ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමෙන් පසු ආණ්ඩුවට බාරවෙනවා වෙනුවට තම දේශපාලන මතවාදය රහසිගතව සිටිමින් ජනතාව අතරට ගෙනයාමට විජේවීර තීරණය කරනවා. ඔහුට එවකට රටේ නායකයා වූ ජේ. ආර්. ජයවර්ධන කෙරෙහි විශ්වාසයක් පැවතුණේ නැහැ. මේ නිසා ආණ්ඩුවට බාරවෙන්නැයි කළ ඉල්ලීම් ඔහු නොසලකා හරිනවා. නමුත් රහසිගතව සිටින ගමන්ම පක්ෂ තහනම ඉවත්කර ගැනීමට දැඩි උත්සාහයක නිරත වෙනවා.
ඔත්තුවට පනස් දාහක්
ආණ්ඩුව නිවේදනයක් මඟින් ඉල්ලා සිටින්නේ රෝහණ විජේවීර සහ උපතිස්ස ගමනායක යන දෙදෙනා ගැන ඔත්තුවක් දෙන කෙනෙකුට රු. 50000ක් බැගින් ත්‍යාග ලැබෙන බව යි. මේ අතර පක්ෂයේ මහලේකම්ව සිටි ලයනල් බෝපගේ පක්ෂය තහනම් කළ දිනවලම තම නිවසේ සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. බෝපගේ පසුව පක්ෂයෙන් ඉවත් වෙනවා. දේශපාලන මණ්ඩල සභික සෝමරත්න කළුආරච්චිත් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වෙනවා.
සැඟව සිටින විජේවීර 1983 ඔක්තෝබරයේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනට ලිපියක් යවනවා. පක්ෂය තහනම් කිරීමට හේතුව බොරුවක් බව ඔහු එහි සඳහන් කරනවා. මේ එහි කොටසක්;
“ජනතා පරමාධිපත්‍යයට එරෙහි වන කිසිදු කටයුත්තක් ජවිපෙ මඟින් සිදු නොකර යි. පොදු ජනතාවගේ බහුතරයක් ස්වකැමැත්තෙන් ජවිපෙ සමාජවාදී වැඩසටහන අපේක්ෂා නොකරන තාක් මෙම පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂයේ කටයුතු කරනු ඇත. ජවිපෙ කුමන්ත්‍රණකාරී සංවිධානයක් නොවේ. එමඟින් ප්‍රචණ්ඩත්වය ප්‍රචාරය කරන්නේ නැත. ජූලි මාසයේ සිදු වූ නින්දිත ක්‍රියාවලට ජවිපෙ කිසිදු සම්බන්ධයක් නැති අතර එය අප විසින් පිළිකුලෙන් යුතුව තරයේ හෙළා දකිමු. 1983 ජූලි මාසයේ සිදුවුණු අවාසනාවන්ත සිදුවීම්වලට ජවිපෙ සම්බන්ධයක් නොමැති බව අපරාධ විමර්ශන අංශයේ සොයාගැනීම්වලින් තහවුරු වී ඇත”.
ඊට අමතරව විජේවීර අග්‍රවිනිශ්චයකාරවරයාට ද ලිපියක් ලියමින් ඉල්ලා සිටින්නේ පක්ෂ තහනම ඉවත් කිරීමට සහයෝගය දෙන ලෙස යි. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ මානව හිමිකම් සංවිධානවලින් ද ඔහු ඉල්ලීම් කරනවා. නමුත් ආණ්ඩුව ජවිපෙ තහනම ඉවත් කිරීමට උනන්දු වන්නේ නැහැ. විජේවීර තම පක්ෂ හිතවතුන් සමග මුලින්ම සැඟව සිටියේ සෙල්ලකතරගම, පූනගල හා කොස්ලන්ද අවට පෙදෙස්වල යි. ටික කලකින් ඔහු තම සැඟවුණු ස්ථාන වෙනස් කරනවා.
සැඟවුණු දේශපාලනය
1984 දී මැණික් ව්‍යාපාරිකයෙකු ලෙස වෙස්වලාගෙන විජේවීර නවතින්නේ පූඬලුඔය ඩන්සිනන් වතුයායේ වෛද්‍ය ජයතිලකගේ නිල නිවසේ යි. වෛද්‍යවරයා ඔහු විජේවීර බව දැනසිටියේ නැහැ. නමුත් පසුව ඔහු ඒ ගැන දැනගන්නවා. මේ වෛද්‍ය ජයතිලක විජේවීර ගැන පසුදිනෙක දිවයින පුවත්පතට කියා තිබූ අදහසක්; ”ලෝකයේ ඔහු වැනි මිනිසුන් ඉතා විරල ඇතැයි මා සිතනවා. ඔහු හැම විෂයයක් ගැනම මනා ලෙස හදාරා තිබුණා. හැම දෙයක් ගැනම විද්‍යාත්මක විග්‍රහයක් ඔහුට තිබුණා. පරිපාලනය ගැනත් වෛද්‍ය විද්‍යාව ගැනත් එකල තරුණ වෛද්‍යවරයෙකු වූ මට ඔහු කියා දුන්නා.”
“පොදුවේ දරුවන් කෙරෙහි ඔහු තුළ තිබුණේ විශාල ආදරයක්. මගේ දියණිය ලැබෙන්නට ආසන්නව සිටිය දී මගේ බිරිඳ සිටියේ ඉතා අපහසුවෙන්. ඇයට රාත්‍රියට නින්ද ගියේ නැහැ. ඔබ විශ්වාස කරනව ද, දහවල් කාලයේ සමහර විට දවස් දෙක තුන දේශපාලන කටයුතු සඳහා මගේ නිවෙසින් බැහැර ගොස් බරපතල දේශපාලන කාරණා ගැන වෙහෙසව එන මේ මිනිසා, මගේ බිරිඳගේ මානසික තත්ත්වයත් අපහසුවත් තේරුම් ගෙන සමහර දිනවල බොහෝ රෑ බෝ වන තෙක් ඇයට සහනයක් වන්නට ඇය සමග කතා කරමින් කැරම් ක්‍රීඩා කරනවා. කොටින්ම මගේ කුළුඳුල් දියණිය උපදින විට මගේ බිරියට උපදෙස් දෙමින් උදව් උපකාර කළේ රෝහණ විජේවීර”.
චිත්‍රාංගනීත් රහසිගත ජීවිතයට
විජේවීර ගෙවූ රහසිගත ජීවිතයට විජේවීරගේ බිරිය සහ දරුවන් දෙදෙනා ද එක්වන්නේ 1984 දී යි. පක්ෂය විසින් මුලින්ම ඔවුන්ට ලබාදෙන්නේ හල්දුම්මුල්ලේ හාල්ඇටතැන්නේ ආනන්ද විද්‍යාලය අසල නිවසක්. පක්ෂයේ සාමාජිකයෙකු විසින් රු. 135000ක් ගෙවා එය මිල දී ගෙන තිබුණා. විජේවීරගේ දරුවන්ගෙන් තෙවන දියණිය මායා විභූති උපන්නේ 1984 ජුලි 24 වැනි දා බදුල්ල මහ රෝහලේ දී යි. සිව්වන දරුවා 1987 ජනවාරි 20 වැනි දා හල්දුම්මුල්ලේ හාල්ඇටතැන්න රෝහලේ දීත්, පස්වැනියා 1988 මැයි 20 වැනිදා බදුල්ල නර්සිං හෝම්හිදීත් උපදිනවා. චිත්‍රාංගනී 1989 නොවැම්බර් 19 වැනි දා හමුදාවට භාරවන විට ගැබිනියක්ව සිටියා. එම 6 වැනි දරුවා උපන්නේ 1990 මැයි මාසයේ දී යි.
ඒ වන විට විජේවීර තම නම අත්තනායක මුදියන්සේලාගේ ශාන්ත නිමල්සිරි ලෙස වෙනස් කරගෙන තිබූ අතර, චිත්‍රාංගනී, සමරකෝන් ආරච්චිලාගේ ශ්‍රියානි චන්දිමා නම් වුණා. පසුව අත්තනායක මුදියන්සේලාගේ දීපානි ශ්‍යාමලි හා අත්තනායක මුදියන්සේලාගේ සුරනි විදීෂා ලෙස නම් දී තම වැඩිමහල් දියණිවරුන්ව වලහපුතැන්න මහා විද්‍යාලයට ඇතුළත් කිරීමට ද විජේවීර සමත් වෙනවා.
හල්දුම්මුල්ලේ සිටීම අනාරක්ෂිත බව හැඟෙන විට 1987 ජුලි මස සිට බණ්ඩාරවෙල නෙළුව ලෙව්ගොඩවත්තේ පදිංචියට යනවා. අක්‌කර දහතුනකින් සමන්විත මේ වතුයාය ජවිපෙ මිල දී ගෙන තිබුණා.
ඔවුන් අවසාන වරට සැඟවුණු ජීවිතය ගත කරන්නේ උලපනේ ශාන්ත මේරි වත්තේ යි. 1988 සැප්තැම්බර් 1 වැනි දා සිට 1989 නොවැම්බර් 12 වැනි දා අත්අඩංගුවට පත් වන තෙක් ඔවුන් දරුවන් සමග එහි ජීවිතය ගෙවනවා. උලපනේ දී විජේවීර හැසිරුණේ වතුහිමි පුද්ගයෙකු වශයෙන්. වතු පාලක ජීවිතයකට ගැලපෙන පරිදි මත්පැන් බෝතල් රැසක් ද එහි කබඩ්වල තබා තිබුණා. එහිදී විජේවීර භාවිත කළේ 15 ශ්‍රි 7920 මිට්ෂුබිෂි ලාන්සර් වැගන් රථය යි. එම වාහන මොඩලය පසුව අත්තනායක මොඩල් නමින් හැඳින්වීමට පටන් ගත්තා.
දෙවැනි කැරැල්ල
පක්ෂ තහනම විසින් ජවිපෙ 1987 වන විට කැරැල්ලක් වෙතට ඇද දමනවා. එය 89 දක්වා පවතිනවා. ඉන්දියන් හමුදා විරෝධය වැනි කරුණු ද එයට බලපානවා. විජේවීර රහසිගතව සිටිමින් මෙම කැරැල්ලට නායකත්වය දුන්නා. ඔවුන්ගේ අරමුණ වූයේ සන්නද්ධ විප්ලවයක් මඟින් ආණ්ඩු බලය ලබා ගැනීමට යි. එයට එරෙහිව ආණ්ඩුව දැඩි මර්දනයක් ක්‍රියාත්මක කරමින් අහිංසක තරුණයන් පවා ඝාතනය කළා. දෙවන කැරැල්ල මුල් අවස්‌ථාවේ දී සහ මැද භාගයේ දී ජවිපෙ කෙරෙහි සුවිශේෂ ජනතා විශ්වාසයක් ගොඩනැඟී තිබුණ ද කැරැල්ල ඉදිරියට ඇදී යද්දී එය මුළු සමාජ ක්‍රමයටම එරෙහි අරගලයක් බවට පත්කිරීමට ජවිපෙ අසමත් වුණා. මානව හිමිකම් සංවිධාන වාර්තාවලට අනුව මෙම කැරැල්ලේ දී ඝාතනයට සහ අතුරුදන්වීමට ලක්වූ සංඛ්‍යාව 67652ක්. මින් කැරලිකරුවන් අතින් ඝාතනය වූ සංඛ්‍යාව 6661ක්. ඉතිරි 60 000ක පිරිස එවක රජය විසින් ඝාතනය කෙරුණා.
එවකට ජනතා විමුක්ති පෙරමුණ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නමින් තමන්ට එරෙහි වූවන් ඝාතනය කළා. එහි නායකයා වූයේ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සමන් පියසිරි ප්‍රනාන්දු යි. ඔහු හැඳින්වූයේ කීර්ති විජේබාහු නමින්.
හමුදා පවුල් ඝාතනය
දේශප්‍රෙමී ජනතා ව්‍යාපාරය මඟින් 1989 ජුලි නිකුත් කළ නිවේදනයකින් පැවසුණේ 1989 අගෝස්‌තු 20ට පෙර සේවයෙන් ඉල්ලා අස්‌වන ලෙසට ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට කළ නියෝගයක්. එය රටපුරා පෝස්‌ටර් මඟින් සහ පත්‍රිකා මඟින් ප්‍රචාරය කළා. අගෝස්‌තු 22න් පසු ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හමුදා සෙබළුන්ගේ පවුල් ඝාතනය ආරම්භ කළා. ජවිපෙ සාමාන්‍ය ජනතාවගෙන් ඈත්වීමටත් හමුදා සාමාජිකයන් තුළ එය කෙරෙහි වෛරයක් හට ගැනීමටත් මේ නියෝගය හේතු වුණා. එමෙන්ම කලින් පක්ෂය හා එක්ව සිට එය හැරගිය පුද්ගලයන් ද්‍රෝහීන් ලෙස සලකා ඝාතනය කිරීම ද ජවිපෙට වැරදුණු තැනක් ලෙස විචාරකයන් පවසනවා.
අවසන් සාකච්ඡාව
රටම භීෂණයෙන් ගිනිගෙන තිබුණා. ආණ්ඩුව විසින් හිතුමතේ තරුණයන් ඝාතනය කර ටයර් සෑයවල ගිනි තබමින් සිටියා. ඒ අතර ජවිපෙ දේශපාලන මණ්ඩලය විජේවිරගේ නායකත්වයෙන් 1989 නොවැම්බර් 11 දින ගලහ අරලිය උයනේ පක්ෂයට අයත් නිවසේ දී පවත්වනවා. මේ වන විට දේශපාලන මණ්ඩලයේ ඩී.එම්. ආනන්ද 1989 ඔක්තෝබර් 29 වැනි දා ද, ගුණරත්න වනසිංහ 1989 නොවැම්බර් 10 වැනි දා ද අත්අඩංගුවට පත්වී සිටියා. ඔවුන්ගෙන් විජේවීර සැඟව සිටින තැන ගැන හෙළිවීමේ අවදානමක් තිබුණා. මේ නිසා දේශපාලන මණ්ඩල සාකච්ඡාව ඉක්මනින් නිමකර විජේවීර උලපනේ නිවසට යනවා. චිත්‍රාංගනී පවසන පරිදි අවසාන වරට රෝහණ පදිංචි වී සිටි උලපනේ නිවස දන්නේ ගමනායක, සමන් පියසිරි, හේරත්, පියදාස රණසිංහ, සෝමවංශ, වනසිංහ සහ ඩී.එම්. ආනන්ද පමණයි.
විජේවීර අත්අඩංගුවට
දිනය 1989 නොවැම්බර් 12 වැනි දා යි. වේලාව පස්වරු 2.05 පමණ වුණා. විජේවීර සිටියේ සාලයේ පොතක් බලමින්. ඒ වෙලාවේ වත්තට වාහන දෙකක් පැමිණියා.
මුලින්ම ආවේ දේශපාලන මණ්ඩල සභික පියදාසගේ මෝටර් රථය යි. ඉන් විනාඩි 2කට පසු පැමිණි ඩෙලිකා සුදු වෑන් රථයෙන් සිවිල් ඇඳුම් ඇඳගත් පිරිසක් පැමිණියා. ඔවුන් හමුදා නිලධාරින්. එහි සිටි හමුදා නිලධාරින් අතර සිටියේ කර්නල් ජානක පෙරේරා, කපිතාන් ගාමිණී හෙට්ටිආරච්චි සහ කරුණාරත්න යි. “ඔබ විජේවීර බව අපි දන්නවා. අපි ඔබ අත්අඩංගුවට ගන්නවා” යයි හමුදා නිලධාරින් කිව්වා.
හමුදා නිළධාරින් සමග රෝහණ පිටත්වීමට ප්‍රථම චිත්‍රාංගනීට කියා සිටියේ දරුවන්ගේ ආගම වෙනස් නොකරන ලෙස යි. ලොකු දුවගේ ඔළුව අතගා හොඳට ඉගෙන ගන්නා ලෙස ද, දෙවන දියණියගේ ඔළුව අතගා වෛද්‍යවරියක වන ලෙස ද කියා සිටියා. මෝටර් රථයේ පිටුපස ආසනයේ මැද රෝහණ වාඩිවූ අතර දෙපැත්තෙන් කර්නල් ජානක පෙරේරා සහ කපිතාන් හෙට්ටිආරච්චි වාඩිවුණා.
පිටත්ව යන මෝටර් රථය නතර කර යළි පැමිණි කර්නල් ජානක පෙරේරා සහ විජේවීර නිවසේ දොරකඩට පැමිණ චිත්‍රාංගනීට යළි කථා කළා. විජේවීර සමගින් පැමිණි කර්නල් ජානක කියා සිටියේ මෙම ස්ථානයෙන් කඩිනමින් ඉවත් වී ආරක්ෂිත ස්ථානයකට යන ලෙස යි.
චිත්‍රාංගනී උලපනේ නිවසින් පිටත්වීමෙන් පසු නොවැම්බර් 12 වැනි දා රාත්‍රී 7ට පමණ ප්‍රේමදාස උඩුගම්පොලගේ නායකත්වයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් නිවස වටලා එය සෝදිසි කළා. විජේවීරගේ බිරිය චිත්‍රාංගනී දරුවන් 5 දෙනා ද සමග කොළඹ පැමිණ හමුදා මූලස්ථානයට ගොස් බාර වෙනවා.
ඇය පසුව හමුදාවට ලබාදුන් දීර්ඝ කටඋත්තරය විජේවිරගේ සැඟවුණු ජීවිතය ලෝකයට හෙළි කළා.
“රෝහණ විජේවීර සෑම විටකම කටයුතු කළේ සිය පවුල සහ දේශපාලනය කොටස් දෙකක් ලෙස වෙන් කර තැබීමෙනුයි. සාමාජිකයන් ඔහු හමුවීමට පැමිණෙන විට මට කියා තිබෙන්නේ කාමරය තුළ සිටීමට යි. සමහරවිට පක්ෂ සාමාජිකයන් රාත්‍රියේ නිවසේ සිටින විට මගේ කෑම පවා මම කාමරය තුළට ගෙන්වා ගන්නවා.”
විජේවීර මරා දමයි
අත්අඩංගුවට පත්වූ විජේවීරගේ ප්‍රකාශයක් ජාතික රූපවාහිනිය මඟින් විකාශය කළා. ඊට පසු 1989 නොවැම්බර් 13 වැනි දා ඔහු සහ උපතිස්ස ගමනායකත් ආණ්ඩුව විසින් ඝාතනය කෙරුණා. ඔහුගේ ජීවතුන් අතර සිටියදීම සිරුර බොරැල්ල කනත්තේ දී පුළුස්සා තිබුණු බව කියවෙනවා. නමුත් ආණ්ඩුව නිවේදනය කළේ විජේවීර සහ දේශපාලන මණ්ඩල සභික එච්. බී. හේරත් අතර වූ වෙඩි හුවමාරුවක දී ඔහු මියගිය බව යි.