Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හේතුව කුමක්දැයි අනාවරණය නුවූ බෲස් ලී ගේ මරණය

අකල් මරණවලට ගොදුරු වූ මැරිලින් මොන්රෝ, එල්විස් ප්‍රෙස්ලි සහ මයිකල් ජැක්සන් වැනි සුපිරි තරු අතරින් මරණයට හේතුව කුමක්දැයි මේ වන තෙක් නිල වශයෙන් අනාවරණය නොවූ එක ම සුපිරි තරුව ලෝ ප්‍රකට සටන් නළු බෲස් ලී බව බොහෝ දෙනකුගේ මතය යි. ඔහුගේ අකල් මරණය සිදු වූ 1973 සිට මේ වන තෙක් ඊට හේතු වශයෙන් විවිධ මත රැසක් ඉදිරිපත් වී තිබේ.

 Matthew Polly, ‘Bruce Lee: A Life’ නම් ඔහුගේ චරිතය අළලා ලියූ පොතක බෲස් ලී ගේ මරණය පිළිබඳ ව වැදගත් කරුණු ගණනාවක් සඳහන් වේ. මෙම ලිපියෙන් ඒ වැදගත් කරුණු පිළිබඳ ව සොයා බලමු.

බෲස් ලී තරුණ වියේ දී – www.wikipedia.org

අවසන් දිනයේ ආරම්භය

බෲස් ලී මෙලොව දිවි ගෙවූ අවසන් දිනය, එනම් 1973 ජූලි 20 වන විට ඔහු චීනයේ හොංකොං නගරයේ ජීවත් විය. ඔහු එදින උදෑසන ‘On Her Majesty’s Secret Service’ චිත්‍රපටයේ ජේම්ස් බොන්ඩ්ගේ භූමිකාව රඟපෑ, ඕස්ට්‍රේලියානු ජාතික නළුවකු වූ ජෝර්ජ් ලෙසන්බි හමු විය. ඔහු (බෲස් ලී) නිෂ්පාදනය කළ අවසන් චිත්‍රපටය වන ‘Game of Death’ චිත්‍රපටයේ චරිතයක් නිරූපණය කිරීම සඳහා ජෝර්ජ්ට ආරාධනා කර තිබූ අතර එම හමුව අතරතුර ඔවුන් දෙදෙනා ඒ පිළිබඳව සාකච්ඡා කර තිබේ.

මරණය

එම හමුවෙන් පසු බෲස් ලී හොංකොං නගරයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් වෙත ගියේ සිය අනියම් බිරිය වූ ‘බෙටී ටිං පෙයි’ (Betty Ting Pei) හමුවීමේ අරමුණිනි. එදින සවස 6ට ඔහුගේ ව්‍යාපාර සහකරුවා වූ රේමන්ඩ් චෞ ද එහි පැමිණියේ ය. ඔවුන් තිදෙනා, එනම් බෲස් ලී, බෙටී සහ රේමන්ඩ් එදින රාත්‍රියේ ජෝර්ජ් සමඟ රාත්‍රී ආහාරය ගැනීම සඳහා නගරයේ පිහිටි අවන්හලකට යාමට නියමිතව තිබිණි.

බෙටී – www.themoviedb.com

ඒ සඳහා පිටත්ව යාමට සූදානම් වන අතරතුර බෲස් ලී, බෙටීට පැවසුවේ තමන් හිසරදයකින් පෙළෙන බව යි. ඒ නිසා ජෝර්ජ් සමඟ රාත්‍රී ආහාරය ගැනීමට තමන්ට පැමිණිය නොහැකි බව ඔහු රේමන්ඩ්ට දැනුම් දුන් බැවින් රේමන්ඩ් අවන්හලට තනි ව පිටව ගියේ ය. නිවසේ රැඳී සිටි බෲස් ලී ගේ හිසරදය අඩු නොවූ බැවින් බෙටී ඔහුට ඇස්පිරින් ද ඇතුළත් වේදනානාශක ඖෂධ කිහිපයක් ලබා දී තිබේ. එම ඖෂධ ලබා ගැනීමෙන් පසු බෙටීගේ ඇඳ මත වැතිර සිටි ඔහු යළි අවදි වූයේ නැත.

රෝහල්ගත කිරීම

නින්දට වැටී පැය දෙකක් වැනි කාලයකට පසුත් අවදි නොවූ බැවින් බෙටී, ලී අවදි කරවීමට උත්සහ කළා ය. කොපමණ උත්සහ කළත් ඔහු අවදි නොවූ බැවින් ඇය ජෝර්ජ් සහ රේමන්ඩ් රැඳී සිටි අවන්හලට දුරකථන ඇමතුමක් ගෙන, ලී අවදි නොවන බව රේමන්ඩ්ට දැනුම් දුන්නා ය. ඔහු ක්ෂණයකින් මහල් නිවාස සංකීර්ණය වෙත පැමිණියත්, ඒ වන විට බෲස් ලී මියගොස් තිබිණි.

රේමන්ඩ් චෞ –  www.bbc.com

ඔහු රැඳී සිටියේ බෙටීගේ නිවසේ බව ප්‍රසිද්ධ වුවහොත්  යම්කිසි අපකීර්තියක් සිදු වෙතැයි බියෙන් රේමන්ඩ්, හැකි ඉක්මනින් සිය මිතුරා රෝහල්ගත කිරීමට කටයුතු කළේ ය. බෲස් ලී ඒ වන විටත් මිය ගොස් තිබූ අතර අවසානයේ එදින රාත්‍රී 11.30ට ඔහු මරණයට පත් වූ බව ප්‍රකාශයට පත් කිරීමට වෛද්‍යවරු කටයුතු කළහ. චව්, මාධ්‍ය වෙත පැවසුවේ බෲස් ලී, ඔහුගේ බිරිය වූ ලින්ඩා සමඟ සිටිය දී නිවසේ ඇද වැටී ඇති බව යි.

කැලඹීමක් ඇති වීම

කෙසේ වෙතත් එක්තරා පුවත්පත් වාර්තාකරුවෙක් දින තුනකට පසු බෲස් ලී ගේ මරණය සිදු වූයේ බෙටීගේ නිවස තුළ බව වාර්තා කිරීමත් සමඟ විශාල මහජන කැලඹීමක් ඇති විය. ඒ සමඟ ම බෙටීට ද විශාල ජනතා විරෝධයක් එල්ල වන්නට විය. එම විරෝධය කෙතරම් ද යත් චීනයේ එක්තරා පුවත්පතක් එහි සිරස්තලය වාර්තා කර තිබුනේ “‘බෙටී ටිං පෙයි’ගේ සුවඳැති කුටිය මකරා මරා දැමී ය.” යනුවෙනි.

බෲස් ලී ගේ මරණය පිළිබඳව පළ වූ පුවත්පත් වාර්තාවක් – www.mathanhnien.vn

බෲස් ලී ගේ මරණය පිළිබඳ පැතිර ගිය කටකතා ගැන අදහස් දක්වමින් ලී සහ චව් සමඟ ව්‍යාපාරික කටයුතු කළ ඇන්ඩ්‍රි මෝර්ගන් අදහස් දැක්වුයේ මෙලෙසිනි:

“කටකතා ගොඩක් පැතිර ගියා. ඖෂධ අධි මාත්‍රාවක් ලබාගැනීම, අසාමාන්‍ය ලෙස ලිංගය ප්‍රාණවත් වීම, තරුණ මැරයන් පිරිසක් ගෙල සිර කිරීම, සේවකයා වස ලබා දීම වැනි විවිධ දේවල් ඔහුගේ මරණයට හේතුව ලෙස ප්‍රචාරය වුණා. ඔහු ඇත්තට ම මැරුණේ නැහැ කියලත් කටකතාවක් පැතිර ගියා.”

බෝම්බ බියක්?

බෲස් ලී ගේ මරණයෙන් දින කිහිපයකට පසු බෙටී පිළිබඳ ව විශාල කතාබහක් ඇති විණි. ක්වාලාලම්පූර්හි සිසුන් පිරිසක් ‘බෙටී, ලී මරා දැමුවා’ යනුවෙන් දැක්වෙන පෝස්ටර් රැගෙන විරෝධතාවක් ද පැවැත්වූහ. එම කාලය තුළ ඇගේ ජීවිතයට පවා විවිධ තර්ජන එල්ල වූ බව කියැවේ. 1970 අගෝස්තු මස මුල් භාගයේ දී හොන්කොන් නගරයේ බෝම්බ පිපිරීමක් සිදුවිය හැකි බවට පොලිසියට තොරතුරු ලැබිණි.

එම තොරතුර මත සිදු කළ සොයා බැලීමකදී මහජනයා ගැවසෙන ස්ථානයක තබා තිබූ සැකසහිත පාර්සලයක් සොයා ගැනීමට පොලිසියට හැකි විය. එහි චීන අකුරෙන් ‘ලීගේ මරණයට හේතුව බෙටී හොඳින් දනී’ යනුවෙන් සටහන් විය. කෙසේ වෙතත් එම පාර්සලය තුළ කිසිදු පුපුරන ද්‍රව්‍යයක් නොතිබිණි. එවැනි සටහන් සහිත සැකසහිත පාර්සල් තුනක් සමකාලීන ව හමු විය.

බෲස් ලී ගේ සිතුවමක් අසළ සිටින බෙටී- 2003 – www.history.com

මරණ පරීක්ෂණයෙන්වත් හෙළි නොවූ අභිරහස

එවකට හොංකොං පාලනය කළ බ්‍රිතාන්‍ය රජයට මෙවැනි සිදුවීම් නිසා බෲස් ලී ගේ මරණය කිසිසේත් ම සුළු කොට තැකිය නොහැකි විය. එබැවින් මහජන කැලඹීම යටපත් කර ජනතාව තුළ විශ්වාසය ඇති කිරීමේ අරමුණින් ඔහුගේ මරණය පිළිබඳ සම්පුර්ණ විමර්ශනයක් කරන්නැයි රජය අදාළ නිලධාරීන්ට නියෝග කර තිබේ.

කෙසේ වෙතත් බෲස් ලී ගේ මරණය පිළිබඳ ව පරීක්ෂණ කළ කිසිවකුට ඔහුගේ මරණයට හේතුව කුමක්දැයි නිශ්චිතව ම සොයාගත නොහැකි විය. ඔහුගේ මරණයට හේතුව ඇති වූ මස්තිෂ්ක ඉදිමීමක් බව මරණ පරීක්ෂණයෙන් තහවුරු වුවත් ඒ කුමක් නිසා දැයි මරණ පරීක්ෂකවරයා පවා දැන සිට නැත. බෲස් ලී එදින දහවල් භාවිත කළ කංසා මුසු වූ යම්කිසි මත්ද්‍රව්‍යයක් ඊට හේතුව වී තිබෙන බව වෛද්‍යවරුන් දෙදෙනකු පැවසුවත් කංසා නිසා එවැනි තත්ත්වයක් ඇති විය නොහැකි බව පසුව අනාවරණය විය.

බෲස් ලී ගේ මෘත දේහය – www.boldsky.com

ලන්ඩනයේ සිට පැමිණි විශේෂඥයා

දේශීය වශයෙන් සිදු කළ විමර්ශනවලින් ඔහුගේ මරණයට හේතු වූ කරුණ නිශ්චිත වශයෙන් අනාවරණය කරගැනීමට නොහැකි වූ බැවින් වැඩිදුර පරීක්ෂණ සඳහා ලන්ඩනයේ සිට විශේෂඥයකු පිටත් කර යැවීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කළේ ය. එම විශේෂඥයා උපකල්පනය කළේ ලීගේ මරණය සිදු ව ඇත්තේ ඇස්පිරින් ඖෂධය භාවිතය නිසා ඇති වූ අසාත්මිකතාවක් හෝ ‘ඇනෆිලැක්සිස්’ (anaphylaxis) නම් මාරාන්තික අසාත්මිකතා තත්ත්වය නිසා බව යි. වෙනත් කිසිදු විකල්පයක් නොවූ බැවින් එය ඔහුගේ මරණයට හේතුව බව අවසානයේ ප්‍රකාශයට පත් කර තිබේ.

රසිකයන්ගෙන් එල්ල වූ විරෝධය

කෙසේ වෙතත් බෲස් ලී ගේ මරණය සිදු වූයේ ඇස්පිරින් ඖෂධය භාවිතය නිසා ඇති වූ අසාත්මිකතාවක් නිසා බව ඔහුගේ රසිකයන් පිළිගත්තේ නැත. ඒ ඔහු නිරන්තරයෙන් ඇස්පිරින් ඖෂධය භාවිත කළත් ඊට පෙර කිසිදු අවස්ථාවක එවැනි අසාත්මිකතාවක් ඇති වී නැත යන තර්කය පදනම් කරගෙන ය. ඔහුගේ මරණයට හේතුව ‘ඇනෆිලැක්සිස්’ තත්ත්වය බව ද බොහෝ දෙනෙක් පිළිගත්තේ නැත. ඊට හේතුව ඉතා මාරාන්තික අසාත්මිකතා තත්ත්වයක් වන ඒ සමඟ ඇති වන, සමේ රතු පැහැති පැල්ලම් සහ කැසීම වැනි වෙනත් කිසිදු රෝග ලක්ෂණයක් ඔහුට ඇති වී නොතිබීම යි. එවැනි රෝග ලක්ෂණයක් තිබුණු බව මරණ පරීක්ෂණයෙන් ද අනාවරණය නොවී ය.

බෲස් ලී සිය බිරිය ලින්ඩා සහ දරුවන් සමඟ – www.allthatsinteresting.com

පූර්ව සිදුවීමක්

බෲස් ලී ගේ මරණය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ විශේෂඥයන් ඔහුගේ මරණය සිදු වූ දිනය තුළ සිදු වූ දෑ ගැන අවධානය යොමු කළා මිස ඊට පෙර සිදුවීම් පිළිබඳ අවධානයක් යොමු කළේ නැත. මරණයට මාස කිහිපයකට පෙර බෲස් ලී, ශල්‍යකර්මයක් මගින් කිහිලිවලින් දහදිය පිටවීමට හේතු වන ග්‍රන්ථි ඉවත් කර ගෙන තිබේ. ඊට හේතුව දහදිය දැමීම නිසා කිහිලි ප්‍රදේශය අවපැහැ ගැන්වීම පිළිබඳ ඔහු තරමක් අකමැත්තෙන් පසු වීම ය. එම ග්‍රන්ථි ඉවත් කිරීම නිසා ඔහුගේ ශරීරයේ අභ්‍යන්තර තාපය පිට වීම අඩු වූ බව කියැවේ.

‘Bruce Lee: A Life’ නමින් ඔහුගේ චරිතය අළලා Matthew Polly ලියූ පොත – www.amazon.com

 

මරණය සිදුවීමට සති කිහිපයකට පෙර, එනම් 1970 මැයි 10 දින, ඔහු එක්තරා චිත්‍රපටයක දෙබස් හඬකැවීම් සඳහා ශබ්දාගාරයක් වෙත ගිය අවස්ථාවේ ඒ බව තහවුරු වන සිදුවීමක් වී තිබිණි. එදින ඔහු කුඩා කාමරයක් තුළ අදාළ හඬකැවීම් සිදු කරමින් සිටින අවස්ථාවේ වායු සමීකරණවල ශබ්දය ඊට බාධාවක් වූ බැවින් ශබ්ද ඉංජිනේරුවන් සුළු වෙලාවකට වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියා විරහිත කර තිබේ.

ඉන් මිනිත්තු තිහක් වැනි කාලයකට පසු ඔහු ක්ලාන්ත වී බීම ඇද වැටිණි. ඉතා ඉක්මනින් ඔහු රෝහල්ගත කිරීමට එතැන සිටි පුද්ගලයන් කටයුතු කළ අතර ඔහු ‘මස්තිෂ්ක ශෝථය’ නම් තත්ත්වයෙන් (මොළය ආශ්‍රිත ව යම්කිසි තරලයක් හට ගැනීම නිසා ඇති වන පීඩනය) පෙළෙන බව වෛද්‍යවරු නිගමනය කළහ. එදින ඔහු මරණාසන්නව සිටි නමුත් නිසි වෙලාවට වෛද්‍ය ප්‍රතිකාර ලැබීම නිසා සුව විය.

බෲස් ලී කුඩා කල මව්පියන් සමඟ – www.wikipedia.org

තාප ආඝාතය

ගිම්හාන සෘතුව තුළ සමහර පුද්ගලයන්ගේ මරණවලට සුලබ හේතුවක් වන තාප ආඝාතය (ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළ යාම) හේතුවෙන් බෲස් ලී ගේ මරණය සිදු වූ බවට වන මතයක් මෑතකාලීන ව ඉදිරිපත් වී තිබේ. විශේෂයෙන් ම එක්සත් ජනපදය තුළ පමණක් තාප ආඝාතය හේතුවෙන් වසරකට පුද්ගලයන් තුන් දෙනකු මිය යන බව සමීක්ෂණවලින් හෙළි වී තිබේ.

මෙම තත්ත්වයට ගොදුරු වන බොහෝ අයගේ මොළය හෝ මොළයේ කොටසක් ඉදිමීම ද සිදු වේ. වරක් මෙම තත්ත්වය ඇති වූ අයකුට නැවැත නැවැතත් එය ඇති වීමට ඇති ඉඩ වැඩි බව ද සොයා ගෙන තිබේ. මෙම තත්ත්වය ඇති වන පුද්ගලයකුගේ විවිධ අවයව, දින, සති සහ මාස ගණන් අක්‍රිය වී පැවැතිය හැකි බැවින් ඔවුන් මරණයට පත් වීමේ අවදානම ඉතා ඉහළ මට්ටමක පවතී.

මරණයට හේතුව තාප ආඝාතය බව තහවුරු කෙරෙන සාධක

බෲස් ලී ගේ මරණය සිදු වූ 1973 ජූලි 20 දිනය එම මාසය තුළ හොංකොං නගරයේ වැඩි ම උෂ්ණත්වය පැවති දිනය බව පසුකාලීනව අනාවරණය විය. එදින තිබූ අධික උණුසුම හේතුවෙන් ඔහු තරමක් අපහසුවෙන් සිටි බව චව්, මාධ්‍ය වෙත පවසා තිබේ. ඔහු ඒ පිළිබඳ ව අදහස් දක්වා ඇත්තේ පහත පරිදි ය:

“බෲස් ලී හිටියේ තරමක් අපහසුවෙන්. මාත් එහෙමයි. අපි වතුර ටිකක් බීල වැඩකටයුතු ගැන සාකච්ඡා කරන්න පටන් ගත්තා. ඊට පසුව බෲස් ලී, ‘Game of Death’ චිත්‍රපටයේ ජවනිකා කිහිපයක් පුහුණු වුණා. ඔහු ගොඩක් උඩ පැනලා පුහුණුවීම් කළා. ඒ නිසා ඔහු තරමක් වෙහෙසට පත් වෙන්නට ඇති. ටික වෙලාවකට පසුව ඔහු තරමක් සුදුමැලි වෙලා තිබුණා, ඒ වගේම හිසරදයක් ගැනත් කිව්වා.”

බෲස් ලී ගේ සොහොන – www.pinterest.com

කවරයේ ඡායාරූපය - බෲස් ලී සටන් ජවනිකාවක යෙදෙන අයුරු - www.blackbeltmag.com

මූලාශ්‍ර-

www.history.com/ Matthew Polly

www.bbc.com

www.esquire.com

www.dailystar.co.uk

Related Articles