Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රාත්‍රියේ ගොදුරු සොයා ආ, රිචඩ් රමිරෙස්

ඇමෙරිකා එක්සත් ජනපදය පසුගිය සියවස තුළ දාම ඝාතකයින් කිහිපදෙනෙකු ම බිහි කර තිබෙනවා. එයිනුත් ‘රිචඩ් රමිරෙස්’ට හිමිවන්නේ ප්‍රමුඛතම ස්ථානයක්. 1980 දශකයේ කැලිෆෝනියා ප්‍රාන්තය ම බියවැද්දූ ඔහු, රාත්‍රී කාලයෙහි ගොදුරු සොයා යන්නෙකු සේ පරසිදු ව සිටියා. කෙසේ නමුත්, ඉක්මනින් ම ඔහු ව අත්අඩංගුවට ගන්නට බලධාරීන් සමත් වූ අතර, අවසානයේ ස්වභාවධර්මයෙන් ම ඔහුට දඬුවම් ලැබුණා. මේ ඔහුගේ කතාව යි.

කුඩා කාලය

ඇමෙරිකා එක්සත් ජනපදයේ, ටෙක්සාස් ප්‍රාන්තයේ, එල් පාසෝ හි දී 1960 වසරේ පෙබරවාරි මස 29 වන දා උපත ලද රිචඩ් රමිරෙස්ට, ප්‍රීතිමත් ළමා කාලයක් හිමි ව තිබුණේ නැහැ. කුඩා රමිරෙස් නිතර ම තම පියාගේ අඩත්තේට්ටම්වලට ලක් වූ අතර, මේ හේතුවෙන් ඔහුට දෙවතාවක දී ම හිසෙහි බරපතල තුවාල සිදුවුණා. මේ හේතු නිසා නිතර ම සිය පියාගෙන් ඈත් වී දිවි ගෙවීමට තීරණය කළ ඔහු, වඩාත් කිට්ටු වූයේ වැඩිමහල් ඥාති සොයුරෙකු වූ මිගෙල්ට යි.

කුඩා රිචඩ් රමිරෙස්- pinterest.com

රිචඩ්ගේ අවාසනාවට මිගෙල් ද යහපත් අයෙකු වූයේ නැහැ. ඔහු කලක් වියට්නාමයේ ගතකොට තිබූ අතර, එහි ජීවත් වූ කාලයේ ගැහැණුන්ට අඩත්තේට්ටම් කිරීමට හුරු ව තිබුණා. මිගෙල් නිතර ම රිචඩ්ට තමන් අඩත්තේට්ටම් කළ කාන්තාවන්ගේ ඡායාරූප පෙන්වූ අතර, මින් සමහරක් ඉතා ම අමානුෂික අන්දමින් හිසෙහි සිදුකළ තුවාල සහිත ඒවා වුණා. මේවා දකිමින් රිචඩ්ගේ ළමාවිය ගත වූ අතර, ඔහුගේ මනසත් මේ කෙරෙහි ඈඳී ගියේ නිතැතින් ම යි. මේ අත්දැකීම් උපරිම වූ සමයේ දී මිගෙල් රිචඩ් ඉදිරිපිට ම ඔහුගේ බිරිඳට වෙඩි තබනවා. මේ වන විට රිචඩ් යන්තම් 13 වියැති වූ අතර, මේ සිදුවීම ඔහුගේ සිතට තදින්ම කාවදිනවා. මෙතෙක් කල් බියගුලු ලැජ්ජාශීලී දරුවෙකු වූ රිචඩ්, මේ සජීවී අත්දැකීමත් සමග තද හිතැති අයෙකු බවට පත් වූ අතර, ඔහුගේ ම කියා ‘අත්දැකීම්’ ලබාගන්නට උත්සුක වෙනවා.

නව යොවුන් විය

ඝාතනයන් සමග මිගෙල් අත්අඩංගුවට ගැනුණත් ඔහු මිනීමැරුම් චෝදනාවලින් නිදහස් වෙනවා. මේ වෙනුවට ඔහු සිව් වසරක මානසික ප්‍රතිකාර සඳහා රෝහලකට යොමු කෙරෙනවා. මේ අතර නව යොවුන්විය කරා එළැඹෙමින් සිටි රිචඩ් තමන්ගේ ම කියා ‘අත්දැකීම්’ ලබා ගන්නට පටන් ගන්නවා. ඔහු කාන්තාවන් කිහිපදෙනෙකට ම ලිංගික අඩත්තේට්ටම් සිදුකරනවා.

මෙම දූෂණ තැත් උපරිම වූ සමයේ දී ඔහු පොලිස් ග්‍රහණයට පත් වන්නේ එක් කාන්තාවක් ඔහුගෙන් මිදී පලාගොස් පොලිසිය දැනුවත් කිරීම නිසා යි. කෙසේ නමුත්, එහි දී ඔහු නිදහස් වන්නේ කාන්තාවට එය ඔප්පු කිරීමට සාක්ෂ්‍ය මඳ වූ නිසා යි. එනමුත්, මේ වන විට රුධිර පිපාසාවෙන් දැඩි ලෙස පෙළෙමින් සිටි රිචඩ් මේ අත්දැකීමෙන් මට්ටු වන්නේ නැහැ.

රමිරෙස් තුරුණු වියේ දී- lifedeathprizes.com

ඝාතන සිද්ධි

1984 වසරේ ජුනි මස 28 වන දා ජෙනී වින්කෝ නම් 79 හැවිරිදි කාන්තාවක ඉතා අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කොට තිබුණා. ඇය ලිංගික අඩත්තේට්ටම්වලටත් ලක් කොට තිබූ අතර, ඇය ඝාතනය වී තිබූ ඇඳ රුධිරයෙන් තෙත් ව තිබුණා. අසල වූ බිත්තියේ ද ලේ පැල්ලම් තිබුණා. ඇයගේ නිවෙස්නයට කිසිවෙකු බලහත්කාරයෙන් ඇතුළු වූ ලක්ෂණ පෙනෙන්නට තිබූ අතර, යම් යම් දේ සොරකම් කරගෙන ද ගොස් තිබුණා.
මෙම ඝාතනය රිචඩ් රමිරෙස් විසින් සිදුකර තිබූ අතර, අහම්බෙන් ලැබුණු අවස්ථාවක් නිසා එය ඔහු සිදුකර තිබුණා. කෙසේ නමුත්, මින් සිය ලේ පිපාසාවට පන්නරයක් ගත් ඔහු මීළඟ මාස 14 ම ගත කරන්නේ කැලිෆෝනියාව පුරා ඇවිදිමින් ගැහැණු පිරිමි දෙකොට්ඨාසය ම ගොදුරු කරගනිමිනුයි. ඔහුට ගොදුරු වූ අයවලුන් වයස 22 සිට 80 දක්වා වූ අයවලුන් වූ අතර, මේ සියලු දෙනා ඉතා අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කොට තිබුණා.

1985 වසර වන විට රාත්‍රියේ ගෙවල්වලට වැදී මිනිසුන් ඝාතනය කරන මේ ඝාතකයා නිසා මුළු කැලිෆෝනියාව ම භ්‍රාන්ත වී තිබුණා. මේ හේතුව නිසා ප්‍රදේශයේ අවි ආයුධ ද වැඩි වැඩියෙන් විකිණුනා. මේ හඳුනා නොගත් ඝාතකයා කොටු කර ගැනීමේ වගකීම එෆ්.බී. අයි ආයතනයට පැවරුණු අතර, ඔවුන් හා පොලීසිය එක් වී ඇසින් දුටු සාක්ෂ්‍ය අනුව ඔහුගේ හැඩරුව සිත්තම් කොට ප්‍රාන්තය පුරා බෙදා හැරියා. ඔහුගේ රුව පුවත්පත්වල පළ වුණා. එනමුත් කිසිවෙකුට රිචඩ් රමිරෙස් අල්ලාගත හැකි වූයේ නැහැ.

පොලිසිය මඟින් ප්‍රසිද්ධ කළ රමිරෙස්ගේ රුව- Youtube

අල්ලාගත නොහැකි වුව ද, ලැබුණු සාක්ෂ්‍ය මත පිහිටා රමිරෙස්ගේ රුව ඉතා නිවැරදි අන්දමින් පොලිසිය විසින් සිත්තම් කරවාගෙන තිබුණා. මෙය ඔහු හඳුනාගන්නට මහත් වාසියක් වූ අතර, රිචඩ්ගේ අවාසනාවට ඔහුගේ රුව පුවත්පත්වල පළ වී තිබෙනු ඔහුට ප්‍රත්‍යක්ෂ වූවේ නැහැ. මේ නිසා ඔහු රිසි පරිදි සිය දින චර්යාව ගෙන ගියා.

පොලිස් භාරයට පත් වීම

1985 වසරේ අගෝස්තු මාසයේ එක් දිනෙක රිචඩ් රමිරෙස්, ලොස් ඇන්ජලීස් නුවර වෙළඳසැලකට ගොඩවන්නේ භාණ්ඩ කිහිපයක් මිල දී ගන්නට යි. මේ වන විට ඔහු අල්ලාගැනීමට කැලිෆෝනියාවේ පොලිසිය විසින් දැලක් එළා තිබූ අතර, ඔහුගේ රුව පුවත්පත් මඟින් ප්‍රසිද්ධ කොට තිබුණා. වෙළඳසැලට ගොඩවන විට එක් විමසිලිමත් කාන්තාවකගේ නෙතු ඔහු අසල නතර වූ අතර, ඇය වහා ම පුවත්පත්වල සටහන් ව තිබූ ඒ රුව හඳුනාගන්නවා. වහා ම දිව යන ඇය අසල වූ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් දැනුවත් කරන අතර, ඔවුන් වහා ම රමිරෙස් පිළිබඳ විමසිලිමත් වෙනවා.

පොලිස් නිලධාරීන් දුටුවන ම රමිරෙස් හඳුනාගන්නා අතර, වහා ම ඔහු අල්ලාගන්නට බලමුළු ගෙන එනවා. මේ අතර තමන් කරදරේ වැටෙන්නට ආසන්න බැව් හඳුනාගන්න රමිරෙස්, ඒ ස්ථානයෙන් පලා යන අතර, පොලිසිය ඔහු ලුහුබඳින්නට පටන් ගන්නවා.

අත්අඩංගුවට පත් වී- Getty Images

පැය කිහිපයක් පොලිසිය කෙරෙන් වසන් වෙමින් පලා යමින් සිටි රමිරෙස්, හති වැටුණු පසු පසෙක සිටි කණ්ඩායමකගේ ග්‍රහණයට හසුවෙනවා. ඔවුන් ඔහුට යකඩ බට කිහිපයක් යොදාගෙන දැඩි ව පහරදෙන අතර, අවසානයේ පොලිසිය පැමිණ ඔහු ඔවුන්ගේ භාරයට ගන්නවා. මේ වන විට ඔහු දැඩි ලෙස තුවාල වී සිටියා.

පොලිස් භාරයට පත් වන විට රමිරෙස් මාස 14ක කාලය තුළ මනුෂ්‍ය ඝාතන 13ක් සිදුකර තිබුණා. තවත් 5ක් සිදුකිරීමට ඔහු සැලසුම් ඇඳ තිබූ අතර, ඒවා ඒ වන විට සාර්ථක ව තිබුණේ නැහැ. මීට අමතර ව ඔහු තවත් විශාල පිරිසක් අඩත්තේට්ටම්වලට ලක්කොට තිබුණා.

නඩු විභාගය හා අවසානය

රමිරෙස් අල්ලාගත් වහා ම ඔහුට චෝදනා රාශියක් ගොනු කෙරුණු අතර, නඩු විභාගය ඇරඹුණා. ඔහුට එරෙහි චෝදනා අතර මිනිමැරුම් 13ක්, ඝාතන තැත් 5ක්, ලිංගික අඩත්තේට්ටම් කිරීමේ සිද්ධි 11ක්, හා මංකොල්ලකෑම් 14ක් වුණා. මේ සියල්ලට ම ඔහු වරදකරු වූ අතර ගෑස් කාමරයක දමා මරණයට පත් කරන්නට නියම වුණා.

රමිරෙස්ට එරෙහිව වූ චෝදනාවන්ගේ වූ සංකීර්ණ ස්වභාවය නිසා ම 2006 වසර වන තුරු ම ඔහු ව මරණයට පත් කරන දිනයක් ලබා දෙන්නට හෝ ඔහු විසින් ගොනුණු කරන ලද අභියාචනය විභාග කරන්නට අධිකරණය අපොහොසත් වුණා. මේ කාලය තුළ ඔහු විවාහ ගිවිස ගෙන ද සිටියා.

රිචඩ් රමිරෙස් බිරිඳ සමග- Flickr/ Mario Solera

රිචඩ් රමිරෙස්ට එරෙහි මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන්නේ මන්ද යන්න පිළිබඳ ව ඇමෙරිකාව පුරා කසුකුසු නැඟෙමින් තිබූ සමයක අවසානයේ ස්වභාවධර්මය ම ඒ වරම ගෙන තිබුණා. වසා ගැටිතිවල හටගත් ඉතා ම දරුණු පිළිකාවක් රිචඩ්ට වැළඳී ඇති බැව් ඉක්මනින් ම අනාවරණය වූ අතර, අවසානයේ 2013 වසරේ ජුනි මස 7 වන දා ඔහු ඒ හේතුවෙන් මරණයට පත් වෙනවා.

Related Articles