Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජර්මනිය පරාජය කිරීමට විශාල දායකත්වයක් දැක්වූ ඕස්ට්‍රේලියානුවා – සර් ජෝන් මොනෑෂ්

ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් සරසවිය පිළිබඳ ඔබ අසා ඇතිවාට සැකයක් නැහැ. මොනෑෂ් සරසවිය එරට ඉතිහාසයේ පුද්ගලයකුගේ නමින් නම් කළ පළමු සරසවිය යි. එය නම් කළේ ඕස්ට්‍රේලියාවෙන් බිහි වූ විශිෂ්ටතම යුධ සෙන්පතියා ලෙස සැලකෙන සර් ජෝන් මොනෑෂ්ගේ නමින්.

සර් ජෝන් මොනෑෂ් පළමු ලෝක යුධ සමයේ දී මිත්‍ර පාක්ෂික යුධ උපක්‍රම නිර්ණය කිරීමේ දී වැදගත් කාර්ය​යභාරයක් ඉටුකළ අයෙක්. වරක් ඔහුගේ එදිරිවාදීන් විසින් ඔහුව ඕස්ට්‍රේලියානු බලකායේ අණදෙන නිලධාරී තනතුරෙන් ඉවත් කිරීමට ද උත්සාහ කළා. එහෙත් එවකට ඕස්ට්‍රේලියානු අගමැතිවරයා විසින් ගත් නිවැරදි තීරණයක් හේතුවෙන් ඔහු දිගටම එම ස්ථානයෙහි රැඳී සිටියා. මිත්‍ර පාක්ෂිකයන්ගේ ජයග්‍රහණයට ඕස්ට්‍රේලියානු අගමැතිගේ තීරණය කෙලින්ම බලපෑවේයැ යි කිව හැකියි.

ජර්මන් මූලයන්

ජෝන් මොනෑෂ් උපත ලද්දේ 1865 ජූනි 27 වන දා යි. ඔහුගේ දෙමාපියන් යුදෙව්වන් වූ අතර ප්‍රශියාවෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූවන් වුණා. ප්‍රශියාව 1871 දී ජර්මන් අධිරාජ්‍යය බිහි වීමට මුල් වූ රාජ්‍යය යි. එහෙයින්, මොනෑෂ් පළ්මු ලෝක යුද්ධයෙ දී යුධ වැදුණේ තම දෙමාපියන් ඉපදුණ ප්‍රදේශය ද ඇතුලත් වූ රටට එරෙහිව යි.

මොනෑෂ්ගේ නිවසෙහි භාවිතා කළේ ජර්මන් භාෂාව යි. නමුත් මොනෑෂ්ගේ ජර්මන් මූලයන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු වූයේ නැහැ. නමුත් ඔහුගේ හමුදා ජීවිතයේ දී ඉඳහිට මෙම මූලයන් ඔහුට ප්‍රශ්න ඇති කළා..

මොනෑෂ්ගේ දෙමාපියන් උපන් ප්‍රදේශය වර්තමානයේ දී අයත් වන්නේ පෝලන්තයට යි.

ඉංජිනේරුවේදය සහ හමුදා සිද්ධාන්ත​

මොනෑෂ් කුඩාකල සංගීතයට ද දස්කම් පෙන්වූ අතර පසුව ඉංජිනේරු ක්ෂේත්‍රය පිළිබඳ හැකියාවන් පෙන්නුම් කළා. ඔහු මෙල්බර්න් සරසවියෙන් ඉංජිනේරුවකු ලෙස උපාධිය සම්පූර්ණ කළා. එකල ඔහු ශිෂ්‍ය දේශපාලන කටයුතුවලට ද සම්බන්ධ වුණා. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මිලීෂියාවට ද එක්ව කටයුතු කළා.

ඔහු ඉංජිනේරුවේදයට මෙන්ම හමුදා සිද්ධාන්ත පිළිබඳ අධ්‍යයනයට ද එක සේ රුචිකත්වය දැක්වූවා. ඔහු කාලතුවක්කු ශිල්පය පිළිබඳ අධ්‍යයනය කළ අතර කාලතුවක්කු නිලධාරියකු ලෙස ද කටයුතු කළා. 1912 දී ඔහු 13 වන පාබල බ්‍රිගේඩයේ අණදෙන නිලධාරියා ලෙස පත් වූයේ කර්නල් නිලය දරමින්. එමෙන්ම ඔහු ලියූ “භට කණ්ඩායම් අණදෙන​ නිලධාරීන්ට උපදෙස් සියයක්” පත්‍රිකාව හමුදා පුහුණුව සඳහා යොදාගන්නා නිර්දේශිත ලියවිල්ලක් බවට ද පත් වුණා.

පළමු ලෝක යුද්ධය

පළමු ලෝක යුද්ධය ඇරඹී ස්වල්ප කලකින්, 1914 සැප්තැම්බර් මාසයේ දී, අධිරාජ්‍යයීය ඕස්ට්‍රේලියානු බලකාය පිහිටුවන ලද අතර මොනෑෂ්ව එහි සිව් වන පාබල බ්‍රිගේඩයෙහි අණදෙන නිලධාරියා ලෙස පත් කෙරුණා. ඔහුගේ ජර්මන් පසුබිම හේතුවෙන් ඔහුව එම ස්ථානයෙන් ඉවත් කිරීමට ඇතැමුන් උත්සාහ කළ ද උසස් නිලධාරීන් කිහිප දෙනෙකුම ඔහුට සහාය දැක්වූ හෙයින් එම උත්සාහයන් සාර්ථක වූයේ නැහැ.

1915 ජනවාරියේ මොනෑෂ්ගේ බ්‍රිගේඩය ඊජිප්තුව වෙත යවන ලද අතර ඔහු අප්‍රේල් මාසයේ ගැලිපොලි යුධ ව්‍යාපාරයට එකතු වුණා. එහි දී ද ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව පිළිබඳව ඔහු ප්‍රසිද්ධියක් දිනාගත්තා. කෙසේ වෙතත් මේ හා සමගාමී කාලයක ඔහුගේ විරුද්ධවාදීන් ඔහු පිළිබඳ පැතිරවූ කටකතාවකින් කියැවුණේ ඔහු ජර්මන් ඔත්තුකරුවකු ලෙස නිගමනය කර මරණ දඬුවමට ලක් කෙරුණ බව යි.

ගැලිපොලියෙන් පසු මොනෑෂ් කලක් සූවස් ඇළ ප්‍රදේශයේ ආරක්ෂක කටයුතුවල නිරත වුණා. 1916 ජූනි මාසයේ ඔහුව බටහිර පෙරමුණ වෙත අනුයුක්ත කෙරුණ අතර ජූලි මාසයේ දී මේජර් ජෙනරල් තනතුරට උසස් කර, ඕස්ට්‍රේලියානු තුන්වන ඩිවිෂනයෙහි අණදෙන නිලධාරියා ලෙස පත් කරනු ලැබුණා. ජෙනරාල් හර්බර්ට් ප්ලූමර් යටතේ වූ බ්‍රිතාන්‍ය දෙවන හමුදාවට මෙම සේනාංකය අනුයුක්ත කරනු ලැබුණා.

මේ යටතේ මොනෑෂ්ගේ සේනාංක මෙසීන් සහ පැෂන්ඩේල් සංග්‍රාමයන්ට සහභාගී වුණා. එහිදී ඔහුගේ සටන්කාමීත්වය සහ උද්‍යෝගය පිළිබඳ ඔහු නමක් දිනා ගත්තා.

ඕස්ට්‍රේලියානු බලකායේ අණදෙන නිලධාරී

1918 මාර්තුවේ ජර්මන් වසන්ත ඍතු ප්‍රහාරය ඇරඹෙද්දී ඕස්ට්‍රේලියානු සේනා සටන්වලට සහභාගී වූයේ නැහැ. කලින් වසරේ සිදු වූ සටන්වලින් හෙම්බත්ව සිටි ඔවුන් විවේක ගනිමින් සහ ප්‍රතිසංවිධානය වෙමින් සිටියා. මේ අතර 1918 ජූනි 1 වන දා මොනෑෂ්ව බටහිර පෙරමුණේ ඕස්ට්‍රේලියානු බලකායේ (Australian Corps) අණදෙන නිලධාරී ලෙස පත් කරනු ලැබුණා.

ඕස්ට්‍රේලියානු බලකායේ නිලධාරීන් පිරිසක් සමග (Australian War Memorial)

ඔහුගේ විරුද්ධවාදීන් මොනෑෂ්ට එරෙහිව ඕස්ට්‍රේලියානු අගමැති බිලී හියුස් වෙත විවිධ ව්‍යාජ අදහස් ගෙන දැක්වූවා. ඔවුන් කියා සිටියේ මොනෑෂ්ට ඕස්ට්‍රේලියානු බලකායේ නිලාධාරීන් කැමැත්තක් නොදක්වන බව යි. හියුස් බටහිර පෙරමුණෙහි සංචාරයකට පැමිණි අතර හියුස් ඒ වෙද්දී මොනෑෂ්ව තනතුරින් ඉවත් කිරීමට සූදානමින් සිටියා. නමුත් ඊට පෙර නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට ඔහු තීරණය කළා. එහිදී, තමන් තුළ වූ ප්‍රතිරූපය වැරදි බව හියුස් වටහා ගත්තා. ඒ අනුව මොනෑෂ් දිගටම තම ධුරයෙහි රැඳී සිටියා.

අමෙල් සහ අමියොන්

යුධ ටැංකිය නවීන අවියක් ලෙස තම ස්ථාවරත්වය ගොඩනගා ගත්තේ 1917 අවසන් දිනවල සිදු වූ කම්බ්‍රේ සටනේ දී යි. එමෙන්ම මේ වනවිට දින ගණන් එල්ල වන කාලතුවක්කු ප්‍රහාර වෙනුවට​, පාබල හමුදාවන්ට සමගාමීව ඉදිරියට ඇදෙන කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමේ කලාව ද වර්ධනය වෙමින් තිබුණා. පොදුවේ සැලකූ විට​, 1918 වසරේ දෙවන භාගය වනවිට පැරණි යුධ උපක්‍රම සම්පූර්ණයෙන් ම පාහේ ප්‍රතික්ෂේප වී තිබුණා.

මෙම සමයේ දී, නව යුධ උපක්‍රම සමග නව්‍ය ලෙස යුධ සැලසුම් සැකසීමේ ප්‍රමුඛයකු ලෙස මොනෑෂ් සැලකිය හැකියි. ඔහු ව ඉවත් කිරීමේ කුමන්ත්‍රණය දියත් වන සමයෙහි ඔහු සිටියේ මෙම නව උපක්‍රම අත්හදා බලන සටනක සැලසුමක් සකස් කරමින්. මෙම සැලසුම අනුමත වූ අතර 1918 ජූලි 4 වන දා එම සටන් ක්‍රියාත්මක වුණා. ඒ අමෙල් සටන (Battle of Hamel) යි.

ප්‍රංශයේ ල අමෙල් නගරය ආශ්‍රිතව දියත් කරන ලද මෙම ප්‍රහාරයේ අරමුණ වුණේ අමියොන් ප්‍රදේශයෙන් ජර්මන් සේනා පසුබැස්සවීම යි. එමෙන්ම අමෙල් සටන සීමා සහිත වූ ඉලක්කවලින් යුතු සටනක් වුණා. පළමු ලෝක යුද්ධයේ දින​, සති, මාස ගණන් ඇදී ගිය සටන් හා සාපේක්ෂව අමෙල් සටන යනු ඉතාම කෙටි සටනක්. එනිසාම ඒ පිළිබඳ නිතර කතාබහට ලක්වනු දකින්නට ලැබෙන්නේ නැහැ. එහෙත් අමෙල් සටන හැඳින්වෙන්නේ සත්‍ය වශයෙන්ම නූතන වූ පළමු සටන යනුවෙන්. මෙහිදී පාබල​, කාලතුවක්කු, යුධ ටැංකි, ගුවන් ආදී සියළු සේනා එක්ව ජර්මන් ඉලක්ක අල්ලාගැනීමේ සටනට සහභාගී වුණා.

අමෙල් සටනේදී ඕස්ට්‍රේලියානු සහ ඇමරිකානු සෙබළුන් පිරිසක් (Australian War Memorial)

සටන ඉක්මන් එකක් විය යුතු වුණා. මොනෑෂ් සැලසුම් කර තිබුණේ විනාඩි 90කින් සියළු ඉලක්ක අල්ලා ගැනීමට යි. ඒ සඳහා ගතවූ කාලය විනාඩි 93 ක් පමණයි. ඒ තරම්ම මොනෑෂ්ගේ සැලසුම තිතටම ක්‍රියාත්මක වුණා.

ජී. ජේ. මයර්ස් A World Undone: The Story of the Great War, 1914 to 1918 කෘතියෙහි මෙසේ සඳහන් කරනවා:

අමෙල් සටන පළමුවන සත්‍ය ලෙසම නූතන සටන ලෙස හඳුන්වා දෙනු ලබයි. එය පසුකාලීන බ්‍රිතාන්‍ය යුධ මෙහෙයුම් සඳහා ආදර්ශයක් වූයේ ය​. මොනෑෂ්ගේ යුධ උපක්‍රම පිළිබඳ පත්‍රිකාවක් බ්‍රිතාන්‍ය කාර්යය​ සාධන බලකායේ සියළුම හමුදා නිලධාරීන් අතර බෙදා දෙන ලද්දේ ය​.”

1918 අගෝස්තු 8 වන දා ඇරඹි අමියොන් සටනෙහි සැලසුම සකස් කිරීම සඳහා මොනෑෂ් පුද්ගලිකව කෙතෙක් දායක වී ද යන්න තහවුරු කරන්නට බැහැ. නමුත් ඒ සඳහා උපයෝගී වූයේ අමෙල් සටන සඳහා වූ ඔහුගේ සැලසුම බවට විවාදයක් නැහැ. අමියොන් සටනේ දී ජර්මන් සේනා පැහැදිලි පරාජයක් ලද අතර එයින් පසු කිසිදු අවස්ථාවක ඔවුනට යුධ පෙරමුණෙහි තම ආධිපත්‍යය තහවුරු කරගැනීමට හැකි වූයේ නැහැ. අගෝස්තු 11 වන දා අමියොන් සටන නිම වෙද්දී මිත්‍ර පාක්ෂිකයන් බොහෝ දෙනාගේ අවධානය මොනෑෂ් වෙත යොමු වුණා. අගෝස්තු 12 වන දා පස්වන ජෝර්ජ් රජු විසින් ඔහුට නයිට් නාමයක් ප්‍රදානය කෙරුණා. මොනෑෂ් මීළඟ දිනවල ද ජර්මන් හමුදාව පරාජය කිරීමේදී සැලකිය යුතු දායකත්වයක් දැක්වූවා.

මොනෑෂ්ගේ යුධ මෙහෙයුම්වල ප්‍රධානම ලක්ෂණය වූයේ කලමණාකරණය යි. ඔහු පෙරමුණට අවශ්‍ය සියළු දේ නියමිත පරිදි මෙහෙයවීමට කටයුතු කළා. සටන් බිමේ ඉදිරිපෙළ සටන් කිරීම වෙනුවට ඔහුගේ මූලික කර්තව්‍යය වුණේ සියල්ල සැලසුම් සහගත ලෙස සිදුවන බවට වගබලා ගැනීම යි. එමෙන්ම ඔහු නවීන තාක්ෂණය සහ යුධ උපක්‍රම භාවිතා කිරීමට ද පසුබට වූයේ නැහැ.

යුද්ධයෙන් පසු

යුද්ධය අවසන් වූ පසු මොනෑෂ් විසින් මුලින්ම සිදුකළ කර්තව්‍යයක් වුණේ ඕස්ට්‍රේලියානු සෙබළුන් හැකි ඉක්මණින් ආපසු සියරට එවීම යි. එය සිතන තරම් පහසු කරුණක් වූයේ නැහැ. ඒ සඳහා ආවශ්‍ය නෞකා සපයා ගැනීම ඉතා අසීරු වුණා. කෙසේ හෝ ඔහු මාස අටක් තුළ එම කාර්යය සම්පූර්ණ කළා.

මොනෑෂ් යුද්ධයෙන් පසු විවිධ තනතුරුවල කටයුතු කළා. මෙල්බර්න් සරසවියේ උපකුලපති තනතුර ද ඒ අතර වනවා. එපමණක් නොව, මෙල්බර්න් හි Shrine of Remembrance (අනුස්මරණයේ සිද්ධස්ථානය​) නම් යුධ ස්මාරකය ඉදි කිරීමේ කටයුත්තෙහි ද මූලිකත්වය ගෙන කටයුතු කළ අයකු වූයේ ඔහු යි.

කෙසේ නමුත් එම ස්මාරකය නිමවීමට පෙර​, 1931 ඔක්තෝබර් 8 වන දා සර් ජෝන් මොනෑෂ් හෘදයාබාධයකින් මියගියා.

Cover Image: ජෝන් මොනෑෂ් 1918 දී (Australian War Memorial)

මූලාශ්‍රයයන්:

Related Articles