එදිරිල්ලේ රාල: අයුක්තියට එරෙහිව සටන් කළ වීරයා

එවකට කෝට්ටේ රාජ්‍යය පාලනය කරමින් සිටි 8 වන වීර පරාක්‍රමබාහු රජු හමුවීමට රාජ පුරුෂයන් කිහිපදෙනෙකු 1505 නොවැම්බර් 15 වැනිදා හදිසියේ ම පැමිණියා. එලෙස පැමිණි රාජ පුරුෂයන් රජතුමාට පවසා සිටියේ කොළොම්තොටට අමුතු ම මිනිසුන් පිරිසක් ගොඩබැස සිටින බව යි. පැමිණි කණ්ඩායම තිරිවානා ගල් කැට සපමින් ලේ බොමින් සිටින අයුරු තමන් දුටු බව ද රාජපුරුෂයන් වැඩිදුරටත් දන්වා සිටියා. ඔවුන් එලෙස දැක තිබුණේ පෘතුගීසි ජාතිකයන් කොළඹට පැමිණ සිටින ආකාරය යි. 

එලෙස ලංකාවට පැමිණි පෘතුගීසීන් 1658 වසර වන තුරු ලංකාවේ රැඳී සිටියා. එම කාලයේ දී සමහර සිංහල කුමාරවරුන් පෘතුගීසීන්ගේ සෙවණෙහි හැදී වැඩුණා. ඒ අතුරින් කුමාරවරුන් දෙදෙනකු පසු කලෙක පෘතුගීසින්ට එරෙහි ව සටන් වැදුණා. ඉන් එක් කුමාරයකු වුණු කොනප්පු බණ්ඩාර හෙවත් අවුත්‍රියාවේ දොන් ජෝන් පසු කලෙක පළමු වන විමලධර්මසූරිය නමින් කන්ද උඩරට රජකමට පත්වුණා. අනිත් කුමාරයාට රජකම වෙනුවට මරණය උරුම වුණා. ඒ පෘතුගීසින්ට එරෙහිව සටන් කරන්නට ගොස් මරණය උරුම කර ගත් එදිරිල්ලේ රාල යි. 

පෘතුගීසීන් දිවයිනකට ගොඩබසින අවස්ථාවක්
පෘතුගීසීන් දිවයිනකට ගොඩබසින අවස්ථාවක් -Medium.com

 

ජීවිතයේ මුල් අවධිය 

පෘතුගීසි රාජ සභාවේ තෝල්ක මුදලිවරයා වශයෙන් කටයුතු කළේ ජෙරනිමෝ ද කොරයා හෙවත් එදිරිල්ලේ ආරච්චි නම් ප්‍රභූවරයා යි. එම අවධිය වන විට ජෙරනිමෝ ද කොරයාට රාජ සභාවේ ඉහළ තැනක් හිමි ව තිබුණු නිසා ඔහුගේ පුත්‍රයා ද පෘතුගීසීන්ට සේවය කිරීම සඳහා කැඳවූවා. පෘතුගීසීන් යටතේ සේවයට එක් වීමත් සමඟ ම ඔහුට දොමිංගෝ කොරයා යන නාමය පට බැඳුණා.

එම කුමාරයා යුද ශිල්පයෙහි දක්ෂයකු වුණු නිසා දොන් ජුවන් ධර්මපාල රජතුමා සහ පෘතුගීසීන් ඔහු ගැන පැහැදීමට පත්වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට ඉහළ තනතුරක් ලබා දීම සඳහා ධර්මපාල රජතුමා සහ පෘතුගීසීන් අතරට සාකච්ඡාවක් ඇතිවුණා.

දොමිංගෝ කොරයාට සෙන්පති තනතුරක් 

එම කාලය වන විට දොන් ප්‍රනාන්දු මුදියන්සේ හෙවත් සමරකෝන් රාල පෘතුගීසීන් වෙනුවෙන් සේවය කරමින් සිටියා. එදා සමරකෝන් රාල දකුණේ ප්‍රදේශවල අණසක පතුරවමින් සිටියා. එවැනි කාල සමයක දොමිංගෝ කොරයාට සෙන්පති තනතුරක් ලබා දී ඔහුට සියනෑ කෝරළය සහ හාපිටිගම කෝරළය පාලනය කිරීම සඳහා බලය ලබා දුන්නා.

එලෙස දොමිංගෝ කොරයා පෘතුගීසීන්ට සේවය කිරීම ආරම්භ කර වැඩි කලක් යන්නට පෙර ජෙරනිමෝ ද අසවේදු නම් සෙන්පතියා මෙරට පෘතුගීසි ආණ්ඩුකාර තනතුරට පත්වුණා. ඉන් පසු අසවේදුගේ ප්‍රධාන සෙනෙවිවරුන් දෙදෙනා බවට පත්වුණේ සමරකෝන් රාල සහ දොමිංගෝ කොරයා යි.

අසවේදුගේ දරුණු ක්‍රියාකාරකම්

අසවේදු ලංකාවට පැමිණ ටික දිනකින් සිය කෲරත්වය ප්‍රදර්ශනය කළා. පෘතුගීසි භටයන් 900ක් සහ ලස්කිරිඤ්ඤ භටයන් 2000ක් සමගින් සියනෑ කෝරළයට කඩා වැදුණු අසවේදු සිංහල ගම් පිටින් වනසන්නට පටන් ගත්තා. එම ගම්වල සිටි කුඩා ළදරුවන් අල්ලා ගත් මේ සෙන්පතියා ඔවුන් උඩදමා කඩු අගින් අල්වා, “කුකුළු පැටව් මොරදෙන හැටි බලාපල්ලා” යනුවෙන් අවට සිටි පිරිසට පැවසූ බව කියැවෙනවා.

මෙම සංහාරයේ දී පෘතුගීසි භටයන් අතින් ගර්භණී කාන්තාවන් පවා ඝාතනයට පත්වුණා. ලංකාවට පැමිණි විගස ම අසවේදු සිදුකළ මිනිස් සංහාරය නිසා ඔහුට එරෙහි ව බොහෝ ප්‍රදේශවලින් විරෝධතා මතුවුණා. එම අවස්ථාවේ දී සමරකෝන් රාල රයිගම් කෝරළයටත්, දොමිංගෝ කොරයා හලාවතටත් පිටත් කර හැරියේ විරෝධතා මැඩපැවැත්වීම සඳහා යි. සිංහලයන්ගේ විරෝධතා මර්ධනය කිරීමට ගිය දොමිංගෝ කොරයාට ටික කලකින් තේරුම් ගියේ තමා රට ජාතියට ද්‍රෝහිකමක් කරන බව යි. එනිසා දැන්වත් තම රට, ජාතිය වෙනුවෙන් සේවය කළ යුතු යැයි යන සිතිවිල්ල දොමිංගෝගේ සිතෙහි පහළ වුණා. 

ජෙරනිමෝ ද අසවේදු
ජෙරනිමෝ ද අසවේදු – Blogger.com

 

දොමිංගෝ කොරයා පෘතුගීසීන්ට කළ අභියෝගය 

1595 නොවැම්බර් 17 වැනිදා ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළේ තමන් කතෝලික ආගමේ සහ පෘතුගීසීන්ගේ සතුරකු බව යි. ඉන් අනතුරු ව දොමිංගෝ කොරයා සිය නම එදිරිල්ලේ රාල ලෙසින් වෙනස් කරගෙන රට, ජාතිය බේරා ගැනීම සඳහා සටනක් ආරම්භ කළා. එදා 7000ක පමණ සිංහලයන් පිරිසක් එදිරිල්ලේ රාල වටා එකතු වුණා. ඔහුගේ සොහොයුරු දොන් සීමන් කොරයා ද, ඥාති සොහොයුරකු වුණු ජෝන් පර්නැන්ඩස් හෙවත් නයිදේ අප්පු ද සටන සඳහා එකතු වුණා. 

එම කාලය වන විට සමරකෝන් රාල පෘතුගීසි ලස්කිරිඤ්ඤ හමුදාවේ ප්‍රධාන සෙනෙවියකු බවට පත් ව සිටියා. එදිරිල්ලේ රාල කලක් ඔහුගේ මිතුරකු වුණු සමරකෝන් රාලට පණිවිඩයක් යවමින් ඉල්ලා සිටියේ රට, ජාතිය බේරා ගැනීමේ සටනට එක්වන ලෙස යි. එයට අකමැති වුණු සමරකෝන් රාල සිය සොයුරා වුණු දොන් දියෝගු ද සමඟ උපක්‍රමශීලී ව පෘතුගීසීන් හමුවට ගියා. 

දොන් ජුවන් ධර්මපාල රජු බේරා ගැනීමේ සටන 

එදිරිල්ලේ රාළ ඇතුළු පිරිස කැරැල්ලක් ආරම්භ කිරීමත් සමඟ ම පෘතුගීසීන් කලබලයට පත්වුණා. ඒ වන විට සිංහලයන් දොන් ජුවන් ධර්මපාල රජතුමා සමඟ උරණ ව සිටි නිසා රජතුමාගේ ජීවිතයට අනතුරක් වීමට ඉඩ තිබුණා. එනිසා ජෙරනිමෝ ද අසවේදු සෙන්පතියා රජුගේ ආරක්ෂාව සඳහා විශාල සේනාවක් ගුරුබෑවිලට පිටත් කර හැරියා. එදා පෘතුගීසි භට පිරිස් ගුරුබෑවිලට එන බව සිංහලයන්ට ආරංචි වී තිබුණා. එනිසා සිංහල සේනාව ගස් කපා දමා මාර්ග අවහිර කර තිබුණු නිසා පෘතුගීසීන්ට අලුතින් මාර්ගයක් සකස් කර ගෙන ඉදිරියට යමට සිදුවුණා. 

එහි ප්‍රතිඵලයක් වශයෙන් ගුරුබෑවිල වෙත පැමිණීමට වැඩිපුර කාලයක් ගතවුණා. ඒ අයුරින් වැඩි දින ගණනක් ගතවීම නිසා පෘතුගීසින් සතුව තිබුණු ආහාර සහ ජල සංචිත අවසන් වුණා. එම අවස්ථාවේ දී අසීරුවෙන් ගුරුබෑවිල වෙත ගිය පෘතුගීසින්ට සිංහල සේනාවන්ගෙන් දරුණු ප්‍රහාර එල්ල වුණා. එම ප්‍රහාර හමුවේ පෘතුගීසි භටයන් රැසක් මරණයට පත්වුණා. අවසානයේ දී අසීරුවෙන් ගුරුබෑවිලට ගිය පෘතුගීසි හමුදාව එහි සිටි දොන් ජුවන් ධර්මපාල රජතුමා කොළඹට රැගෙන ඒමට කටයුතු කළා.

එදා සිංහලයන් ගුරුබෑවිලේ සිට කැලණියට යන තෙක් මාර්ගය අවහිර කර තිබුණා. එනිසා රයිගම් කෝරළය හරහා කොළඹට යාමට රජුගෙන් උපදෙස් ලැබුණා. එලෙස රයිගම හරහා කොළඹට යන්නට ගිය පිරිසට එහි බලය තහවුරු කරගෙන සිටි අකරගනේ අප්පුහාමිගේ සේනාව පහර දුන්නා. එම ප්‍රහාරයෙන් අන්දමන්ද වුණු පෘතුගීසි සේනාව එක් අතකින් තුවක්කුව ද අනිත් අතින් කැත්ත ද ගෙන අලුතින් මාර්ගයක් එළිපෙහෙළි කරගෙන ඉදිරියට ගමන් කළා. 

එලෙස ඉදිරියට ඇදුණු පෘතුගීසි සේනාවට එදිරිල්ලේ රාළගේ සිංහල සේනාවෙන් දරුණු ප්‍රහාර එල්ල වුණා. එදා පෘතුගීසි සේනාව මැදට පැන්න සිංහලයන් පරංගීන්ගේ කොඩිය උදුරා ගන්නට තරම් එඩිතර වී තිබුණා. ඒ අයුරින් දරුණු සටන් ඇවිළ තිබුණු මොහොතක පරංගි හමුදාවේ සමරකෝන් රාලට හිතවත් ව සිටි සිංහල මිනිසුන් 500ක් පමණ ඇති පදම් ආහාර සහ ජලය ද රැගෙන යුද  භූමිය වෙත පැමිණියා.

ඔවුන් දුටු එදිරිල්ලේ රාලගේ පිරිස සිතුවේ ආධාර රැගෙන සිංහලයන් පිරිසක් පැමිණ ඇති බව යි. ඔවුන් හමුවට ගිය සිංහල සේනාවට දරුණු ප්‍රහාරයක් එල්ල වුණා. එම ප්‍රහාරයෙන් ජෝන් පර්නැන්ඩස් හෙවත් නයිදේ අප්පු මිය ගියා. ඒ අයුරින් ලැබුණු පිරිස් බලය, ආහාර සහ ජලය නිසා පෘතුගීසීන් දිවි බේරා ගෙන කොළඹ කොටුවට ගමන් කළා. 

පෘතුගීසීන් සහ සිංහලයන් අතර ඇතිවුණු සටනක් දැක්වෙන සිතුවමක්
පෘතුගීසීන් සහ සිංහලයන් අතර කොළඹ කොටුව අසල ඇතිවුණු සටනක් දැක්වෙන සිතුවමක් – prasanna Weerakkody

 

එදිරිල්ලේ රාලට ඉහළ තනතුරක් 

එදිරිල්ලේ රාලගේ සටන පිළිබඳ කන්ද උඩරට රජකම් කරමින් සිටි විමලධර්මසූරිය රජතුමාට ද ආරංචි වුණා. ඉන් උද්දාමයට පත්වුණු විමලධර්මසූරිය රජතුමා එදිරිල්ලේ රාලට සහාය දැක්වීම සඳහා අවස්ථාවක් ලැබෙන තුරු බලාගෙන සිටියා. ඒ අතරතුර හොඳින් සංවිධානය වුණු පෘතුගීසින් එදිරිල්ලේ රාලගේ සේනාවට දරුණු ප්‍රහාරයක් එල්ල කළා. එයට එදිරිල්ලේ රාලගේ සේනාවත් ප්‍රතිප්‍රහාර එල්ල කළා. පෘතුගීසීන්ගේ පිරිස් සහ ආයුධ බලය වැඩිවුණු නිසා සිංහල සේනාවට පසුබසින්නට සිදුවුණා. එදා පසුබැස ගිය එදිරිල්ලේ රාල කන්ද උඩරට විමලධර්මසූරිය රජතුමා හමුවන්නට ගියා. 

කන්ද උඩරටට පැමිණි එදිරිල්ලේ රාල සාදරයෙන් පිළිගත් විමලධර්මසූරිය රජතුමා ඔහුට සීතාවක ප්‍රදේශයේ පාලනය භාර දුන්නා. ඉන් නොනැවතුණු රජතුමා සත් කෝරළයේ සිටි වීදිය බණ්ඩාරගේ අතිශයින් ම රූමත් දූ කුමරිය එදිරිල්ලේ රාලට විවාහ කර දුන්නා. ඒ අයුරින් සීතාවක රජකමට පත්වුණු එදිරිල්ලේ රාල ප්‍රසිද්ධියට පත්වුණේ එදිරිමාන්නසූරිය බණ්ඩාර යන නමින්. එලෙස සීතාවක රජකමට පත්වුණු එදිරිමාන්නසූරිය බණ්ඩාර විමලධර්මසූරිය රජුගේ සහාය ද ඇතිව පෘතුගීසීන්ට පහර පිට පහර එල්ල කළා. 

පළමු විමලධර්මසූරිය රජතුමා
පළමු විමලධර්මසූරිය රජතුමා – bp.blogspot.com

 

එදිරිමාන්නසූරිය පෘතුගීසින්ට හසුවීම

එලෙස සීතාවක හොල්ලාගෙන සිටි එදිරිමාන්නසූරිය බණ්ඩාර රජතුමාට වැඩිකල් බලය පතුරවාගෙන සිටීමට හැකිවුණේ නැහැ. ඔහුගේ ප්‍රහාර හමුවේ හෙම්බත් ව සිටි පෘතුගීන් ගෝවෙන් ද ආධාර ලබා ගෙන සීතාවකට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. එම දරුණු ප්‍රහාරය හමුවේ එදිරිමාන්නසූරියගේ සේනාවෙන් විශාල පිරිසක් මිය යද්දී ඉතිරි පිරිස පලා යන්නට වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එදිරිමාන්නසූරිය බණ්ඩාරටත් සැඟ වී සිටින්නට සිදුවුණා. ඒ අතරතුර පෘතුගීසි සෙනෙවියකු වුණු සමරකෝන් රාල අණබෙරකරුවන් යොදවා එදිරිමාන්නසූරිය රජුගේ හිස ගෙනැවිත් දෙන කෙනකුට විශාල ත්‍යාග මුදලක් ලබා දෙන බව දන්වා සිටියා.

ඒ වන විට දින ගණනාවක් නිරාහාර ව සිටි එදිරිමාන්නසූරිය රජු කෑමට යමක් සොයාගෙන මහලු කාන්තාවක් සිටි නිවසකට ගොඩ වැදුණා. තමා කවුදැයි අනාවරණය කළ ඔහු උදව් කරන මෙන් ඉල්ලා සිටියා. එසේ උපකාර කළොත් ඉදිරි අනාගතයේ දී මහලු කාන්තාව ඇතුළු පවුලේ උදවියට උදව් කරන බවට ඔහු පොරොන්දු වුණා. නමුත් තමන් අතට පැමිණි වාසනාවට පයින් ගැසීමට අකමැති වුණු කාන්තාව එදිරිමාන්නසූරිය පිළිබඳ ඔත්තුව සමරකෝන් රාලට ලබා දුන්නා. ඉක්මනින් ම ක්‍රියාත්මක වුණු සමරකෝන් රාල සිය සතුරා අල්ලාගෙන අසවේදුට බාර දුන්නා.

එදිරිමාන්නසූරියගේ අවසානය 

එදිරිල්ලේ රාල ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට හැකි වීම නිසා  අසවේදු දැඩි ලෙස උද්දාමයට පත්වුණා. ඔහු සමරකෝන් රාලට ස්තූති කර ඔහුට තාන්න මාන්න ලබා දුන්නා. එදිරිමාන්නසූරිය සිරගත කිරීමට නියෝග කළ අසවේදු ඔහුගේ වස්තුව තිබෙන තැන් පිළිබඳ අසාගැනීමට දැඩි උත්සාහයක නිරත වුණා. ඒ අයුරින් දින 40ක් පුරා ප්‍රශ්න කළ ද එදිරිමාන්නසූරිය කටෙන් කෙළ බිඳක් හෙළුවේ නැහැ.

අවසානයේ දී එදිරිමාන්නසූරිය ගැන වෛරයක් ඇති කර ගත් අසවේදු ඔහු දරුණු වදහිංහා පමුණුවා මරා දමන ලෙස නියෝග කළා. අසවේදු ලබා දුන් නියෝගයට අනුව එදිරිමාන්නසූරියට මරණ දඬුවම  1596 ජූලි 14 වැනිදා ලබා දුන්නා. එහි දී මුලින් ම එදිරිමාන්නසූරියගේ දෙඅත් කපා දැමුණා. ඉන් පසු ඔහුගේ දෙපා කපා දැමුණා. අවසානයේ දී ඔහුගේ හිස ගසා දමා කෲරතර අයුරින් ඝාතනය කිරීමට තරම් පෘතුගීසීන් සහාසික වුණා. 

කවරයේ ඡායාරූපය- සිංහලයන් සහ පෘතුගීසීන් අතර ඇතිවුණු සටනක් දැක්වෙන සිතුවමක් - Prasanna Weerakkody Paintings 

මූලාශ්‍ර:

පළමු විමලධර්මසූරිය රජතුමා- සෝමදාස අබේවික්‍රම
silumina.lk
mahawnsa.wordpress.com

Related Articles

Exit mobile version