කොළඹ – මහනුවර පාරේ ගමන්කරන කාටත් මාවනැල්ලට ළංවන විට ප්‍රධාන මාර්ගයට යාබදව ඉහළ නගින උතුවන්කන්ද දැකගන්නට ලැබෙනවා. කෑගල්ල නගරයත්, මොලගොඩ ප්‍රදේශයත් පසුකළ විට හමුවන උතුවන්කන්ද හන්දියෙන් වම් අතට ‘උතුවන පාර’ නමින් පටු අතුරු පාරක් හමුවනවා. එම පාරේ කි.මි.1ක් පමණ ගිය පසු හමුවන දෙමංසලෙන් වමට (කන්ද උඩට) තරමක් දුර ගොස් පාගමනින් උතුවන් කන්ද තරණය කළ හැකියි. වෛද්‍ය ආරියසේන යූ. ගමගේ නිර්මාණය කළ සරදියෙල් ගම්මානයත් මෙහිදී ඔබට හමුවෙනවා. මේ කන්ද අපේ කඳු නගින්නන් අතර ජනප්‍රියවීමට හේතුව, එය 19 වැනි සියවසේ දෙවැනි භාගයේ දී ඉංග්‍රීසි ආණ්ඩුවට හිසරදයක් වූ සරදියෙල්ගේ රහසිගත සැඟවුම් තිප්පොළ වීම නිසයි.
උතුවන් කන්ද
උතුවන්කන්ද කඳුගැටය කොළඹ මහනුවර පාරේ ඈතට දිස්වන්නේ පැරණි පර්වත බලකොටුවක ආකාරයෙන්. ඒ නිසාම එය ඉංග්‍රීසින් හැඳින්වූයේ කාසල් රොක් කියලයි. උතුවන්කන්ද මුහුදු මට්ටමේ සිට අඩි 1410ක් පමණ උස් කඳු ශිඛරයක්. විශාල කළු ගල් කුට්ටිවලින් සැදුණු මෙහි ඉහළ කොටස ප්‍රපාතාකාර යි. ගල්කුළු පිරි මුදුන වර්ග අඩි 50 කට නොවැඩි තරම්. කන්ද මැදක් වනතෙක් පෞද්ගලික ඉඩම් පැතිර තිබෙනවා. මෙහි ගල්කැඩීම ආදිය නිසා පරිසරය නම් විනාශවෙලා. කඳු මුදුන අවට වනවදුල්, රබර් වගා පැතිර තිබෙනවා.
ජීවන වතගොත
සරදියෙල්ගේ පියා දීකිරි කෑවගේ අදාසි අප්පු. මව පිචෝහාමි. ගම උතුවන්කන්දට නුදුරු මොලගොඩ. කරත්ත රස්සාව සහ දුම්කොළ වෙළඳාම කළ අදාසි අප්පු හලාවත හාල්දඬුවන උපන් කෙනෙක්. කරත්ත රැකියාව කරන අතරතුර පිචෝහාමිට ඔහු හමුවී ඇත්තේ මොලගොඩ කරත්ත ගාලේ දී යි. මේ දැනහැඳුනුම්කම වර්ධනය වී අදාසි අප්පු පිචෝහාමි සමග විවාහ වුණා. ඔවුන්ට ලැබුණු වැඩිමහල් දරුවා වන සරදියෙල් 1832 මාර්තු 25 දා උපත ලැබුවා. ඉන්පසු පේදුරු, ගේබ්‍රියෙල්, මාර්තා හා ඇන්ටනී නමින් දරුවන් සතරදෙනෙක් ද පිචෝහාමිට උපන්නා. සරදියෙල්ගේ පියා ක්‍රිස්තියානි ආගමේ වූ අතර මව බෞද්ධ කාන්තාවක් වූවා. සරදියෙල්ගේ මව මහනුවර රජකළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අන්තඃපුරයේ සිට නිදහස ලැබූ කාන්තාවන්ගේ පරපුරෙන් පැවත එන බව පැවසෙනවා. ඔහුගේ බාල නැගණිය මාර්තා කුඩා කාලයේ දීම මියගිය බවත් පැවසෙනවා.
ගමෙන් පලා යයි
කුඩා සරදියෙල් සිරුරින් කෙසඟවුවත් කාටවත් බය නැති බව ලාබාල කාලයේ දීම පළ කළ දරුවෙක්. වැලිපිල්ලේ අකුරු ඉගෙනීමට මුලින්ම ගොස් ඇත්තේ දැන් නුවර පාර අද්දර පිහිටි මාවනැල්ල බෙලිගම්මන පන්සලට යි. ඊටපසු මා ඔයට නුදුරින් පිහිටි මාවනැල්ලේ ඉලුක්ගොඩ පන්සලෙන් ද ඉගෙනීම ලබා තිබෙනවා. යොවුන්වියට පත් මේ දරුවා ඉලුක්ගොඩ පන්සලේ අකුරු කරනා කාලයේ ඇති වූ හබයක් නිසා ධනවත් ප්‍රභූවරයෙකුගේ පුතෙකුට තුවාල සිදුවෙනවා. බොරු චෝදනා ඉදිරිපත් කිරීම නිසා සරදියෙල් දවස් දෙකක් පොලිස් කූඩුවේ සිටි බව සඳහන් වෙනවා. පසුව සරදියෙල් කොළඹට පැන ගියේ ගමේ ප්‍රභූවරු තරහකරගෙන ජීවත්වීම අසීරු වු නිසයි. කොළඹ කුලී වැඩ කරමින් සිටි ඔහුට හමුදා බැරැක්කයක කම්කරු රැකියාවක් ලැබුණා. ක්‍රමයෙන් තරුණ වියට පත් ඔහු ටික කලක් එහි සේවය කරමින් ඉන්නා අතර ඇතිවූ ආරාවුලක් නිසා ඉංග්‍රීසි හමුදා භටයන් සතු තුවක්කු කිහිපයක් සහ මුදල් සොරකම් කරගෙන ගමට පලා එනවා. එසේ පැමිණ සැඟවෙන්නේ උතුවන්කන්දේ ගල්ලෙනක යි.
–සරදියෙල් කල්ලිය
ඔහු සමග නිතරම සිටි ප්‍රාණසම මිතුරා වුණේ මහම්මදු මරික්කාර් (මම්මලේ මරික්කාර්). මම්මලේගේ වැඩිමල් සොයුරිය සමග සරදියෙල්ගේ අනියම් සම්බන්ධකමක් පැවති බවටත් කතා පවතිනවා. ඇය විවාහ වී සිටියේ කාදර් නම් පුද්ගලයෙක් සමග යි. ඇගේ නිවස මාවනැල්ල ගඩොල් පාලම අසල පිහිටා තිබුණා. සරදියෙල්ගේ සහායට, කුඩා කාලයේ සිට හඳුනන ගමේ මිතුරන් වන සිරිමලා, සාවන්, උක්කිඳු, හෙන්දා, නසර්දීන් ආදී සිංහල හා මුස්ලිම් පිරිසක් නිතරම සිටියා. උතුවන්කඳු මුදුනේ සිට බැලූ විට නුවර පාරේ බොහෝ දුරක් දර්ශනයවීම මොවුන්ට සැඟව සිටීමට විශාල වාසියක් වුණා. මේ කරත්ත පාරේ ගමන්ගන්නා මුස්ලිම් වෙළෙන්දන් සහ සුදු ජාතිකයන් පහසුවෙන් මංකොල්ල කෑමට සරදියෙල් කල්ලියට අවස්ථාව ලැබුණා. එසේ මංකොල්ල කන මුදල් ගමේ දුප්පතුන්ට බෙදාදීමත්, සූදුවට යෙදවීමත් ඔහුට විනෝදයක් වුණා. සරදියෙල් මුළු කෑගලු පළාතේම වතු පාලක සුදු ජාතිකයන් සහ සුද්දන්ට හිතවත් ධනවත් වෙළෙන්දන් බියට පත්කරමින් සිටියා. ඔහු ගැමි ජනතාව අතර වීරයෙක් බවට පත්වෙමින් සිටියා.
1850 – 1860 දශකය වන විට සරදියෙල් පිළිබඳ ප්‍රවෘත්තිය මුළු රට පුරා පැතිර ගිය අතර, එය බ්‍රිතාන්‍ය කිරීටයත් දැනගෙන සිටියා. ඔහු අල්ලාදෙන කෙනෙකුට පවුම් 5ක් ලබාදෙන බව මුලින්ම ආණ්ඩුව පැවසුවා. පසුව 1864 ජනවාරි 16 දා ප්‍රකාශ කළේ ඔහු අල්ලාදෙන අයකුට පවුම් 100ක් දෙන බව යි. ඒ නිවේදනය මුද්‍රණය කර මාවනැල්ල අවට අලවා තිබුණා. ගම්වැසි සිංහලයන් ඔහු සමග හිතවත් නිසා ඔහු සැරිසරන තැන් ගැන ඔත්තු ලබාගැනීම අසීරු වුණා. සරදියෙල් නිසාම උතුවන්කන්දේ පොලිස් මුරපොළක් ද පිහිටෙව්වා. සරදියෙල් අල්ලාගැනීමේ මෙහෙයුම්වලට සිංහලයන් වෙනුවට මුස්ලිම් ජාතික පොලිස් නිලධාරින් යොදා ගත්තේ ඒ නිසයි.
පොලිස් මෙහෙයුම්
1864 මාර්තු 17 දා ඔහු මොලගොඩ මවගේ නිවසේ සිටින බවට ආරංචියක් පොලීසියට ලැබුණා. පොලීසිය ගේ වැටලුවා. පොලීසිය නිවසට ළං වනවිට ගේ ඇතුළතින් වෙඩි පහරක් නිකුත් වුණා. එයින් ඒ අවස්ථාවේ පැමිණි සිටි ජෙෆ්වැන් හොට් නම් තරුණයෙක් මියගියා. ඔහු බර්ගර් ජාතිකයකුට දාව සිංහල කාන්තාවක් ලැබූ පුතෙකු බව පැවසෙනවා. හොට්ගේ සුළුපියා වූ ක්‍රිස්තියන් අප්පු එවිට කෑගසාගෙන ඉදිරියට දිව්වේ පුතා මැරුවා නම් තමාත් මරාදමන ලෙස පවසමින්. ඊළඟ වෙඩිල්ලෙන් ක්‍රිස්තියන් අප්පු ද නිහඬ වුණා. පොලීසිය බියට පත්ව පසුබැස්සා. ඔවුන් කෑගල්ල උප දිසාපති සෝන්ඩර්ස්ගෙන් ආධාර ඉල්ලා පණිවුඩයක් යැව්වා. ඒ අතර එල්ලවුණු වෙඩි ප්‍රහාරවලින් තවත් පොලිස් නිලධාරින් තුන් දෙනෙකු ද තුවාල ලැබුවා.
රාත්‍රියේ උපදිසාපතිවරයා එනවිට ගේ තුළ සිටි සරදියෙල් සහ මම්මලේ මරික්කාර් පැන ගොස් සිටියා. අවසානයේ දී සරදියෙල් අල්ලා ගැනීමට උපදිසාපති මහනුවරින් සහ කොළඹින් ජා රෙජිමේන්තුවේ සොල්දාදුවෝ විශාල පිරිසක් කාලතුවක්කුත් සමග උතුවන්කන්දට ගෙන්වාගත්තා. ඒ බව එදවස ලක් රිවිකිරණ පුවත්පතේ පමණක් නොව එක්සැමිනර්, ටයිම්ස්, හා ඔබ්සර්වර් යන ඉංග්‍රීසි පත්තරවල ද පළවුණා. සරදියෙල්ගේ මව වන පිචෝහාමි ද, ඇයගේ දෙවන සැමියා වන හරමානිස් අප්පු ද පොලිස් අත්අඩංගුවට ගත්තා. කාදර් සහ ඔහුගේ බිරිඳ, කාදර්ගේ බිරිඳගේ නැගණිය ද, රාල කෙනෙක් ද මාංචු දමා රැගෙනවිත් කෑගල්ලේ සිරගෙදර රඳවා ගෙන සිටියා.
සරදියෙල් පොලිස් දැලේ
1864 මාර්තු 21 වැනි දින සරදියෙල් මාවනැල්ල ගඩොල් පාලම අසල සොල්දර නිවසක සැඟව සිටින බවට පොලිසියට ඔත්තුවක් ලැබුණා. මුදලට කෑදරකමින් ඒ ඔත්තුව දුන්නේ ඔහුගේ හොඳම මිතුරෙකුව සිටි සිරිමලා. එම නිවසේ සරදියෙල්ට සැඟව සිටින ලෙස උපදෙස් දී තිබෙන්නේ ද සිරිමලාම යි. ඒ අනුව අමාන් නමැති ජා සාජන්ට්වරයාගේ මෙහෙයවීමෙන් එම නිවස වටකර සරදියෙල් යටත්කර ගැනීමට මෙහෙයුම් දියත් කළා. වෙඩි හුවමාරුවේ දී සරදියෙල්ගේ කකුලට වෙඩි වැදුණා. එහිදී මම්මලේගේ වෙඩි පහරකින් “කොස්තාපල් සභාන්” මරණයට පත්වුණා. පොලිස් සාජන්ට් මුත්තුසාමි තුවාල ලැබුවා. අඩපණව සිටි සරදියෙල් හා මම්මලේ මරික්කාර් පොලිස් අත්අඩංගුවට පත්වුණා.
අත්අඩංගුවට ගනු ලැබූ සරදියෙල් හා මම්මලේ මරික්කාර් කරත්ත පෙරහරකින් බෝගම්බර බන්ධනාගාරයට ගෙන ගිය බවත්, මහා ජන ගඟක් මාවනැල්ල සිට බෝගම්බර දක්වා මාර්ගය දෙපස එක් රැස් වෙමින්, බ්‍රිතාන්‍යයන් සසල කළ, කෙසඟ සිරුරක් ඇති සරදියෙල් හා මම්මලේ මරික්කාර් දැක බලාගත් බවත් කියැවෙනවා.
සරදියෙල් යටත්කර ගැනීමට මෙහෙයුම දියත් කළ පොලිස් සාජන්ට්වරයාට ප්‍රධාන කොස්තාපල් ලෙස උසස්වීමක් හා පවුම් 35ක දීමනාවක් ද, සාජන්ට් මුත්තුසාමිට පවුම් 20ක දීමනාවක් ද, කොස්තාපල් සාභාන් වෙනුවෙන් ඔහුගේ බිරිඳට ජීවිතාන්තය දක්වා මාසිකව පවුම් 2කුත් සිලිම් 6කුත් ගෙවූ බවත් වාර්තා වෙනවා.
මරණ දණ්ඩනය
සරදියෙල්ට විරුද්ධව නඩුව, 1864 අප්‍රෙල් මස 7 දින තොම්සන් විනිශ්චකාරවරයා මහනුවර අධිකරණයේ දී 13 දෙනෙකුගෙන් යුත් ජූරි සභාවක් සහිතව විභාග කළා. තීන්දුව වූයේ 1864 මැයි මස 4 දින සරදියෙල් සහ මම්මලේට මරණ දඬුවමට ලබාදීම යි. සරදියෙල් එල්ලා මැරීමට දවසකට පෙර බෞතිස්ම කර ක්‍රිස්තියානි ආගමට බඳවාගත්තේ එෆ්. එෆ්. ඩුෆෝ පියතුමා යි. ඉන් පසුවදා (සෙනසුරාදා) ඔවුහු උදේ නවයේ පැයට හිරගෙයින් පිටතට ගෙන, හේවායින් කිහිප දෙනෙකු සමග මහනුවර අලුත් පාර ඉදිරිපිට තිබෙන එල්ලන ස්ථානයට රැගෙන ගොස් එල්ලා තිබෙනවා. ඒ වන විට සරදියෙල්ගේ වයස අවුරුදු 32ක් පමණ යි.
නවය පසු වී අඩ පැයක් ගත වනවිට මළ සිරුරු දෙක රැහැනින් කපා වෙන් කර, මිනී පෙට්ටිවල දමා සිරකරුවන් විසින් ඇදගෙන යන කරත්තයක තැන්පත් කර, ඒවා කටුගස්තොට පාර අසල තිබූ සොහොන්බිමකට ගෙන ගොස් වළලා දැමූ බව වාර්තා වෙනවා.
පොලිස් දිනය
රාජකාරිය ඉටුකිරීමට යාමේ දී මම්මලේ මරික්‌කාර්ගේ වෙඩි පහරින් සභාන් මරණයට පත්වීම ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වරට පූර්ණ බලලත් පොලිස් භටයෙකු රාජකාරියක් ඉටුකිරීමට යාමේ දී මරණයට පත්වූ දිනය ලෙස ලේඛනගත වුණා. ඒ, සරදියෙල් අල්ලාගත් 1864 මාර්තු මස 21 වැනිදා යි. මාර්තු 21 පොලිස් දිනය ලෙස අදටත් හැම අවුරුද්දකම සමරනවා. සේවය වෙනුවෙන් තම වටිනා ජීවිතය පුදකරන ලද නිලධාරීන් අනුස්‌මරණය කොට උපහාර පුදකිරීම එම දිනයේ අරමුණ යි. සභාන් සිහිවීම සඳහා මාවනැල්ල තරුණ බෞද්ධ සංගම් ගොඩනැගිල්ල අසල කළුගල් පුවරුවක් ස්ථාපිත තළේ 19835 දී එවකට පොලිස්පති එච්. එල්. ඩව්බිගින් විසින්.