Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පල්ලියේ නියමයෙන් පුළුස්සා දැමූ ලේඛකයා – මයිකල් සර්වේටස්

යුරෝපය ඇතුළු බොහෝ රටවල අතීතයේ බිහි වූ බොහෝ දාර්ශනිකයන්, ගණිතඥයන්, හා විද්‍යාඥයන් මරා දමන්නේ ක්‍රිස්තියානි පල්ලියට හා දෙවියන් වහන්සේට විරුද්ධ ව ප්‍රකාශ නිකුත් කළේයැ යි පවසමින්. ඔවුන් ඉදිරිපත් කළ බොහෝ කරුණු පල්ලිවලින් ඉදිරිපත් කරන ලද කරුණු හා විසංවාද නිර්මාණය කළ බැවින්, එලෙස නව මතවාද ඉදිරිපත් කරන්නන් පූජකයන්ගේ අධිකාරීත්ව බලයෙන් මරණයට පත් කිරීම සිදු කෙරෙනවා.

1511 දී උපත ලැබූ ලේඛකයෙක්, ගණිතඥයෙක් මෙන්ම විවිධ ක්ෂේත්‍රවල දස්කම් දැක්වූ මයිකල් සර්වෙටස් නම් දාර්ශනිකයා ක්‍රිස්තියානි පල්ලිය අභිබවා ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් ගිනිතබා ඝාතනය කරවීමට එවකට බලවත් වූ පූජ්‍ය පාලන අධිකාරිය ප්‍රමුඛ රජය විසින් තීරණය කරනවා.

ඔහු ගණිතඥයෙක්, ලේඛකයෙක්, දර්ශනවාදියෙක්, වෛද්‍ය විද්‍යාව පිළිබඳව ප්‍රවීණයෙක්, ව්‍යවච්ඡේද විද්‍යාව පිළිබඳ උගතෙක්, පරිවර්තකයෙක්, හා කවියෙක් ලෙස දස්කම් දක්වනවා. ඔහු ක්‍රිස්තියානි දහමේ සඳහන් වන පියාණන් පුත්‍රයා හා ශුද්ධ වූ ආත්මය (ත්‍රිත්ව ඉගැන්වීම) යන සංකල්පයට විරුද්ධ ව සංකල්ප ඉදිරිපත් කිරීම හේතුවෙන් පල්ලියේ උදහසට ලක් වෙනවා. අද ලිපියෙන් දිග හැරෙන්නේ ඔහුගේ කතාව යි.

විවිධ ක්ෂේත්‍රයන් හි දස්කම් දැක්වූ මයිකල් සර්වේටස්

Skepticism.org

1511 දී පමණ ස්පාඤ්ඤයේ කුඩා ගමක ඉපදෙන මයිකල් සර්වේටස් කුඩා කාලයේ දී භාෂා ගණනාවක් හදාරනවා. ඒ අතරට ග්‍රීක, ලතින්, හා හීබෘ භාෂා ද ඇතුළත්. වයස අවුරුදු 15 වන විට ඔහු පල්ලියේ අභාසය ලබමින් තව දුරටත් අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා. එහි දී ඔහුට බයිබලය ලියැවුණු මුල් භාෂාවෙන්ම කියවීමට හැකියාව ලැබෙනවා.

1526 දී ප්‍රංශයේ තුලූව්ස් විශ්වවිද්‍යාලයට නීතිය හැදෑරීම සඳහා ඇතුළත් වෙන මයිකල් එම කාලය අතරතුර පල්ලිය විසින් තහනම් කරන ලද විශාල පොත්පත් ප්‍රමාණයක් රහසේ කියවනවා. එසේම පල්ලිය විසින් ප්‍රචාරණය කරන ධර්මය අභියෝගයට ලක් කරන්නන් විශාල ප්‍රමාණයක් රහසේ ඇසුරු කරනවා.

1531 දී පමණ ඔහු විසින් “De Trinitatis Erroribus” නමින් කෘතියක් රචනා කරන අතර එහි ත්‍රිත්ව ඉගැන්වීමේ වැරදි සඳහන් කර තිබෙනවා. Dialogorum de Trinitate හා De Iustitia Regni Christi නමින් තවත් කෘති කිහිපයක් ලියා පළ කරන්නේ පල්ලියේ මතය අභියෝගයට ලක් කරමින්.

ත්‍රිත්ව ධර්මය ක්‍රිස්තු දහමෙන් ඉවත් කිරීම මඟින් කිතු දහම දැඩි ලෙස ඒකාධිකාරී ආගම් ලෙස පැවතෙන යුදෙව් හා ඉස්ලාම් ආගම්වලට වඩා ආකර්ෂණීය වනු ඇතැ යි මයිකල් සර්වේටස් තවදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

1553 දී සර්වේටස් තව තවත් විරුද්ධවාදී අදහස් සහිත ආගමික ග්‍රන්ථ ප්‍රකාශයට පත් කරනවා. ඒ අතර Christianismi Restitutio නමින් කෘතියක් ද දකින්න ලැබෙනවා. එහි ක්‍රිස්තියානි දහමේ එන පූර්ව විනිශ්චය පිළිබඳ සංකල්පය ප්‍රතික්ෂේප කළ අතර පල්ලිය විසින් දෙවියන් වහන්සේ පිළිබඳ ව දක්වන අදහස් බොහෝමයක් අභියෝගයට ලක් වෙනවා.

මයිකල් සර්වේටස්ගේ දස්කම්

Life-Giving Water

නීතිය හැදෑරීමෙන් පසු ව වෛද්‍ය විද්‍යාව හැදෑරීමට යොමුවෙන මයිකල් සර්වේටස් ඒ සඳහා ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත් වෙනවා. ඒ 1536 දී යි. වෛද්‍ය විද්‍යාව හදාරන අතරතුර ඒ පිළිබඳ ව ද ග්‍රන්ථ රචනා කරන නමුත් ඒවා ප්‍රකාශයට පත් කරන්නේ නෑ. මේ කාලය අතරතුර ඔහු විසින් ගණිතය හා තාරකා ශාස්ත්‍රය ප්‍රගුණ කරනවා. ඔහු විසින් සිදුකරන ඉගැන්වීම් තහනම් කිරීමට වෛද්‍ය පිඨයේ ප්‍රධානියා විසින් කටයුතු කරනවා. කෙසේ හෝ අවසානයේ ඔහු තම වෛද්‍ය අධ්‍යාපනය සාර්ථක ව නිම කරනවා.

තවත් අවස්ථාවක මයිකල් සර්වේට්ගේ ක්‍රියාකලාපය ඉවසා සිටීමට නොහැකි වූ අනෙකුත් වෛද්‍යවරුන් එකතු වී මොහුව ඝාතනය කිරීමට සැලසුමක් ක්‍රියාත්මක කරනවා. නමුත් කඩු හරඹයේ දක්ෂයෙක් වූ මයිකල් සර්වේටස් කුමන්ත්‍රණකරුවෙකුට බරපතල තුවාල සිදුකිරීමට සමත් වෙනවා. මේ හේතුවෙන් දින කිහිපයක් බන්ධනාගාර ගත වීමට මයිකල්ට සිදුවෙනවා.

පෙනහළු හා හෘදය වස්තුව අතර රුධිර සංසරණය පිළිබඳ ව නිවැරදි අදහස ඉදිරිපත් කළ පළමු යුරෝපියානු විද්‍යාඥයා වන්නේ මයිකල් සර්වේටස් ය. ඔහු එය ඉදිරිපත් කිරීමට ප්‍රථම ඒ පිළිබඳව නිවැරදි නොවන විවිධ සංකීර්ණ මත කිහිපයක් ඉදිරිපත් කර තිබුණා. නමුත් ඔහුගේ ඉදිරිපත් කිරීම එවකට පැවති නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ හරි හැටි සමාජගත ගත වෙන්නේ නෑ.

මේ පිළිබඳ ව සඳහන් කරමින් වෛද්‍ය විද්‍යාව හා සම්බන්ධ කෘතියක් ඔහු විසින් රචනා කර තිබුණේ නැහැ. එය සඳහන් වී තිබුණේ Christianismi Restitutio නම් කෘතියේ යි. 1553 දී එය ප්‍රකාශයට පත් වීමත් සමග ම එම කෘතියේ පිටපත් සියල්ල ගිනි තැබීම සිදුවෙනවා. නමුත් ඉන් පිටපත් තුනක් පමණ සඟවා තබන අතර 1616 දී William Harvey නම් වෛද්‍යවරයා මෙම ක්‍රියාවලිය පිළිබඳ ව හෙළි කරන තුරු එය අනාවරණය වන්නේ නෑ.

ගිනිතබා ඝාතනය කිරීම

Getty Images

මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් 1553 අප්‍රේල් මාසයේ දී ආගමික අධිකාරිය මඟින් ඔහු ව අත්අඩංගුවට ගන්නවා. කෘතිය ගිනිතබා විනාශ කරන අතර දින කිහිපයකින් අත්අඩංගුවෙන් මිදීමට ඔහුට හැකියාව ලැබෙනවා.

පසු ව දින කිහිපයකින් අනතුරුව ජිනීවා ජනරජයේ ආගමික අධිකාරිය විසින් නැවතත් ඔහු ව අත්අඩංගුවට ගනු ලබනවා. අත්අඩංගුවට ගැනීමෙන් පසු ව ආගමට හා සදාචාරයට එරෙහිව සිදුකළ ප්‍රකාශයන්ට එරෙහිව ඔවුන්ගේ දඬුවම් ක්‍රමයක් වූ පුළුස්සා මරා දැමීමෙන් මයිකල් සර්වෙට් ඝාතනය කිරීමට පාලක බලධාරීන් තීරණය කරනවා.

ඒ අනුව ඔහු විසින් රචිත ග්‍රන්ථය ද ශරීරය මත තබා පණ පිටින් පුළුස්සා දැමීමට පල්ලිය විසින් නියෝග කරනවා.

කවරයේ පින්තූරය: Patheos

මූලාශ්‍රයයන්:

msuu.org

christianity.com

britannica.com

 

Related Articles