Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

උතුරු කොරියානු මිසයිල පිළිබඳ ලෝකයට කියන රෝස පැහැ හැඳි කත​

උතුරු කොරියාව විසින් න්‍යෂ්ඨික අත්හදා බැලීමක් හෝ මිසයිල අත්හදා බැලීමක් හෝ සිදු කළ අවස්ථාවලදී ලෝකයම දෑස් දල්වා සිටින්නේ එරට රජය ඒ පිළිබඳ කුමක් පවසන්නේද යන්නයි. ජපානය​, දකුණු කොරියාව, සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවලට සිය චන්ද්‍රිකා සහ අනෙකුත් උපාංග මගින් එවැනි සිදුවීමක් පිළිබඳව එය සිදුවූ විටම දැනගත හැකි වුණත්, ඔවුන්ද උතුරු කොරියාවේ මතය පිළිබඳ විමසිල්ලෙන් සිටිනවා.

උතුරු කොරියාවේ සාමාන්‍ය ජනතාවට බටහිර මාධ්‍ය දැක ගැනීමට අවස්ථාවක් නොමැති හෙයින් ඔවුන් තොරතුරු ලබාගන්නේ එරට ජනමාධ්‍යවලින්.

බොහෝ අවස්ථාවල උතුරු කොරියානු ජනතාව වගේම ලෝකයේ අනෙක් රටවල් ද මෙවන් සිදුවීමක් පිළිබඳ දැනගන්නේ කොරියානු මධ්‍යම රූපවාහිනිය නම් උතුරු කොරියානු රාජ්‍ය රූපවාහිනී ආයතනයෙන්. එවැනි නිවේදන කියැවීම බාර වන්නේ සාමාන්‍යයෙන් රෝස පැහැති ඇඳුමක් හැඳගත්, ගාම්භීර හඬක් ඇති නිවේදිකාවකටයි. ඇගේ ඇඳුමෙහි වර්ණය නිසාම බටහිර රටවල ඇය “රෝස පැහැ හැඳි කාන්තාව​​” (Pink Lady) ලෙස ප්‍රකටව තිබෙනවා.

ඇමරිකාවේ CBS මාධ්‍ය ආයතනය ඇයව හඳුන්වා දුන්නේ Miss Information යන නමින්. එහි අරුත “තොරතුරු දෙන මෙනවිය” යන්න වුවද එම වදන යොදා ගත්තේ Misinformation (වැරදි තොරතුරු) යන්න හැඟවීමට බව පැහැදිලිය​.

අද අප ඔබට විස්තර කරන්නේ උතුරු කොරියාවේ “රෝස කාන්තාව” හෙවත් රී චුන්-හී (Ri Chun-hee) පිළිබඳවයි.

රංග කලා ශිල්පිණියක්

රී චුන්-හී උපන්නේ 1943 දී වන අතර ඇගේ උපන් දිනය 1943 ජූලි 8 බව කියැවෙනවා. වර්තමාන උතුරු කොරියාවේ ගිණිකොණදිග ප්‍රදේශයේ ඇය උපන් ප්‍රදේශය පිහිටා ඇති අතර ඇයගේ පවුල එතරම් වත් පොහොසත්කමින් යුතු නොවූ පවුලක් බවයි සඳහන් වන්නේ.

උතුරු කොරියානු අගනුවර ප්‍යොංග්යෑංග් හි රංග කලාව සහ සිනමාව පිළිබඳ සරසවියෙන් රංගනය පිළිබඳ උපාධියක් ලද ඇය මුලින්ම සේවය කළේ ගුවන් විදුලියේ සහ කොරියානු චිත්‍රාගාරයේ සේවය කළා.

KCTV

රී චුන්-හී උතුරු කොරියාවේ කොරියානු මධ්‍යම රූපවාහිනියට (Korea Central Television – KCTV) බැඳුණේ 1971 දී. ඒ එම ආයතනය රූපවාහිනී විකාශයන් ආරම්භ කර වසර අටක් ගතවූ පසුවයි. 1974 දී KCTV ආයතනය වර්ණ රූපවාහිනී විකාශයන් ඇරඹූ විට මුලින්ම එහි නිවේදන කටයුතු කළේද ඇයයි.

1980 දශකයේදී රී චුන්-හී KCTV රූපවාහිනියේ නිතර දිස්වන නිවේදිකාවක වුණා. විවිධාකාර ජාතික උත්සව වාර්තා කිරීම​, රජයේ නිල ප්‍රකාශන කියවීම, ප්යොංග්යෑංග් හි විවිධ ආචාර පෙළපාලි ආදිය පිළිබඳ විස්තර විචාරය​, උතුරු කොරියාවේ නායකයින් වූ කිම් ඉල්-සුංග් සහ කිම් ජොංග්-ඉල් පිළිබඳව මෙන්ම වෙනත් වාර්තා වැඩසටහන් සඳහා නිවේදන කටයුතු කිරීම ඇය විසින් කරනු ලැබුණා.

එමෙන්ම 1994 දී උතුරු කොරියාවේ පළමු නායක කිම් ඉල්-සුංග් මියගිය අවස්ථාවේ ඒ බව රූපවාහිනිය ඔස්සේ ජනතාව වෙත දැන්වූයේ රී චුන්-හී විසින්. 2011 දී උතුරු කොරියාවේ දෙවැනි නායකයා වූ කිම් ජොංග්-ඉල් මියගිය අවස්ථාවේ ඒ බව නිවේදනය කළේ ද ඇය විසින්. එම අවස්ථාවේ කලු වර්ණයෙන් සැරසීගෙන ඇය එම නිවේදනය කියැවූයේ හඬා වැටෙමින්.

කෙසේ නමුත් ඇයව බොහොමයක් බටහිර මාධ්‍ය සහ ජනතාව දැක ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් ස්වරයකින්. ඒ ඇය විසින් කෙරෙන මිසයිල හෝ න්‍යෂ්ඨික හෝ අත්හදා බැලීම් පිළිබඳ නිවේදන හේතුවෙන්. 2012 දී විශ්‍රාම ගියද​, මෙවන් විශේෂ දැන්වීම් සඳහා ඇයව ගෙන්වා ගැනීමට උතුරු කොරියානු පාලනය කටයුතු කරනවා.

දීර්ඝ සේවා කාලය​

රී චුන්-හීගේ දිගු සේවා කාලයේ රහස පිළිබඳ කිසිවකුටත් නිශ්චිත අදහසක් නැහැ. සාමාන්‍යයෙන් උතුරු කොරියාවේ මාධ්‍ය ආයතනවල සේවය කරන්නන් එරට රජයේ නිරන්තර පරීක්ෂාවට ලක් කෙරෙනවා. කිසියම් සුළු අඩුපාඩුවක් හෝ සැකයක් හේතුවෙන් හෝ රැකියාව අහිමි වීමේ අවදානමටද ඔවුන් මුහුණ දෙනවා. නමුත් ඒ සියලු අභියෝග මැද රී චුන්-හී, වසර 41 ක් තිස්සේ ඇගේ නිවේදන වෘත්තියේ යෙදුණා පමණක් නොව, 2012 න් පසුවත් විශේෂ නිවේදන සඳහා රජය විසින් ඇය කැඳවනු ලබනවා.

රී චුන්-හී සිය මිණිබිරියක සමඟ 2008 දී (KCNA)

සිය රට පාලනය කරන කිම් පවුලට ඇගේ ඇති අතිශය භක්තිමත් හිතෛශීභාවය මෙසේ ඇයගේ සේවය ඇගයීමට ලක්වීමට හේතු වන්නට ඇතැයි සිතිය හැකියි.

මේ නිසාම ඇය උතුරු කොරියානු සාමාන්‍ය ජනතාවට සාපේක්ෂව හොඳ ජීවන තත්ත්වයක් භුක්ති විඳින බව සඳහන් වනවා. 2009 දී ඇය පිළිබඳ උතුරු කොරියානු රජයේ වාර ප්‍රකාශනයක් වන චෝසන් සින්බෝ හි ලිපියක් පළ වුණ අතර ඇය ප්යොංග්යෑංග් හි ජීවත් වන බව සහ සිය මුණුබුරු මිණිබිරියන් සමඟ කල් ගත කරන බව සඳහන් වුණා.

ඇය විශ්‍රාම ගැනීමට ආසන්න සමයේදී, එනම් 2012 දී, චීන මධ්‍යම රූපවාහිනිය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී රී චුන්-හී කියා සිටියේ තමන් විශ්‍රාම ගිය පසු නවක නිවේදිකාවන් පුහුණු කිරීමේ කටයුතුවලට දායක වෙමින් තිරය පිටිපසින් සිට කටයුතු කරන බවයි.

තමන්ගේ කාලයට වඩා පියකරු, තරුණ නිවේදිකාවන් උතුරු කොරියාවේ රූපවාහිනී නිවේදන ක්ෂේත්‍රයට පිවිසෙන බවත් ඇය එහිදී සඳහන් කළා.

Cover Image: රී චුන්-හී (Washington Post)

Related Articles