Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මායාකාරියක් ලෙස විරුදාවලිය ලැබූ, මදර් ෂිප්ටන්

“මායාකාරිය” යන වචනය දෙසවනට ඇසෙන විට ඔබගේ මනසට නැගෙන්නේ කොස්සක නැග අහසින් ගමන් කරන, උල් හිස්වැසුමකින් සහ ලෝගුවකින් සැරසී සිටින භයානක කාන්තාවකගේ රුවකි. මෙම චිත්තරූපය අපගේ මනසට පැමිණෙන්නේ කාටූන්, චිත්‍රපට, සහ අප අසා ඇති කතාන්දර ආශ්‍රයෙනි. ඒවායේ සිටින මායාකාරියගේ චරිතය මෙබඳු ස්වරූපයක් ගනියි. කෙසේ වෙතත් එවැනි ආකාරයේ මායාකාරියන් මිහිපිට කෙදිනක හෝ ජීවත්වූ බවට සාධක නැත. ඒවා හුදෙක් පරිකල්පන ශක්තිය මත නිමවූ චරිතයන් පමණි.

අපගේ මතකයට නැගෙන මායාකාරියගේ ස්වරූපය
අපගේ සිතට එන මායාකාරියගේ රුව – www.bbc.com.uk

මායාකාරියන් පිළිබඳ සංකල්පය 17 වන සියවස පමණ වනවිට යුරෝපය පුරා මුල්බැසගත්තේ ය. මායාකර්මවල නිරත වූ බවට චෝදනා ලැබූ පුද්ගලයන් පුළුස්සා දැමීම, දියේ ගිල්වීම, සහ එල්ලීම ආදී ක්‍රමයන් ඔස්සේ මරණයට පත්කරන ලදී (වැඩිදුර තොරතුරු සඳහා කියවන්න: කාන්තාවන් දහස් ගණනකට ජීවිත අහිමි කළ ‘මායාකාරියන් දඩයම’). අතීතයේ කතෝලික පල්ලිය විසින් මායාකර්මවල නිරත වූ තැනැත්තන් යක්ෂයාගේ සේවකයන් ලෙස හඳුන්වනු ලැබුණි. මෙම යක්ෂයාගේ සේවකයින් දඩයම් කිරීමේ ප්‍රයත්නයන් නිසා බොහෝ අහිංසක කාන්තාවන්ට මරණය උරුම විය. සේලම්හි නඩු තීන්දුව ද එවැනි නිර්දෝශී කාන්තාවන් රැසකට ජීවිතය අහිමි කළ කුරිරු නඩු තීන්දුවකි (සේලම්හි නඩු විභාගය ගැන කියවන්න: අහිංසක කතුන්ට මරු කැඳ වූ සේලම් හි මායාකාරියන්ගේ නඩු විභාගය).

“සේලම්” හි නඩු විභාගයෙන් අනතුරුව චෝදනා ලැබූ කාන්තාවන් මරාදමන අයුරු – www.bbc.com.uk

මෙවැනි පසුබිමක් තුළ මේ ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කෙරෙන්නේ, මායාකාරියක් ලෙස සමාජයෙන් හ‍ංවඩු ගැසූ මදර් ෂිප්ටන් නම් ප්‍රසිද්ධ අනාවැකි පලකරන්නිය පිළිබඳව යි. 

දැරියකගේ උපත

පුරාවෘත්තවලට අනුව, 15 වැනි සියවසේ දී උතුරු එංගලන්තයේ ගමක විසූ අවුරුදු 15ක් වයසැති අගතා නම් දැරියක් ගැබ් ගත්තා ය. ඇය විවාහ වී සිටියේ ද නැත. පවුලේ අය කොතෙකුත් විමසුව ද තම කුස තුළ සිටින දරුවාගේ පියා කවුරුන් ද යන වග ඇය සමාජයෙන් වසන් කළා ය. එයට හේතුව කුමක් ද යන්න නම් අපැහැදිලි ය. පසුව එගමේ විනිසුරුවරයා ළඟට ඇය ගෙනගිය ද, ඉපදීමට සිටින දරුවාගේ පියා කවුරුන් ද යන වග තහවුරු කරගැනීමට සියල්ලන්ම අපොහොසත් විය. මේ හේතුව නිසා ඇයව ගම්මානයෙන් පිටුවහල් කරනු ලැබුණි. එයින් අසරණ වූ අගතා, නෙයස්බරෝ නගරාසන්නයේ නිඩ් ගං ඉවුරේ පිහිටි ගල් ගුහාවක් ජීවත්වීම සඳහා තෝරාගත්තා ය.

නිඩ් ග‍ංගාව/historytheinterestingbit.com

බාධක කම්කටොලු මැද ජීවත් වූ ඇය, 1488 වසරේ රුදුරු කුණාටු සහිත රාත්‍රියක දී දියණියක ප්‍රසූත කළා ය. ඇයට නම් තබැනු ලැබුවේ උර්සුලා සෝදයිල් යනුවෙනි. තවත් වසර දෙකක පමණ කාලයක් ගුහාවේම ජීවත් වූ අගතා තම දරුවා රැකබලා ගත්තා ය. පසුව අසල පිහිටි බෙවර්ලි ගමේ පූජකවරයාට මොවුන් ගැන අනුකම්පා සිතී, ඔවුන්ව ගමට කැඳවාගනු ලැබුණි. කුඩා උර්සුලාව ගමේ පවුලකට හදාවඩා ගැනීම සඳහා ලබාදුනි. අගතා නොටිහැම්ප්ෂයර්හි පිහිටි කන්‍යාරාමයක් වෙත යවන ලදී. අවාසනාවකට ඇයට නැවත කිසිදාක තම දියණිය දැකගත නොහැකි විය. කන්‍යාරාමයට යෑමෙන් අවුරුදු කිහිපයකට පසු ඇය මියගියා ය. 

අගතා ජීවත් වූ ගල්ගුහාව/historytheinterestingbit.com

කවුද මේ “මදර් ෂිප්ටන්”?

අගතාගේ දියණිය වූ උර්සුලා පෙනුමෙන් ද ක්‍රියාවෙන් ද වෙනස් දැරියක් වූවා ය. ඇගේ නාසය වක්ව පිහිටා තිබුණු අතර, ඇයගේ දෙපා ද ඇද වී ගොස් තිබුණි. මේ නිසා ඇය එහා මෙහා ගමන් කළේ හැරමිටියක් ආධාර කරගෙන ය. ඇයගේ මුහුණා පුරා බිබිලි ද පිහිටා තිබුණෙන් සැබවින්ම ඇයගේ ස්වරූපය ජනප්‍රවාදයන්හි කියැවෙන මායාකාරියකට සමාන විය. ඇගේ රුව එයාකාර වන්නට ඇත්තේ රෝගී තත්ත්වයක් බව වටහා ගැනීමට තරම් එකල ජනයාට දැනුමක් හෝ අවබෝධයක් නොවී ය. මේ නිසා ගම්වැසියන් ඇයව හැදින්වූයේ යක්ෂයාට දාව උපත ලැබූ දරුවෙකු ලෙස යි. ඇය ඔවුන්ගේ උසුළු විසුළුවලට භාජනය විය.

ඇය අධ්‍යාපනයට කෙතරම් දක්ෂතා දැක්වුව ද, අනෙකුත් ළමුන්ගෙන් ඇයට සිදුවන හිරිහැර සහ ගම්වැසියන්ගෙන් එල්ලවන නින්දා අපහාස නිසා ඇය සිය අධ්‍යාපන කටයුතු නවතාදමා, සොබාදහමට ලංව දිවි ගෙවුවා ය. තමා උපත ලැබූ ගුහාව අවට කැලයට නිතර ගිය ඇය, වනාන්තරය පිළිබඳ හොදින් අධ්‍යයනය කරමින් පැළෑටි, පුෂ්පයන්, ඖෂධ පිළිබඳව බොහෝ දැනුමක් ලබාගත්තා ය.

ඇයගේ ස්වරූපය/tripadvisor.com

උර්සුලා අවුරුදු 24 දී විවාහ දිවියට ඇතුළත් විය. ඒ, යෝක් නගරයේ වඩු කාර්මිකයෙකු ලෙස සේවය කළ ටෝබියස් ෂිප්ටන් නම් තරුණයෙකු සමග යි. එකල ඇතැමුන් පැවසුවේ ඇය ඔහුව රවටා විවාහ කරගත් බව යි. විවාහයෙන් වසර කිහිපයකට පසු ටෝබියස් ෂිප්ටන් මියගියේ ය. මේ වන විට ඔහු හා උර්සුලාට දරුවන් සිටියේ ද නැත. ටෝබියස් ෂිප්ටන් මියගිය ද, උර්සුලා දිගටම ෂිප්ටන් නාමය භාවිතයට ගත්තා ය. උර්සුලා “මදර් ෂිප්ටන්” යනුවෙන් හැඳින්වෙන්නට පටන්ගත්තේ ඇය මහලු වියට පත්වීමත් සමග ගම්වැසියන් විසිනි.

මදර් ෂිප්ටන් පැවසූ අනාවැකි

මුල දී “මායාකාරිය” යනුවෙන් ගැරහුම් ලැබුව ද, කාලය ගතවද්දී මදර් ෂිප්ටන් අනාවැකි පලකරන්නියක් ලෙස එංගලන්තයට පුරා ප්‍රසිද්ධ විය. එය ඇයට ලැබුණු විශේෂ හැකියාවක් බව බොහෝ දෙනා විශ්වාස කළෝ ය. මේ නිසා ඇය කෙරෙහි ගම්වාසීන් තුළ ගෞරවය මුසු වූ බියක් පැවතුණි. ඇතමුන් ඇයව නොස්ත්‍රදාමුස් (වැඩිදුර කියවන්න: දහසක් කවි මැද අනාගතය සැඟවූ නොස්ට්‍රඩාමස්) හා සැසඳීමට පවා උත්සහ කළෝ ය. ඇයගෙන් අනාවැකි ඇසීමට එංගලන්තයේ රජු පවා ලන්ඩනයේ සිට පණිවිඩකරුවන් එවූ බව සඳහන් ය. ඇය පැවසූවායැ යි සැලකෙන අනාවැකි කීපයක් පහත පරිදි වේ:

01. 1665 වසරේ ඇතිවූ වසංගතය
02. 1666 වසරේ ලන්ඩන් නගරයේ ඇතිවූ මහා ගින්න
03. ස්පාඤ්ඤය යුධ ජයග්‍රහණ
04. ඉංග්‍රීසි විප්ලවය හා සබැදි ප්‍රතිසංස්කරණ
05. ක්‍රිස්ටල් මාලිගාව පිළිබඳ තොරතුරු
06. ප්‍රංශ විප්ලවය සහ ඇමරිකානු නිදහස් සටන
07. ගුවන් යානා සහ මෝටර් රථ පිළිබඳ 

ක්‍රි.ව 1666 දී ලන්ඩන් නුවර ඇතිවූ මහා ගින්න/ londonist.com

එංගලන්තයේ සාර්ථක අනාවැකි පලකරන්නියක් ලෙස ප්‍රකට වූ ඇය 1561 වසරේ දී මියගියා ය. මියයන විට ඇය 73 වැනි වියේ පසුවිය. මෙහි විශේෂත්වය වන්නේ, මෙම කාලසීමාවේ දී බොහෝකල් ජීවත්ව, ස්වාභාවික මරණයකට උරුමකම් කී එකම මායාකාරිය ඇය වීම යි. කුමක් හෝ හේතුවක් මත, යුරෝපා ඉතිහාසය තුළ සිදුවූ බිහිසුණු ඛේදවාචකයක් වශයෙන් සැලකෙන මායාකාරියන් දඩයමේ වින්දිතයෙකු බවට පත් නොවීමට ඇයට වාසනාව ලැබුණු බව පැහැදිලි ය. කෙසේ නමුත්, ඇය යක්ෂයාගේ දරුවෙකු ලෙස සැලකූ පල්ලිය, ඇගේ දේහය පල්ලියේ සුසාන භූමියේ භූමදාන කිරීමට අවසර දීම ප්‍රතික්ෂේප කළේ ය. මෙනිසා ඇයව අප්‍රසිද්ධව, දුර ප්‍රදේශයක මිහිදන් කරන්නට ඇතැ යි සැලකේ. ඇතැම්විට, ඇය උපත ලැබූ ගුහාව අසල ප්‍රදේශයක ඇයව මිහිදන් කරන්නට ඇතැ යි සිතිය හැකිය. 

ඇය පැවසූ බව කියන අනාගත වාක්‍ය සත්‍ය බවට සැලකීමට සාක්ෂ්‍ය නැත. අවුරුදු 500ක් තිස්සේ කටින් කට ආ ඇගේ කතා පුවතට බොහෝ අතිශයෝක්ති සහ අසත්‍ය කරුණු පවා එකතු වී තිබෙනවා විය හැකිය. නමුත් ඇය උපත ලැබූ බව කියන ගල්ගුහාව සත්‍ය වශයෙන්ම පිහිටන ස්ථානයක් වන අතර, අද වන විට එය සංචාරක ආකර්ශනයකි.

මූලාශ්‍රයයන්:

history.com                             

biography.com                   

historytheinterstingbig.com

mothershipton.co.uk

Cover: Go Yorkshire

                

 

Related Articles