1947 ජුනි මස 03 වන දින කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ’ දී සමරවීර මුදලිගේ දොන් සයිමන් ද අල්විස් සහ මැස්ටියගේ අමරාදී ගුණතිලක යන අයට දාව එදා උපදින පුංචි පුතු නමින් සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් විය. මාලිගාකන්ද මහ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා, ද්විතීක අධ්‍යාපනය සඳහා කොළඹ අානන්ද විද්‍යාලයට පිවිසෙන ප්‍රේම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පාසලේ සිටි අානන්දනීය සිසුවෙකි. ඔහු පාසලේ සඟරා කිහිපයක සම සංස්කාරක හා සංස්කාරක ධූර ද හොබවා තිබුණි.
නිවේදක වෘත්තියට පිවිසීම
පුංචි කාලයේ සිටම නිවේදනයට අැල්මක් දක්වන ප්‍රේම්ගේ ලෝක්‍ෙ වීරයින් වූයේ ඩී. ඒම්. කාෙළඹගේ, කරුණාරත්න අබේසේකර, සරත් විමලවීර, චිත්‍රානන්ද අබේසේකර, තේවිස් ගුරුගේ, ප්‍රොස්ෆර් ප්‍රනාන්දු හා තිලක සුධර්මන් ද සිල්වා වැන්නන් ය. ඒ නිසාම ඔහු වයස අවු. 10 දී පමණ ළමා වැඩසටහන් ඔස්සේ ගුවන් විදුලියට පිවිසෙයි. 1961 දී ළමා ශිල්පී හඬ පරීක්ෂණයෙන් සමත් වන ප්‍රේම් 1966 දී විකට වැඩසටහන් පරීක්ෂණයෙන් ද සමත් ව 1967 දී සහන නිවේදකයෙකු ලෙස රේඩියෝ සිලෝන් ආයතනයට සම්බන්ධ වේ. 1971 දී පමණ ස්ථීර නිවේදකයෙකු ලෙස ගුවන් විදුලියට සම්බන්ධ වන ඔහු 1974 දී ස්ථීර වැඩසටහන් සම්පාදකයෙකුව, 1975 දී ස්ථීර වැඩසටහන් නිෂ්පාදකවරයෙකු බවට ද පත්විය. ඉන්පසු ඔහු “ශනිදා සාදය, සොදුරු සෙවණ, සැරිසර පුවත්’’ ආදී විවිධ වැඩසටහන් මෙහෙයවමින්, “සැරිසර පුවත්’’ ඔස්සේ ශ්‍රාවකයාට වඩාත් සමීප වන්නේ වැඩසටහනකට අසන්නන් සජීවීව සම්බන්ධ කරගැනීම හඳුන්වාදෙමිනි. නව්‍ය අත්දැකීමක් වූ එය බොහෝ පිරිසක් ප්‍රේම් වටා එක්රොක්වීමට ප්‍රමුඛ සාධකයක් වූ බව කිව හැකි ය.
නිවේදක වෘත්තියෙන් ඔබ්බට ද දස්කම් පෑ ප්‍රේම්…
ප්‍රේමකීර්ති ද අල්විස්’ නිවේදන ශිල්පියෙකු වශයෙන් මෙන්ම පද්‍යකරණයට ද අපූර්ව දස්කම් පෑ අයෙකි. රූපා ඉන්දුමතී සහ මල්කාන්ති නන්දසිරි ගයන ‘හද පුද අසුනේ සෙනෙහස මැවුණා’ ගීතයෙන් 1969 දී ගී පද රචනයට අවතීර්ණ වන ඔහු, කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා විසින් අධ්‍යක්ෂණය කළ ‘ලොකුම හිනාව’ චිත්‍රපටයේ ෆ්‍රෙඩී සිල්වා ගායනා කළ ‘පරණ කෝට්’ ගීතය ද එම වසරේ දී ම රචනා කරන්නේ ය. එතැනින් ගී පද රචකයෙකු වශයෙන් ද ජනප්‍රියත්වයට පත්වන ප්‍රේම් පසුකාලීනව සිංහල සංගීතයට අපූරු ගීත රැසක් දායාද කරන ලදී. හාස්‍යය හා උපහාසය ඔහුගේ ගී පද නිර්මාණවල මුඛ්‍ය රසයන් වූ අතර ආදරය, අනුරාගය, මානවවාදය, හා විවිධ සමාජ කාරණා ඔස්සේ ද ඔහු විසින් ගී ලියැවිණි. එම ගීත මිනිසුන්ගේ හදවතට බොහෝ සමීප වූ බව ද නොරහසකි. පහත දැක්වෙන ගීත ගොන්න ඊට නිදසුන් කිහිපයකි.
“ආදර ගඟුලෙහි, ආදරණීය නේරංජනා, ආදරයේ උල්පත වූ අම්මා, අකුරු සතරකින්, අඳුර බිඳින්නට, අපි හැඟුම්වලට, අවසර නැත මට, බංගලි වළලු, චාරු දේහේ නුරා, දෙදෙනා පෙරදා, දෑවැදි දෙන්නට, දෙව්රම් වෙහෙරේ, දිනෙක රන්සළු පළඳා, දියළුම දිය ඇලි, එදා රෑ, එක මොහොතක්, එක යායේ කකා වැටී, එකම මඟක, ඈත දිලිසෙන, හෙට දවසේ අප දෙදෙනා, හිමින් සැරේ පා නගනා, හිසේ ගිනි ඇවිලෙතේ, කන්ද කෙන්ද, කතරක තනිවී, කවුද ඔබ කවුරුන්දෝ, කෙදිනද කූඩු හදන්නට එන්නේ, ලොව නිසසල වී, මා එක්කලා, මා නිසා ඔබ, මඟ තොටදී, මල් වැහි සීතල මල් වැස්සේ, මේ නගරය, මී කැකුණ කැලේ, මීදුම් වළාවන්, මිහිරැති වසන්ත කාලේ, මිනිසෙකු පිට නැගි අසරුවෙකි, මියුරු කල්පනා, නෙල්ලි කැලේ, රැලකින් තනි වී, රන් මීවිත පුරවා, රන් සමනළයෝ, රටකින් එහා, රතු ගුරු පාරේ, රැයක් උපද්දා, සාගරය පරදා, සමනල රෑනක්, සමනලයා මල හා ළමයා සේ, සඳ කැන් වැසිලා, සඳ මිදුලට එනවා, සැන්දෑ යාමේ, සඳට අහස, සන්තෝෂ වෙන්න, සරතැස නිවා, සිකුරු තරුව රැයේ, සිතින් මා නොසැලී, සිතුම් පැතුම් සඳ ආදරේ, තනි තරුවේ, තරු අත් අකුරින්, තැටිය මැද්දෙ, විශාඛාව ඔබ’’ ආදී තවත් බොහෝ ගීත ඔහු අතින් ලියැවිණි.
ප්‍රේමකීර්ති ඝාතනය
ජනප්‍රියත්වය වැඩිවෙත්ම ප්‍රේමකීර්ති ද දේශපාලනයේ ගොදුරක් බවට පත්වන්නේ 1977 වකවානුවේ දී ය. ගුවන් විදුලියේ විසූ ඇතැමුන් ප්‍රේම්ගේ කීර්තිය දරාගනු නොහැකිව පළිගැනීමේ චේතනාවෙන් පරිපාලන තන්ත්‍රය ක්‍රියාකරවන්නේ ඔහුගේ වැඩ අහේතුකව තහනම් කොට අනිවාර්යය නිවාඩු යවමින් ය. අභූත චෝදනා කරමින්, කටකතා පතුරවමින් නිගා කොට සේවයෙන් නෙරපා හැරීම හේතුවෙන් දැඩි කම්පනයකට ලක්ව සිටි ප්‍රේම් හට විනය කමිටුව විසින් නැවතත් රාජකාරියට අවස්ථාව දුන්නේ මේ සිදු වූ කිසිවක් අසන්නන්ට දැන ගැනීමට නොතබන ලෙස බල කරවමිනි. මේ පිළිබද ආවේගයෙන් දිනෙක ශබ්දාගාරයට ඇතුළු වන ඔහු සජීවි වැඩසටහනක් ගුවන් ගතවන අතරතුර ඕනෑකමින්ම මේසය පැත්තක තිබූ පුටුවක් ඇද වට්ටා, ඉනික්බිතිව තම ශ්‍රාවකයා වෙත මෙසේ පවසයි.
“සමාවෙන්න හිතවතුනි, මම ප්‍රේමකීර්ති ද අල්විස්. නැවතත් ඔබ හමුවට ආවා. ඒ ඔබට ඇසුණු විශාල ශබ්දය පුටුව පෙරළෙන ශබ්දය මිසක් මම වැටුණ ශබ්දය නෙවෙයි’’
මේ හේතුවෙන් නැවතත් ඔහුට අනුරාධපුර ‘රජරට සේවයට’ දඩුවම් මාරුවක් ලබාදෙන අතර, එහි දී ඔහුට ඔහු සේම දේශපාලන පළිගැනීම් වලට ලක්ව එහි පැමිණ සිටි ගුණදාස කපුගේ, රජරට සේවයේ රන්බණ්ඩා සෙනෙවිරත්න, කරුණාරත්න දිවුල්ගනේ, රත්න ශ්‍රී විජේසිංහ, ජයතිලක බණ්ඩාර, මහින්ද දිසානායක, හා ස්වර්ණ ශ්‍රී බණ්ඩාර යන නිර්මාණවේදීන් මුණගැසේ.
1988 පෙබරවාරි 16 වෙනි දා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති විකාශයක් අතරතුර හිටි හැටියේම එය නිවේදනය කළ නිවේදකයා මොහොතකට නිහඬ වෙයි. විනාඩි කිහිපයක නිහැඬියාවෙන් පසු නැවතත් එම නිවේදකයාගේ මුවින් අසන්නන්ට සන්නිවේදනය වන්නේ ඉතා ශෝකජනක පණිවුඩයකි. ඒ ජනප්‍රිය රංගන ශිල්පියෙකු මෙන්ම ක්‍රියාකාරී දේශපාලකයෙකු වූ විජය කුමාරතුංගයන් කුරිරු ඝාතනයකට ලක්ව ඇති බව යි. ඔව් ඒ පණිවුඩය හෙළිකළේ වෙන කවුරුත් ප්‍රේම් ය. 1989 ජුලි 31 වෙනිදා උදෑසන හයේ කණිසමට තවත් එවැනිම ශෝචනීය පුවතක් විකාශය වන්නට විය. ඒ, විජයගේ ඝාතනය පිළිබඳ නිවේදනය කෙරූ, ජනතාවගේ ප්‍රේමණීය හඬ වූ ප්‍රේමකීර්ති ද අල්විස් නාදුනන පිරිසකගේ වෙඩි උණ්ඩයකට බිලි වී ඇති වග ය. එදින මැදියම් රැයේ දී නාදුනන කල්ලියක් ප්‍රේම් විසූ නිවසට පැමිණ ඔහුව අඳුරේම එළියට ඇදගෙන ගොස් ඝාතනය කොට තිබිණි. නිවසට යාබද කාණුවක තිබී ඒ සොදුරු මිනිසාගේ නිසල දේහය ඊට පසු දා ගම්වාසීන් විසින් සොයා ගෙන ඇත. ඔහුගේ බිරිඳ නිර්මලා, දියණිය සුරංගි, සහ පුතු පූර්ණ මෙන්ම සදාදරණීය සහෘදයින් පවා තවමත් ඒ අඳුර සමග පීඩා විඳින වග කණගාටුවෙන් වුව ප්‍රකාශ කළයුතුම සත්‍යයකි. “බලය’’ කවදත්, කොතැනත් “දූෂිත’’ බවට මෙය ද සාක්ෂි දරනු ඇත.
මෑතක දී ප්‍රේමකීර්තිගේ බිරිඳ විසින් ලියන ලද “ප්‍රේමකිර්තිනී” කෘතියේ ඔහු පැහැරගත්තවුන් පිළිබඳව තොරතුරු ඈ විසින් හෙළි කර තිබිණි. කීප වරක්ම ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිධුරය හෙබවූ, පසුව පැවති ආණ්ඩු කීපයකම සමීප ආධාරකරුවෙකු ලෙස කටයුතු කළ අයෙකු පැහැරගත්තවුන් අතර සිටි බව ඈ ප්‍රකාශ කරන්නී ය.
මූලාශ්‍රයයන්:
premakeerthidealwis.com
sinhalasongbook.com