Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මව් රට රනින් සැරසූ මේරි කොම්

බොක්සිං කිව්වාම මුලින්ම අපේ මතකයට එන්නේ ක්‍රීඩකයන් මිසක් ක්‍රීඩිකාවන් නෙවෙයිනෙ. ඒ තරමටම බොක්සිං පුරුෂ පක්ෂයටම වෙන් වුණු ක්‍රීඩාවක් විදියටයි අපේ හිතේ තහවුරු වෙලා තියෙන්නෙ. බොක්සිං ක්‍රීඩා කරන ලෝක ප්‍රසිද්ධ ඉන්දීය ක්‍රීඩිකාවක් ගැනයි අද ලිපියෙන් කියවෙන්නේ. ඇය මේරි කොම්.

ළමා කාලය

Mangte Tonpa Komට සහ Mangte Akham Komට දාව, 1983 මාර්තු 01 වැනිදා ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ චුරාචන්ද්පූර් දිස්ත්‍රික්කයේ කන්ගතෙයි හිදී උපන් මේරි උපතින් ලද නම වන්නේ Mangte Chungneijang යන්නයි. ඇය ක්‍රීඩාවට අවතීර්ණ වීමත් සමඟ මේරි යන නම භාවිත කළේ උච්චාරණයේ පහසුව සඳහා යි.

මේරි කොම් (Garima Jain)

කන්ගතෙයි ග්‍රාමයේ වතු වල සේවය කළ ඇගේ දෙමව්පියන් ඉතා දිළිඳු වූ අතර ජීවිත සටන ඔවුන්ට බොහෝ අසීරු වුණා. දරුවන් හතර දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමල් දරුවා වූ මේරිට පාසල් යෑම, දෙමව්පියන්ට සහය වීම හැර බාල සහෝදරයන් රැක බලා ගැනීමත් කරන්නට සිදු වුණා. පාසල් කාලයේදී ඇය හොකී, පාපන්දු වැනි ක්‍රීඩාවන් ගණනාවක් කළත් කිසි දිනෙක බොක්සිං ක්‍රීඩා කර නැහැ.

අධ්‍යාපනය හා බොක්සිං ක්‍රීඩාවට පිවිසීම

අධ්‍යාපනයට සුවිශේෂ දක්ෂතා නොපෙන්වූ මේරි පාසල් අධ්‍යාපනය ලැබුවේ 8 ශ්‍රේණිය තෙක් පමණයි. නමුත් ඇය පසු කාලයේදී උපාධියක්ද ලබා ගත්තා.

මේරි බොක්සිං ක්‍රීඩාවට බොහෝ ආශා කළ අතර එය ඉගෙනීමටත්, ප්‍රගුණ කිරීමටත් ඉතා කැමැත්තෙන් සිටියා. ඇයට බොක්සිං ක්‍රීඩාව පිළිබඳ ඇල්මක් ඇති වුණේ මනිපූර්හි බොක්සිං ක්‍රීඩකයෙකු වූ Dingko Singh, 1998දී ආසියානු ක්‍රීඩා උළෙලෙන් රන් පදක්කමක් දිනා ගැනීමත් සමඟයි. ඉම්පාල් වෙත ගිය මේරි නර්ජිත් සිංගෙන් තමාට බොක්සිං ක්‍රීඩාව පුහුණු කරන ලෙස ඉල්ලා සිටියා. පසු කාලයකදී මනිපූර්හි නාගරික බොක්සිං පුහුණුකරු බවට පත් වුණෙත් නර්ජිත් සිං. අනෙක් ක්‍රීඩකයන් නිවසට ගිය පසුත්, රාත්‍රී කාලයේදීත් ඉතා උනන්දුවෙන්, කැපවීමෙන් පුහුණුවීම් කරමින් ඇය සියල්ල මැනවින් ඉගෙන ගත්තා.

ජයග්‍රහණ රැසක්

මේරිගේ ක්‍රීඩා දිවිය ආරම්භ වන්නේ 2000 වසරේදී මනිපූර්හි පැවති කාන්තා බොක්සිං තරඟයෙන් ශූරතාවය දිනා ගැනීමෙන් සහ බටහිර බෙංගාලයේ පැවති ප්‍රාදේශීය බොක්සිං තරඟාවලියේ ශූරතාවය ලබා ගැනීමෙන් පසුවයි. 2001 වර්ෂයේදී ඇය ජාත්‍යන්තර මට්ටමේ තරඟ සඳහා ක්‍රීඩා කිරීම ආරම්භ කළා. ඇමරිකාවේ පැවති පළමු AIBA ලෝක කාන්තා බොක්සිං ශූරතාවලියේදී කිලෝග්‍රෑම් 48 බර පංතිය යටතේ රිදී පදක්කමක් දිනා ගන්නා විට ඇගේ වයස අවුරුදු 18ක් පමණයි. 2002 පැවති දෙවන AIBA බොක්සිං ශූරතාවලියේදී කිලෝග්‍රෑම් 45 බර පංතිය යටතේ රන් පදක්කමක් දිනා ගත් ඇය ලෝක ආධුනික බොක්සිං ශූරතා තරඟාවලියේ රන් පදක්කම් 6ක්ද, 2003 ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක්ද දිනා ගත්තා.

2004දී නෝර්වේහිදී පැවැත්වුණ කාන්තා බොක්සිං ලෝක කුසලාන තරඟයේ රන් පදක්කම දිනා ගත් ඇය නැවතත් රන් පදක්කමක් දිනා ගත්තේ 2005දී තායිවානයේ පැවති කාන්තා බොක්සිං ශූරතාවයේදීයි. 2006දී ඇය නැවතත් AIBA ලෝක කාන්තා බොක්සිං ශූරතාවලියෙන් රන් පදක්කමක් දිනා ගත්තා.

“රළු සහ තද චරිතයක් වූ මම ගැහැණු ළමුන් සමඟ සෙල්ලම් කළේ කලාතුරකින්. ඇතැම්විට මම නරකම පරාජිතයා වූ අතර තරඟයක් ජයග්‍රහණය කරන්නට ඕනෑම දෙයක් කළ හැකි මට්ටමේ සිටියා. කොහොම වුණත් අදටත් එහි වෙනසක් වෙලා නැහැ. මා හිතන්නේ තරඟ තිබෙන්නේ ජයග්‍රහණය කිරීමට මිස පරාජය වීමට නෙවෙයි කියලා.” මේරි වරක් එසේ පවසා තිබෙනවා.

පෞද්ගලික ජීවිතය

මේරි සැමියා සහ දරුවන් සමඟ (sportskeeda)

මේරිට ඇගේ සැමියා වන ඔන්ලර් කොම්ව මුණ ගැසෙන්නේ 2001 වර්ශයේදී පැවැත්වුණු ජාතික ක්‍රීඩා උළෙල සඳහා දිල්ලියට යන අතරතුරදීයි. ඒ වනවිට ඔන්ලර් දිල්ලි විශ්ව විද්‍යාලයේ නීතිය හදාරමින් සිටියා. ඒ හමුවීමෙන් වසර 4කට පසු, 2005දී ඔවුන් විවාහ වෙනවා. මුල සිටම ඔන්ලර් මේරිගේ ධෛර්යයට හා උසස් බලාපොරොත්තුවලට ඉතාම කැමත්තෙන් සිටි බවයි පැවසෙන්නේ. 2007 දී ඔවුන්ට නිවුන් පිරිමි දරුවන් දෙදෙනෙකු ලැබෙන අතර 2013 වසරේදී ඇය තවත් පිරිමි දරුවෙකුට උපත ලබා දෙනවා.

මේරිට සාර්ථකත්වය එතරම් පහසු වුණේ නැහැ. ඇය නිවස වෙනුවෙන් යුතුකම් ඉටු කළ යුතු වුණා. ඇය රජයේ රැකියාවක් ලබා ගැනීමට උත්සාහ කළත් එයත් සාර්ථක වුණේ නැහැ. ඉන්පසුව සැමියාගේ සහ පවුලේ අයගේ උපකාරය ඇතිව මේරි නැවතත් ක්‍රීඩා පුහුණුව ආරම්භ කළා. ශරීරයේ සවි ශක්තිය වැඩි කර ගත්තා. නමුත් විවාහයෙන් පසුව දරුවන්ද ලැබුණු පසු ඇය නැවතත් ක්‍රීඩාවට පිවිසෙතැයි කිසිවකු බලාපොරොත්තු වු‍ණේ නැහැ.

තවත් ජයග්‍රහණ

වසරක විරාමයකින් පසු ඇය 2008දී නැවතත් ක්‍රීඩාවට පිවිසුණා. මේරි ආසියානු කාන්තා බොක්සිං ශූරතාවයේදී කිලෝග්‍රෑම් 46 බර පංතිය යටතේ රිදී පදක්කමක් දිනා ගත් අතර එම වසරේදීම චීනයේ පැවති AIBA ලෝක කාන්තා බොක්සිං ශූරතාවලියේ දීත් රන් පදක්කමක් දිනා ගත්තා. ඇය 2010දී බාබඩෝස්හි පැවති AIBA ලෝක කාන්තා බොක්සිං ශූරතා තරඟාවලියෙන් රන් පදක්කමක් දිනා ගත් ඇය 2012දී මොංගෝලියාවේ පැවති ආසියානු කාන්තා බොක්සිං ශුරතා තරඟාවලියේ කිලෝග්‍රෑම් 51 බර පංතිය යටතේ රන් පදක්කමක් දිනා ගත්තා.

2012දී පළමු වතාවට කාන්තා බොක්සිං ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස නම් කෙරුණා. කිලෝග්‍රෑම් 51 බර පංතිය යටතේ 2012 ලන්ඩනයේ පැවති ඔලිම්පික් උළෙලේදී ඉන්දියාව නියෝජනය කරමින් මේරි ලෝකඩ පදක්කමක් දිනා ගත්තා. ඔලිම්පික් තරඟ සඳහා නිර්දේශ වුණු පළමු ඉන්දීය කාන්තා බොක්සිං ක්‍රීඩිකාව වන්නේත් ඇයයි.

සම්මාන සහ බුහුමන්

පද්ම භූෂණ සම්මානයෙන් පිදුම් ලැබීම (hillpost)

මීට අමතරව ඇගේ ක්‍රීඩා කුසලතාවය වෙනුවෙන් මේරි බොහෝ සම්මානවලින් පිදුම් ලැබුවා. ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයෙන් (AIBA) ඇයව “විශිෂ්ට මේරි” (Magnificent Mary) ලෙස නම් කර තිබෙනවා. මේරි බොක්සිං වෙනුවෙන් කළ කැපවීමම ඇයව එසේ හඳුන්වන්නට හේතු වුණා. මේරි 2010 දී ඉන්දියාවේ සිව්වන උසස්ම පුරවැසි සම්මානය වන පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලබන්නට ඇය සමත් වුණා. 2013 වර්ෂයේදී ඇය ඉන්දියාවේ තුන්වන උසස්ම පුරවැසි සම්මානය වන පද්ම භූෂණ සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

අභියෝග

“මම බොක්සිං ක්‍රීඩා කරන්න පටන් ගනිද්දී බොහෝ දෙනා මාවත්, ක්‍රීඩාවට මගේ තිබූ ඇල්මත් විහිළුවකට ගත්තා. මම කිසිදාක බොක්සිං ශූරයෙකු නොවෙනු ඇතැයිද, ජනප්‍රිය නොවනු ඇතැයිද පැවසුවා. ඔවුන් කියා සිටියේ බොක්සිං ක්‍රීඩාව කාන්තාවකට කළ නොහැකි බවයි.”

මෙවැනි අධෛර්යමත් කිරීම් නිසා ඇයට අවශ්‍ය වුණා බොක්සිං කාන්තාවන්ටත් කළ හැකි ක්‍රීඩාවක් බවත්, එයින් ජයග්‍රහණය කළ හැකි බවත් ඔවුන්ට පෙන්වන්නට.

සමාජයේ ඍණාත්මක අදහස් හමුවේ මේරි බිඳක්වත් කම්පා නොවූ අතර ඇයට ඇගේ සැමියාගෙන් ඉතා හොඳ සහයක් ලැබුණා. පුහුණුවීම්වලට යන විට බිරියක්, මවක් ලෙස ඇයට වද විය යුතු වෙනත් කාරණා නැති වන ලෙස ඔන්ලර් කටයුතු කළා. මේ නිසා බොක්සිං වළල්ලට ගිය පසුත් ඇයට මුළු අවධානයම ක්‍රීඩාවට යොමු කළ හැකි වුණා.

ස්වයං චරිතාපදානය

මේරි, ඉතිහාසය පිළිබඳ කථිකාචාර්යවරියක් වන Dina Serto සමඟ ඇගේ ස්වයං චරිතාපදානය වන Unbreakable ලියා ප්‍රකාශයට පත් කළේ 2013දියි. එහි මෙසේ සඳහන් වෙනවා.

“ක්‍රීඩකයෙකුගේ ජීවිතයේ පීඩනය යන දේ නිසැකවම, හැමවිටම පවතින දෙයක්. එය සමඟ කටයුතු කිරීමට ඔබ ඉගෙනගත යුතුයි.”

චරිතාපදානය ප්‍රකාශයට පත් කළ දිනය (RealTime Photos)

චිත්‍රපටය

මේරිගේ ජීවිත කතාව ඇසුරින් 2014දී චිත්‍රපටයක්ද නිර්මාණය කර තිබෙනවා. ඔමුන්ග් කුමාර් විසින් අධ්‍යක්ෂණය කළ මෙය මේරි කොම් ලෙස නම් කර තිබෙනවා. මෙහිදී මේරිගේ මවු බස වන කොම් භාෂාවට වඩා භාවිත කර ඇත්තේ මනිපූර්හි ප්‍රධාන භාෂාව වන මයිතෙයි භාෂාවයි. සංජේ ලීලා බන්සාලි විසින් නිෂ්පාදනය කළ මෙහි මේරිගේ චරිතයට පණ පොවන්නේ ප්‍රියංකා චොප්රා විසින්.

චිත්‍රපටයේ අවස්ථාවක් (hdwallpapers)

නොසැලෙන ධෛර්යය

මේ වනවිට මේරිගේ අභිප්‍රාය වී ඇත්තේ ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගැනීමයි.

“මගේ පුහුණු වීම් හොඳින් සිදු වෙනවා. ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගැනීමයි මගේ සිහිනය. ඒ වෙනුවෙන් මම හැකි උපරිමයෙන් කැප වෙනවා.” ඇය එසේ පවසනවා. සංගීතයට සහ ගායනයට ප්‍රිය කරන මේරි තමන් බොක්සිං ක්‍රීඩිකාවක නොවුණා නම් ගායිකාවක වන බවයි පවසන්නේ.

කවරයේ පින්තූරය – DHRUVIL TANNA

Related Articles