කොමියුනිස්ට්වාදීන්ගේ රුධිරය තැවරුණු ආඥාදායකයා: සුහර්තෝ

ශීතල යුද්ධය පැවති සමයේ ඉන්දුනීසියාවේ හමුදා පාලනයක් පවතිද්දී, කොමියුනිස්ට්වාදීන් ලක්ෂ ගණනක් ඝාතනය කළ හිටපු ආඥාදායක සුහර්තෝ මියගියේ 2008 ජනවාරි 27 වැනිදා 86 වියැතිව සිටිය දී ය. සුහර්තෝ මියගිය ද සුහර්තෝ උරුමය තවමත් ඉන්දුනීසියාව හා තදින් බැඳී පවතී. ලෝකයට කිසිදා අමතක නොවන මිලිටරි ආඥාදායකයෙකු වූ ජෙනරාල් මොහොමඩ් සුහර්තෝ ගැනයි මේ සටහන.

Death of a murderous tyrant (මූලෝපායික සංචිතයේ ප්‍රධානියා ලෙස සුහාර්තෝගේ කාර්යාලයේ 1963 දී ගත් ඡායාරූපයක්)

සුහර්තෝ පාලනය

1998 මැයි 21 වන දින ඉන්දුනීසියාවේ ජනාධිපති සුහර්තෝගේ නාට්‍යාකාර ඉල්ලා අස්වීම, නූතන අග්නිදිග ආසියානු ඉතිහාසයේ එක් මිනිසෙකුගේ පාලනයක දීර්ඝතම අවසානය සනිටුහන් කරන ලදි. හිටපු ජනරාල් මොහොමඩ් සුහර්තෝ වසර 30කට වැඩි කාලයක් ඉන්දුනීසියාවට අඛණ්ඩව දේශපාලන නායකත්වය ලබා දී තිබූ අතර, වෙනත් නායකයෙකු ගැන නොදැන සිටි පරපුරක් ඒ වන විට ඉන්දුනීසියාවේ බිහිව තිබුණි.

වෙනත් ආඥාදායකයින්ට මෙන්ම සුහාර්තෝගේ පාලන තන්ත්‍රය පිළිබඳව සමාජයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙනුත් විවේචන මෙන්ම ප්‍රශංසා එල්ල වුනත් දීර්ඝතම කාලයක් බලය රඳවා ගනිමින් සිදු කරන ලද මිනීමැරුම්, දූෂණ, අක්‍රමිකතා පිළිබඳව බොහෝ දෙනා අදටත් කතා කරන්නේ අප්‍රසාදයකින්.

සුහාර්තෝගේ පසුකාලීන ක්‍රියාවන් නිසැකවම දේශපාලන විශ්වාසනීයභාවය පෙන්නුම් කළ අතර ප්‍රායෝගිකත්වය ඔහුගේ දේශපාලනයේ හරය බවට පත්විය. රටේ පැවති ව්‍යාකූලත්වය ඔහුගේ දේශපාලන උපාය උපක්‍රමවලට හා ‘ජාතියේ පියා’ ලෙස සිය ප්‍රතිරූපය නිර්මාණය කිරීමට දායක වූ බව කිව හැකියි. ඔහු ගොවි පුතෙකු යන්න ග්‍රාමීය තලයේ දී ඉස්මතු කළ අන්දමත්, ලන්දේසීන්ට එරෙහිව දියත් වූ නිදහස් ව්‍යාපාරය තුළ ඔහුගේ භූමිකාවත් නිසා ඇතැම් ඉතිහාසඥයින් ඔහුව උත්කර්ශයට නඟා තිබෙන ආකාරයක් දක්නට හැකියි.

දශක තුනකට අධික කාලයක් සුහර්තෝගේ ආඥාදායක පාලන තන්ත්‍රය ඉන්දුනීසියාව තුළ විශාල පරිවර්තනයක් ඇති කරන ලදී. 1998 මැයි මස 21 වන දින සුහර්තෝ ඉල්ලා අස්වුණේ හත්වන වරට නැවත ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් මාස දෙකකට පසුව ය. සුහර්තෝ ජනාධිපති තනතුරින් ඉවත්ව යාමෙන් මිලියන 235ක ඉස්ලාම් ජනතාව ජීවත්වන ඉන්දුනීසියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය විය. ඔහු එයින් පසු ඔහුගේ ‘ජාකර්තා විලා’ මාළිගය වෙතට ගිය අතර, බලය අහිමි වීම නිසා ඇතිවූ මානසික පීඩනය සමග සුහාර්තෝ නිතරම රෝගාතුර වන්නට විය. හෘදයාබාධ මෙන්ම මොළය ආශ්‍රිත ආබාධ ද වරින් වර මතු වූ අතර දූෂණ වංචා ගැන එල්ල වූ චෝදනා මානසිකව බෙහෙවින් බලපෑම් ඇති කරන්නට සමත් විය.

wikimedia.org (1968 දී ජනාධිපති ධූරයේ දිව්රුම් දෙන සුහාර්තෝ)

හමුදා කුමන්ත්‍රණය හා බලය ලබා ගැනීම

1950 දී ඉන්දුනීසියාවේ ජනරජයක් බවට පත්වූ විට සුහර්තෝ මධ්‍යම ජාවාවේ බලඝන සේනාධිපතියා ලෙස කැපී පෙනුණු අතර, පසුව ලුතිනන් කර්නල් තනතුරට පත්වන ලදි. ඊළඟ වසර 15 තුළ ඔහු ඉන්දුනීසියානු හමුදාවේ ස්ථාවර වෙමින් 1957 දී කර්නල් තනතුරට පත් වන අතර, 1960 දී බ්‍රිගේඩියර් ජෙනරාල්වරයෙක් සහ 1962 දී ප්‍රධාන ජෙනරාල්වරයෙක් බවට පත් වේ.

සුහර්තෝ 1965 දී කුප්‍රකට හමුදා කුමන්ත්‍රණයකින් බලයට ආවත් එම කුමන්ත්‍රණයේ ඇත්ත තත්ත්වය පිළිබඳව මුළුමණින්ම හෙළිදරව් කෙරී නැත. එහෙත් කොමියුනිස්ට් අනුගාමිකයන්ගෙන් මිලියනයකට අධික සංඛ්‍යාවක් ඝාතනය කිරීම යුක්තිසහගත කිරීමට යොදාගත් අසාර්ථක වූ කොමියුනිස්ට් විරෝධී සැලැස්මක් බවට නිල හේතු දැක්වීමක් තිබේ. සුහර්තෝ යුගය පුරා ඔහුගේ කොමියුනිස්ට් විරෝධී පණිවුඩය සිය බලයේ නීත්‍යානුකූලභාවයේ කේන්ද්‍රීය සාධකයක් ලෙස අඛණ්ඩව ශක්තිමත් කෙරිණි.

ඕලන්ද යටත් විජිතයක්ව තිබූ ඉන්දුනීසියාව 1949 දී නිදහස් ලැබීමෙන් අනතුරුව හමුදා සේවයෙහි යෙදී සිටි සුහර්තෝ උසස් තනතුරකට පත් කරනු ලැබිණි. සුකර්ණෝ ඉන්දුනීසියාවේ ඕලන්ද පාලනයෙන් මුදාගත් ජාතියේ පියා වන අතර ඉන්දුනීසියාවේ පළමු ජනපතිවරයා වන්නේද ඔහු යි.  1950 දී එවකට හමුදා අණදෙන නිලධාරියෙක්ව සිටි අබ්දුල් මාලිබ් නෂූසත් සුකර්ණෝට චෝදනා කර සිටියේ හමුදා දිව්රුම් දීමේ දී අල්ලසක් ලබාදුන් බවටයි. ඉන්දුනීසියාවේ ජනාධිපති වශයෙන් සිටි සුකර්ණෝට විරුද්ධව දියත් වූ කුමන්ත්‍රණය 1965 දී ක්‍රියාත්මක කරන විට හමුදාවේ උසස් නිලධාරීන් සය දෙනෙක් අභිරහස් ලෙස මරා දමා පාළු ළිඳකට දමා තිබුණි.

එවකට හමුදා නිලයෙහි දෙවැනි නිලධාරියා වශයෙන් සිටි සුහර්තෝ එහිදී හමුදා බලය උපයෝගී කරගනිමින් වාමාංශික විරෝධී බලවේගයන් වර්ධනය කිරීමේ කටයුත්ත ආරම්භ කළේය. ඊළඟ වසරෙහි සුකර්ණෝට විශ්‍රාම ගැන්වීම සඳහා සුහර්තෝ විසින් කටයුතු කරන ලදි. නිවාස අඩස්සියේ තබන ලද සුකර්ණෝ මිය ගියේ 1970 දී ය. කිසිම විරෝධතාවක් නොමැතිව සය වසරක් සුහාර්තෝ ජනාධිපති පදවියේ ක්‍රියාකළේ ය. ඔහුට විරුද්ධ වුවහොත් ජීවත්වීමේ අයිතිය අහිමි වන බව සැවොම දැන සිටියහ.

static.keepo.me

ඝාතන රැල්ල

සුහර්තෝගේ පාලන සමයෙහි සිදු වූ මිනිස් ඝාතන සංඛ්‍යාව ලක්ෂ පහේ සිට මිලියනය දක්වා වේ. විශේෂයෙන් 1965 – 1966 දී සිදු වූ මිනිස් ඝාතන ප්‍රමාණය 78,000 සිට ලක්ෂය දක්වා වූ බව පැවසේ. 1975 – 1999 වූ කාල වකවානුව තුළ නැගෙනහිර ටිමෝරය ආක්‍රමණය කරන විට ඝාතන, අතුරුදහන්වූවන් මෙන්ම ආහාර අහේනියෙන් හා රෝගාබාධවලින් මියගිය සංඛ්‍යාව 183,000කි. මෙයාකාරයෙන්ම බටහිර පැපුවාහි දහදහසක් දෙනා මියගොස් ඇති අතර අචේ ප්‍රාන්තයේ බෙදුම්වාදී සටන්කාමීන්ගේ වසර 29ක සටන් කාලය අතරතුර 16,000ක් මිය ගොස් තිබේ.

80 ගණන්වල මුල් භාගයේදී, අපරාධකරුවන් සහ සුළු දේශපාලන ක්‍රියාකාරීන් සමග කටයුතු කිරීම සඳහා විශේෂ හමුදා ඒකක මගින් සංවිධානය කරන ලද ඝාතක කල්ලි 4,000 සිට 9,000 දක්වා මිනිසුන් ඝාතනය කරන ලැබීය. ඉන්දුනීසියාවේ ආක්‍රමණයෙන් පසු සිවිල් යුද්ධය සහ සාගතය නිසා  නැගෙනහිර ටිමෝරයෙහි 700,000 වූ ජනගහණයෙන් 200,000ක් මියගියේ ය. මෙනිසා අත්වල රුධිරය තැවරුණු ඒකාධිපතියෙකු ලෙස සුහර්තෝව හැඳින්විනි.

සුහර්තෝ ආඥාදායකයෙක්ව සිටිය ද තවත් අතකින් ඉන්දුනීසියාවේ ආර්ථිකය නගා සිටුවීමට කටයුතු කළ පාලකයෙක් ලෙස බොහෝ දෙනා හඳුන්වයි. සුහර්තෝගේ දශක තුනක පාලන කාලය තුළ  ඉන්දුනීසියාවේ ආ.ව.වේ වාර්ෂිකව 7% ඉහළ අගයක් ගත්තේය. ජනතාවගේ ජීවන තත්ත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. සුහාර්තෝගේ යුගයේ දී ආර්ථික ස්ථාවරත්වයක් පැවතුණු නිසා ජනතාවට ඉන්ධන සහ සහල් බෙදාහැරීම සාර්ථක අන්දමින් සිදු විය.

asianews.i (හමුදා ගෞරව සහිතව සුහර්තෝගේ දේහය රැගෙන යන අයුරු)

ඇමෙරිකාව සමග තිබූ ඇයි හොඳයිය

නවසිය හැට ගණන්වල මැද භාගයේදී කොමියුනිස්ට් අනුගාමිකයින් මිලියනයකට ආසන්න පිරිසක් සමූල ඝාතනය කිරීම සඳහා ඉන්දුනීසියානු හමුදාවන්ට ඇමෙරිකාව ක්‍රියාකාරීව සම්බන්ධ වී තිබෙන බව පසුගිය වසරේ නිකුත් වූ ඇමෙරිකානු ලේඛනවලින් හෙළිදරව් වී තිබේ.

ජකර්තාහි එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ප්‍රකාශයට පත් කරන ලද පිටු 30,000ක ලිපිගොණුවලින් පෙනී යන්නේ 1965-66 දී ඉන්දුනීසියානු හමුදාවට මුදල්, උපකරණ, සහ සීතල යුද්ධය සමයේ පෙරමුණේ සිටි කොමියුනිස්ට් නිලධාරීන්ගේ ලැයිස්තුවක් එක්සත් ජනපදය සපයා දී තිබෙන බවයි. වසර 32ක මිලිටරි ආඥාදායකත්වයක් සඳහා සුහාර්තෝට මඟ පාදන ලද්දේ මෙම මිනිස් සංහාරය යි.

කොමියුනිස්ට් බල කඳවුරට එරෙහිව සිය බලය මෙහෙයවූ ඇමෙරිකාව, සුකර්ණෝ පාලනය අවසන් කරමින් සුහර්තෝ පාලනයකට මඟ පෑදුවා පමණක් නොව, ශීතල යුධ සමයේ වොෂින්ටනයේ විශ්වාස කටයුතු මිත්‍රයා ලෙසත් සුහර්තෝව හැඳින්විණි. 1969 ඔහුගේ පැපුවා කැරැල්ල මෙන්ම 1974 නැගෙනහිර ටිමෝරයේ ආක්‍රමණයේ දී සුහර්තෝ තම හිතවතෙක්ය යන හැඟීම මත ඇමෙරිකාව මැදිහත් වූයේ නැත.

සංවර්ධනයෙහි පියා

සුහර්තෝ ‘සංවර්ධනයෙහි පියා’ යනුවෙන් තමන්ව හඳුන්වාගත්තේ ය. රටේ නොයෙක් ප්‍රදේශ නගා සිටුවීමේ සැලැස්මක් ඔහු විසින් දියත් කර තිබුණි. ඇමරිකානු පුහුණුව ලත් ආර්ථික විශේෂඥයින්ගේ සහාය ඇතිව සහල් ආනයනය කරන රටක් වී තිබූ ඉන්දුනීසියාව සහල් අපනයනය කරන ජාතියක් බවට පත් කරන්නට ඔහුට හැකි විය. එහෙත් රට පුරා අල්ලස්, දූෂණ අක්‍රමිකතා විශාල ලෙස වැඩි වී තිබුණි. ලෝක බැංකුවේ ගණන් අනුව ඉන්දුනීසියානු සංවර්ධන ක්‍රියදාමය තුළ 20% – 30% දක්වා වූ මුදල් ප්‍රමාණයක් අයථා අන්දමින් පරිහරණය කර තිබේ. ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන අනුව සුහර්තෝ පවුලේ අයථා මුදල් ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් බිලියන 15-35ක් වේ.

වරක් සුහාර්තෝ ඇමෙරිකානු ඩොලර් මිලියන 600ක් අල්ලස් ලෙස ගත් බවට ඉන්දුනීසියානු රජයේ නීතිඥවරයා චෝදනා කරන ලදි. සුහර්තෝ නඩුවලට පෙනී සිටීමට තරම් සුදුසු තත්ත්වයක නොමැති නිසා ඔහු බලවත් ලෙස රෝගීව සිටි බවත් 2000 වර්ෂයේ දී ඔහුගේ නීතිඥවරයා ප්‍රකාශ කර තිබුණි. කෙසේ නමුත් රජයේ මුදලින් ඔහුගේ පවුලේ උදවිය ඇමරිකානු ඩොලර් බිලියන 15ක් අයථා අන්දමට ගත් බවට සඳහන් කළ ටයිම් සඟරාවට විරුද්ධව ඔහු පැවරූ නඩුවකින් පැරදී, සඟරාව විසින්  ඔහුට වන්දි ගෙවීය.

wikimedia.org (ජනාධිපති සුහාර්තෝ සහ ජනපති ආර්යා සිටි හර්ටිනාගේ නිල ඡායරූපය)

සුහර්තෝගේ පවුල් පසුබිම

සුහාර්තෝ උපත ලැබුවේ ලන්දේසි යටත් විජිත සමයේ ගොඩ්ඩීන් නමැති ප්‍රදේශයේ කොටසක් වන කෙමසුක් ගම්මානයේ නිවසක 1921 ජුනි 8 වන දා ය. ගොවි පවුලකට උපන් සුහර්තෝගේ උපතින් සති පහකට පසුව ඔහුගේ මව ස්නායු රෝගී තත්ත්වයකින් මියගිය අතර ඔහුගේ නැන්දනියක විසින් ඔහුව රැකබලා ගැනිණි.

මෙම ගම්මානය පිහිටා තිබෙන්නේ ජාවා සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් වන යෝග්‍යකර්ටා සිට කිලෝමීටර් 15ක් බටහිරින් ය. ජාවා වාර්ගිකත්වයක් සහිත මාපිය යුවලකට දාව උපන් ඔහු තම පියාගේ දෙවෙනි විවාහයේ එකම දරුවා ද විය. ග්‍රාමීය වාරිමාර්ග නිලධාරියෙක් වූ සුහර්තෝගේ පියාට කලින් විවාහයෙන් දරුවන් දෙදෙනෙකි. ඔහුගේ මව යෝග්‍යකර්ටාහි පස්වන සුල්තාන්ගේ පළමු භාර්යාවට දුරස්ථ නෑකමක් තිබුණු කාන්තාවකි.

wikimedia.org (සුහාර්තෝ පවුල)

කුඩා කාලයේදී දරිද්‍රතාවයෙන් බැට කෑ සුහාර්තෝට තම පාසල වෙනස් කිරීමට සිදුවූයේ, නිල ඇඳුමට අවශ්‍ය කලිසම් සහ සපත්තු සඳහා යන වියදම දැරිය නොහැකි වූ නිසා ය. ඔහුගේ අධ්‍යාපනය කණිෂ්ඨ විද්‍යාලයෙන් අවසන් විය. ඔහු තම ගමේ පිහිටි බැංකුවක රැකියාවක් සොයාගත් නමුත් බයිසිකල අනතුරකින් ඔහුගේ එකම නිල ඇඳුම විනාශ වීමත් සමග එම රැකියාවෙන් ඉල්ලා අස් වීමට සිදුව ඇත.

සුහර්තෝගේ 49 හැවිරිදි භාර්යාව මෙන්ම ඉන්දුනීසියාවේ රාජ්‍ය බලය සහිතව සිටි සින්ති හර්ටිනා 1996ච දී මිය ගියාය. සුහර්තෝ යුවළට පුතුන් තිදෙනෙක් සහ දියණියන් තිදෙනෙකි. සුහර්තෝගේ පුත් හූටෝමෝ ‘ටොමී’ දේශපාලනයට එක්කර ගැනීමට බෙර්කර්යා පක්ෂය දැඩි උත්සාහයක නිරත වනු පෙනෙන්නට තිබේ.

Cover Image – cdn1.i-scmp.com

මූලාශ්‍ර

news.bbc.co.uk

www.nytimes.com

www.ft.com

www.wsws.org

www.nytimes.com

www.britannica.com

Related Articles

Exit mobile version