එක්සත් ජාතීන්ගේ සංවිධානය 1945 වසරේ ඔක්තෝම්බර් 24 වන දා ආරම්භ වෙනවා. මේ සඳහා මූලිකත්වය ගන්නේ එවකට එක්සත් ජනපද ජනාධිපති ෆ්‍රැන්ක්ලින් රූස්වෙල්ට්, බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් හා සෝවියට් නායක ජෝසප් ස්ටාලින් යන නායකයන් තිදෙනා යි. රටවල්වල අන්‍යෝන්‍ය සහයෝගය වර්ධනය කිරීමත්, නැවත විනාශකාරී ලෝක යුද්ධයක් ඇති නොවීමත් මෙහි මූලික අරමුණ වෙනවා.
1955 දෙසැම්බර් 14 වැනි දින තවත් රටවල් 9ක් සමග ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගන්නවා. ඒ සමයේ ලංකාවේ සිටි අගමැතිවරයා වන්නේ සර් ජෝන් කොතලාවල යි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රථම ලංකා නිත්‍ය නියෝජිතයා වන්නේ (Permanent Representative to United Nations) සර් සෙනරත් ගුණවර්ධන යි. ඔහු ඊට ප්‍රථම ඇමෙරිකා එක්සත් ජනපදයේ ලංකා තානාපතිවරයා වශයෙන් කටයුතු කරනවා.
1956 වසරේ ඔක්තෝම්බර් මාසයේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව සඳහා පළමු වතාවට ලාංකික රාජ්‍ය නායකයෙක් සහභාගී වෙනවා. එලෙස මහා මණ්ඩලය සඳහා සහභාගී වන මෙරට පළමු රාජ්‍ය නායකයා වන්නේ අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩි. බණ්ඩාරනායක යි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලු රටවල් සාමාජිකත්වය දරන එකම අභ්‍යන්තර ආයතනය වන්නේ මහා මණ්ඩලය යි. මේ වන තුරු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ එක වරක් පමණයි. ඒ, 1976 වසරේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 31 වැනි සැසිවාරයේ දී මෙරටට එහි සභාපතිත්වය හිමි වෙනවා. සභාපතිවරයා බවට පත් වන්නේ අචාර්ය හැමිල්ටන් ෂර්ලි අමරසිංහ යි.
හැමිල්ටන් ෂර්ලි අමරසිංහ
1913 වසරේ උපත ලබන හැමිල්ටන් ෂර්ලි අමරසිංහ, කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන අතර කොළඹ විශ්වවිද්‍යාලයෙන් හා ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබනවා. පසුව, ලංකා සිවිල් සේවාවට (Ceylon Civil Service) ඇතුළත් වෙන ඔහු සිවිල් නිලධාරියෙක් ලෙස කලක් කටයුතු කරනවා. 1963 සිට 1967 වසර කාලය තුළ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස කටයුතු කරනවා. අනතුරුව, මුදල් අමාත්‍යංශයේ හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කරනවා. 1967 වසරේ සිට 1980 වසර දක්වා එක්සත් ජාතීන්ගේ ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස තේරී පත් වෙනවා.
මහා මණ්ඩලය, එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර ආයතනවලින් සාමාජික රටවල් සියල්ලම සාමාජිකත්වය දරන එකම අභ්‍යන්තර ආයතනය ලෙස හැඳින්විය හැකි යි. එහි ප්‍රධානියා වන්නේ මහා මණ්ඩලයේ සභාපතිවරයා යි. එක් වසරක් සඳහා මහා මණ්ඩලයේ ප්‍රධානියා පත් කරනු ලබනවා. ඒ අනුව 1976 වසරේ දී මහා මණ්ඩලයේ සභපතිවරයා ලෙස (President of the United Nations General Assembly) හැමිල්ටන් ෂර්ලි අමරසිංහ පත් වෙනවා.
සමුද්‍රීය නීතිය පිළිබඳ සමුළුවේ සභාපතිත්වය (United Nations Convention on the Law of the Sea)
මහා මණ්ඩල සමුළුවේ සභාපතිත්වය ඉසිලීමට ප්‍රථම 1974 වසරේ දී හැමිල්ටන් ෂර්ලි අමරසිංහ සමුද්‍රීය නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ තුන්වැනි සමුළුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනවා. ලෝකයේ සාගර භාවිතා කිරීමේ දී රටවල් සතු අයිතීන් හා වගකීම් නිර්වචනය කෙරෙන වැදගත් ලේඛනයක් වන සමුද්‍රීය නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS) නිර්මාණය වූයේ මෙම සමුළුවේ ප්‍රතිඵලයක් ලෙස යි.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පිහිටවනු ලැබූ එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් මුහුදු සම්පත සෑම රටකටම සාධාරණව බෙදිය යුතු ය යන නිගමනයට එළඹී තිබෙනවා. මේ සඳහා වූ යෝජනාව ප‍්‍රථමයෙන්ම ඉදිරිපත් කර ඇත්තේ මෝල්ටාවේ නියෝජිත අර්විඩ් ප‍්‍රාඩෝ (Arvid Pardo) විසින් හැටේ දශකයේ දී යි.
මෙම යෝජනාව පිළිබඳව අධ්‍යයනය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් විශේෂ කොමිසමක් පිහිටවනු ලැබූ අතර, එය සමුද්‍රීය නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ තුන්වැනි සමුළුව ලෙස හඳුන්වනවා. එහි සභාපතිවරයා වන්නේ ෂර්ලි අමරසිංහ යි. එහි දී සම්පාදනය වූ සාගර නීති වර්ෂ 1983 දී ක‍්‍රියාත්මක වෙනවා.
එම ප‍්‍රඥප්තියට අනුව සෑම රටකම නාවික සැතපුම් 200ක මුහුදු ප‍්‍රදේශයේ ජලය හා මුහුදු පතුළට අයත් සියලු සම්පත් එම රට සතු වෙනවා. එය හඳුන්වන්නේ අනන්‍ය ආර්ථික කලාපය (Exclusive economic zone) ලෙස යි. මෙම නීති සම්පාදනය සඳහා කළ සේවය වෙනුවෙන් ඔහුට එක්සත් ජාතීන්ගේ ගෞරවය හිමි වෙන අතර අදටත් ෂර්ලි අමරසිංහ යන නාමය එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ජනප්‍රිය යි. ඔහුට ගෞරව පිණිස එක්සත් ජාතින් විසින් ෂර්ලි අමරසිංහ අනුස්මරණය කරමින් සාගර නීතිය පිළිබඳව වාර්ෂික අධිශිෂ්‍යත්වයක් (Hamilton Shirley Amerasinghe Memorial Fellowship on the Law of the Sea) උසස් අධ්‍යාපනය වෙනුවෙන් පිරිනමනු ලබනවා.
ලංකාවට මෙන්ම ලෝකයට ද සේවය කරමින් ලංකාවේ නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය මේ අසහාය පුද්ගලයා 1980 වසරේ දී සිය ජිවිත ගමනට සමුදෙනවා.