ලංකා ලංකා පෙම්බර ලංකා, ඕලු පිපීලා වෙල ලෙල දෙනවා වැනි ගීත ඇසෙන විටම අපට මතක්වන්නේ සුනිල් සාන්ත නම් සංගීතවේදියා යි. ශ්‍රී ලංකාවේ සංගීත පුරාවෘත්තයක් බඳු ඔහුට අත්වුණේ අපේ රටේ අලුත් දේශීය ආරක් සොයායන බොහෝදෙනාට අත්වන කනගාටුදායක ඉරණමම යි. දැන් ඔහුගේ ගුණ කථන, සැමරුම් රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවුණත්, ජීවත්ව සිටි කාලයේ ඔහු ඉන්න නිවසක් පවා නැතිව අසරණ ජීවිතයක් ගත කළා.
සංගීත අධ්‍යාපනය
1915 දී උපත ලද බැද්දලියනගේ දොන් ජෝසප් ජෝන් ගාල්ල ශාන්ත කැල්වරි විදුහලෙන් (දැන් ශාන්ත ඇලෝසියස් විද්‍යාලයය) පාසල් හැරයෑමේ සහතික විභාගය නිමකළේ දිවයිනේ ප‍්‍රථමයා ලෙස යි. 1933 දී ඔහු ගුරු අවසාන විභාගය සම්පූර්ණ කර, කලක් තමා ඉගෙනගත් ගාල්ල ශාන්ත කැල්වරි පාසලේම සිංහල, චිත්‍ර හා සංගීතය උගන්වන්න පත්වීමක් ලබනවා. එහි සේවය කළ කාලය තුළ ශාන්ත දක්ෂිණ පාසල් සංගීත තරගයේ දී පාසලට අඛණ්ඩව ජයග‍්‍රහණ 3ක් ලබාගැනීමට සමත් වෙනවා. ඔහු එකල පියානෝව සහ ගිටාරය වාදනය කිරීමට ද ඉගෙන ගත්තා. කඩවසම්, කැපීපෙනෙන සිරුරකින් යුත් ඔහු මෙම කාලය තුළ ‘‘හැම්ලට්” ඇතුළු නාට්‍ය කිහිපයක රඟපෑ බවත් සඳහන් වෙනවා.
1934 දී රබීන්ද්‍රනාත් තාගෝර් ලංකාවේ සංචාරය කර දේශන සහ ප්‍රසංග පවත්වනවා. මේ නිසා ලංකාවේ සංගීතඥයන් තුළ ඉන්දියාවට ගොස් සංගීතය හැදෑරීමේ ආසාවක් හටගන්නවා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ලයනල් එදිරිසිංහ, ආනන්ද සමරකෝන් වැන්නන් එසේ ශාන්ති නිකේතනයට ගොස් ඉගෙනගන්නවා. දොන් ජෝසප් ද ශාන්ති නිකේතනයට යනවා. ඒ 1939 දී යි. එහි සිව් මසක් සංගීතය ඉගෙනගත් ඔහු ඊළඟ වසරේ දී ලක්නව්හි භාත්ඛණ්ඩේ සංගීත පීඨයට බැඳී අධ්‍යාපනය ලබනවා. අවසානයේ ඔහු හින්දුස්ථානි රාගධාරී සංගීතය පිළිබඳ ද්විත්ව විශාරද උපාධි ලබාගැනීමට වරම් ලබනවා. විශාරද ජෝසප් ජෝන් 1944 දී මව්බිමට පැමිණෙනවා. ශ‍්‍රී ලංකාවට පැමිණ ඔහුගේ ඉංග‍්‍රීසි ආරේ නමෙන් ඉවත්වී “සුනිල් සාන්ත” ලෙස නම වෙනස්කර ගන්නවා.
සරඹ ගුරු පත්වීම
ඒ වනවිට ඔහු තරම් සංගීතය ඉගෙනගත් කෙනෙක් ලංකාවේ හිටියේ නැහැ. විෂය දැනුමෙන් මෙන්ම ප්‍රායෝගික අංශයෙන් ද ඔහුට හැකියාව තිබුණා. ඔහුට ලැබිය යුතුව තිබුණේ රජයේ සංගීත විද්‍යාලාධිපති තනතුර යි. නමුත් ඔහුට ලැබුණේ පාසලක සරඹ ගුරු පත්වීමක්. ඔහු එය ප්‍රතික්ෂේප කරනවා.
මේ කාලයේ හින්දුස්තානි සංගීතයට තැටිගත කළ ග්‍රැමෆෝන් ගීත ලංකාවේ ඉතාමත් ප්‍රචලිතව පැවතුණා. එච්. ඩබ්ලිව්. රූපසිංහ, රුක්මණී දේවි, ඇම්. කේ. වින්සන්ට්, ජැනට් ද සිල්වා, ඒ. ඇම්. යූ. රාජ්, ලක්ෂ්මී බායි ආදී ග්‍රැමෆෝන් ගායක ගායිකාවන් වටා රසිකයෝ පොදිබැඳ සිටියා.
ගුරුකම බාර නොගත් සුනිල් සාන්ත කලා කටයුතු කරන අතරම කුමාරතුංග මුනිදාසගේ හෙළ හවුල කෙරෙහි ඇදී යනවා. එතෙක් ඔහු තුළ වූ භාරත බැතිය ඉන් අහෝසි වුණා. දේශීය සංගීතයක් ගොඩනැගීමේ වටිනාකම අවබෝධ වුණා. මේ ඔහු ඒ ගැන තැබූ සටහනක්:
අපේ රටේ ජාතික සංගීත අධ්‍යාපනයක් ඇති කිරීමට නම් අපේ අරමුණ විය යුත්තේ අද අපේ අටට අවශ්‍ය දේශීය සංගීතයක් ගොඩනගාගැනීම විය යුතු යි. මා මගේ ශිෂ්‍යයන් හැමවිටම යොමුකරන්නේ අපේ අරමුණ වූ දේශීය සංගීතය දෙසට ය. මගේ පාඩම් හැම එකක්ම පිළියෙළ වී ඇත්තේ එයට අදාළ වන පරිදි ය.
(දේශීය සංගීතය- සුනිල් ශාන්ත)
රේඩියෝ සිලෝන් යුගය
1946 මාර්තු 2 වන දින කුමාරතුංග සැමරුම් උත්සවය සඳහා සුනිල් සාන්ත ගීත ප‍්‍රසංගයක් පැවැත්වූ අතර, රේඩියෝ සිලෝන්හි එහි ගීත ප්‍රචාරය කෙරෙනවා. ඉන්පසු ඔහු ‘‘ඕලූ පිපීලා” (එවකට රේඩියන් සිලෝන්හි පටිගත කරන ලද පළමු ගීතය), ‘‘හදපානේ”, “හෝ ගා රැල්ල නැගේ”, ‘‘බෝවිටියා දන් පළුකන් වරේ”, ‘‘සුවඳ රෝස මල් නෙලා” ”කෝකිලයන්ගේ”, සහ “මිහිකත නලවාලා” ආදී ගීත ගුවන්විදුලියෙන් තැටිගත කෙරෙනවා. මේ ගීත ග්‍රැමෆෝන් සහ නෘත්‍ය ගීතවලට හුරුව සිටි රසික මනස් අමන්දානන්දයට පත්කිරීමට සමත් වෙනවා. හියුබත් දිසානායක, මුනිදාස කුමාරතුංග, රැයිපියෙල් තෙන්නකෝන්, අරිසෙන් අහුබුදු, සහ මර්සලින් ජයකොඩි පියතුමා වැනි ගීත රචකයන් විසින් රචනා කෙරුණු ගීත සුනිල් සාන්ත ගායනා කළා. 1950 දශකය වන විට උසස් සංගීතයක් අවශ්‍ය රසික පිරිස් අතර සුනිල් ශාන්තගේ මිහිරි ගීත ප්‍රචලිත වී පැවතුණා.
ඒත් හින්දුස්ථානි කොපි සංගිතයෙන් මිදී යන ඒ ගමන නොරුස්සන පිරිසකුත් සිටියා. ඒ ගැන 2016 සුනිල් සාන්ත සමරු දේශනයක් කළ ආචාර්ය ටෝනි ඩොනල්ඩ්සන් මෙසේ සඳහන් කර තිබෙනවා:
1950 ගණන්වල දී ලංකා ගුවන්විදුලියේ පෙරදිග භාෂා අංශය ප්‍රබල භාරත දෘෂ්ටිවාදීන් විසින් පාලනය කරනු ලැබිණි. සිංහල සංගීතයේ ප්‍රමිතිය උසස් කළ යුතු ය යන ව්‍යාජ හේතුන් ඉදිරිපත් කොට මේ දාෂ්ටිවාදීහු යම් යම් ප්‍රතිපත්ති ස්ථාපිත කිරීමෙන් සිංහල ගීතය දැඩිසේ පාලනය කළහ. එහිදී සිදුවුණේ බටහිර ආභාෂය හැකි තරම් තුනීකොට භාරත රාග පදනම ශක්තිමත් කිරීමේ රහසිගත කුමන්ත්‍රණයකි. ස්වාධීන නවමු දේශීය ගී වෙනුවට භාරතීය රාග අනුකරණය කළ ගීත විසුරුවා හැරිණි.
(Sunil Shantha Memorial lecture 2016- Dr. Tony Donaldson)
සුනිල් ශාන්ත තනිවම මේ භාරත දෘෂ්ටිවාදීන්ට මුහුණදුන්නත් ඔහුට විවිධ පීඩාවන්ට මුහුණදීමට සිදුවුණා.
සුනිල් ගීයේ වෙනස්කම්
සුනිල් සාන්ත තම ගීත සඳහා සරල තනු යොදාගත්තා. භාෂාවේ ශබ්ද රටාවන් කඩහඩ තුළින් මතුකිරීමට උත්සාහ ගත්තා. ඒ ගී තුළ දීර්ඝ සංකීර්ණ වාද්‍ය ඛණ්ඩ තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් ඉන්දියානු වාද්‍ය වෘන්දයකට වයලීනය, සර්පිනාව, බටනලාව, එස්රාජය, තබ්ලාව, සහ ජල තරංගය අනිවාර්යයෙන් ඇතුළත් වුණා. සුනිල් මේ භාණ්ඩ අතරින් තම ගීතවලින් සර්පිනාව, බටනලාව, සහ ජලතරංගය ඉවත්කළා. 1960 දී ඔහු හවායි සල්වයිඩ් ගිටාරය තම සංගීතයට යොදාගත්තා. මේ නිසා සිතට දැනෙන අපූරු මිහිරක් ඔහුගේ සංගීතයේ ගැබ්වුණා. ගුවන්විදුලියේ ප්‍රචාරය වූ සුනිල් ගීවලට ඉහළම ප්‍රතිචාර ලැබුණා.
රතන්ජංකර්
1952 දී කලාකරුවන් ශ්‍රේණිගත කිරීම සඳහා පණ්ඩිත් රතනජංකර් ඉන්දියාවේ සිට ගෙන්වීමට ගුවන්විදුලි බලධාරීන් තීරණය කළා. සුනිල් සාන්ත විසින් මෙම තීරණය විවේචනය කරමින් පුවත්පත්වලට ලිපි ලිවූ අතර ශ්‍රේණිගත කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව අවධාරණය කර සිටියා. සම්මුඛ පරීක්ෂණවලට මුහුණ නොදුන් අය සේවයෙන් පහ කරන බවත් නිවේදනය කළා. සම්මුඛ පරීක්ෂණයකට මුහුණදීම සුනිල් ප‍්‍රතික්ෂේප කළ අතර 1952 සිට ඔහුට ගුවන්විදුලි දොර වැසුණා.
එම වසරේ දී ඔහු පාසල් ගුරුවරියක වූ බර්නඩෙට් ලීලාවතී ජයසේකර සමග විවාහ වුණා. ගුවන්විදුලියෙන් දොට්ට දැමීම නිසා ඔහුට ආර්ථික අතින් විශාල දුෂ්කරතා මතුවුණා. ඒ කාලය ගැන ඔහු පසු කලෙක සරසවිය පුවත්පතේ ඒ. ඩී. රන්ජිත් කුමාරට පසුව මෙසේ පවසා තිබුණා.
මුදල් අතින් අන්තිමට වැටිලා හිටි කාලේ ‘ලංකාදීප’ පුවත්පතේ අරමුදලකින් තමයි යම්තම් නැගිට්ටේ. ඒකට මුල පිරුවේ ‘ලංකාදීප’ කර්තෘ ධනපාල මහත්තයා. මම පොළේ කරවල වික්කා, රෙදි වෙළඳාම කළා. රෙඩියෝ, පැට්‍රොමැක්ස් ගෑස් ලාම්පු, ටයිප් රයිටර් හැදුවා. භූමිතෙල් උඳුන්, බයිසිකල් රෙපයාර් කළා.
මේ අතර ඇතැමුන් ඔහුගේ සංගීතය පහත්යැ යි පවසමින් අපහාස කළා. මහාචාර්ය සරච්චන්ද්‍ර සුනිල් සංගීතය පල්ලියේ කන්තාරු සංගීතයක් බව පැවසුවා. “සුනිල් තනු පහත්. බොළඳ භාවාත්මක බවින් යුක්ත යි. තොදොල්,” ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
සුනිල් සාන්තයන්ට එල්ලකළ චෝදනා වුණේ, සංගීතය සරල බව යි. ගුවන් විදුලිය තුළ ඉන්දියානු වද්‍ය භාණ්ඩවලට මුල්තැන ලැබුණු එකල බටහිර සංගීත භාණ්ඩ තහනමට ලක්වුණා. නමුත් වර්තමානයේ බටහිර සංගීත භාණ්ඩ නැති සංගීතයක් හොයාගන්නවත් නෑ. ඕලු පිපීලා, හදපානේ වැනි ගීත දරුවන්ටත් ගායනා කරන්න පහසු ආකාරයට යි ඔහු නිර්මාණය කළේ.
නැවත ගුවන්විදුලියට
1967 දී ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් නෙවිල් ජයවීර සුනිල් සාන්තගෙන් ඉල්ලා සිටියේ නැවත ජාතික ගුවන් විදුලි සේවයට පැමිණෙන ලෙසයි. ඔහු සමග ඩබ්ලිව්. ඩී. අමරදේව, සහ එම්. ඩබ්ලිව්. මකුලොලුව වැනි කලාකරුවන් ගුවන්විදුලියේ වැඩසටහන් ඉදිරිපත් කළා.
ඒ. ඩී. රන්ජිත් කුමාර සුනිල් සාන්ත ගැන සරසවිය පුවත්පතට ලියූ ලිපියක් (1977 දී) දුටු එවකට නිවාස ඇමතිව සිටි ආර්. ප්‍රේමදාස ඔහුට රජයේ නිවාස යෝජනා ක්‍රමයකින් නිවසක් දීමට තීරණය කළා. නිවාස යෝජනා ක්‍රමයට ගොස් නිවස පරීක්ෂා කර බැලූ සුනිල් සාන්තගේ මුවෙහි සිනා රැල්ලක් රැඳුණා.
“මේ ගේ නම් හොඳයි. හැබැයි මට මේක නිකං එපා. කොටස් වශයෙන් හරි, මාසිකව සල්ලි ගෙවන්න පුළුවන් විදිහක් හදලා දන්න. මට කරපු උපකාරවලට ඇමැතිතුමාට මං ස්තුතියි කියන්න. හැබැයි රජෝ මට ‘උදාගම්වල’ සින්දු කියන්න නම් කතා කරන්න එපා කියලත් ඇමැතිතුමාට කියන්න,”යි සුනිල් සිනාසෙමින් පවසා තිබෙනවා.
1981 පෙවරබාරි 18 වෙනිදා සුනිලුන් හිසමතට හෙණයක් පතිත වන්නාසේ නපුරු ආරංචියක් ලැබී කම්පාවට පත්වුණා. ඔහුගේ බාල පුතු ජගත් සාන්ත තෙවිසි හැවිරිදි වියේ හදිසි අනතුරකින් මියයාම යි ඒ. වානේ සංස්ථාවේ ඉංජින්රුවෙකු වූ ජගත්ගේ මරණයෙන් අසීමිත ලෙස කම්පනයට පත්වූ සුනිලුන්, පුතු වියෝ වී මාස දෙකින් 1981 අප්‍රේල් මස 11 වැනිදා හෘදයාබාධයකින් මෙලොවින් සමුගත්තා.
සුනිලුන්ට වසර 29ක් දිරිය දුන් බිරිය ජයසේකර සෙනෙවිරත්න මුදියන්සේලාගේ මේරි ජොසපින් බර්නඩෙට් ලීලාවතී 2010 අප්‍රේල් 28 වෙනිදා සිය සැමියා අවසන් ගමන් ගිය ජා-ඇල දෙහියාගත කතෝලික සුසාන භූමියේම මිහිදන් කෙරුනා.