ජර්මනියෙන් බිහි වූ ප්‍රකට ගෝල රකින්නා – ඔලිවර් කාන්

ජර්මන් පාපන්දු ඉතිහාසයේ අපට හමුවන විශිෂ්ඨතම ගෝල රකින්නකු ලෙස සැලකෙන ඔලිවර් කාන් ශ්‍රී ලාංකික පාපන්දු ලෝලීන් අතර ජනප්‍රිය වන්නේ 2002 ලෝක කුසලානයේදී ඔහු දැක්වූ දස්කම් හේතුවෙන්. එවර ලෝක කුසලානයේදී සාපේක්ෂව දුර්වල ජර්මන් කණ්ඩායම අවසන් මහ තරගය දක්වා රැගෙන ඒමෙහි ගෞරවය කාන් සතු වූ බව නොරහසක්. තරගය අවසානයේදී බ්‍රසීලයට 2-0 ක් ලෙස පරාජය වූ පසු ඔලිවර් කාන් දැල අසල ශෝකාකූලව ඇද වැටී සිටි ආකාරය ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ට අමතක වන දසුනක් නෙවෙයි.

ඔලිවර් කාන් පිළිබඳ විවිධ අදහස් පවතිනවා. ඔහුගේ පෞද්ගලික ජීවිතය ආන්දෝලනාත්මක එකක් වුණා. ඒ වගේම ක්‍රීඩා පිටියේදී ද ඇතැම් විට ඔහු ආවේගශීලීව කටයුතු කර තිබෙනවා. නමුත් ගෝල රැකීම පිළිබඳ ඔහුගේ දක්ෂතාවය ගැන විවාදයක් නැහැ.

කෙසේ වෙතත් ඔහු ක්‍රීඩා කරන සමයේදීම යෙන්ස් ලේමන්ගෙන් ඔහුට අභියෝගයක් එල්ල වූ අතර 2006 ලෝක කුසලානය වෙද්දී ජර්මනියේ ප්‍රධාන ගෝල රකින්නා වූයේ ලේමන්. පාපන්දු ඉතිහාසය සහ සංඛ්‍යාලේඛන පිළිබඳ අන්තර්ජාතික ෆෙඩරේශනය විසින් පවත්වන ලද මත විමසුමකදී ඔලිවර් කාන් 21 වන සියවසේ හොඳම ගෝල රකින්නන් අතර පස් වෙනි තැනට තෝරාගනු ලැබුණා.

කාල්ස්රූහේ

ඔලිවර් කාන් උපන්නේ 1969 ජුනි 15 වනදා ජර්මනියේ කාල්ස්රූහේ නගරයේදී යි. ඔහුගේ පියා කාල්ස්රූහේ ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ අයෙක්. ඉතා කුඩා කාලයේ පටන්ම ඔලිවර් ද කාල්ස්රූහේ සමාජයේ පාපන්දු ක්‍රීඩාවට එළැඹුණා. ඔහු පළමු වරට ක්‍රීඩා සමාජයේ පළමු පෙළ කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබා ගත්තේ 1987 – 88 බුන්ඩස්ලීගා (ජර්මන් පළමු පෙළ ලීගය ) තරගාවලියේදී යි. නමුත් මුල් කාලයේ කාල්ස්රූහේ පිලෙහි ප්‍රධාන ගෝල රකින්නා වූයේ ඇලෙක්සැන්ඩර් ෆමුල්ලා යි. ඔලිවර් කාන් කණ්ඩායමේ හොඳම දැල් රකින්නා ලෙස සැළකුනේ 1990 න් පසුව යි. එම වසරේ සිට ෆමුල්ලා වෙනුවට ඔලිවර් කාන්ට ප්‍රමුඛත්වය දෙනු ලැබුණා.

බෙයර්න් මියුනික්

goal.com

1994 දී ඔලිවර් කාන් බෙයර්න් මියුනික් ක්‍රීඩා සමාජයට එක් වූ අතර ඉන් පසු 2008 දක්වා ඔහු එම ක්‍රීඩා සමාජය නියෝජනය කළා. මේ සමය තුළ වසර අටකදී ම බුන්ඩස්ලීගා ශූරයින් බවට පත් වන්නට බෙයර්න් මියුනික් සමාජය සමත් වුණා.

ඒ අතරම 1999 වසරේ චැම්පියන්ස් කුසලාන අවසන් තරගයට ද බෙයර්න් මියුනික් පිල සුදුසුකම් ලැබූ අතර එහිදී ඔවුන් අනුශූරයින් බවට පත් වුණා.

ජාතික කණ්ඩායම

ඔලිවර් කාන් ජාතික කණ්ඩායමට සුදුසුකම් ලැබුවේ 1994 ලෝක කුසලානය සඳහා අතිරේක ගෝල රකින්නෙකු ලෙසයි. ඔහු පළමු වරට ජාත්‍යන්තර තරගයකට සහභාගී වූයේ 1995 දී ස්විට්සර්ලන්තයට එරෙහිව යි. 1996 යුරෝපා ශූරයින් වූ ජර්මන් කණ්ඩායමේ ද අතිරේක ගෝල රකින ක්‍රීඩකයකු ලෙස ඔහු ඇතුලත් ව සිටියා. ඔහු ජර්මන් ජාතික කණ්ඩායමේ ප්‍රධාන ගෝල රකින්නා බවට පත් වූයේ 1998 ලෝක කුසලානයෙන් පසුවයි.

කෙසේ වෙතත් ඔලිවර් කාන් ගෝල රකින්නකු ලෙස සුප්‍රසිද්ධියට පත් වන්නේ 2002 ලෝක කුසලානයත් සමඟයි. දකුණු කොරියාවේ සහ ජපානයේ පැවති එම තරගාවලියට ජර්මනිය පැමිණියේ එතරම් ප්‍රබල කණ්ඩායමක් ලෙස නොවේ.

කෙසේ නමුත් කණ්ඩායමේ නායකයා වශයෙන් ද සිටිමින් ගෝල රකින්නා ලෙස කටයුතු කළ ඔලිවර් කාන්, සිය දක්ෂතාවයන් හි උපරිමයටම පැමිණියේ මෙම තරගාවලියේ ය . තරගාවලියේ අවසන් තරගය කරා ජර්මනිය රැගෙන යාමට සමත් වූ ප්‍රධානම කරුණ නම් ඔලිවර් කාන්ගේ ගෝල රැකීමයි.

බ්‍රසීලයට එරෙහිව පැවති අවසන් මහා තරගයේදී ජර්මනිය 2-0 ක් ලෙස පරාජය විය . මෙහි දී පළමු ගෝලය වාර්ථා වූයේ කාන් අතින් සිදු වූ වැරදීමකිනි. ඔහු පසුව ඒ පිළිබඳ ප්‍රකාශ කළේ තමන් තරගාවලියේ තරග 7කදී ම කළ එකම වරද එය බවත් එම වරදට උපරිම දඬුවම් ලැබුණු බවත් ය .

ඔලිවර් කාන් 2002 ලෝක කුසලානයේ හොඳම ගෝල රකින්නා ලෙස යාෂින් සම්මානය ද හොඳම ක්‍රීඩකයා ලෙස ‘රන්වන් පන්දුව‘ සම්මානය ද දිනා ගත්තා. රන්වන් පන්දුව සම්මානය දිනූ එකම ගෝල රකින්නා ලෙස ද ඔලිවර් කාන් ඉතිහාස ගත වුනා.

පසු කාලය

කෙසේ නමුත් ලෝක කුසලානයෙන් පසු ඔලිවර් කාන්ගේ දක්ෂතාවයන් තරමක පසු බෑමකට ලක් වුණා. 2004 දී ඔහු සිය කණ්ඩායමේ නායකත්වය මයිකල් බැලැක් වෙත පවරා දුන්නා. ඒ වගේම ජර්මනියේ නව කළමණාකරු වූ යුර්ගන් ක්ලින්ස්මන් ප්‍රධාන ගෝල රකින්නා ලෙස කාන් සමඟ යෙන්ස් ලේමන් ද යොදාගන්නට පටන් ගත්තා. එයින් ක්ලින්ස්මන් උත්සාහ කළේ මේ දෙදෙනා අතර තරගකාරීත්වයක් ඇති කිරීමටයි.

කෙසේ නමුත් කාන් පසු බසිද්දී ලේමන් සිය දක්ෂතා ඔප් නංවාගනිමින් කණ්ඩායමේ පෙරමුණට ආවා. 2006 ලෝක කුසලානය සඳහා ලේමන් ප්‍රධාන ගෝල රකින්නා ලෙස යොදා ගැනීමට ක්ලින්ස්මන් තීරණය කළේ එම පසුබිමේදී යි.

බොහෝ දෙනකු බලාපොරොත්තු වුණේ මෙම සිද්ධියත් සමඟ ඔලිවර් කාන් ජාතික කණ්ඩායමෙන් ඉවත් වනු ඇති බවයි. නමුත් කාන් කණ්ඩායමේ දිගටම රැඳී සිටියා පමණක් නොව ලේමන්ට සිය සහාය පළ කර සිටියා. තරගාවලියේ තුන්වන ස්ථානය සඳහා වන තරගයේදී කාන් ගෝල රකින්නා ලෙස ක්‍රීඩා කළ අතර තරගාවලිය අවසානයේ තමන් අන්තර්ජාතික තරගවලින් සමුගන්නා බව ප්‍රකාශ කළා.

dreamteamfc.com

ඔලිවර් කාන් 2008 දී ක්‍රීඩා සමාජ තරගවලින් ද සමුගත්තා. ඔහුගේ සමුගැනීමේ තරගය පැවැත්වූයේ එම වසරේ සැප්තැම්බරයේදී යි. ඊට පෙර, බෙයර්න් මියුනික් වෙනුවෙන් ඔහු ක්‍රීඩා කළ අවසන් තරගය පවත්වන ලද්දේ ඉන්දියාවේදී වීම විශේෂත්වයක්. මෝහන් බගාන් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවති එම තරගය බෙයර්න් මියුනික් පිළ ජයගත්තා.

පෞද්ගලික ජීවිතය

ඔලිවර් කාන්ගේ පෞද්ගලික ජීවිතය බෙහෙවින් ආන්දෝලනාත්මකයි. ඔහුගේ පළමු බිරිඳ වූ සිමෝන් හා ඔහු විවාහ වූයේ 1999 දී යි. ඔවුනට 1998 දෙසැම්බරයේදී දුවෙක් ද 2003 මාර්තු මාසයේදී පුතෙක් ද ලැබුණා.

නමුත් ඔහු සිය බිරිඳට දෙවැනි දරුවා ලැබෙන්න ඉන්නා කාලයේ ඇයව හැර ගොස් රූපවාහිනී සහ ගුවන් විදුලි නිවේදිකාවක වූ වෙරේනා කර්ත් නම් තරුණියක සමඟ සම්බන්ධයක් පටන් ගත්තා. මෙය ඔලිවර් කාන්ට දැඩි විවේචන එල්ල වන්නට හේතු වුණා.

කාන් සහ කර්න් (glamour.de)

2009 දී කාන් සිය බිරිඳ සමඟ නැවත එකතු වූ නමුත් වැඩි දිනක් යන්නට පෙර ඔවුන් දික්කසාද වුණා.

2011 දී ඔහු නැවත වරක් විවාහ වුණා. ඒ ස්වෙන්යා නම් වූ සිය පෙම්වතිය සමඟයි.

පෞද්ගලික ජීවිතය වගේම ක්‍රීඩා පිටියේ දැක්වූ මුරණ්ඩුකම හේතුවෙන් විවිධ විවේචනයන්ට ලක් වුණත් ආසියාතික අපට නම් ඔලිවර් කාන් මතකයේ රැඳෙන්නේ 2002 ලෝක කුසලානය හේතුවෙන්මයි. මීට පෙර ලෙව් යාෂින් ගැන අප පළ කළ ලිපියට ප්‍රතිචාර දැක්වූ ඇතැම් පාඨකයනුත් ප්‍රශ්න කළේ ලෝකයේ පහළ වූ හොඳම පාපන්දු ගෝල රකින්නා ඔලිවර් කාන් නොවේද යන්නයි. ඔලිවර් කාන් ගැන වෙනම ම ලිපියකින් දක්වන්නට සිතුවේ ඒ නිසායි. මේ ලිපිය ගැනත් ඔබේ අදහස් කමෙන්ට් එකකින් දක්වන්න අමතක කරන්න එපා.

කවරයේ ඡායාරූපය: sportsbox.ru

Related Articles

Exit mobile version