩ් මණික් ද සොයිසා 1958 මාර්තු 18 වන දා කොළඹ දී උපන්නේ ධනවත් මිශ්‍ර-වාර්ගික පවුලකට යි. ඔහුගේ පියා වූ ලූෂියෙන් ද සොයිසා කලක් ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ, පසු කලෙක නාට්‍ය රචකයෙක් සහ අධ්‍යක්ෂකයෙකු ද වූ අයෙක්. ඔහුගේ මව, මනෝරාණී සරවනමුත්තු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියක වුණා. ඉංග්‍රීසි කතාකරන ඇන්ග්ලිකානු ආගමිකයෙකු ලෙස කුඩාකල පටන් හැදී වැඩුණු රිචර්ඩ් අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්සේ සාන්ත තෝමස් විද්‍යාලයෙන්.
නිදහසෙන් පසු ලංකාවේ බිහි වූ, බටහිරකරණය වූ ඉංග්‍රීසි කතාකරන ඉහළ පන්තියට ඉපිදි රිචර්ඩ් ද සොයිසාට පහසුවෙන්ම ඉතා සැපවත් ජීවිතයක් ගත කරනු හැකිව තිබුණත්, ඔහු තෝරාගත්තේ කලාව සහ ජනමාධ්‍යවේදය යි. මේ “කොළඹ තරුණයා මාධ්‍යවේදියෙකු වීම” විශේෂත්වයක් වන්නේ එහෙයින්.
වෘත්තීය හා කලා දිවිය
රිචර්ඩ් ද සොයිසාව මතක ඇති අයට, ඔහුගේ නම ඇසෙනවිට මුලින්ම මතකයට එනවා ඇත්තේ ඔහුගේ කටහඬ විය යුතු යි. ඔහුට තිබුණෙ ශෝභන, සාටෝප කතා විලාශයක්. පාසැල් කාලයේ කථිකයෙකු, සහ වේදිකා නාට්‍ය නළුවෙකු ද ලෙස කටයුතු කළ රිචර්ඩ් පසු කලෙක රූපවාහිනියේ ඉංග්‍රීසි බසින් ප්‍රවෘත්ති ඉදිරිපත් කළ නිවේදකයෙකු ලෙසත්, මාධ්‍යවේදියෙකු ලෙසත් සේවය කළා. ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වූ Inter-Press Service (IPS) සඳහා කොළඹ වාර්තාකරු වුණෙත් ඔහුයි. 1990 දී පෘතුගාලයේ ලිස්බන්හි පිහිටි IPS නව කාර්යාලයේ ප්‍රධානියාගේ තනතුරට ඔහුව පත් කරනු ලැබුවා. එම තනතුරේ වැඩ බාරගැනීමට ඔහුට ඉඩක් ලැබුණේ නැති නමුත්, ඒ සඳහා එකල පත්කෙරුණු ලාබාලතමයා ඔහු යි.
කොළඹ ඉහළ පෙලේ පවුලකට උපත ලැබුවත්, සමාජවාදී අදහස් ඇතිව සිටියෙකු ලෙස රිචර්ඩ් ප්‍රසිද්ධ යි. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ “යුගාන්තය” ආචාර්ය ලෙස්ටර් විසින් එනමින්ම සිනෙමාවට නගද්දී, එහි විප්ලවවාදී මාලින් කබලානගේ චරිතය සඳහා තෝරාගනු ලැබුවේ රිචර්ඩ්ව යි. ඇත්තෙන්ම මාලින් කබලාන චරිතය හරහා රිචර්ඩ් රඟපෑවේ ඔහුගේම දර්ශනය බව කියන්නටත් පුළුවන්. ඊට අමතරව ඔහු තිස්ස අබේසේකරයන්ගේ විරාගයේත්, බොහෝ වේදිකා නාට්‍යයන් වලත් චරිතයන් රඟපෑවා.
දේශපාලන නැඹුරුව
රිචර්ඩ් සමාජවාදී අදහස් තිබූ අයෙකු බව අප ඉහත සඳහන් කළා නේ. නමුත් ඒ ’89 භීෂණ සමයේ සමාජවාදී අදහස් දැරීම කිසිවෙකුටත් සුවදායී වුණේ නැහැ.
එකල ලංකාවේ ජනපති තනතුර දැරුවේ රණසිංහ ප්‍රේමදාස යි. ’89 – ’90 සමයේ ආණ්ඩුව විසින් මෙහෙයවුණු බවට විශ්වාස කෙරෙන ඝාතක කණ්ඩායම් විසින්, ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධ හෝ එම අදහස් දරණ බවට සැක කෙරුණු දහස් ගණනක් ශිෂ්‍යයින් සහ සාමාන්‍ය වැසියන් ඝාතනය කරනු ලැබුවා. රිචර්ඩ් සේවය කළ IPS ආයතනය මූලිකවම තෙවන ලෝකයේ රටවල ගැටළු පිළිබඳ ප්‍රවෘත්ති වලට වැඩි අවධානයක් දුන් අතර, එකල ලංකාවේ සිදු වූ මේ මිනීමැරුම් සහ මානව අයිතිවාසිකම් කඩකිරීම් ගැන රිචර්ඩ් විසින් ජාත්‍යන්තර මාධ්‍යයකට වාර්තා කිරීම එකල ආණ්ඩුවට මහත් තර්ජනයක් වුණා.
එසේම ජනපති ප්‍රේමදාසගේ ආණ්ඩුව සහ චර්යාව විවේචනය කළ වේදිකා නාට්‍යයකට දායක වීම ද රිචර්ඩ්ගේ අයහපතට හේතු වුණු බව කියවෙනවා. (මෙම නාට්‍යයේ නිෂ්පාදකයා අතුරුදන් කෙරිණි. නාට්‍යයට සම්බන්ධ තවෙකෙකුට මරණ තර්ජන එල්ල වූ අතර, තෙවැන්නෙකුව අත් අඩංගුවට ගෙන තිබිණි).
පැහැරගැනීම හා ඝාතනය
1990 පෙබරවාරිය වන විට රිචර්ඩ් විසුවේ ඔහුගේ මව සමග ඇගේ නිවසේ යි. පෙබරවාරි 18 වන දා පාන්දර ඔවුන් විසූ නිවෙසට කඩා වැදුණු නිල ඇඳුම් හැඳි පොලිස් නිලධාරීන් ද ඇතුළු ආයුධ සන්නද්ධ කල්ලියක්, ඔහුගේ මව වූ වෛද්‍ය සරවනමුත්තුගේ විරෝධය නොතකාම ඔහුව පැහැරගෙන යනවා. එදිනම ඈ විසින් පොලීසියේ පැමිණිල්ලක් ගොනු කළ ද පලක් වන්නේ නැහැ. හනුව කැඩෙන සේ පහර දී, නියපොතු උගුළුවා දරුණු ලෙස වධයට ලක්කොට, හිසටත් ගෙලටත් වෙඩි තබා ඝාතනය කරන ලද රිචර්ඩ්ගේ සිරුර පසු දා මොරටුව වෙරළාසන්නයෙන් සොයාගැනෙනවා. සිරුර හෙලිකොප්ටරයක් මඟින් ගෙනැවිත්, එය කිසිවෙකුටත් හමු නොවනු ඇතැයි යන චේතනාවෙන් මුහුදට අත්හරින්නට ඇති බවට විශ්වාස කෙරෙනවා.
ඝාතකයින් කවුද?
රිචර්ඩ්ව පැහැරගනු ලැබූ ඝාතකයින් කවුද යන්න තමාට හඳුනාගත හැකි බවට ඔහුගේ මව විසින් ප්‍රකාශ කෙරෙනවා. සිදුවීමෙන් මාස දෙකකට පසු ඈ රූපවාහිනිය හරහා දකින්නේ එම කාණ්ඩය මෙහෙයවා තිබුණු, එකල ජනපති ප්‍රේමදාසට සෘජුවම වාර්තා කළ ජ්‍යේෂ්ඨ ආරක්ෂක නිලධාරී, පොලිස් පරීක්ෂක රොනී ගුණසිංහ යි. ඇය මේ තොරතුරු ඇගේ නීතීඥයා හරහා පොලීසියට හා කොළඹ මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ ද, එය නොසලකා හැරෙනවා. එසේම ඉන්පසු ඇයටත් නීතීඥයාටත් දිගින් දිගටම මරණ තර්ජන පවා එල්ලවෙනවා. රිචර්ඩ්ගේ මරණය ගැන විමර්ශනාත්මක ලිපියක් පළ වූ නිසා, TIME ජාත්‍යන්තර සඟරාවේ 1990 අප්‍රේල් 23 මුද්‍රණය පවා ලංකාවට ගෙන්වීම එකල ආණ්ඩුව විසින් තහනම් කෙරෙනවා.
රිචර්ඩ් ද සොයිසාගේ ඝාතනය පිළිබඳ නඩුව වසර 16ක් තිස්සේ බොහෝ වාරයක් විභාගය වෙනවා. නමුත් වෛද්‍ය සරවනමුත්තු විසින් හා, රිචර්ඩ්ගේ පැහැරගැනීම ඇසින් දුටු සාක්ෂ්‍යකරුවන් හා අනෙකුත් සාක්ෂ්‍යකරුවන්ගේ කට උත්තර හරහා හඳුනාගන්නා සැකකරුවන්ට එරෙහිව පියවරක් ගැනිමට පොලීසියෙන් හෝ අධිකරණයෙන් එතරම් සහායක් ලැබෙන්නේ නැහැ. රිචර්ඩ්ව පැහැරගෙන යන ලද ජීප් රථයේ තහඩු නොම්මරය පවා පොලිසියට ලබා දුන්නත්, එය සොයාගැනීමට පවා ඔවුන් “අසමත්” වෙනවා. ඒ අතරතුරේ ඝාතකයින්ගේ විස්තර අඩංගු ලිපිගොණුව පවා නීතිපති දෙපාර්තමේන්තුව සතුව තිබිය දී “අතුරුදන්” වන්නේ රිචර්ඩ්ගේ ඝාතනය යට ගැසීමට රජයේ උත්සාහයක් ඇති බව පෙන්වමින්.
අදාල සැකකාර පොලිස් නිලධාරීන් තමාට ඉහළින් ලැබෙන ආරක්ෂාව පිළිබඳව කෙතරම් විශ්වාසයකින් සිටියාදැ යි කිවහොත්, වෛද්‍ය සරවනමුත්තුට එරෙහිව අපහාස චෝදනාවක් පවා ගොණු කිරීමට තරම් ධෛර්යයමත් වුණා.
සිදුවීම්වල අවසානය
2005 දී, එකල කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති සහකාර පොලිස් අධිකාරී ලාල් ස්‍රියන්ත ධර්මසිරි රංචාගොඩත්, කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ බෝදෙනිය ගම්ලත් ගෙදර දේවසුරේන්ද්‍ර, හා මහවෙඩික්කාරගේ සරච්චන්ද්‍ර නම් සැරයන්වරයාත්, රිචර්ඩ් ද සොයිසා පැහැරගැනීම හා ඝාතනය කිරීමේ චෝදනාව මත වැඩ තහනමකට ලක්වෙනවා. කෙසේ නමුත් එම වසරේම නොවැම්බරයේ දී මහාධිකරණය විසින් ඔවුන් තිදෙනාව සියළු චෝදනා වලින් නිදොස් කරන්නේ, ඔවුනට එරෙහිව ඉදිරිපත්ව ඇති සාක්ෂ්‍ය ප්‍රමාණවත් නොවන බව කියමින්.
මෙම සිදුවීම් දැකීමට මරණ තර්ජන හමුවේ වුව නොසැලී, සිය පුත්‍රයාගේ මරණයට යුක්තිය ඉල්ලා අභීතව සටන්වැදි වෛද්‍ය සරවනමුත්තු ජීවත්ව සිටියේ නැහැ. 2001 වසරේ පෙබරවාරියේ දී ඇය අභාවප්‍රාප්ත වෙනවා.
රිචර්ඩ් ද සොයිසාගේ මරණයට සෘජුවම වගකිව යුතු දෙදෙනෙකුට “කර්මය පළ දුන්” බව ඇතැමුන් විශ්වාස කරනවා. ඒ, 1993 වසරේ මැයි පළමු දා ජනපති ප්‍රේමදාසත්, රොනී ගුණසිංහත් බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන්.
රිචර්ඩ් ද සොයිසා ඝාතනය වී 2018 වසරට වර්ෂ 28ක් සපිරෙනවා. ජීවත්ව සිටියා නම් අද ඔහු 60 වන වියෙහි පසුවනු ඇති.
මූලාශ්‍රයයන්:
Independent.co.uk
Daily News
Los Angeles Times
The Sunday Leader
The New York Times
Sri Lanka Press Institute
“The Murder of Richard de Zoysa, and Its Aftermath” – Comparative Studies of South Asia, Africa and the Middle East (1989) 9 (2): 20-26
Cover image: Vikalpa