ටී.බී. ඉලංගරත්න යන නම ඇසුණු සැනින් බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙන්නේ අඹ යාළුවෝ ළමා නවකතාව යි. ඒ ඔහු මෙරට සාහිත්‍ය පෝෂණය කිරීම සඳහා ඉටු කළ අමිල මෙහෙවර නිසා යි. ලාංකීය සාහිත්‍ය රසිකයන් වෙනුවෙන් ගුණාත්මක නිර්මාණ රැසක් දායාද කළ ටී.බී. ඉලංගරත්න එක් යුගයක මෙරට දේශපාලන බිමේ කැපී පෙනෙන චරිතයක් වුණා. 1956-1977 කාල සමය තුළ බිහිවුණු රජයන් කිහිපයක ප්‍රබල අමාත්‍ය තනතුරු දැරූ මෙම දේශපාලඥයා දශක 3කට අධික කාලයක් මෙරට දේශපාලන පිටිය තුළ රැඳී සිටියා. එම කාල සමය තුළ ඔහු කළ මෙහෙවර පිළිබඳව අදටත් පැරැන්නන් සිහිපත් කරනවා.
දේශපාලනයට අවතීර්ණ වීම
1940 දශකයේ මැද භාගයේ දී ටී.බී. ඉලංගරත්න සමස්ත ලංකා ලිපිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා බවට තේරී පත් වුණා. වෘත්තීය සංගමයේ තනතුර හෙබවූ කාලය තුළ ඔහු වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා සටන් කළා. එම නිසාම ඔහු වටා විශාල පිරිසක් එකතු වුණා. එසේම ඔවුන් ඉලංගරත්නගේ ක්‍රියා කලාපය පිළිබඳව පැහැදීමට පත් වුණා. ඉලංගරත්න නම් වෘත්තීය සමිති නායකයා එලෙස මහනුවර ප්‍රදේශය තුළ ජනප්‍රිය වෙමින් පැවති කාල වකවානුවක 1947 මහා මැතිවරණය පැවැත්වෙන බව ප්‍රකාශයට පත් වුණා. ඒ සමගම ඉලංගරත්නගේ හිතවතුන් ඔහුට ඇවිටිලි කර සිටියේ මහනුවර ආසනය සඳහා මහා මැතිවරණයේ දී තරග කරන ලෙස යි. සිය හිතවතුන්ගේ ඉල්ලීමට කන් දුන් ඉලංගරත්න මහා මැතිවරණය සඳහා ස්වාධීනව තරග කිරීමට තීරණය කළා.
1947 මැතිවරණ සටන
1947 මැතිවරණ සටනේ දී ඉලංගරත්නගේ ප්‍රතිවාදියා වුණේ එක්සත් ජාතික පක්ෂයේ ජෝර්ජ් ඊ. ද සිල්වා යි. ඔහු ධනවත් පුද්ගලයෙකු වුණු නිසා මුදල් හදල්, යාන වාහන සහ පිරිස් බලය අතින් ඔහුට අඩුවක් තිබුණේ නැහැ. එම නිසා ජෝර්ජ් ඊ. ද සිල්වා කිසිදු අපහසුවකින් තොරව මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වන විට ඉලංගරත්න සීමිත සම්පත් යොදාගනිමින් මැතිවරණ ව්‍යාපාරයේ නිරත වුණා. අසීරුවෙන් මැතිවරණ කටයුතුවල නිරත වුණු ඉලංගරත්න නොසිතූ කරදරයකට මුහුණ දීමට සිදු වුණේ එම දිනවල මධ්‍යම පළාතේ ප්‍රදේශ රැසකට මහා ජල ගැල්මෙන් හානි සිදුවීම නිසා යි. මහා ජල ගැල්ම නිසා ඉලංගරත්නගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අඩාල වුණත් ඔහුගේ ප්‍රතිවාදියා කිසිදු අපහසුවකින් තොරව මැතිවරණ ව්‍යාපාරය ඉදිරියට ගෙන ගියේ ඔහු සතුව තිබුණු වාහන සහ පිරිස් බලය නිසා යි. නමුත් ඉලංගරත්න වටා ද සැලකිය යුතු පිරිසක් එකතු වී සිටි නිසා මහනුවර මැතිවරණ සටන කරට කර එකක් වුණා. එදා බොහෝ දෙනෙකු අපේක්ෂා කළ පරිදිම මහනුවර ආසනයේ ජය පැරදුම අතර තිබුණේ ඡන්ද 205ක පරතරයක් පමණ යි. එහි දී ජෝර්ජ් ඊ. ද සිල්වා ඡන්ද 7942ක් ලබාගන්නා විට ටී.බී. ඉලංගරත්න ඡන්ද 7737ක් ලබාගෙන තිබුණා.
මහනුවර අසුන වෙනුවෙන් අතුරු මැතිවරණ දෙකක්
1947 මහා මැතිවරණයේ දී මහනුවර ආසනය ජයග්‍රහණය කළ ජෝර්ජ් සිල්වාට එරෙහිව ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කළේ ඉලංගරත්න පාර්ශවය යි. එහි දී ඉලංගරත්න පාර්ශවය විසින් ඉදිරිපත් කළ චෝදනා ඔප්පු වීම නිසා ජෝර්ජ් සිල්වාට සිය අසුන අහිමි වුණා. එම නිසා මහනුවර ආසනය වෙනුවෙන් අතුරු මැතිවරණයක් පවත්වනු ලැබුවේ 1948 වසරේ මැයි 18 වැනිදා යි. ජෝර්ජ් ඊ ද සිල්වාගේ පුත් ෆ්රෙඩ් ඊ. ද සිල්වා සහ ටී.බී. ඉලංගරත්න අතර පැවති එම අතුරු මැතිවරණයෙන් ඉලංගරත්න ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 3,857ක් ලබාගනිමින්.
මහනුවර අසුන ජයගෙන පාර්ලිමේන්තුව සඳහා පිවිසුණු ඉලංගරත්නට එහි කටයුතු සිදු කිරීමට ලැබුණේ වසරකට වඩා අඩු කාලයක් පමණ යි. ඒ ඔහුට විරුද්ධව ඡන්ද පෙත්සමක ඉදිරිපත් කිරීම නිසා යි. එදා ඉලංගරත්නට එරෙහිව ඉදිරිපත් වුණු ඡන්ද පෙත්සමෙන් ඔහු පරාජය වීම හේතුවෙන් ඔහුගේ ප්‍රජා අයිතිය වසර 7කට අහිමි වුණා. ඉන් අනතුරුව 1949 වසරේ ජූනි 18 වැනිදා මහනුවර අසුන සඳහා යළි අතුරු මැතිවරණයක් පැවැත්වුණා. එම අතුරු මැතිවරණය සඳහා ඉදිරිපත් වුණු ටි.බී. ඉලංගරත්නගේ බිරිඳ තමරා ඉලංගරත්න වැඩි ඡන්ද 2050කින් මහනුවර අසුන ජයග්‍රහණය කළා.
1956 මහා මැතිවරණයේ දී ගලහ අසුන ජය ගනියි
1956 මහා මැතිවරණය එළඹෙන විට ඉලංගරත්නට යළි ප්‍රජා අයිතිය ලැබී තිබුණා. ඒ වන විට ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව එහි සම ලේකම් තනතුර දරමින් සිටියා. 1947 මැතිවරණයේ දී මහනුවර අසුන සඳහා තරග කළ ඉලංගරත්න එවර මහා මැතිවරණයේ දී තරග කළේ ගලහ ආසනය සඳහා යි. මැතිවරණය ආසන්න වන විට ජනරැල්ල මහජන එක්සත් පෙරමුණ දෙසට තල්ලු වෙමින් තිබුණා. එහි අවසන් ප්‍රතිඵලය වුණේ ආසන 95න් 51ක් ලබාගත් මහජන එක්සත් පෙරමුණට විශිෂ්ට ජයක් හිමිවීම යි. එහි දී ගලහ ආසනයේ ඡන්ද ප්‍රතිඵලය සටහන් වුණේ පහත දැක්වෙන ආකාරයට යි.
ටී.බී. ඉලංගරත්න (මහජන එක්සත් පෙරමුණ)- ඡන්ද 16,924
ටී.බී. පානබොක්කේ (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 10,490
කම්කරු, නිවාස සහ සමාජ සේවා ඇමතිධූරය හිමි වෙයි
මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ඇමතිධූර පිරිනැමීමේ දී කැමති ඇමතිකමක් ඉල්ලන ලෙස අගමැතිවරයා පවසා සිටියත් ඉලංගරත්න කිසිදු ඇමතිකමක් ඉල්ලා සිටියේ නැහැ. එම අවස්ථාවේ දී අගමැතිවරයා ඔහුට කම්කරු, නිවාස සහ සමාජ සේවා අමාත්‍ය තනතුර ලබාදුන්නේ වෘත්තීය සමිති නායකයෙකු ලෙස කටයුතු කරමින් කම්කරුවන්ගේ ගැටළු පිළිබඳව අවබෝධයක් ලබාගෙන තිබුණු නිසා යි. එලෙස සිය දේශපාලන දිවියේ මුල්ම වරට ඇමතිවරයෙකු ලෙස පත් වුණු ඉලංගරත්න මුල සිටම ජනතා සේවය වෙනුවෙන් කැප වුණා. ඔහු කම්කරු, නිවාස සහ සමාජ සේවා අමාත්‍ය ධූරය දරන ලද කාලය තුළ ඉටු කළ සුවිශේෂී සේවයන් මෙසේ දැක්විය හැකියි.
1) මැයි දිනය නිවාඩු දිනයක් කිරීම
2) සේවක අර්ථසාධක අරමුදල බිහිකිරීම
3) කම්කරු ආරවුල් පනත ක්‍රියාත්මක කිරීම
4) සාප්පු සහ කාර්යාල සේවක පනත ක්‍රියාත්මක කිරීම
5) දරු ප්‍රසූතිය සඳහා නිවාඩු ලබාදීමේ පනත ක්‍රියාත්මක කිරීම
6) කම්කරු වන්දි පනත ක්‍රියාත්මක කිරීම
7) ජාතික වේතන කොමිසම බිහිකිරීම
8) වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන බිහිකිරීම
9) සේවකයින් හිටි අඩියේ සේවයෙන් පහ කිරීමට පාලකයින්ට තිබුණු අයිතිය අහෝසි කිරීම
10) සමූපකාර කම්කරු සමීති වෙත කොන්ත්‍රාත් වැඩ ලබා දීම
11) වෘත්තීය සමිති නියෝජිතයන්ට විදෙස් සම්මන්ත්‍රණවලට සහභාගී වීමට පහසුකම් සැලසීම
හේවාහැට අසුන පිට පිටම දෙවරක් ජය ගනියි
1959 වසරේ දී වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසමෙන් සිදු කළ සීමා නිර්ණයේ දී ගලහ ආසනයේ නම හේවාහැට ලෙසින් වෙනස් කරනු ලැබුවා. 1960 වසරේ මාර්තු මාසයේ දී පැවති මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය බහුතර ආසන ප්‍රමාණයක් ලබාගත්තත් රාජාසන කතාව පරාජයට පත්වීම නිසා නැවතත් මහා මැතිවරණයක් පැවැත්වීමට සිදු වුණා. ඒ අනුව 1960 වසරේ ජූලි මාසයේ දී පැවති මහා මැතිවරණයේ දී සිරිමා බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කළා. ඒ අනුව ඇය ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය ලෙසින් අභිෂේක ලැබුවා. එසේ පැවැත්වුණු මැතිවරණ ද්විත්වයේ දීම ටී.බී. ඉලංගරත්න හේවාහැට අසුන සඳහා තරග වැදී ජයග්‍රහණය ලබාගත්තා. පහත දැක්වෙන්නේ එම මහා මැතිවරණවල ප්‍රතිඵල සටහන් වුණු ආකාරය යි.
1960 මාර්තු මහා මැතිවරණය
ටී.බී. ඉලංගරත්න (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)- ඡන්ද 5570
ආර්.එම්.සී රත්නායක (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද- 2909
1960 ජූලි මහා මැතිවරණය
ටී.බී. ඉලංගරත්න (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)- ඡන්ද 7181
අනුර ඩැනියල් (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද- 7055
රජයේ ඉහළම ඇමති තනතුරු දෙකක රාජකාරි පැවරෙයි
1960 වසරේ ජූලි මාසයේ දී බලයට පත්වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාණිජ, ආහාර සහ නාවික ඇමති තනතුර හිමි වුණේ ටී.බී. ඉලංගරත්නට යි. ඔහු එම තනතුරේ වැඩ කටයුතු කරමින් සිටින අතරතුර මුදල් ඇමති තනතුර හිමි වුණා. ඒ 1962 වසරේ දී යි. එලෙස ඉලංගරත්නට මුදල් ඇමතිකම පැවරීමට හේතු වුණේ එවකට මුදක් ඇමතිවරයා ලෙසින් කටයුතු කරමින් සිටි ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායකගේ ක්‍රියා කලාපයට ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් විරුද්ධ වීම යි. ඒ අනුව 1960-1965 අතර කාල සමයේ දී මෙතුමාට රජයේ ප්‍රබල ඇමති තනතුරු දෙකක රාජකාරි කිරීමට සිදු වුණා. පහත දක්වා ඇත්තේ එම කාල සමය තුළ ඔහු ඉටු කළ සුවිශේෂී සේවාවන් පිළිබඳව යි.
1) තෙල් ජනසතු කිරීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බිහිකිරීම
2) රක්ෂණ ජනසතු කිරීම සඳහා රක්ෂණ සංස්ථාව ආරම්භ කිරීම
3) ජාතික ලොතරැයි මණ්ඩලය බිහි කිරීම
4) මහජන බැංකුව බිහිකිරීම
ඉලංගරත්න කොළොන්නාවේ දේශපාලනයට පැමිණි හැටි
1965 වසරේ පැවති මහා මැතිවරණයේ දී ටී.බී. ඉලංගරත්න හේවාහැට ආසනය පරාජයට පත් වුණා. එවර මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ අනුර ඩැනියල් වැඩි ඡන්ද 1403කින් හේවාහැට ආසනය ජයග්‍රහණය කළා. එලෙස ලද මැතිවරණ පරාජයත් සමග පාර්ලිමේන්තු වරම් අහිමි වුණු ඉලංගරත්නට යළි පාර්ලිමේන්තු වරම් හිමි වුණේ 1967 කොළොන්නාව අතුරු මැතිවරණය හරහා යි. එම මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කිරීම සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් සාකච්ඡා කළා. එලෙස සාකච්ඡා පවත්වන අතරතුර කොළොන්නාව අතුරු මැතිවරණය සඳහා ඉලංගරත්නව ඉදිරිපත් කරන ලෙස එම ප්‍රදේශයේ ජනතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටියා. නමුත් උඩරැටියෙකු වුණු ඉලංගරත්නට පහතරට ඡන්ද ලබාගැනීම සඳහා ඇති හැකියාව පිළිබඳව නිදහස් පක්ෂයේ ඉහළ නායකයන් දෙගිඩියාවෙන් පසු වුණා. අවසානයේ දී මහජනතාවගේ ඉල්ලීමට සවන් දුන් නිදහස් පක්ෂය ඉලංගරත්නව කොළොන්නාව අතුරු මැතිවරණය සඳහා ඉදිරිපත් කළා. එදා මහජන එක්සත් පෙරමුණේ කුසුමා ගුණවර්ධන සමග පැවති අතුරු මැතිවරණ සටනෙන් ජයග්‍රහණය ලබාගත් ඉලංගරත්න වැඩි ඡන්ද 3,363ක් ලබාගත්තා. ඉන් අනතුරුව යළි පාර්ලිමේන්තුවට පිවිසි ඉලංගරත්න 1970 වසර වන තුරු විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙසින් කටයුතු කළා.
පාර්ලිමේන්තුව නියෝජනය කළ අවසන් වසර හත
1970 මහා මැතිවරණයේ දී යළිත් කොළොන්නාව ඡන්ද සටන පැවතුණේ ටී.බී. ඉලංගරත්න සහ කුසුමා ගුණවර්ධන අතර යි. එවර මහා මැතිවරණයේ දීත් කුසුමා ගුණවර්ධන අභිබවා ගිය ටී.බී. ඉලංගරත්න වැඩි ඡන්ද 8836කින් කොළොන්නාව අසුන ජයග්‍රහණය කළා. ඉන් පසුව බලයට පත්වුණු සමගි පෙරමුණු රජයේ දේශීය සහ විදේශීය වෙළඳ අමාත්‍ය තනතුර හිමි වුණේ ටී.බී. ඉලංගරත්නට යි. එදා සමගි පෙරමුණු රජය දියත් කළ ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රතිපත්තිය නිසා මෙරට භාණ්ඩ හිඟයක් ඇති වුණා. එලෙස රට තුළ ඇතිව තිබුණු භාණ්ඩ හිඟය සමනය කිරීම සඳහා රජය ගත් එක් පියවරක් වුණේ සහල් පොලු සහ මිරිස් පොලු දැමීම යි. එහි ප්‍රතිඵලයක් වශයෙන් එක් ප්‍රදේශයක සිට තවත් ප්‍රදේශයකට සහල් සහ මිරිස් ගෙනයාම තහනම් වුණා. ඒ අනුව එම භාණ්ඩ බෙදාහරිනු ලැබුවේ රජයේ පාලනය යටතේ යි. රජය අනුගමනය කළ එවැනි ක්‍රියාමාර්ග නිසා ඉලංගරත්න වෙළඳ අමාත්‍යවරයාට විරුද්ධවාදීන් වාග් ප්‍රහාර එල්ල කළා. එසේම ජනතා ද එතුමාට දෝෂාරෝපණය කළා. එලෙස වසර 7ක් පැවති සමගි පෙරමුණු පාලනය අවසන් වුණේ 1977 වසරේ පැවති මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ 5/6ක බලයකින් යුත් දැවැන්ත ජනවරමක් ලැබීම නිසා යි. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැවැන්ත පරාජයක් ලැබීමෙන් පසුව එම පක්ෂයේ සමහරු විසින් ඉලංගරත්නට චෝදනා කළේ රට තුළ පැවති හාල් පොලු, මිරිස් පොලු සහ භාණ්ඩ පෝලිම් රජය පරාජයට පත්වීම සඳහා හේතු වුණු බවයි. එවර මහා මැතිවරණයේ දී සුපුරුදු පරිදි කොළොන්නාව අසුන සඳහා තරග කළ ඉලංගරත්න එක්සත් ජාතික අපේක්ෂක වීරසිංහ මල්ලිමාරච්චි හමුවේ පරාජය වුණා. එහි දී මල්ලිමාරච්චි වැඩි ඡන්ද 5218ක් ලබාගෙන තිබුණා.
1977 වසරෙන් පසුව කෙටි කාලයක් දේශපාලනයේ නිරත වුණු ඉලංගරත්න පසුව මහජන පක්ෂයට සම්බන්ධ වී එහි මුල්ම සභාපතිවරයා බවට ද පත් වුණා. එම පක්ෂය තුළ වසර කිහිපයක් රැඳී සිටි ඔහු 1986 වසරේ දී සිය දේශපාලන දිවිය අවසන් කළා.