Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තම දිවි පුදා සිය ගණනක් ගුවන් මගීන්ගේ ජීවිත බේරා දුන් තරුණ  වීරවරිය – නීර්ජා

වීරයෙක් කියන එකට ගොඩක් දෙනා ගොඩක් අර්ථකතන දෙනවා. රට රටවල් වල ඉතිහාස කතන්දර වල මහා පුදුම දේවල් කරපු වීරයෝ ගොඩාක් ඉන්නවා. ඒ අතරේ මෑත කාලීන ඉතිහාසයේත් වීරයෝ, වීරවරියෝ ගොඩක් බිහි වුණා. තමන්ගේ එඩිතර භාවයට සම්මාන ලබා ගත්තු හමුදා සාමාජිකයන් වගේම තමන් පෙනී හිටපු මතවාදය වෙනුවෙන් ජීවිත පූජා කරලා වීරයෝ වුණු අයගේ කතන්දර අපිට ඕනෑ තරම් අහන්න දකින්න පුළුවන්.

ගොඩක් වීරයන්ගේ තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි එයාලගෙන් ඒ වීරකම කවුරුත් බලාපොරොත්තු වෙන එක. හමුදා සාමාජිකයෙක් තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් ජීවිතය පූජා කරන එක, සිවිල් නායකයෙක් තමන්ගේ මතවාදය වෙනුවෙන් සිරගත වෙන එක, ක්‍රීඩකයෙක් කණ්ඩායමේ ගෞරවය බේරා ගන්න එක, ශිෂ්‍ය සංගම් නායකයෙක් ඒ වෙනුවෙන් පෙනී ඉන්න ජීවිතය කැප කරන එක වගේ දේවල් ඔවුන් යටතේ ඉන්න පිරිස, ඔවුන්ගේ අනුගාමිකයන්, නායකයන් වගේ පිරිස් දැඩිව බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ වීරත්වය ඔවුන්ගේ වගකීමක් කියලා වුණත් හඳුන්වන්න පුළුවන්. ඒ වගේ කිසිම විශේෂ වගකීමක් නැතිව විශාල වීර ක්‍රියා කරපු පිරිස සාපේක්ෂව හරිම අඩුයි.

අද ලිපියෙන් කියවෙන්නේ ඒ වගේ දුර්ලභ වීරවරියක් ගැනයි. ඇය නමින් නීර්ජා භානෝ. (Neerja Bhanot) කවුරුත් ඇයගෙන් බලාපොරොත්තු නොවුණු වගකීමක් කරට අරගෙන තමන්ගේ ජීවිතය ගැනවත් නොහිතා මිනිස් ජීවිත ගණනාවක් රැක දුන්නු නීර්ජා වීරයන් අතර සුවිශේෂී තැනක ඉන්න කෙනෙක්. අවුරුදු 23ක්වත් නොවුණු පුංචි කෙල්ලෙක් වුණත් ගුවන් යානයක් ත්‍රස්තවාදීන් පැහැර ගත්තු වෙලාවක තනියම ක්‍රියාත්මක වෙලා සිය ගණනක් දෙනාගේ ජීවිත ආරක්ෂා කරලා දුන්නු හැටි අදටත් ගුවන් ගමන් ක්ෂේත්‍රයේ කාගේත් කතාවට ලක් වෙනවා. ඇයගේ ඒ වීර ක්‍රියාවට වසර 30ක් සපිරෙන මේ මාසයේ අපි ඇයගේ කතාව කියන්න තීරණය කළේ අපේ රටේ කාට වුණත් ආදර්ශයට ගන්නටයි.

නීර්ජා භානෝ උපත ලැබුවේ 1963 සැප්තැම්බර් 7 වැනිදා ඉන්දියාවේ චන්දිගාර් නුවර. මුම්බායි නුවර ජීවත් වුණු මාධ්‍යවේදී හරීෂ් භානෝ මහතා සහ රාමා භානෝ මහත්මිය තමයි ඇයගේ දෙමාපියන්. චන්දිගාර් නුවරම පාසල් අධ්‍යාපනය ලබපු නීර්ජා පසුව ඇයගේ පවුලේ උදවියත් එක්ක මුම්බායි නුවර පදිංචියට යනවා. ඇය තමන්ගේ උපාධිය හදාරන්නේ මුම්බායි නුවර ශාන්ත සේවියර් විශ්වවිද්‍යාලයෙන්.

නීර්ජා භානෝ උපාධිය ලද මුම්බායි නුවර ශාන්ත සේවියර් විශ්ව විද්‍යාලය. රූපය : flickr.com

නීර්ජා භානෝ උපාධිය ලද මුම්බායි නුවර ශාන්ත සේවියර් විශ්ව විද්‍යාලය. රූපය : flickr.com

වයසින් වැඩෙනවාත් එක්කම ඇයගේ රූප සම්පත්තිය නිසාම ඇයට නිරූපිකාවක් වෙන්න ගොඩාක් ආරාධනා ලැබුණා. කොහොම වුණත් ඒ කාලේ ඉන්දියාවේ තිබුණු චාරිත්‍ර අනුව ඇයට ඉක්මණින්ම සිදු වුණේ යෝජිත විවාහයක් කර ගන්නයි. පත්තරයක පළ කරපු දැන්වීමකින් හඳුනා ගත් කෙනෙක් එක්ක ඇය 1985 මාර්තු මාසයේ විවාහ වෙනකොට යාන්තම් අවුරුදු 21 පිරුණා විතරයි. ලස්සන තිබුණත් ඇයට විශාල දෑවැද්දක් තිබුණේ නැති නිසා මාස දෙකක් යන්නත් කලින් නීර්ජාට සිදු වුණේ දෙමව්පියන් ළඟට එන්න. ඒ ඇවිත් වැඩි කාලයක් යන්න කලින්ම ඇය නිරූපණ ඒජන්සියකට සම්බන්ධ වෙලා නිරූපිකාවක් වුණා.

මේ වැඩේට නීර්ජාගේ නීතිමය ස්වාමියා කොහොමවත්ම කැමති වුණේ නැහැ. ඔහු නීර්ජාට ඒ ගැන ගොඩාක් නිග්‍රහ කරලා ආපහු ඇය තමන් ළඟට ගන්න තදබල කොන්දේසි ගණනාවක් දීලා තියෙනවා. නමුත් නීර්ජාගේ පවුලේ කවුරුත් ඒකට කැමති නොවුණු නිසා ඇයගේ විවාහය එතැනින් කෙළවර වුණා.

ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් නුවර ඉඳලා ඉන්දියාවට එන තමන්ගේ හැම ගුවන් යානයකටම ඉන්දියානු ගුවන් සේවිකාවන් යොදා ගන්න ගත්තු තීරණයක් නිසා පෑන් ඈම් සමාගම (Pan Am) විශාල වශයෙන් ඉන්දියානු ගුවන් සේවිකාවන් බඳවා ගත්තේ ඒ කාලයේමයි. ලෝක ප්‍රසිද්ධ පෑන් ඈම් ගුවන් සමාගමට ගුවන් සේවිකාවක් විදිහට සම්බන්ධ වෙන්න නීර්ජාත් අයදුම් පත් යොමු කළා. ඇයගේ රූපය වගේම දැනුම සහ දක්ෂතා නිසා පහසුවෙන්ම ගුවන් සේවිකාවක් වෙන්න නීර්ජාට හැකියාව ලැබුණා. ඇමරිකාවේ මියාමි නුවරට ගුවන් සේවිකාවක් විදිහට පුහුණුවට ගිය නීර්ජා ඉතාම කෙටි කාලයකින් ගුවන් සමාගමට බඳවා ගැනෙන්නේ ඔවුන්ගේ ප්‍රධාන ගුවන් සේවිකාවක් විදිහටයි. (මේ තනතුර ගුවන් සේවා වල හැඳින්වෙන්නේ ප’සර් – Purser කියලා.)

සුප්‍රසිද්ධ පෑන් ඈම් සමාගම තමන්ගේ ප්‍රධාන ගුවන් සේවිකාවන් (Purser) ට ලබා දී තිබුණු පළඳනය. රූපය : flyingtigerantiques.com

සුප්‍රසිද්ධ පෑන් ඈම් සමාගම තමන්ගේ ප්‍රධාන ගුවන් සේවිකාවන් (Purser) ට ලබා දී තිබුණු පළඳනය. රූපය : flyingtigerantiques.com

ප්‍රධාන ගුවන් සේවිකාවක් වගේම නිරූපිකාවක් විදිහටත් වැඩකටයුතු කරපු නීර්ජාට හැම තැනින්ම ලොකු පිළිගැනීමක් තිබුණා. මොන තරම් වගකීම් බහුල රැකියාවන් දෙකක් වුණත් ඇය ඒ දෙකම සමබරව කරගෙන යන්න සමත් වුණා. නීර්ජාගේ ඉරණම තීරණය වුණු 1986 සැප්තැම්බර් 5 වෙනිදා ඇය ගුවන් යානයේ රාජකාරියට ආවේ දවස පුරාම තිබුණු නිරූපණ වැඩකටත් සහභාගී වෙලා. ඒ වෙනකොට නීර්ජාගේ 23 වැනි උපන් දිනයට තිබුණේ දවස් දෙකක් විතරයි.

පකිස්ථානයේ කරච්චි නුවර අන්තර්ජාතික ගුවන් තොටුපළෙන් පිටත් වෙන්න සූදානමින් තිබුණු පෑන් ඈම් සමාගමේ අංක 73 (Pan Am Flight 73) ගුවන් යානයට ඇතුළු වුණු ත්‍රස්තවාදීන් හතර දෙනෙක් ගුවන් යානය පැහැර ගත්තා. මගීන් 361ක් සහ කාර්ය මණ්ඩලයේ 19ක් හිටපු මේ ගුවන් යානය පැහැරගෙන සයිප්‍රස් වෙත ගෙන යන්නයි ත්‍රස්තවාදීන් බලාපොරොත්තු වුණේ. යානයේ මගීන් සහ කාර්යමණ්ඩලය ප්‍රාණ ඇපයට තියාගෙන ඒ වෙනකොට හිරේ හිටපු ඔවුන්ගේ ත්‍රස්තවාදී සාමාජිකයන් වගයක් නිදහස් කරන්න කියලා ජාත්‍යන්තරයට බල කරන්න ඔවුන් සැලසුම් කරලා තිබුණා. ත්‍රස්තවාදීන් හතර දෙනා ගුවන් යානයට ඇතුළු වෙනවත් එක්කම නීර්ජා ඉක්මණින් ඒ බව නියමු කුටියට දන්වා සිටියත් ඒ වෙනකොට ගුවන් යානය ගමන් අරඹලා නොතිබුණු නිසා ප්‍රධාන ගුවන් නියමුවා (කපිතාන්) ඇතුළු නියමුවන් තුන් දෙනාම රහසිගත දොරකින් පිටවෙලා ගියේ නීර්ජාට හැම දෙයකම වගකීම පටවමින්.

නීර්ජා සේවය කළ වර්ගයේ බෝයින් - 747 ගුවන් යානාවක්. ඒ කාලයේ වැඩිම මගීන් ප්‍රමාණයක් ගෙන යා හැකිව තිබුණු මේ ගුවන් යානය අදටත් ජනප්‍රියයි. රූපය : ultraswank.net

නීර්ජා සේවය කළ වර්ගයේ බෝයින් – 747 ගුවන් යානාවක්. ඒ කාලයේ වැඩිම මගීන් ප්‍රමාණයක් ගෙන යා හැකිව තිබුණු මේ ගුවන් යානය අදටත් ජනප්‍රියයි. රූපය : ultraswank.net

වයසින් බාල වුණත් ඊළඟට හිටපු උසස්ම නිලධාරියා වුණු නීර්ජා තමන්ට පැවරුණු භාරදූර කාර්යයට නොබියව මුහුණ දුන්නා. ගුවන් යානයේ හිටපු තුන්සිය ගණනක් මිනිස් ජීවිත තිබුණේ ඇයගේ අතේ. හුරුබුහුටි තරුණියක් නිසා තමන්ට බයේ නියෝග පිළිපදියි කියලා හිතාගෙන ත්‍රස්තවාදීන් හැම දෙයක්ම කරන්න කියලා අණ කළේ නීර්ජාට. මුලින් ඔවුන්ගේ විශ්වාසය දිනා ගෙන ගුවන් මගීන්ගේ ජීවිත රැක ගන්න ඇය ක්‍රියා කරපු විදිහ අදටත් කාගේත් පුදුමයට කාරණාවක්.

මේ ත්‍රස්‌තවාදීන් හතර දෙනාම ලිබියාව මූලික කරගෙන ක්‍රියාත්මක වුණු අබු නිඩාල් කියලා ත්‍රස්තවාදී කණ්ඩායමක (Abu Nidal Organization) සාමාජිකයන්. ඔවුන්ගේ ප්‍රධානම ඉලක්කය වුණේ ඇමරිකානු ජාතිකයන් සහ ඇමරිකාවට අයත් සම්පත්. ඇමරිකාවේ ප්‍රධානම ගුවන් සමාගමේ යානයක් පැහැර ගත්තේ මේ නිසාමයි. ගුවන් යානය බලයට නතු කරගෙන වැඩි වෙලාවක් යන්න කලින් ඇමරිකානු ජාතිකයෙක්ව හසු වුණු නිසා මේ ත්‍රස්තවාදීන් ඔහුව වෙඩි තබා මරා දමලා ගුවන් පථයට විසි කරේ වෙන්න යන බිහිසුණු අපරාධය ගැන මතක් කිරීමක් විදිහටයි.

ඔවුන් නීර්ජාට අණ කළා හැම මගියෙක්ගේම පාස්පෝට් එක එකතු කරන්න කියලා. ඒ පාස්පෝට් එකෙන් පහසුවෙන්ම ඇමරිකානුවන් හඳුනා ගන්න පුළුවන් නිසා. කොහොම වුණත් නීර්ජා උපායශීලීව කටයුතු කරලා අනිත් කාර්යමණ්ඩලයේ අයත් එක්ක එකතු වෙලා ගුවන් යානයේ හිටපු ඇමරිකානුවන් 41 දෙනාගේම පාස්පෝට් හංගන්න ක්‍රියා කළා. ඇයගේ මේ තැනට සුදුසු නුවණ නිසා තමයි ත්‍රස්තවාදීන්ට ඇමරිකානු ජාතිකයන් හඳුනා ගන්න බැරි වෙලා ඔවුන් කාගේත් ජීවිත ආරක්ෂා වුණේ.

ඇමරිකානුවන් ප්‍රාණ ඇපයට අරගෙන ඉල්ලීම් දිනා ගන්න ගත්තු උත්සාහය සාර්ථක නොවුණු නිසා ත්‍රස්තවාදීන් දිගටම ගුවන් යානය ඇතුලේ බලය අල්ලාගෙන හිටියා. බය වෙලා හිටපු මගීන් සනසන්න නීර්ජා ඇතුළු කාර්ය මණ්ඩලය සැන්විච් සහ කෝපි බෙදලා දෙමින් ඔවුන්ව අස් වසන්න පවා ක්‍රියා කළා කියලත් ඒ අත්දැකීමට මුහුණ දුන් පිරිස විස්තර කරලා තියෙනවා. ගුවන් යානය ඉහළට ගෙනියන්න බැරි වුණු නිසා ත්‍රස්තවාදීන්ටත් කරන්න දෙයක් තිබුණේ නැහැ.

පැය 17ක් තිස්සේ මේ අවිනිශ්චිතභාවය පැවතුණා. අන්තිමේදී ගුවන් යානයේ ඉන්ධන ඉවර වේගෙන ගිහින් ගුවන් යානය අඳුරු වෙන්න පටන් ගත්තා. පෙනෙන නොපෙනෙන තරම් අඳුරු වෙන්න ගත්තාට පස්සේ ත්‍රස්තවාදීන් ඉවක් බවක් නැතිව එහෙට මෙහෙට වෙඩි තියන්නත්, පුපුරණ ද්‍රව්‍ය විසි කරන්නත් පටන් ගත්තා. ත්‍රස්තවාදීන්ට ඉලක්කය ගන්න බැහැ කියල තේරුම් ගත්තු නීර්ජා වහාම හදිසි පිටවීමේ දොරටුවක් විවෘත කළා. “එළියට යන්න, දුවන්න!!” (Get out, run!!!) කියලා නීර්ජා සද්දෙන් කෑ ගහපු හඬ එදා ගුවන් යානයේ හිටපු බොහෝ දෙනාට අදටත් අමතක වෙලා නැහැ.

හදිසි දොර ඇරපු ගමන් එළියට පැනලා ජීවිතය බේරා ගන්න නීර්ජාට හොඳටම ඉඩ තිබුණා. නමුත් ඇය තමන්ට හැකි උපරිමයෙන් වෙහෙසුණේ මගීන්ගේ ජීවිත බේරා ගන්නයි. අන්දුන් කුන්දුන් වෙලා, බයෙන් ගැහෙමින් හිටපු මගීන් හැමෝම හදිසි දොරටුව වෙතට මෙහෙයවන්නත්, දිවි ගලවා ගන්නා “ස්ලයිඩ් එක” (Evacuation Slide) දිගේ ඔවුන් සේරම ආරක්ෂිතව පහළට යවන්නත් ඇය ක්‍රියා කළේ පුදුමාකාර කැපවීමකින්.

හදිසි අවස්ථාවක දොරටුවෙන් පිට වෙලා පහළට ලිස්සා ගිහින් ජීවිත බේරා ගන්න තියෙන මේ වාතයෙන් පිම්බෙන “ස්ලයිඩ් එක” හැම මගී ගුවන් යානයකම අත්‍යාවශ්‍ය අංගයක්. රූපය : youtube.com

හදිසි අවස්ථාවක දොරටුවෙන් පිට වෙලා පහළට ලිස්සා ගිහින් ජීවිත බේරා ගන්න තියෙන මේ වාතයෙන් පිම්බෙන “ස්ලයිඩ් එක” හැම මගී ගුවන් යානයකම අත්‍යාවශ්‍ය අංගයක්. රූපය : youtube.com

තමන්ගේ ජීවිතයටත් වඩා නීර්ජා තමන් වෙත පැවරිලා තිබුණු වගකීම ඉහළින් සලකලා ක්‍රියා කළා. ත්‍රස්තවාදීන් දිගට හරහට වෙඩි තියද්දී ඇය දිගටම උත්සාහ කළේ පුළුවන් තරම් මගීන්ගේ ජීවිත බේරා ගන්නයි.

මවුපියන් හොයා ගන්න බැරුව අතරමං වුණු පුංචි ඇමරිකානු ළමුන් තුන් දෙනෙක් තුරුල් කරගෙන නීර්ජා ඔවුන්ව හදිසි දොරටුව පැත්තට අරගෙන යනවා දැකපු ත්‍රස්තවාදීන් ඒ පැත්තටම වෙඩි තියන්න පටන් ගත්තා. ඒත් ඒ වෙඩි වරුසාව තමන්ගේ සිරුරෙන් ආවරණය කරගෙන නීර්ජා ඇමරිකානු දරුවන් තුන් දෙනාගේම ජීවිත බේරලා දුන්නා. 23 වැනි උපන් දිනයට දවස් දෙකක් තියෙද්දී වැදුණු ඒ උණ්ඩ වරුසාවෙන් නිර්ජා භානෝගේ සිරුරේ ඉතිරි වෙලා තිබුණු අන්තිම පණ කෙන්දත් වා තලයට මුසු වුණා. ගුවන් ගමන් ක්ෂේත්‍රයේ ලොකුම වීරවරිය වුණු තරුණ නීර්ජාගේ ජීවිතය අකාලයේ නිමා වුණේ ඒ විදිහටයි.

එදා නීර්ජාගේ එඩිතරකම නිසා දිවි බේරා ගත්තු පුංචි දරුවෙක් අද ලෝකයේ ප්‍රධාන ගුවන් සමාගමක කපිතාන් කෙනෙක් විදිහට සේවය කරනවා. තමන් එදා අත්දැකපු දේවල් ඔහු අදටත් සිහිපත් කරන්නේ නීර්ජා ගැන ලොකු ගෞරවයකින්. තමන්ට ගුවන් ගමන් ක්ෂේත්‍රයට එක් වෙන්න බලපෑවේ වගේම හැම රාජකාරියකදීම වගකීම්, යුතුකම් නොපිරිහෙළා ඉටු කරන්න කවදත් ආදර්ශයට ගන්නේත් එදා තමන් පළමු වරට වගේම අවසන් වරටත් දැකපු නීර්ජා භානෝ නම් වීරවරිය කියන එක ඔහු නිතරම කියන දෙයක්.

ඔහුට විතරක් නෙවෙයි, නීර්ජා කියන්නේ ගුවන් ගමන් ක්ෂේත්‍රයට වගේම මුළු ලෝකයටම අමතක කරන්න බැරි වීරවරියක්. තමන්ගෙන් කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු යුතුකමක් සහ වගකීමක් ඉටු කරමින් ඇය තමන්ගේ ජීවිතය පවා පූජා කරලා ගුවන් මගීන්ගේ ජීවිත සිය ගණනක් බේරා දුන්නු එක ලෝකය පුරාම ගෞරවයට පාත්‍ර වුණා. ඇමරිකා එක්සත් ජනපදයේ ගුවන් ගමන් ආරක්ෂාව සඳහා පදනමේ වීරත්වය උදෙසා පිරිනැමෙන සම්මානයත් (Flight Safety Foundation Heroism Award 1987, United States), පකිස්තානු රජයෙන් පිදෙන “තම්ඛා ඊ ඉසානියාත්” සම්මානයත් (Tamgha-e-Insaaniyat – මිනිස් වර්ගයා වෙත දක්වන අප්‍රතිහත කරුණාවන්තභාවය සඳහා සම්මානය) ඇය වෙනුවෙන් පිරිනැමුණා. නීර්ජාගේ මාතෘ භූමිය වූ ඉන්දියාවේ රජය ඇයට පුරවැසියෙකු උදෙසා වීරත්වයට පිදෙන ඉහළම සම්මානය වන “අශෝක් චක්‍ර සම්මානය” පිරිනමමින් ඉහළතම රාජ්‍ය ගෞරවය ලබා දුන්නා. මේ සම්මානය ලබා ගත් පළමු කාන්තාව වගේම ලාබාලතම පුද්ගලයා විදිහටත් ඇය ඉතිහාස ගත වුණා.

නීර්ජාට හිමි වුණු අශෝක් චක්‍ර සම්මානය ගැන ඒ දවස් වල පළ වුණු වාර්තාවක්. රූපය : sillyconfusion.com

නීර්ජාට හිමි වුණු අශෝක් චක්‍ර සම්මානය ගැන ඒ දවස් වල පළ වුණු වාර්තාවක්. රූපය : sillyconfusion.com

“ඇය විපතේ උන් ගුවන් යානයේ මගීන් වෙත දැක්වූ අසීමිත ලෙන්ගතුභාවය මනුෂ්‍යත්වයේ උසස්තම ගුණාංගයන්ට සදාකාලික උපහාරයක් වනු ඇත.” – අශෝක් චක්‍ර සම්මානය

 

Her loyalties to the passengers of the aircraft in distress will forever be a lasting tribute to the finest qualities of the human spirit. – Ashok Chakra citation

 

පසු කාලීනව තවත් සම්මාන විශාල ගණනක් නීර්ජා වෙනුවෙන් පිරිනැමුණා. ඇයගේ රූපය සහිත තැපැල් මුද්දරයක් පවා 2004 දී නිකුත් කෙරුණා. ඉන්දියාව ගුවන් ගමන් ක්ෂේත්‍රයට අවතීර්ණ වී වසර 100ක් සපිරුණු 2010 වර්ෂයේ නව දිල්ලි නුවර පැවති උත්සවය ආරම්භ කරමින් ඇය වෙනුවෙන් විශේෂ උපහාරයක් ලබා දෙන්නත් ඉන්දීය සිවිල් ගුවන් ගමන් අමාත්‍යාංශය පියවර ගත්තා. නීර්ජාගේ වීර ක්‍රියාව 2016 අවුරුද්දේදී ඇයගේ නමින්ම චිත්‍රපටයකට පවා නැගුණා. සෝනම් කපූර් නීර්ජාගේ චරිතය නිරූපණය කරන ඒ චිත්‍රපටය නරඹලා මේ කතාව ගැන වඩාත් හොඳින් දැන ගන්න කියලාත් අපි ඔබට ආරාධනා කරනවා.

මේ උපහාර, මතක සටහන් අතරින් අපි මතක තියා ගන්න අවශ්‍ය වැදගත් දෙයක් තියෙනවා. නීර්ජා කියන තරුණිය කළ වීර ක්‍රියාවේ විශේෂත්වය වුණේ ඇය කිසිසේත් වීර ක්‍රියා කරන්න සුදුසු තත්වයක නොසිටීමයි. ඇය එදා ඒ දේ නොකළා නම් අද 1986 සැප්තැම්බර් 5 කියන්නේ ලෝක ගුවන් ගමන් ක්ෂේත්‍රයටම මූසල දවසක් වෙන්න ඉඩ තිබුණා. නමුත් නීර්ජා බානෝ එය සමස්ත ගුවන් ගමන් ක්ෂේත්‍රයට ආඩම්බර විය හැකි මාසයක් බවට පත් කළේ තනිවමයි.

අපිටත් ලෝකයට වැඩදායක දෙයක් කරන්න සමහරවිට ඉදිරි කාලයේ අවස්ථාවක් එළඹේවි. එදාට තමන්ගේ වගකීම ඉටු කරන්න ඔබත් මතක තියා ගන්න. අද ඇයගේ කතාව කියන්නට නීර්ජා ජීවත්ව නොහිටියත් ඇයගේ අභීත ක්‍රියාව ලෝකයෙන් ඉල්ලා සිටින්නේ එසේ සිතන ඇය වැනි කිහිප දෙනෙක් හරි බිහි කරන්න කියලයි.

කවරයේ පින්තුරය. රූපය : indiatimes.in

Related Articles