ජනප්‍රිය සිංහල සිනමාවේ ප්‍රධානතම බලකණු කිහිපය නම් කරන්නට යෙදුණහොත් ඒ අතරින් ඉහළම ස්ථානයක විජය කුමාරතුංග නාමය අනිවාර්යයයෙන්ම සඳහන් වෙනවා. සොඳුරු කලාකරුවෙකු හා දේශපාලඥයෙකු ලෙස පමණක් නොව ජනතාවාදී මිනිසෙකු ලෙස ඔහුගේ නාමය ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකුගේ හදවතෙහි සටහන් වී තිබෙනවා. කුරිරු ඝාතකයෙකුගේ අතින් අමානුෂික ලෙස ඝාතනය වී අදට වසර තිහක් ගත වී ඇති නමුත් ඔහුගේ ජනප්‍රිය භාවය බිඳකදු අඩු වී නැත්තේ එහෙයිනුයි. මේ, ක්‍රි.ව 1988 පෙබරවාරි මස 16 වැනි දින ශ්‍රී ලංකාවට අකාලයේ අහිමි කරන ලද ඒ සුන්දර මිනිසා පිලිබඳ සටහනක්.
කුඩා කාලය
ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සීදූවේ පදිංචිව සිටි කෝවිලගේ බෙන්ජමින් කුමාරතුංග හා ක්ලේරා බියට්‍රිස් කුමාරතුංග යුවලට ක්‍රි.ව 1945 ඔක්තෝබර් මස 9 වනදා හිරු නැගෙන්නට ප්‍රථමයෙන් පුත්‍ර සම්පතක් ලැබුණා. ඔහුට නම් තැබෙන්නේ කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග නමින්. විජය කුඩා කල පටන් අධ්‍යාපනයට මෙන්ම විෂය පරිබාහිර කලා කටයුතු වන කථනය හා ගායනයටත්, ක්‍රීඩා වලටත් එකසේ දස්කම් පෑවා. කරදඬු උස් මහත් වීමට පෙර ඔහුගේ පියා ජීවිතයෙන් සමුගත්තත් අධ්‍යාපනයෙන් අඩුවක් වීමට පවුලේ උදවිය ඉඩ තබන්නේ නැහැ.
කොටහේනේ ශාන්ත බෙනඩික් විදුහලෙන් සිප්සතර හදාරන කාලයේ පටන් විජයගේ ගායන හා රංගන හැකියාවන් මදින් මද පිළිබිඹු වන්නට පටන් ගෙන තිබුණා. කෙසේ නමුත් ඔහුගේ ප්‍රධාන අභිප්‍රාය වූයේ උස් මහත් වූ පසු පොලිස් නිලධාරියෙක් බවට පත් වීමටයි. ඒ සඳහා අවශ්‍ය වන ආරෝහ පරිණාහ දේහයක් ද ඔහු සතු වුණා.
තරුණයෙකු ලෙස
ක්‍රි.ව 1960 දශකයේ මැද භාගය වන විට විජය කඩවසම් තරුණයෙකුව සිටියා. මේ වන විට විදුහලේ හා ගම් පියසෙහි කා අතරත් ජනප්‍රියව සිටි ඔහු තමන්ගේ කලා හැකියාව හා ආකර්ෂණීයභාවය වටහාගත් නිසාදෝ කෙමෙන් කෙමෙන් කලා කටයුතු වලට යොමු වෙනවා. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසගේ ගීත නාට්‍ය වලට ද සම්බන්ධ වන ඔහු නළුවකු වශයෙන් කලා ලෝකයට අත්පොත් තබනවා. මේ අතර චිත්‍රපටයක සමූහ දර්ශනයකට පෙනී සිටීමේ අවස්ථාවත් ඔහුට ලැබෙනවා.
සිනමා රංගන වරම
විජය සිය දිවියේ 20 වැනි සැතපුම් කණුව පසු කරන විට ඔහුට ‘පික්චර් පිස්සුව ‘ හා ‘පොලිස් උණ’ යන දෙකම වැළඳී තිබුණා. කෙසේ නමුත් දෛවෝපගතව ඔහුට පොලිස් නිලධාරියෙකු වන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. මේ අතර සිනමා අධ්‍යක්ෂක සුගතපාල සෙනරත් යාපා සිය නවතම චිත්‍රපටය වන ‘හන්තානේ කතාව‘ ට නළුවරණයක් තබනවා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට ඒ වන විට සිනමා ක්ෂේත්‍රයේ යම් නමක් තිබූ ටෝනි රණසිංහ හා ස්වර්ණා මල්ලවාරච්චි තෝරාගෙන තිබුණු අතර තවත් ප්‍රධාන චරිත දෙකකට ආධුනික නළුවන් දෙදෙනෙක් අධ්‍යක්ෂකවරයා සොයමින් සිටියා. තිර පරීක්ෂණයට පැමිණි පුද්ගලයින් සියගණනක් අතුරින් ඒ සඳහා තෝරා ගැනෙන්නේ විජය හා පසුකාලීනව තවත් ප්‍රවීණ රංගධරයෙකු වූ අමරසිරි කලංසූරියවයි.
සිනමාවේ හිනිපෙත්තටම
සරසවි කතාවක් කරණ කොටගෙන තැණුනු හන්තානේ කතාවෙහි විජයට ලැබුණේ ‘බන්දු’ නැමති සරසවි සිසුවාගේ චරිතයයි. ඔහු එය තමන්ට හැකි උපරිමයෙන් රඟ දැක්වූ අතර මේ කඩවසම්, දක්ෂ තරුණයා පිළිබඳව ඉකමණින්ම චිත්‍රපට ක්ෂේත්‍රයේ හාහූවක් ඇති වුණා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් හන්තානේ කතාව තිරගත වීමටත් ප්‍රථමයෙන් තවත් චිත්‍රපට රැසක ගිවිසුම් වලට අත්සන් තැබීමට තරම් විජය වාසනාවන්ත වුණා.
හැත්තෑව දශකයේ උදාව ශ්‍රී ලාංකේය සිනමාවට වසන්තය උදා කරළූ අතර විජයටත් ඒ සමඟින්ම සිය හොඳම කාලය උදා වුණා. හැත්තෑව දශකයේ තිරගත වූ විජයගේ චිත්‍රපට අතුරින් මේ දෑස කුමටද, හතර දෙනාම සූරයෝ, සංගීතා, වාසනා, අභිරහස, මරුවා සමඟ වාසේ, පෙම්බර මධු වැනි චිත්‍රපට ගොන්නක් අති සාර්ථක වූ අතර ඔහුගේ රංගනයන් නැරඹීමට වැල නොකැඩී ජනයා ඇදී එන්නට වුණා. මේ අතරින් අතිශය සාර්ථක වූ යසපාලිත නානායක්කාරගේ තුෂාරා (1973) චිත්‍රපටය දින සියය ඉක්මවා තිරගත වූ ප්‍රථම සිංහල චිත්‍රපටය බවට පත් වූ අතර සිංහල වාණිජ සිනමාවේ සුපිරි වීරයාගේ තත්ත්වයට විජයව ඔසවා තැබුවා. විජය- මාලිනී රංගන සුසංයෝගය ශ්‍රී ලාංකීය වාණිජ සිනමාව නව මානයකට ගෙන ගිය අතර, ඔහුට කදිමට ගැලපුණු එච්. ආර් ජෝතිපාලයන්ගේ සුමධුර කටහඬත් විජයගේ සාර්ථකත්වයට කදිම රුකුලක් වුණා.
සම්භාව්‍ය සිනමාව හා අවසන් යුගය
සිය කෙටි ජීවිත කාලය තුල විජය චිත්‍රපට 100 කට අධික ප්‍රමාණයකට සිය රංගන දායකත්වය සපයා තිබුණා. 80 දශකයෙහි තිරගත වූ වාණිජ චිත්‍රපට වන ඔබටයි ප්‍රියේ ආදරේ, මමයි රජා, පෙරළිකාරයෝ, නොම්මර 17 වැනි චිත්‍රපට සාර්ථක වීම විජය කෙරෙහි තිබූ ජනතා ආකර්ෂණය නොනැසී පවත්වා ගැනීමට රුකුලක් වුණා.
වාණිජ සිනමාවෙහි වැඩි නමක් දිනා සිටිය ද කලාත්මක හා සම්භාව්‍ය සිනමාපට අධ්‍යක්ෂණය කළ සිනමාකරුවන්ද සිය නිර්මාණ වලට විජයගේ රංග කෞෂල්‍යය යොදා ගැනීමට උත්සුක වුණා. ඔවුන්ගේ තීරණය නිවැරදි බව මොනවට පසක් කරමින් ඒවායේ ද විස්කම් පෑමට විජය සමත් වුණා. ධර්මසේන පතිරාජයන්ගේ අහස් ගව්ව, බඹරු ඇවිත්, තිස්ස අබේසේකරයන්ගේ මහගෙදර, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බැද්දේගම, වසන්ත ඔබේසේකරයන්ගේ කැඩපතක ඡායා වැනි නිර්මාණ වල විජය මැවූ චරිත පිළිබඳ සිනමා විචාරකයින් අදටත් කතා කරන්නේ ප්‍රශංසා මුඛයෙන්. සිය දිවියේ අවසන් කාලයේ ඔහු රඟපෑ ක්‍රිස්තු චරිතය චිත්‍රපටයේත් ඔහුගේ රංගනය ප්‍රශස්ථ මට්ටමක තිබුණා.
ගායකයෙකු ලෙස
විජය කුමාරතුංග ගායකයෙක් ලෙසද සිය හැකියාව මොනවට විදහා පෑවෙක්. සුමිත්‍රා පීරිස්ගේ ගඟ අද්දර චිත්‍රපටයට ඔහු ගැයූ ‘ගඟ අද්දර මා’ ගීතය ඔහුගේ ජනප්‍රිය ගී අතුරින් ඉදිරියෙන්ම තිබෙනවා. මීට අමතරව සරල ගී රාශියක් ඔහු විසින් ගායනා කර තිබෙනවා. මිණි කිංකිණි, කරඹ යායේ, එක වරක්, බලන්න අරුණ සමඟ ඉන් කිහිපයක් පමණයි. විශේෂයෙන් 1987 වසරේ සිදු වූ එච්.ආර් ජෝතිපාලයන්ගේ මරණය සමඟ තමන් රඟන ගී වල පසුබිම් ගායනය තමා විසින්ම සිදු කිරීමට ඉටාගත් ඔහු පසුබිම් ගායකයෙක් වශයෙන් දිගු ගමනක් යන්නට පෙරුම් පුරනවා. 1990 දශකය මුල දී තිරගත වූ ‘සහරාවේ සිහිනය‘ චිත්‍රපටයට විජය ගැයූ ‘වලාකුළක් ගෙන’ හා ‘මල් හසරැල් සැලෙන ලොවක්’ වැනි ගී ඇතුලත් වන්නේ එසේ යි. නමුත් අවාසනාවට එහි රංගනයේ යෙදීමට ප්‍රථම ජීවිතයෙන් සමුගැනීමට ඔහුට සිදු වෙනවා.
සම්මාන හා ඇගයීම්
විජය කුමාරතුංග ජනතාවාදී කලාකරුවෙකු ලෙස රටේ බාල මහළු කොයි කාගේත් ආදරය දිනා සිටියා. එමෙන්ම සමහරු ඔහුගේ රංගනයට වශී වුණා. මෙහි ප්‍රතිඵලයක් ලෙස සිංහල සිනමාව ඉතා හොඳ අඩියක තිබූ 1983 වසරේ පටන්, නොකඩවා සය වතාවක් ජනප්‍රියම නළුවා වෙනුවෙන් පිදෙන සරසවි සම්මානය දිනා ගැනීමට ඔහු සමත් වෙනවා. මීට අමතරව සහරාවේ සිහිනය හා දොලොස්මහේ පහන වෙනුවෙන් හොඳම ගායකයාට පිදෙන සරසවි සම්මානයත් ඔහුට හිමිවුණත්, අවාසනාවට ඒ වන විට ඔහු සිය දිවියෙන් සමුගෙන අවසන්.
විවාහය හා දේශපාලන ජීවිතය
බොහෝ දෙනා සිතන පරිදි ‘නළුවෙක්’ යනු සිහින ලෝකයක ජීවත් වෙන්නෙක් වූවාට විජය එයින් සම්පූර්ණ පරිබාහිර චරිතයක් වුණා. විශේෂයෙන් හැකි සෑම විටම පීඩිත පන්තිය හා සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නට ඔහු උත්සුක වුණා. විජය සිය දේශපාලන දිවියේ ආරම්භය සනිටුහන් කරන්නේ 1970 වසරේ දී ලංකා සමසමාජ පක්ෂයට බැඳෙමින්. 1977 වසරේ දී ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වී කටාන ආසනයේ සංවිධායකයා වශයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වූවත් ඉන් පරාජය වනවා.
ක්‍රි.ව 1978 දී විජය හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්. ඩී. බණ්ඩාරණායක හා අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරණායකගේ කණිටු දියණිය වන චන්ද්‍රිකා බණඩාරනායක මැතිණිය හා විවාහ වෙනවා. මෙය ඔහුගේ දේශපාලන ගමනට මහත් පිටිවහලක් වෙනවා.
ක්‍රි.ව 1982 වන විට ශ්‍රී ලංකාවේ දේශපාලනික වටපිටාව අමුතුම මගක් ගෙන තිබුණා. 1982 ජනපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වීමට සිටි සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමත් සමඟ ඒ වෙනුවට පක්ෂය විසින් හෙක්ටර් කොබ්බෑකඩුව මහතාව ඉදිරිපත් කළ අතර, විජය ඔහුට නොමඳ සහයක් දැක්වූවා. ඉන් පසුව පැවති අතුරු මැතිවරණයේ දී ඔහු මහර ආසනයෙන් තරඟ කළ අතර පරාජය වන්නේ ඡන්ද ඉතා සුළු ප්‍රමාණයකින්. මෙහිදී මැර ප්‍රහාර වලට පවා ලක් වන්නට ඔහුට සිදු වෙනවා.
අසූව දශකයේ මැද භාගය විජයට දේශපාලනික අතින් නම් ඒ තරම් යහපත් එකක් වූයේ නැහැ. නැක්සලයිට් චෝදනාවට බන්ධනාගාර ගත වීමට පවා ඔහුට සිදු වුණා. ඔහු විසින් මහාචාර්යය සුනිල් ආරියරත්නයන් ලවා ලියවාගත් ‘දඟ ගෙයි දඬුවම්’ ගීතයට පාදක වී ඇත්තේ බන්ධනාගාරයේ ලද අත්දැකීම් බව පැවසෙනවා. කෙටි කාලයකින් බන්ධනාගාරයෙන් නිදහස් වූ විජය 1984 වසරේ දී ශ්‍රී ලංකා මහජන පක්ෂය පිහිටුවනවා. ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් 1986 දී මින්නේරිය ආසනයෙන් මැතිවරණයකට ඉදිරිපත් වූ ඔහු ඉන් දෙවන ස්ථානය ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා තෙවන තැනට ඇද දමමින්.
ජනවාර්ගික අර්බුධය විසඳීමටත් විජයට දැඩි උවමනාවක් හා සැලැස්මක් තිබුණා. 1986 වසරේ දී ඔහු එල්.ටී.ටී.ඊ ඇතුළු උතුරේ අනෙකුත් සන්නද්ධ නායකයින් සමඟ සාකච්ඡා කිරීමට යාපනයට සංචාරය කරන්නේ එහෙයින්.
ක්‍රි.ව 1988 අග භාගයේ පැවැත්වීමට කටයුතු යොදා තිබූ ජනපතිවරණයට සිය පක්ෂයෙන් ඉදිරිපත් වීමට විජය සැලසුම් කරගෙන සිටියා. දේශපාලන වේදිකාවේ ඉතා ආකර්ශණීය චරිතයක් වෙමින් සිටි ඔහු වටා ජනයා එක් රොක් වෙන්නට ගත්තා. මෙය ගතානුගතික දේශපාලන පක්ෂ වල බලවතුන්ගේ දෙබැම හැකිළුවීමට සමත් වුණා. දේශපාලන පක්ෂ කිහිපයක්ම විජය සමඟ සන්ධානගත වීමට කැමත්ත පළ කළ අතර එහි ගිවිසුම අත්සන් කිරීමට යොදගෙන තිබුණේ 1988 පෙබරවාරි මස අග භාගය යි.
දිවියෙන් සමුගැනීම
රංගන ශිල්පියෙකු ලෙස විජයට මුළු රටකම ආදරය හිමි වුණා. එහෙත් දේශපාලනයට පැමිණීමත් සමඟ ඔහුට එරෙහි ප්‍රබල සතුරන් රැසක් ද බිහි වුණා. මින් බහුතරය ඔහුගේ ක්‍රියාදාමය හා මතයන් නිසා අවාසි සිදුවන දේශපාලනික හස්තයි. ක්‍රි.ව. 1988 වන විට ශ්‍රී ලංකා මහජන පක්ෂයේ බෝහෝ දෙනාට දේශපාලනික අඩන්තේට්ටම් සිදු වූ අතර විජයට ප්‍රවේශම් වන ලෙස අවවාදයන් ගලා ආවා. ඔහු ඒවා සැහැල්ලුවෙන් බැහැර කළේ කිසිවෙකුත් තාම ජීවිතයට හානි කරාවි යැයි නොසිතූ නිසාවෙන්. කෙසේ නමුත් 1988 වසරේ පෙබරවාරි මස 16 වැනිදා ඔහුගේ ඒ මතය වැරදි බව රටටම තහවුරු වුණා. එදින මධ්‍යාහ්නය පසුවී මිනිත්තු කිහිපයකින් නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් පොල්හේන්ගොඩ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදීම විජයට වෙඩි පිට වෙඩි තබනවා. ඝාතකයින් ඔහුගේ හිස කුඩු පට්ටම් වී විරූපී වී යනතුරු වෙඩි තබන්නේ ඔහු කෙරෙහි වූ තදබල දේශපාලනික වෛරය පිළිබිඹු කරමින්.
මීට තිස් වසරකට පෙර නවම් මස එක් දිනක සවස් යාමයේ විජය කුමාරතුංග නම් එම අසාමාන්‍ය මිනිසා දැයෙන් සමුගත්තේ දහස් සංඛ්‍යාත ජනයාගේ සෝ සුසුම් මැදයි. අද වන තුරුත් සිංහල සිනමාවට ඔහුගෙන් වූ හිඩැස හරි හැටි පියවාගැනීමට හැකිවී නැහැ. බොහෝ විචාරකයින් පවසන්නේ ශ්‍රී ලංකාවට සේවයක් කිරීමට හැකියාව තිබූ බුද්ධිමත් දේශපාලඥයෙකු ද රටට අහිමි වූ බවයි.
කවරයේ පින්තූරය- Sinhala Cinema Database