බොරළුගොඩ සිංහයාගේ රැඩිකල් දේශපාලනය

ගුණවර්ධන දේශපාලන පරම්පරාවේ ආරම්භකයා වන පිලිප් ගුණවර්ධන මෙරට විප්ලවීය අරගලකාරී දේශපාලනයේ කීර්තියක් ඉසිලූ චරිතයක්. යටත් විජිත යුගයේ දී ඉංග්‍රිසින්ට අභියෝග කළ මේ දේශපාලනඥයා ඔහුගේ එඩිතර පැවැත්ම නිසා ජනතාව වෙතින් “බොරළුගොඩ සිංහයා” යන දේශපාලන විරුදාවලිය හිමිකර ගත්තා.

 ප්‍රතාපවත් බොරළුගොඩ වලව්ව -walawwa facebook page

බොරළුගොඩ වලව්ව

ගුණවර්ධන උපන් බොරළුගොඩ වලව්ව අවිස්සාවේල්ලට නුදුරු කොස්ගම ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. අක්කර 30ක් විශාල ඉඩමක පිහිටි මේ ඉපැරණි නිවෙස අදත් පුරාණ ස්වරූපයෙන් දැක ගත හැකි යි. 1900 මුල් කාලයේ මේ නිවස තැනුවේ වතුපිටි ව්‍යාපාර තිබූ පළාතේ ප්‍රභුවරයකු වූ “බොරළුගොඩ රාලහාමි” යි. ඔහුගේ නම දොන් ජැකොලිස් රූපසිංහ වුණා.
බොරළුගොඩ රාලහාමිගේ පුතුන් වුණු පිලිප් ගුණවර්ධන මෙන් ම පවුලේ බාල පුතු වූ රොබට් ගුණවර්ධන ද කැලණි මිටියාවතේ ජනතාවගේ ආදරයට ලක්වුණු ඉංග්‍රීසි පාලකයන්ගේ උදහසට නිතර ලක්වුණු චරිත දෙකක්. රටේ යහපත සඳහා පෙරමුණ ගත් පිරිසක් බිහි කළ ගුණවර්ධන පවුලට අදටත් ජනතාව කෘතවේදී ව සලකනවා.

පිලිප්ගේ වැඩිමහල් දියණිය සමසමාජ නායකයකු වූ ලෙස්ලි ගුණවර්ධන සමඟ විවාහ වී විවියන් ගුණවර්ධන නමින් දේශපාලනයට පිවිසෙනවා. පිලිප්ගේ පුතුන් වූ හිටපු අමාත්‍ය ඉන්දික ගුණර්වන, ගීතාංජන ගුණවර්ධන, ප්‍රසන්න ගුණවර්ධන දේශපාලනයේ නිරත වූ අතර තවත් පුතෙක් වූ දිනේෂ් ගුණවර්ධන තවමත් ක්‍රියාකාරී දේශපාලන චරිතයක්.

 පිලිප් බිරිය හා දූදරුවන් සමඟ – bbc.com

ජීවන තතු 

1901 ජනවාරි 11 වන දින දොන් ජැකොලිස් රූපසිංහ ගුණවර්ධන සහ ලිනෝරා ගුණසේකර නම් යුවළට බොරළුගොඩ පවුලේ සිව්වන පුතා ලෙසයි පිලිප් ගුණවර්ධන උපන්නේ. ඔහු දරුවන් අටදෙනකුගෙන් යුත් පවුලක සාමාජිකයෙක් වුණා.

පිලිප් ගුණවර්ධන තම පාසල් අධ්‍යාපනය ඇරඹුවේ ගමට නුදුරු අවිස්සාවේල්ල පාසලෙන්. පසුව මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙත් ඔහු ඉගෙනගෙන තිබෙනවා. ඉගෙන ගැනීමට දක්ෂයකු වූ පිලිප් උසස් අධ්‍යාපනයට ඇතුළත් වුණේ කොළඹ විශ්වවිද්‍යාල කොලීජියට යි. ඉංග්‍රීසි මෙන්ම සිංහල ද පිලිප් හොඳින් ප්‍රගුණ කර සිටියා.

මෙරට අධ්‍යාපනයෙන් පසු ඔහු අමෙරිකා එක්සත් ජනපදයේ ඉලිනොයිස් විශ්වවිද්‍යාලයට ඇතුළු වුණේ ආර්ථික විද්‍යාව හැදෑරීමට යි. ඉන් පසුව විස්කොන්සින් විශ්වවිද්‍යාලයේ කෘෂිකාර්මික ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියත් ලබා ගත් පිලිප් ගුණවර්ධන නිව්යෝක්හි කොළොම්බියා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබිමට පටන් ගත්තා. ඒ අතර තමයි ශිෂ්‍ය සංගම්වල රැඩිකල් දේශපාලනයට ක්‍රියාකාරී ව ඔහු සම්බන්ධ වුණේ. විශ්වවිද්‍යාල සමය තුළ ම ඔහු අධිරාජ්‍ය විරෝධී ක්‍රියාකාරියෙක් බවට පත් වුණා.

 දේශපාලන රැස්වීමක් අමතන පිලිප්- bbc.com

ලංකාවේ දේශපාලනයට 

අමෙරිකාවේ දී එක්සත් ජනපද ලීගය නම් දේශපාලන සංවිධානයේ අධිරාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට පිලිප් ද එක් වුණා. ඔහු සතු චතුර ලෙස කතා කිරීමේ හැකියාව නිසා රැස්වීම්වල කථිකයෙක් ලෙසත් ජනප්‍රිය වුණා. ඉන් පසු පිලිප් ගුණවර්ධන එන්නේ හිරු නොබසින අධිරාජ්‍ය යේ තිඹිරිගෙය වන එංගලන්තයට යි. එහිදී ලොව ශ්‍රේෂ්ඨ දේශපාලන ක්‍රියාකාරීන්ගේ ඇසුරෙන් පන්නරය ලැබීමට ඔහුට අවස්ථාව ලැබුණා. එමෙන් ම මාක්ස්වාදී විමුක්ති ව්‍යාපාර නායකයක් හමුවෙමින් ලත් දේශපාලන අත්දැකීම්ද ඔහු සතු වුණා. ඒ වනවිට දේශපාලන දර්ශනය අතින් ඔහු “ට්‍රොට්ස්කිවාදියකු” බවට පත් ව සිටියා.

1932 වසරේ තරුණ පිලිප් ගුණවර්ධන එංගලන්තයේ සිට ලංකාවට පය තබනවා. පිලිප් මෙරටට පැමිණි කාලයේ ලංකාවේ ප්‍රබල වාමාංශික දේශපාලන සංවිධානයක් තිබුණේ නැහැ.

 සූරියමල් ව්‍යාපාරයේ පුරෝගාමිහු – roar.lk

සූරිය මල් ව්‍යාපාරය‍

මේ කාලයේ ඉංග්‍රීසින් හමුදා සුබ සාධන කටයුතුවලට ආධාර එකතු කිරීමට පොපිමල් ව්‍යාපාරය ආරම්භ කර තිබුණා. එවකට සිටි පිලිප් ඇතුළු වාමාංශික ක්‍රියාකාරීන් සූරියමල් ව්‍යාපාරය ආරම්භ කරන්නේ අධිරාජ්‍ය විරෝධී ශ්‍රී ලාංකික ජාතික ව්‍යාපාරයේ කොටසක්‌ ලෙස යි. එහි ආරම්භක දිනය ලෙස සැලකෙන්නේ 1933 නොවැම්බර් මස 11 වැනි දා යි. මෙම සංවිධානය සඳහා පිලිප් ගුණවර්ධන සමඟ දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, , ලෙස්ලි ගුණවර්ධන යන උගත් ධනවත් තරුණ පිරිසක් මූලිකත්වය ගන්නවා.

ලංකාවේ වාමාංශික දේශපාලනයේ මුල් බීජය ලෙස සූරිය මල් ව්‍යාපාරය සඳහන් කළ හැකි යි. 1934 දී තුන් කෝරළේ ඇතුළුව රට පුරා පැතිර ගිය මැලේරියා උණ වසංගතයෙන් දහස් ගණනක් ජනතාව මරණයට පත්වන විට අවදානම නොතකා ජනතාව අතරට ගිය සූරිය මල් ව්‍යාපාරයේ නායකයන් ආධාර එකතු කරමින් රෝගීන්ට ප්‍රතිකාර කරමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දී ගැමියන් ගලවා ගැනීමට පෙරමුණ ගත්තා. බොරළුගොඩ වලව්ව මෙම ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබුණා.

 සමසමාජ නියමුවෝ – indrakiilaya.wordpress.com

ලංකා සමසමාජ පක්ෂය

සූරිය මලින් නොනැවතුණු මෙම ඉංග්‍රීසි කතා කරන උගත් තරුණ පිරිසට ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයට අභියෝග කිරීමේ දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍ය වුණා. ලංකා සමසමාජ පක්ෂය 1935 දෙසැම්බර් මස 19 වැනිදා ඔවුන් ආරම්භ කළේ ඒ සඳහා යි. සමසමාජය බිහි කිරීමට පිලිප් ගුණවර්ධන පුරෝගාමී මෙහෙයක් ඉටුකළ අතර දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ, ආචාර්ය එන්.එම්.පෙරේරා, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන ඇතුළු සියලු වාමාංශික නායකයන් පිරිසක් ද එයට එකතු කර ගත්තා.

මේ සියලු දෙනා ම විදේශීය අධ්‍යාපනය සහිත උගතුන්. ලංකා සමසමාජ පක්ෂය මුල් වරට දේශපාලනයට එක්වූයේ 1936 දී පැවැත්වූ දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයට තරග කරමින්. එහිදී අවිස්සාවේල්ල රදල බළකොටුව නියෝජනය කළ පොරැස්ටර් ඔබේසේකර පරදා ජය ගැනීමට නවක දේශපාලනඥ පිලිප් ගුණවර්ධනට හැකිවුණා. පිලිප්ගේ සගයා වූ ඇන්. ඇම්. පෙරේරා රුවන්වැල්ලට තරග කර ජය ගත් අතර ඔහු අතින් පරාජය වූයේ රුවන්වැල්ලේ ඇඩ්ලින් මොළමුරේ යි. 

 දෙවන ලෝක යුද සමයේ ලංකාවේ ගුවන් යානා නාශක බළ ගණය – wikipedia.org

සමසමාජය බෙදෙයි

ලංකා සමසමාජ පක්‍ෂයේ සංවිධාන ශක්තියෙන් ලංකාවේ කම්කරුවන් මෙන් ම ගම්වල ජනතාව ද සමසමාජ දේශපාලනයට ඇදී යමින් සිටියා. 1940 වන විට දෙවන ලෝක යුද්ධය ලංකාව, ඉන්දියාව ඇතුළු ඉංග්‍රීසි යටත් විජිත රටවලටත් දැනෙමින් තිබුණා. සමසමාජයේ පෙරමුණේම සිටි බලවත් කණ්ඩායම වූ පිලිප් ඇතුළු ‘ට්‍රොට්ස්කිවාදීන්’ කොන්දේසි විරහිතව ඉංග්‍රීසින්ගේ යුද්ධයට විරුද්ධ ව මත පළ කළා.

තවත් සමසමාජ කණ්ඩායමක් සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයේ නිල ස්ථාවරය පිළිගනිමින් හිට්ලර් ප්‍රමුඛ නාසි බලවේගය පරාජය කළ යුතු බව පවසමින් යුද්ධයට සහයෝගය පළ කිරීමට තීරණය කළා. 1940 ජුනි 18 වැනිදා අධිරාජ්‍ය විරෝධී චෝදනා එල්ල කරමින් ඉංග්‍රීසි ආණ්ඩුව ලංකා සමාසමාජ පක්‍ෂ නායකයන් අත්අඩංගුවට ගත්තා. ඉන් පසු පිලිප්, ඇන්. ඇම්., කොල්වින්, එඩ්මන් වැනි නායකයන් බෝගම්බර බන්ධනාගාරයේ සිරගත කළා.

 පිලිප්ගේ සොයුරු රොබට් ගුණවර්ධන- divaina.lk

සිරගෙයින් පලා යති

පිලිප්ගේ සොහොයුරු රොබට් ගුණවර්ධන එම සමසමාජ සිරකරුවන් සමඟ සිරගෙය බිඳ පලා යාමට සැලසුම් කළා. ඉන්පසු ඔවුන් ඉන්දියාවට ගෙනයාම සඳහා රහසිගත මෙහෙයුමක් ක්‍රියාත්මක වුණා. ඒ පක්ෂයේ අනෙකුත් නායකයන් සහ ඔහුගේ කැරලිකාර සහෝදර රොබට් ගුණවර්ධනත් සමඟින්. එසේ පලා ගියේ 1942 දියි. ශ්‍රී ලංකාවෙන් පලාගිය සටන්කරුවන් ඉන්දීය නිදහස් සටනට එක් ව කටයුතු කළා. ඒ සඳහා පිලිප් සහ ඔහුගේ බිරිය කුසුමාට එකිනෙකාගෙන් වෙන් ව වෙස්වලාගෙන ජීවත්වීමටත් සිදු ව තිබුණා.

1943 ජූලි 13 වැනිදා පිලිප් සහ කුසුමා ඔවුන්ගේ පුත් ඉන්දික සමඟ බොම්බායේ දී අත්අඩංගුවට ගැනුණු අතර ඉන්දියාව තුළ ම මාස 06ක සිර දඬුවමකට යටත් කෙරුණා. ලංකා ආණ්ඩුව 1943 දී ඔහු ඇතුළු පිරිස නැවත ලංකාවට ගෙන්වා ගෙන සිරගෙයින් පැන යාමේ චෝදනා මත මෙරට දී බරපතළ වැඩ ඇතිව සිරගත කළා. ඔවුන්ට සමාවක් ලැබුණේ 1945 මැයි 30 දරන දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ යෝජනාව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දී සම්මත වීමෙන් පසුව යි.

1947 පාර්ලිමේන්තු රැස්වීමක් – parliament.lk

1947 මහ මැතිවරණය

1947 මහ මැතිවරණය වන විට ලංකාවේ වාමාංශික දේශපාලනය පිල් තුනකට බෙදී ගොස් තිබුණා. ඒ පිලිප් ගුණවර්ධන සහ ආචාර්ය එන්.එම්.පෙරේරා ගේ නායකත්වයෙන් ලංකා සම සමාජ පක්ෂයත්, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාගේ නායකත්වයෙන් ලෙනින් බෝල්ෂෙවික් පක්ෂයත් ,දොස්තර එස්.ඒ.වික්‍රමසිංහගේ සහ පීටර් කේනමන්ගේ නායකත්වයෙන් ලංකා කොමියුනිස්ට් පක්ෂයත් වශයෙනු යි. 1947 පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙන් ගුණවර්ධන පවුලේ දෙදෙනෙක් සම සමාජ පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පිවිසුණා. ඔවුන් දෙදෙනා නම් පිලිප් ගුණවර්ධන සහ ඔහුගේ බිරිය කුසුමා ගුණවර්ධනයි.

පිලිප් 9 ඥාති දරුවන් සමඟ – lankadeepa.lk

බණ්ඩාරනායක සමඟ සන්ධානයකට

කෙසේ වුවත් මාක්ස්වාදයේ පියා ලෙස නම් ලත් පිලිප්ට දිගු කලක් සමසමාජය සමඟ දීගකෑමට ලැබුණේ නැහැ. ඔහු ඉන් ඉවත් ව විප්ලවකාරී සම සමාජ පක්ෂය ආරම්භ කළා. තවත් ටික කලකින් ඔහු මාක්ස්වාදී පක්ෂවලින් සමුගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක සමඟ සන්ධානගත වෙමින් මහජන එක්සත් පෙරමුණ පිහිටුවීමට දායක වුණා.
සහල් සේරුවක මිල ශත 25 සිට ශත 70 දක්වා ඉහළ යාම මුල් කරගෙන පිලිප් ඇතුළු වාමාංශික පක්ෂවල නායකයන් ක්‍රියාත්මක කළ  ‘1953 හර්තාලය’වැනි සටන් එවකට ලංකා දේශපාලනය හෙල්ලුම් කැවීමට සමත් වුණා. එසේ බලයේ සිටි එක්සත් ජාතික පක්ෂයට එරෙහි ව ගෙන ගිය ශක්තිමත් දේශපාලන අරගලයේ මුල් තැනක් ගත්තේ පිලිප්.  එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායකට බලයට ඒමට පිලිප්ගේ දේශපාලන සටන් පාර කැපූ බව දේශපාලන විචාරකයන් පවසනවා. 1956 බණ්ඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල් කර ගත් මහජන එක්සත් පෙරමුණ ජය ලබන අතර පිලිප් ගුණවර්ධනට කෘෂිකර්ම හා ආහාර ඇමති ධූරය හිමි වෙනවා.

ඉඩම් හිමියන්ගේ වහලුන් බවට පත්ව සිටි අඳ ගොවියන් කුඹුරු පනතින් ඉඩම් හිමියන් බවට ඔහු පත්කර තිබෙනවා. සමූපකාර බැංකු පිහිටුවීමේ සිට මහජන බැංකුව පිහිටුවීම දක්වා කටයුතු රාශියක් ඔහු ඇමති ධුරයේ සිටින අතර ඉටු කළා. ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවීම, වරාය ජනසතු කිරීම, රක්ෂණ සංස්ථාව පිහිටුවීම සිදුවුණෙත් පිලිප්ගේ මූලිකත්වයෙන්.

 පියාගේ සමාධියට පුෂ්පෝහාර දක්වන පුතු දිනේෂ් – runews.lk

මහජන එක්සත් පෙරමුණ

1959 දී අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ඝාතනය කෙරෙනවා. ඉන්පසු සන්ධානයෙන් ඉවත් වන පිලිප් මහජන එක්සත් පෙරමුණ වෙන ම දේශපාලන පක්ෂයක් බවට පත් කරනවා. 1960 මාර්තුවල පැවති මහ මැතිවරණයෙන් ආසන 10ක් දිනා ගැනීමට ඒ පක්ෂය සමත් වෙනවා. එම මැතිවරණය අවලංගු කර නැවත 1960 ජූලිවලදී පැවති මැතිවරණයෙන් ඔවුන්ට හිමි වුණේ ආසන 3ක් පමණ යි.

1965 දී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එම පක්ෂයෙන් ආසනයක් හිමි වුණේ පිලිප්ට පමණ යි. ඔහු ධනවාදී එක්සත් ජාතික පක්ෂයේ ඩඩ්ලි සේනානායක අගමැති සමඟ ජාතික ආණ්ඩුවට එක්ව ධීවර සහ කර්මාන්ත ඇමතිකම ලබා ගන්නවා. වර්ෂ 1970 මහ මැතිවරණයෙන් පිලිප්ට සිය ආසනය අහිමි වෙනවා. ටික කලක් අසනීප ව සිටි මේ දේශපාලන යුග පුරුෂයා මිය යන්නේ 1972 මාර්තු 26 දායි. අදත් ඔහු ඇතුළු බොරළුගොඩ පවුලේ සොහොන් ස්මාරකය කොස්ගම සාලාවේ හයිලෙවල් පාර අසල දැකගත හැකි යි.

කවරයේ ඡායාරූපය - බොරළුගොඩ සිංහයා පිලිප් - ceylontoday.com

මූලාශ්‍ර:
Bbc.com
Dinamina.lk
Mihithuru.lk
island.lk

Related Articles

Exit mobile version