බොහිමියානු නූතන කලාකරුවා – පැබ්ලෝ පිකාසෝ

පැබ්ලෝ පිකාසෝ යනු ලොව අතිශය ප්‍රකට චිත්‍ර ශිල්පියෙකි. විසිවන සියවසේ මුල් භාගයේ වඩාත් ප්‍රබල චිත්‍ර ශිල්පියා බවට පිකාසෝ පත්ව සිටියේය. කාන්තාවන් සමඟ පැවති බොහෝ පුද්ගලික සබඳතා ඔහුගේ කලා කෘති තුලට ඇතුළු වූවා පමණක් නොව, පිකාසෝගේ හැසිරීම ජනප්‍රිය පරිකල්පනය තුළ ඔහුව බොහිමියානු නූතන කලාකරුවා බවට සංකේතවත් කර තිබේ. ස්පාඤ්ඤ චිත්‍ර ශිල්පියෙකු, මූර්ති ශිල්පියෙකු, මුද්‍රණ ශිල්පියෙකු, වේදිකා නිර්මාණ ශිල්පියෙකු, කවියෙකු සහ නාට්‍ය රචකයෙකුද වන පැබ්ලෝ පිකාසෝ ගැනයි මේ සටහන.

biography.com

පැබ්ලෝ පිකාසෝගේ සිතුවම් කාල

චිත්‍ර ශිල්පයෙහි පුරෝගාමීයකු වන කුබිස් සහ ජෝර්ජස් බ්රෝක් වැන්නවුන් සමඟ සම්බන්ධකම් ඇසුරෙන් පැබ්ලෝ සංකේතමවාදය සහ අධියථාර්ථය සඳහා විශාල දායකත්වයක් ලබා දුන්නේය. බොහෝ දෙනෙකු චිත්‍ර ශිල්පියෙකු ලෙස පැබ්ලෝව හඳුනා ගත්තත් නිර්මාණාත්මක වශයෙන් වැඩි බලපෑමක් එල්ල වූයේ ඔහුගේ මූර්ති නිර්මාණවලිනි.

පැබ්ලෝ පිකාසෝගේ සිතුවම් කාල වකවානු පහකට බෙදා ඇත. ඒ,

  • නිල් කාලය
  • රෝස කාලය
  • අප්‍රිකානු කාලය
  • ගණිතවාද කාලය
  • සම්භාව්‍ය කාලය යනුවෙනි

1901 සිට 1901 දක්වා වූ නිල් කාලය ඇතුළත් ඔහුගේ සිතුවම්වල වැඩිපුර දැකිය හැක්කේ නිල් පැහැය සහ නිලට හුරු කොළ පැහැය කි. 1904 සිට 1906 දක්වා වූ රෝස කාලය ඇතුළත ඔහු අතින් නිමවුණු සිතුවම් බොහොමයක වැඩි වශයෙන් දැක ගත හැක්කේ රෝස පැහැයයි. 1960 සිට 1909 ඇතුළත ඔහුගේ නිර්මාණ අප්‍රිකානු චිත්‍ර නිර්මාණයන්ගේ ආභාසය ලබා ඇති බව පැහැදිලිව පෙනෙන හෙයින් එම කාලය පිකාසෝගේ අප්‍රිකානු කාලය ලෙස නම් කෙරේ. ගණිතවාද කාලය ලෙස ගැනෙන්නේ පිකාසෝ සාමාන්‍ය වර්ණයන්ගෙන් ජ්‍යාමිතික හැඩතල අනුව නිර්මාණ බහුතරයක් කළ 1909 සිට 1912 දක්වා කාල පරිච්ඡේදය යි.

wikimedia.org

ගුවර්ණිකා

1912 සිට 1919 දක්වා වූ කාලය ඇතුළත පිකාසෝ කළ නිර්මාණ සින්තටික් ගණිතවාද කාලයට ඇතුළත් වෙයි. පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව පැබ්ලෝ පිකාසෝ අතින් සිදු වූ නිර්මාණ නව සම්භාව්‍ය ශෛලියකට අයත් වන බව විචාරකයෝ පවසති. පැබ්ලෝ පිකාසෝගේ වඩාත් ප්‍රකට ම නිර්මාණයක් වන්නේ ස්පාඤ්ඤ සිවිල් යුද සමයේ ජර්මානුවන් බෝම්බ හෙළූ සිද්ධිය අළලා නිර්මාණය කරන ලද ‘ගුවර්ණිකා’ නමැති චිත්‍රයයි. එම චිත්‍රයේ ඇතුළත් සංකේතයන් ගැන පැහැදිලි කරන්නයි පැවසූ කළ පිකාසෝ පවසා ඇත්තේ මෙවැන්නකි.

‘’සංකේත ගැන පැහැදිලි කිරීම චිත්‍ර ශිල්පයට අයත් කාර්යයක් නොවෙයි. එහෙම නම් ඔහුට පුළුවනි චිත්‍රය නිර්මාණය නොකර කියන්න තියන දේ ලියලා ප්‍රදර්ශනය කරන්න. චිත්‍රය නරඹන රසිකයෝ සංකේත වටහාගත යුතුයි. ඒ සඳහා නිර්මාපකයා පවසන දෙය අවබෝධ කරගත යුතුයි.”

යුද්ධයේ ඇති අමානුෂික බව, කෲර බව සහ අපේක්ෂා විරහිත බව ගැන කියවෙන ගුවර්ණිකා චිත්‍රය නිව්යෝක් හි නව කෞතුකාගාරයේ වසර ගණනාවක් ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව 1981 දී නැවත ස්පාඤ්ඤයට ගෙන එනු ලැබිණි. මුලදී එය කාසල් ඩෙල් බ්‍රයන් ටෙරෝහි ප්‍රදර්ශනය කෙරුණු අතර මැඩ්රිඩ් නගරයේ රෙයිනා සෝෆා කෞතුකාගාරය 1992 දී විවෘත වූ දා පටන් අද දක්වා එම චිත්‍රය එහි ප්‍රදර්ශනය කෙරේ.

entrepreneur.com

ඉහළ මිලකට අලෙවි වූ පිකාසෝගේ අද්විතීය නිර්මාණ

ජීවිත කාලය ඇතුළත මෙම අද්විතීය නිර්මාණ ශිල්පියා කළ නිර්මාණ සංඛ්‍යාව 50,000 ඉක්මවයි. ඊට සිතුවම් 1885ක්, මූර්ති 1228 ක්, පිඟන් ගඩොලින් කළ නිර්මාණ 2880ක්, සාමාන්‍ය චිත්‍ර 12,000ක්, තිර රෙදි මත ඇඳි සිතුවම් දහස් ගණනක් ඇතුළත් වෙයි. මේවායින් බොහෝ ප්‍රමාණයක් පැරීසියේ මියුසීහි ප්‍රදර්ශනය වන අතර ස්පාඤ්ඤයේ මලගාහි පිකාසෝ උපන් ස්ථානය අද කෞතුකාගාරයක් බවට පත්කොට තිබේ.

බාර්සිලොනා හි මියුසි පිකාසෝ හි වැඩි වශයෙන් ප්‍රදර්ශනය වන්නේ ඔහුගේ මුල්කාලීන නිර්මාණයන් ය. ලොව මිල අධිකම සිතුවම් අතරට පිකාසෝගේ නිර්මාණ කිහිපයක් ද එක්ව තිබේ. ඔහුගේ ගර්කොන් ල පයිපේ 2004 වසරේදී අලෙවි වූයේ අමෙරිකානු ඩොලර් මිලියන 104 කටය. 2006 දී ඔහුගේ ඩෝරා මාර් ඖ චැට් නම් සිනමා සිත්තම අලෙවි වූයේ අමෙරිකානු ඩොලර් මිලියන අනූ පහකටය.

huffpost.com

දීර්ඝතම නාමය හිමි කලාකරුවා

පැබ්ලෝ දියාගෝ ජොසේ ෆ්රැන්සිස්කෝ ඩී පවුලා ජුවාන් නොපොමුසෙනෝ මාරියා ඩී ලොස් රෙමෙඩියොස් සිප්රියාගේ ඩිලා සැන්ටිසිමා ට්‍රැනිමිඩි රුයිස් වයි පිකාසෝ යන දිර්ඝතම නම සහිත මේ කලාකරුවා මුළු ලොවම හඳුනන්නේ පැබ්ලෝ පිකාසෝ යනුවෙනි. ඔහුට එතරම් දිගු නමක් ලැබී ඇත්තේ සාන්තුවරයන් ට හා පිකාසෝ පරපුරේ ඥාති වරුන්ට ගරු කරනු වස් ඔවුන්ගේ නම් ඔහුගේ නමට එක් කර තිබීම හේතුවෙනි. ස්පාඤ්ඤ සිරිතට අනුව මවගේ පරපුරේ හා පියාගේ පරපුරේ නාමයන් වන රුයිස් සහ පිකාසෝ යන නම් ද ඔහුගේ නමට එකතු වී තිබේ.

1881 ඔක්තෝබර් 25 වැනිදා ස්පාඤ්ඤයේ අන්ධ ලුසියන් ප්‍රදේශයේ මාලගා නගරයේ පැබ්ලෝ උපත ලැබුවේය. දොන් ජොසේ රුයිස් වයි බ්ලැස්කෝ ගේ සහ මරියා පිකාසෝ ගේ කුළුඳුල් දරුවා ලෙස මධ්‍යම පාන්තික පවුලක උපත ලද පැබ්ලෝ ගේ පියා ද චිත්‍ර ශිල්පියකි. චිත්‍ර ආචාර්යවරයකු ලෙස ද, ප්‍රාදේශීය කෞතුකාගාරයක භාරකරුවා ලෙස ද කටයුතු කර ඇති පැබ්ලොගේ පියා ස්වභාවික සෞන්දර්යය හා පක්ෂීන් සිතුවම් කිරීමට විශේෂ උනන්දුවක් සහ හපන්කමක් දැක්වූ බව සඳහන් වේ.

history.com

කුඩා කාලය

පිකාසෝ චිත්‍ර ශිල්පයේ දක්ෂතා පෑවේ කුඩා කල පටන් ය. ඔහුගේ මව පවසා ඇති ආකාරයට ඔහු කුඩා කල මුලින්ම උච්චාරණය කර ඇති වචනය ‘පිස්’ යන්නයි. එය ස්පාඤ්ඤ බසින් පන්සල හැඳින්වීමට භාවිත කරන වචනයකි. වයස අවුරුදු හතේ සිට පැබ්ලෝට සිය පියා වෙතින් රූප ඇඳීමේ හා තෙල් සායම් චිත්‍ර ඇඳීමේ පුහුණුව සහ අවශ්‍ය ගුරුහරුකම් ලැබී තිබේ. රුයිස් උසස් අධ්‍යාපන ආයතනය වෙතින් අධ්‍යාපනය ලද, සාම්ප්‍රදායික මතවාදයන්ට ගරු කළ උපදේශකවරයෙකු වූයේ ය. ඔහු සිතුවේ විනයක් සහිත චිත්‍ර ශිල්පියකු වීමට නම් දැඩි පුහුණුවක් අවශ්‍යයි කියාය. එහෙයින්ම ඔහු තම පුතුට පුහුණු කළේ මිනිස් රූප හා භාණ්ඩ ආදිය බලාගෙන අඳින්නටය. කෙසේ වෙතත් පැබ්ලෝ පාසලේ අනෙක් වැඩ කටයුතු වලට වඩා ප්‍රිය කළේ චිත්‍ර ශිල්පයට යි.

ලලිත කලා විද්‍යාලයේ මහාචාර්ය ධූරයක් ලැබීම නිසා පැබ්ලෝ ගේ පියාට 1891දී ලා කොරුනා නගරයට යාමට සිදුවූ අතර පැබ්ලෝ ද ඔහු සමඟ එහි ගියේය. ඔවුන් එහි ගත කළ කාලය වසර 4 කි. පුතුගේ දක්ෂතා පිළිබඳව ඇස ගසා ගෙන සිටි පියාට වැටහුණේ ඔහු තමාව ද පසුකරගෙන දිගු ගමනක් යන බව ය. 1895දී පැබ්ලෝ පිකාසෝගේ සත්හැවිරිදි සොයුරිය කොන්චිතා ගළපටල රෝගය වැළඳී මරු දුටු අතර මෙය පැබ්ලෝ ගේ ජීවිතයට දැඩිව බලපෑ සිදුවීමක් වූයේ ය. ඇගේ මරණයෙන් පසු පැබ්ලෝ ගේ පවුල බාර්සිලෝනාවට පැමිණි අතර ඔහුගේ පියා බාර්සිලෝනා හි ලලිත කලා විද්‍යාලයට මාරුවීමක් ලබා ගත්තේය. උසස් පන්තියට තම පුතු ඇතුළු කරගන්නා ලෙස ඔහු විද්‍යාලයේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය. ඊට හේතුව වුයේ තමන් මාසයක කාලයක් ඇතුළත අනෙක් සිසුන්ට උගන්වන කරුණු එක සතිය ඇතුළත අවබෝධ කරගැනීමට පැබ්ලෝ දැක්වූ දක්ෂතාවයි.

wp.com

උසස් අධ්‍යාපනය

බලධාරීන් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් නියම කළේ විශේෂ ජූරිය ඉදිරියේ දහතුන් හැවිරිදි පැබ්ලෝ සිය දක්ෂතා දැක්විය යුතු බවයි. ඒ අනුව පැබ්ලෝ දැක්වූ දක්ෂතා නිසාම නිසි වයසට පෙර ඔහුට උසස් අධ්‍යාපනය ලැබීමේ දොරටුව විවෘත වූයේ ය. රුයිස් නිතරම තම පුතුගේ චිත්‍ර ශිල්පීය කටයුතු පිළිබඳ ඇස ගසා ගෙන සිටි අතර නිතර දෙදෙනා අතර විවාද ඇති වී ඇත. පැබ්ලෝ ගේ පියා සහ බාප්පා එක්ව තීරණය කළේ චිත්‍ර ශිල්පයේ අප්‍රමාණ දක්ෂතා දක්වන මේ කොලු ගැටයා සැන් ෆ්‍රැන්සිස්කෝ හි මැඩ්රිඩ් රාජකීය අධ්‍යාපන ආයතනයට යවන්නටය. 1897 වනවිට දහසය හැවිරිදි ව සිටි ඔහු තනිවම ජීවිතය ගැටගසා ගන්නට පටන් ගත්තේ ඉගෙනුම ලබන අතරය.

මැඩ්රිඩ්හි අධ්‍යාපනය ලැබූ පැබ්ලෝ පළමු වරට විදෙස් සංචාරයක නියැලුණේ ද 1900දී ය. යුරෝපීය කලා ශිල්පීන්ගේ අගනගරය වූ පැරීසිය බලා ගිය ඔහුට එහිදී ප්‍රංශ ජාතික පුවත්පත් කලාවේදියකු හා කවියකු වූ මැක්ස් ජාකොබ් මුණ ගැසුණි. මැක්ස් පිකාසෝට ප්‍රංශ බස සහ සාහිත්‍ය ඉගෙනීමට උදවු උපකාර කළේය. ඉක්මනින් ම ඔවුහු එකම කාමරයක ලැගුම් ගත් අතර මැක්ස් රාත්‍රියේ නින්දට ගිය විට පැබ්ලෝ චිත්‍ර ඇන්දේය. උදෑසන මැක්ස් රාජකාරිවලට ගිය පසු පැබ්ලෝ නින්දට ගියේය. ඔවුන් ගෙවූයේ දුක්ඛිත ජීවිතයකි. ශීත කාලයේ ඔවුන්ගේ කාමරය උණුසුම් කර ගැනීමට තම චිත්‍ර නිර්මාණ කිහිපයක්ම පුළුස්සන්නට පැබ්ලෝට සිදුවිය. 1901 මුල් මාස පහේ දී නැවත මැඩ්රිඩ් නුවර ජීවිතය ගත කරන අතරතුර පැබ්ලෝ තම සමීප මිතුරෙකු වූ ෆ්රැන්සිස්කෝ ඩී නැමැති සඟරාවට දරිද්‍රතාව පිළිබඳ කාටුන් චිත්‍ර ඇන්දේය. එම සඟරාව 1900 මාර්තු 31 දා සිට නිකුත් වීම ආරම්භ වූ අතර කලාප 5කට පසු එය නවතා දැමිණි.

punditfromanotherplanet.files.wordpress.com

විවාහය හා ප්‍රේම සම්බන්ධතා

විසිවැනි සියවස මුලදී පැබ්ලෝ ගේ ජීවිතය ගෙවී ගියේ බාර්සිලොනා හා පැරිස් නුවර අතරය. කුණාටුවක් මැද දී ඔහුට බොහීමියානු ජාතික චිත්‍ර ශිල්පිනියක වූ ෆර්නැන්ඩේ ඔලවියර් මුණ ගැසුණු අතර දෙදෙනා අතර ඉක්මනින්ම අනියම් සම්බන්ධයක් ඇති වූයේය. පසු කාලයේ බොහෝ තැන්වල ඔලවියර්ගේ රුව දැකගැනීමට පුළුවන. ජනප්‍රියත්වයක් හා යම් ධනවත් භාවයක් ලබද්දී ඔලිවියා වෙතින් ඈත් වූ පැබ්ලෝ ලං වූයේ මර්සෙලේ හියුබර්ට් වෙතය. පැබ්ලෝගේ ගණිතමය නැතිනම් ජාමිතික හැඩතල සහිත චිත්‍ර බොහොමයක් ඇඳුණේ ඇය වෙනුවෙනි. කෙසේ වෙතත් 1915 දී ඇය අකාලයේ මියයන විට ඇගේ වයස අවුරුදු තිහක් පමණ වූයේය. පැබ්ලෝ තෙවරක් විවාහ වූයේය. කාන්තාවන් තිදෙනෙකුගෙන් දරුවන් සිව්දෙනෙකු ලැබුවේය. ඒ හැර ඔහුට අනියම් ප්‍රේම සම්බන්ධතා රැසක් තිබිණි.

pablopicasso.org

ජීවන ගමනේ අවසානය

1973 අප්‍රේල් 8 දා පැබ්ලෝ පිකාසෝ මිය ගියේය. ඔහුගේ මරණය නිසා ඇති වු හුදෙකලාව ඉවසාගත නොහැකිව 1986 දී ඔහුගේ අවසන් බිරිඳ වූ ජැකලයින් රෝක් වෙඩි තබාගෙන මිය යන විට ඇය 60 හැවිරිදි වූවා ය.

මියෙන්නට පෙර ඔහු අවසන් කළ චිත්‍රය නම් කර තිබුණේ මේ ආකාරයෙනි. ‘’මා වෙනුවෙන් මාගේ සෞඛ්‍ය වෙනුවෙන් සව්දිය පුරන්න. මා හට තවත් සව්දිය පුරන්නට නොහැකි බව ඔබ දන්නවා.’’ එම නිර්මාණය ඇත්තෙන්ම තම මරණය වෙත ඉතා සමීපව සිටින බව වටහාගෙන කළ නිර්මාණයක් වැනිය.

කවරයේ රූපය : pleasurephoto.files.wordpress.com

Related Articles

Exit mobile version