Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඒබ්‍රහම් ලින්කන් සහ ජෝන් එෆ්. කෙනඩිගේ හරි අපූරු සමානතා

 අමෙරිකා එක්සත් ජනපදයේ මේ වන විට ජනාධිපතිවරයා වන්නේ ජෝ බයිඩන්. ඔහු එරට 46 වන ජනාධිපතිවරයා ලෙසින් සැලකෙනවා. ඔහුට ප්‍රථම ජනාධිපතිවරුන් 45 දෙනෙක් අමෙරිකාව පාලනය කළා. ඔවුන් අතරින් සමහර ජනාධිපතිවරුන් විශිෂ්ට ව සිය සේවාව ඉටු කළා. සමහර ජනාධිපතිවරුන් මරණයට පත් වූයේ ඉතිහාසගත කතා පුවත් නිර්මාණය කරමින්. ඒ අතරේ සිටි වැදගත් ම ජනාධිපතිවරු දෙදෙනකු ලෙසට ඒබ්‍රහම් ලින්කන් සහ ජෝන් එෆ්. කෙනඩි යන දෙදෙනා හැඳින්වීමට පුළුවන්. ඔවුන් දෙදෙනා ම පසු ව ඝාතනයට ලක් වූ ජනාධිපතිවරුන් වීමත් විශේෂත්වයක්.

මේ ජනාධිපතිවරු දෙදෙනා සලකා බැලූ විට ඔවුන් දෙදෙනා අතරේ අපූරු සමානකම් රාශියක් පවතිනවා. එයින් සමහර සමානකම් අතිශයින් ම විස්මයජනක ඒවා වන්නේ දෙදෙනාගේ ම ඝාතන සිද්ධීන්වලත් සමානකම් පැවතීම යි. මෙම සියල්ල හුදෙක් අහම්බයන් ලෙසින් කෙනකුට බැහැර කරන්නත් පුළුවන්. කෙසේ වුවත් මේ සමානකම් සියල්ල ම පාහේ විවිධ මත ගැටුම් නිර්මාණය කිරීමට සමත් වුණා.

මෙම ලිපිය ලියවෙන්නේ ඔවුන් දෙදෙනා අතර තිබූ ඒ අපූරු සමානකම් සම්බන්ධයෙනු යි.

ඒබ්‍රහම් ලින්කන්
ඒබ්‍රහම් ලින්කන් – www.thenewyorker.com

ඒබ්‍රහම් ලින්කන්

අමෙරිකා එක්සත් ජනපදයේ 16 වන ජනාධිපතිවරයා ලෙසින් 1860 වර්ෂයේ නොවැම්බර් මස 6 වැනි දා පැවති ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ලින්කන් සමත් වුණා. ඡන්ද 1, 865, 908 ක් ලබා ගත් ඔහු එය සමස්ත ඡන්ද ප්‍රතිශතයෙන් 39.8% ලෙස වාර්තා කළා. අවශ්‍ය Electoral Colleges 180ක් ලබා ගත් ලින්කන් ඡන්දය ජයග්‍රහණය කළා. ඔහු එකල පැවති සිවිල් යුද සමය සාර්ථක ව නිමා කළ අතර ම අමෙරිකානු වහල් සේවය අවසන් කිරීමට සැලකිය යුතු වැඩ කොටසක් ඉටු කළා. මේ නිසා ම ලින්කන් සැලකෙන්නේ එරට බිහිවූ සුවිශේෂී ම නායකයෙක් ලෙස යි.

මේ හේතුව නිසා ම  1864 වසරේ නොවැම්බරයේදී ඡන්ද 55.02% ක් සහ Electoral Colleges 212ක් ද සමඟින් ඔහු දෙවන වතාවටත් අමෙරිකානු ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා. මුල් වතාවට වඩා දෙවන වතාවේ දී ලින්කන් වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමෙන් ඔහු තම ධූර කාලයේ සිදු කළ සේවය විදහා දැක්වෙනවා. අවාසනාවකට ඔහුගේ සේවය තවදුරටත් ලබා ගැනීමට නොහැකි වූයේ 1865 අප්‍රේල් මස 15 වනදා ලින්කන් ඝාතනය කිරීම නිසා යි. ඔහු තවදුරටත් අමෙරිකානු ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටත ම ජනාධිපතිවරයා ලෙසින් ද සමහරුන් සලකනවා.

ජෝන් එෆ් කෙනඩි
ජෝන් එෆ් කෙනඩි – www.biography.com

ජෝන් එෆ්. කෙනඩි

ජෝන් එෆ් කෙනඩි අමෙරිකානු ඉතිහාසයේ 35 වන ජනාධිපතිවරයා වශයෙන් 1960 වර්ෂයේ නොවැම්බර් මස 8 වනදා අතිශය තියුණු සටනකින් පසුව රිචඩ් නික්සන් පරාජයට පත් කරමින් තේරී පත් වුණා. කෙනඩි මෙම සටනේ දී 49.72% ක ඡන්ද ප්‍රතිශතයක් සහ Electoral Colleges 303ක් ජයග්‍රහණය කළා. කෙනඩි අමෙරිකානු ඉතිහාසයේ අතිශය තීරණාත්මක අවස්ථාවක ජනාධිපති වූවා කිවහොත් වඩා නිවැරදි යි. එයට හේතුව වන්නේ සෝවියට් රුසියාව සහ අමෙරිකාව අතරේ පැවති සීතල යුද්ධයේ උච්චත ම අවස්ථාව 60 දශකය තුළ නිර්මාණය වීම යි.

ඌරු බොක්කේ සටනේදී (Bay of Pigs Invasion) කියුබාව සමඟින් පැටළීමට මෙන් ම තුන්වන ලෝක යුද්ධයක් සහ ලොව පළමු න්‍යෂ්ටික යුද්ධය ආරම්භ වීමට ඉතා ම ආසන්න වූ කියුබානු මිසයිල අර්බුදය ද කෙනඩි සමයේ දී සිදු වුණා. අභ්‍යවකාශ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් කෙනඩි විශාල වැඩ කොටසක් සිදු කළා. මේ නිසාම නාසා ආයතනයේ අභ්‍යවකාශ ගමන් සිදු කරන ස්ථානයක් Kennedy Space Center ලෙසින් පවා නම්කොට තිබෙනවා.

ජෝන් එෆ්. කෙනඩි 1963 නොවැම්බර් මස 22 වැනි දා වෙඩි තබා ඝාතනය කළා.

ලින්කන් සහ කෙනඩි අතරේ සමානකම්

 ලිපිය ආරම්භ කරමින් පැවසූ ආකාරයට ම මේ දෙදෙනා අතරේ සුවිශේෂී සම්බන්ධතා රාශියක් පැවතියා. මේ සම්බන්ධතා හුදෙක් අහම්බ ද නැතහොත් මේවා අතරේ වෙනත් අදිසි බලවේගයක් ක්‍රියාත්මක වූවා ද යන්න තීරණය කිරීම පාඨක ඔබට භාරකොට සිටිනවා.

මේ ලින්කන් සහ කෙනඩි අතරේ තිබූ අපූරු සම්බන්ධතායි.

1. ඒබ්‍රහම් ලින්කන් මුල් වරට කොන්ග්‍රසයට තේරී පත් වූයේ 1846 වර්ෂයේදී යි. එයට හරියට ම වසර 100 කට පසුව 1946 වර්ෂයේ දී කෙනඩි කොන්ග්‍රසයට තේරී පත් වුණා.

2. ලින්කන් මුල් වරට ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කළේ 1860 වර්ෂයේදී යි. ඒ ඔහු කොන්ග්‍රසයට තේරී වසර 14 කට පසුව යි. කෙනඩි ඉන් හරියට ම වසර 100 කට පසුව 1960 ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා. ඔහු ද කොන්ග්‍රසයට තේරී වසර 14 කට පසුව අමෙරිකානු ජනාධිපතිවරයා බවට පත් වුණා.

3. ජනපතිවරුන් දෙදෙනා ම සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ව වඩාත් සැලකිලිමත් වුණා. ලින්කන් සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් විමුක්ති ප්‍රකාශය ද, කෙනඩි සිවිල් අයිතිවාසිකම් පනත ද ඉදිරිපත් කළා.

ලින්කන්ගේ ඝාතකයා වූ ජෝන් විල්ක්ස් බූත්
ලින්කන්ගේ ඝාතකයා වූ ජෝන් විල්ක්ස් බූත් – www.britannica.com

4. ලින්කන් සහ කෙනඩි දෙපළ ම වයස අවුරුදු 30 දී විවාහ වූ අතර ම ඔවුන් දෙදෙනා ම වයස විසි ගණන්වල තරුණියන් හා විවාහ වුණා.

5. ඔවුන් දෙපළට ම සිටි ළමයින් සංඛ්‍යාව 4ක්. එයින් ලින්කන්ට සිය දරුවන් දෙදෙනෙක් යොවුන් වියට එළඹීමට පෙර අහිමි වුණා. පුදුමයකට මෙන් කෙනඩිටත් එය ම සිදු වුණා.

6. එලෙස අහිමි වූ එක් ළමයෙක් ලින්කන් ධවල මන්දිරයේ වාසය කරන සමයේ දී ඔහුට අහිමි වුණා. කෙනඩිගේ ළමයින් දෙදෙනාගෙන් අයෙක් ද අහිමි වුණේ ධවල මන්දිරයේ වාසය කරන සමයේ දී ම වීම විශේෂත්වයක්. එම ළමයින් දෙදෙනා ම පිරිමි ළමයින් වුණා.

7. ඒබ්‍රහම් ලින්කන් ගේ සහ ජෝන් එෆ් කෙනඩිගේ පෞද්ගලික වෛද්‍යවරුන් දෙදෙනාගේ ම නම් එක සමාන වුණා. දෙදෙනාට ම සිටි වෛද්‍යවරයාගේ නම වූයේ චාල්ස් ටෆ්ට්.

ලින්කන්ට වෙඩි තැබූ අවස්ථාව දැක්වෙන සිතුවමක්
ලින්කන්ට වෙඩි තැබූ අවස්ථාව දැක්වෙන සිතුවමක් – www.thetelegraph.com

8. ඒබ්‍රහම් ලින්කන්ගේ පෞද්ගලික ලේකම් ගේ නම ජෝන් නිකොල් වූ අතර ජෝන් එෆ් කෙනඩිගේ පෞද්ගලික ලේකම් එව්ලින් ලින්කන් වුණා.

9. ඒබ්‍රහිම් ලින්කන්ගේ උප ජනාධිපති (අනුප්‍රාප්තිකයා) දකුණුදිග වැසියෙක් වූ අතර කෙනඩිගේ අනුප්‍රාප්තිකයා ද එලෙස ම වුණා. ඔවුන් දෙදෙනාගේම අග නම් ජොන්සන් ලෙසට නම් වී තිබූ අතර ම ලින්කන්ගේ අනුප්‍රාප්තිකයා වූ ඇන්ඩෲ ජොන්සන් 1808 වසරේ උපත ලැබුවා. කෙනඩිගේ අනුප්‍රාප්තිකයා වූ ලින්ඩන් ජොන්සන් එයට හරියට ම වසර 100කට පසුව 1908 දී උපත ලබා තිබුණා.

ඝාතනවල සමානතා

 ලින්කන්ගේ සහ කෙනඩිගේ දිවියේ අසාමාන්‍ය සමානකම් ඉහත අපට දැකගත හැකි වුණා. ඔවුන් දෙදෙනාගේ ම ඝාතන සිද්ධිවල දී දැක ගැනීමට හැකි වූ සමානකම් එයටත් වඩා විමතියට තුඩු දෙනවා. මේ ඝාතන සිද්ධිවල දැකිය හැකි සමානතා යි.

1. ලින්කන් සහ කෙනඩි දෙදෙනා ම ඝාතනය වූයේ සිකුරාදා දිනවලදී යි.

2. දෙදෙනාගේ ම මරණයට හේතු වූයේ හිසට වැදුණු වෙඩි පහරවල්.

3. ලින්කන් සහ කෙනඩි දෙදෙනා ම තම බිරියන් ඉදිරිපිටදී වෙඩි තැබීමට ලක් වුණා.

කෙනඩිව වෙඩි පහරට ගොදුරු වීමට මොහොතකට පෙර
කෙනඩි වෙඩි පහරට ලක්වීමට මොහොතකට පෙර  – www.history.com

4. ලින්කන් මරා දැමුණේ ෆෝඩ් රඟහලේ අංක 7 කුටියේ සිටින විට යි. අශ්වාරෝහක පෙළපාලියේ අංක 7 මෝටර් රථයේ ගමන් කිරීමේ දී කෙනඩිට වෙඩි තැබුවා. ඔහු ගමන් කළේ ෆෝඩ් මෝටර් රථ සමාගම නිශ්පාදනය කළ ලින්කන් මෝටර් රථයක වීම ද විශේෂත්වයක්.

5. ඔවුන් දෙදෙනා ම ඝාතනය කළේ දකුණුදිග වැසියන් දෙපළක්.

6. ලින්කන්  ඝාතනය කළ ජෝන් විල්ක්ස් බූත් රඳවාගෙන සිටි නිලධාරියා ලෆායෙට් බේකර් වූ අතර කෙනඩි ඝාතනය කළ ලී හාවි ඔස්වෙල්ඩ් රඳවා ගෙන සිටි නිලධාරියා මැරියන් එල් බේකර් නම් වුණා.

7. ඝාතකයන් දෙදෙනාගේ ම සම්පුර්ණ නම්වල නම් 3ක් අන්තර්ගත වූ අතර එම නම් දෙකටම අකුරු 15ක් ඇතුළත් වුණා. (ලින්කන්ගේ ඝාතකයා John Wilkes Booth සහ කෙනඩිගේ ඝාතකයා Lee Harvey Oswald).

කෙනඩිගේ ඝාතකයා වූ ලී හාවි ඔස්වෙල්ඩ් ව ඝාතනය කළ අවස්ථාව
කෙනඩිගේ ඝාතකයා වූ ලී හාවි ඔස්වෙල්ඩ් ඝාතනය කළ අවස්ථාව – www.theguardian.com

8. ඒබ්‍රහම් ලින්කන් ඝාතනය කිරීමෙන් පසු ව ඝාතකයා රංග ශාලාවේ ගබඩාවක සිටිය දී අසු වූ අතර ම කෙනඩිගේ ඝාතකයා ගබඩාවක සිට රංග ශාලාවක් වෙතට ගොස් සිටිය දී අසු වුණා.

9. මෙම ඝාතකයන් දෙපළ ම නඩු විභාගයට ප්‍රථමයෙන් ඝාතනයට ලක් වුණා.

10. ජෝන් විල්ක්ස් බූත් සහ ලී හාවි ඔස්වෙල්ඩ් යන දෙදෙනා ම මුලින් හුදෙකලා තුවක්කුකරුවන් ලෙසට සැක පළ කළත් පසුව මේ සිදුවීම් දෙක ම සංවිධානාත්මක කුමන්ත්‍රණයක් බවට හෙළි වුණා.

කවරයේ ඡායාරූපය - ජෝන් එෆ්. කෙනඩි සහ ඒබ්‍රහම් ලින්කන් - www.historyyesturday.com
 මූලාශ්‍ර:

www.biography.com

 www.historyofyesturday.com

www.spartecuseducational.com

Related Articles