Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇන්. ඇම්. පෙරේරාගේ දේශපාලන දිවියේ මතක සටහන්

අද වනවිට ඇන්. ඇම්. පෙරේරා යනු කවුදැ යි නොදන්නා කෙනෙක් අද නැති තරම්. ඔහු ගැන වැඩියමක් නොදන්නා අය වුණත්, ඔහු පරන කොමියුනිස්ට් නායකයෙකු බව දන්නවා. ඉතින් අද මේ ලිපිය ඔහු ගැන යි.

1905 ජූනි 6 වැනිදා කොළඹ දී උපත ලැබූ නානයක්කාර පතිරගේ මාටින් පෙරේරා ගල්කිස්ස ශාන්ත තෝමස් සහ කොළඹ ආනන්ද යන විදුහල්වලින් සිප්සතර හැදෑරුවෙක්. පාසල් අධ්‍යාපනය හොඳින් නිමා කළ මාටින් පෙරේරා උසස් අධ්‍යාපන කටයුතු සඳහා කොළඹ විශ්වවිද්‍යාලයයට ඇතුළත් වුණා. 1925-1927 කාල සමය තුළ කැපවීමෙන් සිය උසස් අධ්‍යාපන කටයුතු සිදුකළ මාටින් පෙරේරා 1927 වසරේ දී ලන්ඩන් විශ්වවිද්‍යාලයයේ ආර්ථික විද්‍යා පීඨයට ඇතුළත් වුණා. 

එහි වසර 6ක් ඉගෙනීම් කටයුතුවල නිරත වුණු මෙම සිසුවා 1933 වසරේ යළි ලංකාවට පැමිණියේ ආචාර්ය උපාධි 2ක් සම්පූර්ණ කිරීමෙන් පසුව යි. ලංකාවට පැමිණි මාටින් පෙරේරාට ඉහළ පන්තියේ රැකියාවක නිරතවෙමින් සුඛෝපභෝගි ජීවිතයක් ගතකිරීමට අවස්ථාව උදා වී තිබුණා. නමුත් ඔහු එම සැප සම්පත් අතහැර දුප්පතුන්ට සේවය කිරීමට ඉදිරිපත් වුණා. සමාජ සේවයට කැපවුණු මාටින් පෙරේරා ජනතාව අතර ප්‍රසිද්ධියට පත්වුණේ 1930 දශකයේ ලංකාව තුළ මැලේරියා වසංගතය පැතිරයාමත් සමග යි.

ලන්ඩන් විශ්වවිද්‍යාලය (ilvindia.com)

පරිප්පු මහත්තයා 

1933 වසරේ දී ලංකාවට පැමිණි මාටින් පෙරේරාට එම වසරේ නොවැම්බර් මාසයේ දී ආරම්භ වුණු සූරියමල් ව්‍යාපාරය සමග සම්බන්ධවීමේ අවස්ථාව ලැබෙනවා. එම කාලයේ දී උගත් තරුණයෙකු ලෙසින් සමාජ සේවා කටයුතුවල නිරත වුණු මාටින් පෙරේරාව කවුරුත් හඳුන්වනු ලැබුවේ ඇන්. ඇම්. පෙරේරා යන නාමයෙන්. සූරියමල් ව්‍යාපාරයට සම්බන්ධ වුණු උගත් තරුණ පිරිස අතර ඇන්. ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, ඇස්. ඒ. වික්‍රමසිංහ, ලෙස්ලි ගුණවර්ධන වැනි අය සිටියා. සූරියමල් ව්‍යාපාරයේ සාමාජිකයන්ට කාර්යබහුල කාල සමයක් උදාවුණේ 1934 සහ 1935 වසරවල දී ලංකාව තුළ මැලේරියා වසංගතය පැතිරයාමත් සමග යි. 

ඇන්. ඇම්. පෙරේරා ඇතුළු තරුණ පිරිස කෑගල්ල දිස්ත්‍රික්කයේ මැලේරියා වසංගතය නිසා පීඩාවට පත්වුණු ගැමියන්ට ආධාර ලබාදුන්නා. ආධාර ලබාදුන් ද්‍රව්‍ය අතරට හාල්, පරිප්පු, සීනි, තේ කොළ, මාමයිට් වැනි දේ අඩංගු වුණා. එසේම සාත්තු කිරීමට කිසිවෙකු නොසිටි ගෙවල්වල සිටි ලෙඩුන්ට සාත්තු කිරීමට ද මෙම තරුණ පිරිස කටයුතු කළා. ඇන්. ඇම්. පෙරේරා පරිප්පු බෙදමින් ගමින් ගමට ගිය නිසා ඔහු ගැමියන් අතර ප්‍රසිද්ධියට පත්වුණේ පරිප්පු මහත්තයා ලෙස යි. 

සූරියමල් ව්‍යාපාරය හරහා මැලේරියා රෝගීන්ට උදව් උපකාර කළ උගත් තරුණ පිරිස 1935 වසරේ දෙසැම්බර් 18 වැනිදා ලංකා සමසමාජ පක්ෂය ආරම්භ කළා. එය ලංකාවේ පළමු නිල දේශපාලන පක්ෂය බවට පත්වුණා. ලංකා සමසමාජ පක්ෂයට සම්බන්ධ වුණු තරුණයන් මැලේරියාව පැතිර ගිය අවස්ථාවේ දී කෑගල්ල දිස්ත්‍රික්කයට විශාල සේවයක් කළා. එම නිසා දිගු කාලයක් යන තුරු රුවන්වැල්ල, යටියන්තොට, දෙහිඕවිට වැනි ආසනවල බලවත්ව සිටියේ ලංකා සමසමාජ පක්ෂය යි. 

මැලේරියාව පිළිබඳව පළවුණු පුවත්පත් වාර්තාවක් (Lankdeepa)

දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වීම 

1936 වසරේ දී පැවති දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය සඳහා ඇන්. ඇම්. පෙරේරා ඉදිරිපත් වුණා. එදා රුවන්වැල්ල ආසනයෙන් සටනට පිවිසි ඇන්. ඇම්. පෙරේරාගේ ප්‍රතිවාදී අපේක්ෂිකාව වුණේ ඇඩ්ලින් මොලමුරේ ආර්යාව යි. මැලේරියා වසංගත කාලයේ දී ඇන්. ඇම්. පෙරේරා රුවන්වැල්ල ප්‍රදේශයේ ජනතාවට විශාල සේවයක් සිදුකර තිබුණා. එම නිසා රුවන්වැල්ලේ ජනතාවගේ ආදරය ඔහුට හිමිව තිබුණා. එසේම ඇන්. ඇම්. පෙරේරා රදළයන්ට එරෙහිව ගෙනයමින් සිටි අරගලය නිසා ජනතාව ඔහු වටා එකතුව සිටියා. එහි අවසන් ප්‍රතිඵලය වුණේ ඇන්. ඇම්. පෙරේරා පහසුවෙන්ම රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වීම යි. 

රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වුණු ඇන්. ඇම්. පෙරේරා එකල පොදු ජනතාව මුහුණදුන් ගැටළු විසඳීම සඳහා රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ හඬක් නැගුවා. එසේම වතුකරයේ ජීවත්වුණු කම්කරුවන්ගේ අයිතීන් දිනාගැනීම සඳහා හඬක් නැගූ ඔහු ඇතුළු පිරිස වැඩ වර්ජන කිහිපයක් ද සංවිධානය කළා. නිහඬව සිටි වතුකරයේ කම්කරු පංතිය අවදිවීම බ්‍රිතාන්‍ය රජයට දැඩි අභියෝගයක් වුණා.

දුෂ්කර කාල පරිච්ඡේදයක්

1939 වසරේ දී දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමත් සමගම බ්‍රිතාන්‍යයට අධික යුද වියදමක් දරන්නට සිදුවුණා. එම නිසා යටත්විජිත රටවල්වල තිබුණු සම්පත්වලින් හැකිතරම් ආදායමක් ලබාගැනීමට ඔවුන් කල්පනා කළා. මෙරටින් තේ, රබර් ඇතුළු අනිකුත් බෝග අඛණ්ඩව අපනයනය කිරීම ඔවුන්ට අතිශයින්ම වැදගත් වුණා. නමුත් සමසමාජ පක්ෂයේ නායකයන් වතුකරයේ ජනතාව සම්බන්ධ කරමින් වැඩ වර්ජන සංවිධානය කිරීම හේතුවෙන් බෝග අපනයන කටයුතු අතරමඟ නතර වුණා. එම නිසා වතුකරය සන්සුන් කිරීම සඳහා ඇන්. ඇම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, පිලිප් ගුණවර්ධන, සහ එඩ්මන්ඩ් සමරක්කොඩි යන සමසමාජ නායකයන් සිරභාරයට ගත්තා.

සිරභාරයේ සිටිය දීත් ඔවුන් පක්ෂයේ වැඩ කටයුතු රහසිගතව කරගෙන ගියා. එය බ්‍රිතාන්‍ය ආණ්ඩුවට ආරංචිවීමත් සමග ඔවුන්ව බෝගම්බර බන්ධනාගාරයට මාරු කරනු ලැබුවා. 1942 වසර වන විට ජපානය ද දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ වී සිටියා. බ්‍රිතාන්‍යයන්ගේ සතුරු පිලට සහාය දුන් ජපානය 1942 වසරේ අප්‍රේල් 5 වැනිදා කොළඹට බෝම්බ හෙලුවා. බ්‍රිතාන්‍ය රජය ජපනුන්ගේ බෝම්බ ප්‍රහාරය ගැන අවධානය යොමුකරද්දී ඇන්. ඇම්. පෙරේරා ඇතුළු සමසමාජ පක්ෂ නායකයන් හොර රහසේම බෝගම්බර හිරගෙදරින් ඉන්දියාවට පළාගියා. ඔවුන්ට හිරගෙදරින් පළායාමට හැකිවුණේ ඩොරික් ද සූසා, රෙජී සේනානායක, සහ රොබට් ගුණවර්ධන එකතු වී සකස්කර දුන් සැලැස්මක් නිසා යි. 

ජපනුන් කොළඹට බෝම්බ දැමීම පිළිබඳව පළවුණු වාර්තාවක් (combination)

අසීරුවෙන් ඉන්දියාවට පළා ගිය ඇන්. ඇම්. පෙරේරා බොම්බේ නගරයේ ජීවත් වෙමින් දේශපාලන කටයුතුවල නිරතවුණා. ඒ අතරතුර ඔහුට ලන්ඩන් විශ්වවිද්‍යාලයයේ පැරණි මිතුරෙකු හමුවුණා. ඔහු ඒ වන විට ඉන්දියාවේ බැංකුවක උසස් රැකියාවක් කරමින් සිටියා. ඇන්. ඇම්. පෙරේරාට මිතුරාගේ මාර්ගයෙන් බැංකුවක විධායක ශ්‍රේණියේ රැකියාවක් ලැබුණා. ඉන් අනතුරුව ආචාර්ය විශ්වනාත් යන ආරූඪ නාමය භාවිතා කරමින් ඇන්. ඇම්. පෙරේරා සිය රැකියාව කරගෙන ගියා. නමුත් ඔහුට වැඩි කලක් රැකියාවේ නිරතවන්නට ලැබුණේ නැහැ. ඒ ඔහුගේ ඉන්දීය දේශපාලන මිතුරෙකු ලබාදුන් ඔත්තුවකින් ඔහු ඉන්දීය පොලිස් අත්අඩංගුවට පත්වීම නිසා යි. අලහබාද් නගරයේ දී අත්අඩංගුවට පත්වුණු ඇන්. ඇම්. පෙරේරා පසුව ලංකාවට එවනු ලැබුවා. ලංකාවට පැමිණීමෙන් පසුව යළිත් සිරභාරයට පත්වුණු ඇන්. ඇම්.ට 1945 වසරේ දී නිදහස ලැබුණා.

දෙවරක් විපක්ෂ නායක තනතුරට පත්වීම 

1947 වසරේ පැවති පළමු මහා මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයන් 98ක් ඉදිරිපත් කරන විට ලංකා සමසමාජ පක්ෂය අපේක්ෂකයන් 28 දෙනෙකු ඉදිරිපත් කළා. ඇන්. ඇම්. පෙරේරා සුපුරුදු පරිදි රුවන්වැල්ල ආසනය සඳහා තරග වැදුණා. ඒ වන විට රුවන්වැල්ල ජනතාව අතර වීරයෙකු බවට පත්ව සිටි ඔහු සිය ප්‍රතිවාදියා වුණු පී. සී. ඉඹුලානව පරාජය කරමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්තා. එම ඡන්ද ප්‍රතිඵලය පහත දැක්වෙන ආකාරයට සටහන් වුණා.

ඇන්. ඇම්. පෙරේරා (ලංකා සමසමාජ පක්ෂය)- ඡන්ද 10,065

පී. සී. ඉඹුලාන (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 5,209

එවර මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ආසන 42ක් ලබාගන්නා විට ලංකා සමසමාජ පක්ෂය ආසන 10ක් ලබාගත්තා. එම නිසා ලංකා පාර්ලිමේන්තුවේ පළමු විපක්ෂ නායකවරයා බවට පත්වීමේ අවස්ථාව ඇන්. ඇම්. පෙරේරාට හිමිවුණා. ඉන් වසර 5කට පසුව යළි මහා මැතිවරණයක් පැවැත්වුණා. 1952 වසරේ මැයි 24-30 කාල සමය තුළ එම මැතිවරණය පවත්වන විට සොලමන් බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකර තිබුණා. ඒ අනුව එවර මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සහ ලංකා සමසමාජ පක්ෂය අතර තුන්කොන් සටනක් පැවතුණා. නමුත් මැතිවරණ ප්‍රතිඵලවලට අනුව එක්සත් ජාතික පක්ෂයට ආසන 54ක් හිමිවන විට නිදහස් පක්ෂය සහ සමසමාජ පක්ෂය අතර ආසන 9 බැගින් බෙදී ගියා. එදා නිදහස් පක්ෂය සහ සමසමාජ පක්ෂය ආසන 9 බැගින් හිමිකරගෙන සිටියත් නිදහස් පක්ෂයට වැඩිපුර ඡන්ද ප්‍රමාණයක් හිමිවුණු නිසා විපක්ෂ නායක තන්තුර සොලමන් බණ්ඩාරනායකට හිමිවුණා. එවර මැතිවරණයේ දී සුපුරුදු පරිදි රුවන්වැල්ල ආසනයට තරග කළ ඇන්. ඇම්. පෙරේරා තියුණු ජයග්‍රහණයක් ලබාගත්තේ පහත දැක්වෙන ආකාරයට යි.

ඇන්. ඇම්. පෙරේරා (ලංකා සමසමාජ පක්ෂය)- ඡන්ද 10,601

පී. සී. ඉඹුලාන (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 9,558

1954 වසරේ පැවති පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කර  කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරයට පත්වුණු ඇන්. ඇම්. පෙරේරා වසර 2ක් එම තනතුරේ කටයුතු කළා. නමුත් 1956 මහා මැතිවරණයේ දී යළිත් ඔහු රුවන්වැල්ල ආසනයට තරග කළා. එවර මහා මැතිවරණයේ දී සොලමන් බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ ආසන 51ක් ලබාගෙන බලය ලබාගන්නා විට ඇන්. ඇම්. පෙරේරාගේ නායකත්වයෙන් තරග වැදුණු ලංකා සමසමාජ පක්ෂය ආසන 14ක් ලබාගත්තා. ඒ අනුව එවර පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තනතුර හිමිවුණේ ඇන්. ඇම්. පෙරේරාට යි. රුවන්වැල්ල ආසනයට තරග වැදුණු ඇන්. ඇම්. ආසනය ජයග්‍රහණය කළේ පහත දැක්වෙන ආකාරයට යි.

ඇන්. ඇම්. පෙරේරා (ලංකා සමසමාජ පක්ෂය)- ඡන්ද 14,083

රණසිංහ ප්‍රේමදාස (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 7,855

තවත් මහා මැතිවරණ 3ක් ජයග්‍රහණය කරයි 

1959 වසරේ වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම සිදුකරන ලද සීමා නිර්ණයේ දී රුවන්වැල්ල ආසනයෙන් කොටසක් කැඩී යටියන්තොට ආසනය නිර්මාණය වුණා. ඇන්. ඇම්. පෙරේරා 1960 වසරේ සිට තරග කරන ලද්දේ යටියන්තොට ආසනය සඳහා යි. ඔහු 1960-1965 අතර කාල සමයේ පැවති මහා මැතිවරණ 3 දීම යටියන්තොට ආසනය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. එසේම 1964 වසර අග භාගයේ මාස කිහිපයක් පැවති සභාග රජයේ මුදල් අමාත්‍යවරයා ලෙසින් කටයුතු කළා. පහත දක්වා තිබෙන්නේ 1960-1965 අතර කාලයේ පැවති මහා මැතිවරණවල දී ඇන්. ඇම්. යටියන්තොට ආසනය ජයග්‍රහණය කරන ලද ආකාරය යි.

1960 මාර්තු මහා මැතිවරණය

ඇන්. ඇම්. පෙරේරා (ලංකා සමසමාජ පක්ෂය)- ඡන්ද 10,432

ජෝර්ජ් කොතලාවල (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 7,761

1960 ජූලි මහා මැතිවරණය

ඇන්. ඇම්. පෙරේරා (ලංකා සමසමාජ පක්ෂය)- ඡන්ද 10,311

ජෝර්ජ් කොතලාවල (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 9,196

1965 මහා මැතිවරණය

ඇන්. ඇම්. පෙරේරා (ලංකා සමසමාජ පක්ෂය)- ඡන්ද 14,826

ජෝර්ජ් කොතලාවල (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 13,131

මුදල් අමාත්‍යධූරයට පත්වීම 

1970 මහා මැතිවරණය සඳහා තරග වැදුණු ලංකා සමසමාජ පක්ෂය ආසන 19ක් දිනාගත්තා. එම නිසා එවර මහා මැතිවරණයෙන් පසුව බිහිවුණු සමගි පෙරමුණු රජයේ කොටස්කරුවෙකු බවට පත්වීමට ලංකා සමසමාජ පක්ෂයට අවස්ථාව ලැබුණා. එලෙස බිහිවුණු සමගි පෙරමුණු රජයේ මුදල් අමාත්‍ය තනතුර හිමිවුණේ ඇන්. ඇම්. පෙරේරාට යි. 1970 මහා මැතිවරණයේ දී සිව්වන වතාවටත් ඇන්. ඇම්. පෙරේරා යටියන්තොට ආසනය ජයග්‍රහණය කළේ පහත දැක්වෙන ආකාරයට යි.

ඇන්. ඇම්. පෙරේරා (ලංකා සමසමාජ පක්ෂය)- ඡන්ද 17,520

ජෝර්ජ් කොතලාවල (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 13,531

ශ්‍රී ලංකා ඉතිහාසය තුළ බිහිවුණු දක්ෂ මුදල් අමාත්‍යවරයෙකු ලෙස නමක් තබාගෙන සිටි ඇන්. ඇම්. සිය ධුරකාලය තුළ සැලකිය යුතු සේවාවක් කළා. නමුත් 1975 වසර වන විට සමගි පෙරමුණු ආණ්ඩුව තුළ මතුව තිබුණු අභ්‍යන්තර ගැටළු නිසා ඇන්. ඇම්. පෙරේරා ඇතුළු සමසමාජ පක්ෂ නියෝජිතයන් විපක්ෂයට එකතු වුණා.

ඇන්.ඇම් පෙරේරා මුදල් අමාත්‍යවරයා ලෙස (Daily FT)

1977 මහා මැතිවරණයෙන් පරාජයට පත්වීම

1977 මහා මැතිවරණය වන විට ජනරැල්ල එක්සත් ජාතික පක්ෂය දෙසට නැඹුරු වී තිබුණා. එම නිසා එක්සත් ජාතික පක්ෂ නායකයා ආකර්ෂණීය ඡන්ද පොරොන්දු ලබාදෙමින් ජනතා කැමැත්ත වැඩි කරගත්තා. එහි අවසන් ප්‍රතිඵලය වුණේ එක්සත් ජාතික පක්ෂය 5/6ක දැවැන්ත ජනවරමක් ලබාගැනීම යි. එදා නිදහස් පක්ෂය ආසන 8කට වැටෙන විට වමේ පක්ෂවලට කිසිදු ආසනයක් හිමිවුණේ නැහැ. එහි දී යටියන්තොට ආසනයේ ඡන්ද ප්‍රතිඵලය සටහන් වුණේ පහත දැක්වෙන ආකාරයට යි.

වින්සන්ට් පෙරේරා (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 17,545

ඇන්. ඇම්. පෙරේරා (ලංකා සමසමාජ පක්ෂය)- ඡන්ද 15,028

1977 මහා මැතිවරණයෙන් පසුව පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වගකීම භාරවුණේ ඇන්. ඇම්. පෙරේරාට යි. නමුත් ඔහු දිගින් දිගටම අසනීපවීම නිසා එම වැඩකටයුතු හරියාකාරව කරගෙන යාමට හැකිවුණේ නැහැ. 

ඇන්. ඇම්.ගේ අසනීප තත්ත්වය කෙමෙන් දරුණු අතට හැරුණා. වෛද්‍යවරුන් කෙතරම් උත්සාහ කළත් ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකිවුණේ නැහැ. අවසානයේ දී 1979 වසරේ අගෝස්තු 14 වැනිදා ඇන්. ඇම්. පෙරේරා නම් වාමාංශික නායකයා අප අතරින් සමුගත්තා. 

කවරයේ ඡායාරූපය- ඇන්.ඇම් පෙරේරා (Daily News)

මූලාශ්‍රයයන්- ලංකා සමසමාජ පක්ෂයේ ඉතිහාසය

Related Articles