Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අලුත උපන් සිනමාවේ නව හැඩතල මතු කළ- ඇලිස් ගී බ්ලාච්

ලොවට සිනමාව දායාද වී දැනට වසර 123ක් ගත ව තිබේ. 1895 දෙසැම්බර් 28 දින ප්‍රංශයේ ග්‍රෑන්ඩ් කැෆේ අවන්හලේ දී ලූමියර් සහෝදරයන් විසින් පුළුල් තිරයක් ඔස්සේ මුල්වරට ප්‍රදර්ශනය කළ සිනමා නිර්මාණය වූ ප්‍රංශයේ සියටෝට් දුම්රිය පොළට දුම්රියක් පැමිණෙන දර්ශනයෙන් ඇරඹි සිනමාව අද වන විට තාක්ෂණික ව ද දෘෂ්ටිවාදී ව ද බොහෝ දුර ගමනක් පැමිණ ඇත. අනෙකුත් කලා මාධ්‍යයන්ට වඩා ප්‍රබල ලෙස මතවාදී බලපෑමක් කිරීමේ හැකියාවක් සිනමාව සතු ය. එය යහපත් ලෙසත්, අයහපත් ලෙසත් සෑම විට ම භාවිත වේ. හොලිවුඩ් සිනමාව මඟින් ඇමෙරිකා එක්සත් ජනපදය ලොව පුරා සිදුකරන ජනඝාතක යුද්ධ සාධාරණීකරණය කිරීමට විශාල වශයෙන් භාවිතා වන අතර ම එක්සත් ජනපද යුදවාදයට එරෙහිව ද හොලිවුඩය තුළ ම වරින් වර නිර්මාණ බිහි ව තිබේ. එමෙන්ම සංස්කෘතික වාහකයක් ලෙස ද සිනමාව නිරන්තර කටයුතු කරයි. මෙවන් බලපෑම් සහගත සිනමාවක තිඹිරිගෙය වූ ප්‍රංශයෙන් ම බිහි වූ අග්‍රගණ්‍ය සිනමාවේදිනියක පිළිබඳව යි මේ.

ඇලිස් ගී බ්ලාච් (imdb)

ඇය නමින් ඇලිස් ගී බ්ලාච්. ඇය ව විවිධාකාර ලෙස හඳුන්වාදිය හැකිය. ලොව ප්‍රථම සිනමා අධ්‍යක්ෂකවරිය ලෙස ඇය දැන් වඩාත් ප්‍රකට ය. එමෙන්ම මුල්ම ප්‍රබන්ධ සිනමාව බිහිකළ තැනැත්තිය ලෙස හඳුනා ගැනෙන්නේ ද ඇය ම යි. ලූමියර් සහෝදරයන් විසින් හඳුන්වාදුන්නේ වාර්තා ම චිත්‍රපට කලාවකි. දුම්රියක් පැමිණීම, රැකියාව අවසන් ව කම්හලෙන් පිටත් වන සේවකයන්, ගෙවත්තේ මල්වලට වතුර දමන සේවකයෙක් වැනි සිදුවීම් රූගත කිරීම ඔවුන් අතින් සිදුවිය. එය සිනමාවේ මෙන්ම, වාර්තා සිනමාවේ ද ආරම්භය විය. ප්‍රබන්ධ සිනමාව මුල්වරට බිහි කළේ ඇලිස් ගී බ්ලාච් විසිනි.

ඇලිස් තම කැමරාව සමග (youtube)

ලූමියර් සහෝදරයන් පළමුවරට 1895 දී සිනමාව රැගෙන එන විට ඇය 1896 දී පළමු ප්‍රබන්ධ සිනමා නිර්මාණය ප්‍රංශයේ දී බිහි කරන ලදී. ප්‍රංශයේ කාන්තාවන් ඡන්ද බලය හිමිකර ගත්තේ ද ඊට අඩ සියවසකට පසු ව ය. ඇත්තෙන් ම ඒ වන විට ඡන්ද අයිතිය හිමි ව තිබුණේ නවසීලන්තයේ කාන්තාවන්ට පමණි. Cabbage Fairy හෙවත් La fee aux choux නම් වූ එම නිර්මාණය අද අප දකින සියලු ප්‍රබන්ධ සිනමාවන්ගේ ආරම්භය ලෙස හැඳින්විය හැකි ය. මීට විනාඩියකටත් අඩු ධාවන කාලයක් ඇත. ගෝවා උයනකින් දෙවඟනක් කුඩා බිළිඳුන්ට උපත දීම මෙහි පෙන්වයි. දෙවඟන ලෙස රංගනයෙන් දායක වන්නේ ද ඇලිස් ගී ම යි. මෙය ඇගේ ම රචනයක් අනුව, ඇය ම අධ්‍යක්ෂණය කර, ඇය ම රංගනයෙන් දායක වන නිර්මාණයකි. ඇගේ බොහෝ නිර්මාණ එසේ ය. ඇය තිර රචනයෙන් ද, නිෂ්පාදනයෙන් ද, අධ්‍යක්ෂණයෙන් ද, රංගනයෙන් ද, කැමරාකරණයෙන් ද, බහුවිධ ආකාරයෙන් කටයුතු කරන ලදී. එම සියලු අංශයන්ගෙන් කටයුතු කිරීමට ඇයට හැකියාව තිබුණි.

ඇය සිනමාවට පිවිසියේ තාක්ෂණික කටයුතු ද හැසිරවීමේ දැනුම අත්දැකීම සමගිනි. කැමරා නිෂ්පාදන රැකියාවක ඇය නිරත ව සිටි අතර, තමන්ගේ නිර්මාණ ආරම්භ කිරීමට ඇයට තමන්ට ම කැමරාවක් නිපදවා ගැනීමට ද සිදුවිය. ප්‍රංශයේ Gaumont චිත්‍රපට ආයතනයට සම්බන්ධ ව නිර්මාණ කළ ඇය පසු ව තමන්ගේ ම චිත්‍රාගාරයක් අරඹන ලද්දේ Solax නමිනි. ඇය විසින් සිදුකළ නිර්මාණ ගණන දහසකට අධික ය. නමුත් ඉන් අද ඉතිරි ව ඇත්තේ ස්වල්පයකි. අගේ නිර්මාණ තවත් එක් නිර්මාණයක් නොවී සිනමාවට නව සොයාගැනීම් කළ නිර්මාණ විය. අප ඉහත කී Cabbage Fairy ඉන් එකක් පමණි. 1897 දී ඇය නිර්මාණය කළ The Burglars නම් විකට චිත්‍රපටය ද එලෙස ම ප්‍රබන්ධ විකට නිර්මාණයකි. සොරුන් දෙදෙනෙකු හඹා යන පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මෙහි නිරූපණය වේ.

ඇය සිනමාවට තාක්ෂණික සොයාගැනීම් කළ නිර්මාණයක් ලෙස 1900 වසරේ දී බිහිකළ Pierrettes Escapades හැඳින්විය හැකිය. පළමු වරට වර්ණ චිත්‍රපටයක්, වර්ණ ගැන්වීම ජෝර්ජ්ස් මේලියස් විසින් සිදුකළ බවට වූ මතය බිඳවැටුණේ මෙය සොයා ගැනීමෙනි. ජෝර්ජ්ස් මේලියස්ට පවා මඟ පෙන්වීම හිමි වූයේ ඇගෙන් බව මින් පැහැදිලි විය. සේයාපටයේ රාමුවෙන් රාමුව වෙන් වෙන් ව වර්ණ ගැන්වීමෙන් චිත්‍රපටය වර්ණ ගැන්වීම අරඹන ලද්දේ ඇලිස් ගී විසිනි. 1906 වසරේ දී නිර්මාණය කළ La Vie Du Christ (The Birth, the Life and the Death of the Christ) ද විශේෂ ප්‍රයෝග භාවිත කරමින් කළ නිර්මණයකි. සේයාපටය සංස්කරණය මඟින් අහසේ පාවෙන දර්ශන, අතුරුදන් වීම, පහළ වීම වැනි තාක්ෂණික භාවිතාවන් මෙහි දී භාවිතා විය. කෙටි චිත්‍රපට යුගයක මෙය විනාඩි 33ක ධාවන කාලයක් සහිත වීම ද විශේෂත්වයකි.

La Vie Du Christ (youtube)

මේ වන විට සිනමාවට ශබ්දය පැමිණ නොතිබිණි. එනම් කැමරාව සතු ව හඬ පටිගත කිරීමේ හැකියාව නොවීය. මේ නිසා සියලු නිර්මාණ හඬ සහිත දෙබස්වලින් තොර විය. නමුත් ඇලිස් ගී විසින් මෙයට විසඳුමක් සොයා ගන්නා ලදී. ඇය Phonoscenes තාක්ෂණය භාවිත කරමින් නිර්මණයක් කළ අතර, එහි දී ඇය පළමුව දර්ශනය රූගත කර, දෙවනුව එම දර්ශනයට ගැළපෙන ලෙස හඬ වෙන ම පටිගත කර, හඬ සහ රුව සමපාත කරන ලදී. ඇය එම උත්සාහය දරන ලද්දේ 1905 වසරේ La polka des trottins නිර්මාණයෙනි.

1910 වසරේ දී Solax නමින් චිත්‍රාගාරයක් ඇරඹීමට ඇයට සිදුවූයේ පෙර Gaumont චිත්‍රාගාර හිමිකරුවන් සමග තවදුරටත් කටයුතු කළ නොහැකි වීම නිසයි. ආරම්භයේ සිට ම ඇය පුරුෂ අධිකාරීත්වයක් දරන කර්මාන්තය තුළ දුෂ්කරතා මධ්‍යයේ කටයුතු කරන ලදී. ඇය තමන්ගේ චිත්‍රාගාරයේ ආදර්ශ පාඨය ලෙස සඳහන් කර තිබූයේ  “Be Natural” ලෙස යි.

ඇගේ චිත්‍රාගාරයේ ආදර්ශ පාඨය ‘Be Natural’ (youtube)

1912 වසරේ දී ඇය ප්‍රංශයේ සිට එක්සත් ජනපදයට පැමිණි අතර, නිව් ජර්සිහි පදිංචි විය. ඇගේ චිත්‍රාගාරය ද එහි පිහිටුවන ලදී. ඇගේ නිර්මාණ තුළ සමාජ ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කිරීම ඉන්පසු ව දක්නට ලැබීම විශේෂත්වයකි. විශේෂයෙන් ම එක්සත් ජනපදය තුළ කාන්තා ව්‍යාපාරයට ඇගේ සහාය හිමිවිය. ඇගේ Two Little Rangers නම් 1912 බිහි වූ නිර්මාණය පූර්ව ස්ත්‍රීවාදී සිනමාවට අයත් නිර්මාණයකි. එසේ ම ඇය මුල්වරට කළු ජාතිකයන් පමණක් යොදා ගනිමින් A Fool and His Money නිර්මාණය 1912 දී නිර්මාණය කරන ලදී.

ඇගේ චිත්‍රාගාරය (youtube)

පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව ඇලිස් ගී නැවත මව්රට බලා පිටත් විය. 1930 වසරේ දී ඇය මුලින් සේවය කළ Gaumount ආයතනය විසින් ඇය ව ඉතිහාසයෙන් මකා දැමීමට කටයුතු කරන ලදී. ඇගේ කටයුතු ලෝකයට රහසක් ව පැවතීමට ද එය හේතු විය. නමුත් සත්‍යය සැඟවීමට නොහැකි විය. ඇයට ප්‍රංශයේ ඉහළ ම ගෞරව සම්මානය වන National Order of the Legion Honour සම්මානයෙන් ද පුදනු ලැබීය.

Two Little Rangers චිත්‍රපටය රූගත කරන අතරතුර (variety)

1873 වසරේ ජූලි මස 1 වැනි දා ප්‍රංශයේ පැරිස් හි උපත ලද ඇය, 95 වසරක් ආයු වළඳා 1968 වසරේ මාර්තු 24 දින අවසන් සුසුම හෙළීය. මැකීගිය ඇලිස් ගී නාමය වෙනුවෙන් මේ වසරේ දී පැමෙලා බී. ග්‍රීන් විසින් අධ්‍යක්ෂණය කළ Be Natural: The Untold Story of Alice Guy-Blache වාර්තා චිත්‍රපටය නිම විය.

 

Related Articles