කොළඹ ටී. බී. ජයා මාවතේ ඔබ ඕනෑතරම් ගමන්කර තිබෙනවා ඇති. ඒත් මේ ජයා කියන්නේ කවුද කියලා හිතන්න ඔබට අවස්ථාවක් නොලැබෙන්න ඇති. ඔහු නමින්ම සමරු මුද්දරයක් ද නිකුත්කර ඇත්තේ ඔහු ජාතික නායකයෙකු වශයෙන් වැදගත් නිසා යි. අපේ ජාතික නිදහස් සටනේ නායකයන් අතර පෙරමුණේ සිට ආචාර්ය ටී. බී. ජයා ගැන කළ සොයාබැලීමක් මේ.
දිවියේ තතු
මැලේ ජාතික කසීම් ජයා සහ බයා සෞජාගේ දෙවන පුතු ලෙසින් උපත ලද ටී. බී. ජයාගේ මුල්ගම මහනුවරට නුදුරු ගලගෙදර යි. ඔහු උපන්නේ 1890 ජනවාරි 1 දා යි. ජයා පවුල අයත් වූයේ, ශ්‍රී ලංකාවේ මැලේ මුස්ලිම් ජන කණ්ඩායමට යි. ජයාගේ පියා වූ කසිම් ජයා, එවකට ඉංග්‍රීසි ආණ්ඩුවේ පොලිස් දෙපාර්තමේන්තුවෙහි සාජන්ට්වරයෙක් ලෙසින් රැකියාව කළා. මේ නිසා ජයා පවුලට සමාජයේ ලොකු පිළිගැනීමක් ද ලැබී තිබුණා.
ජයාට කුඩා කාලයේ දීම ගලගෙදර ඉඳන් කුරුණෑගලට එන්න වුණේ පියාගේ රැකියා ස්ථාන මාරුව හින්දා යි. මේ නිසා ඔහුට ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ, කුරුණෑගල ඉංග්‍රීසි-ස්වභාෂා පාසැලෙන්. මෙම කාලසීමාව තුළ දී ඔහු ශුද්ධ කුරානය පිළිබඳ අධ්‍යාපනය ද ලැබුවා. ඒ, නූර්දීන් අලීම් සහ ඔමාර්ලෙබ්බේගේ භාරකාරිත්වය යටතේ යි. කුඩා දරුවකු වූ ජයා තුළින් ඉගෙනීමට ඇති අසාමාන්‍ය දක්ෂතාවයක් පෙන්නුම් කළා. තුන්වැනි ශ්‍රේණියේ දී සහ හයවැනි ශ්‍රේණියේ දී ද ද්විත්ව සාමාර්ථයන් දෙවරක්ම දිනාගැනීමට ඔහු සමත් වුණා. නමුත් යලිත් කසීම් ජයාට කොළඹට ස්ථාන මාරුවක් ලැබුණා.
1904 වසරෙහි දී, ජයාට ද්විතීයික අධ්‍යාපනය සඳහා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයයට ශිෂ්‍යත්වයක් හිමිවෙනවා. 1906 දී කේම්බ්‍රිජ් කනිෂ්ඨ විභාගයෙන් ද, 1907 දී කේම්බ්‍රිජ් ජ්‍යෙෂ්ඨ විභාගයෙන් ද සමත් වීම ඔහුගේ අධ්‍යාපනයේ ශක්තිමත් අඩිතාලම වෙනවා.
මුල්ම රැකියාව ගුරු වෘත්තිය
ලන්ඩන් මැට්‍රිකියුලේෂන් සහ ඉන්ටර් ආර්ට්ස් විභාග ලියා සමත් වීමෙන් පාසැල් ගුරුවරයෙකු ලෙස පත්වීමක් ලබාගැනීමට ජයාට හැකිවෙනවා. 1910 වසරෙහි ජනවාරි මාසයේ දී ඔහුට ලැබුණු පළමු පත්වීම, මහනුවර ප්‍රධාන පෙළේ බෞද්ධ විදුහලක් වූ ධර්මරාජ විද්‍යාලයයට යි. ඔහුගේ පළමු මාසික වේතනය රුපියල් 40ක් බව පැවසෙනවා. එම වසරේ දීම ඔහු මොරටුවේ වේල්ස් කුමාර විද්‍යාලයයේ ගුරුවරයකු ලෙස පත්වීමක් ලබාගන්නේ බටහිර සම්භාව්‍ය සාහිත්‍ය ඉගැන්වීමට යි. ගුරු වෘත්තියේ යෙදෙන අතර තවදුරටත් ඉගෙන ගැනීමට ඔහු උනන්දු වෙනවා. 1913 වසරේ දී ඉංග්‍රීසි, ලතින්, ග්‍රීක භාෂා, සහ ඉතිහාසය, ගණිතය විෂයයන්ගෙන් ලන්ඩන් අන්තර්කාලීන විභාගයෙන් සමත් වන්නේ ඒ අනුව යි. ඉන් නොනැවතෙන තරුණ ජායා ලතින්, ග්‍රීක භාෂා, සහ ඉතිහාසය පිළිබඳ විෂයයන් ගෙන් ලන්ඩන් බී. ඒ. උපාධිය ලියා සමත් වෙනවා. ඒ 1916 අවුරුද්දේ දී යි.
1917 දී, කොළඹ ආනන්ද විද්‍යාලයයේ විදුහල්පතිව සිටි පී. ද එස්. කුලරත්නගේ ආරධනය මත බටහිර සාහිත්‍ය හා ඉතිහාසය ඉගැන්වීමේ ගුරුවරයෙකු ලෙස ජයා එම පාසලට පැමිණෙනවා. අනාගතයේ රටේ නම් ප්‍රකට වූ අගනා ගෝල පිරිසක් බිහිකිරීමට ඔහුට අවස්ථාව ලැබෙනවා. ආචාර්ය එන්. එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, රොබට් ගුණවර්ධන ඔහුගෙන් ඉගෙනගත් සිසුන් කිහිප දෙනෙක්. එකල ආනන්දයේ ජ්‍යෙෂ්ඨතම ගුරුවරයා මෙන්ම එහි ජනප්‍රියම ගුරුවරයා ද වුණේ ඔහු යි.
මේ අතරම නීති විද්‍යාලයයට ඇතුළත්ව නීති උපාධිය සඳහා අධ්‍යාපනය ලැබීමටත් ජයා උනන්දු වෙනවා.
මරදානේ සහිරා විදුහල
නීති විද්‍යාලයයේ අවසන් වසරෙහි අධ්‍යාපනය ලබමින් සිට 1921 වසරේ දී, දේශීය මුස්ලිම් ජනතාවගේ ආරාධනාව අනුව මරදානේ සහිරා විදුහලේ විදුහල්පති ලෙසින් ජයා වැඩ භාර ගන්නවා. ඔහු එම විදුහල භාර ගනිද්දී එහිවූ සිසුන් සංඛ්‍යාව 59කට සීමාවී තිබූ අතර ගුරුවරුන් සිටියේ 6 දෙනෙකු පමණ යි. විදුහල අබලන් තත්ත්වයක යි තිබුණේ. ප්‍රමාණවත් ඩෙස්ක්බංකු, පුටු හා අවශ්‍ය අනෙකුත් උපකරණ තිබුණෙත් නැහැ. ජයාගේ මඟපෙන්වීම මත ටික කලකින්ම සහිරා විදුහල ශීඝ්‍ර දියුණුවක් අත්කර ගත්තා.
දෙවැනි ලෝක මහා සංග්‍රාම සමයේ 1945 ආසන්න කාලයේ, කොළඹ සහිරා සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමේ අවදානම කල්තබා තේරුම්ගත් ජයා අලුත්ගම, ගම්පොල, මාතලේ, පුත්තලම හා වෑකන්ද යන ප්‍රදේශවල සහිරා විද්‍යාල ශාඛා ආරම්භ කළා.
සහිරාවේ විදුහල්පතිධුරයෙන් 1948 වසරේ දී විශ්‍රාම යන විට ජයා සහිරා විද්‍යාලයයේ විදුහල්පති ලෙසින් වසර 27ක් සේවයකර තිබුණා. 1948 දී එහි සිසුන් ප්‍රමාණය 3500ක් වූ අතර ගුරුවරුන් 100ක් එම විද්‍යාලයයේ සේවය කරමින් සිටියා.
මුස්ලිම් නායකයා
රටෙහි මුස්ලිම් ප්‍රජාවෙහි නායකයෙකු ලෙසින් ජයා ක්‍රමයෙන් ඉහළට පැමිණි අතර, ඔහුගේ රට මුල්කර ගත් මැදහත් වැඩ පිළිවෙල වැඩිදෙනෙකුගේ ප්‍රසාදයට ලක්වුණා. එන්. එච්. එම්. අබ්දුල් කාදර්ගේ අභාවයෙන් පසු සමස්ත ලංකා මුස්ලිම් ලීගයෙහි සභාපති ලෙසින් පත්වුණේ ජයා යි. 1950 වසර දක්වා එහි සභාපති ලෙසින් ඔහු කටයුතු කළා.
දේශපාලනයේ මහත්මයා
1924 දී ටී. බී. ජයා දේශපාලනයට පිවිසුණේ ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රීධුරයක් ලබාගනිමින්. 1924 සිට 1930 දක්වා දෙවරක් ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළ ඔහු 1936 සිට 1947 දක්වා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජිකත්වයත් දැරුවා. 1944 දී ඔහු ව්‍යවස්ථාදායක සභාවේ දී සෝල්බරි වාර්තාව ගැන පැය තුනක් කතාකරමින් පුර්ණ නිදහස ලබාදීමේ වැදගත්කම අවධාරණය කර සිටියා. මේ අතර රටේ නිදහස් අරගලය උණුසුම්ව පැවතුණා. සිංහල නායකයන් වූ ඩී. බී. ජයතිලක, එෆ්. ආර්. සේනානායක, ඩී. එස්. සේනානායක, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ඊ. ඩබ්ලිව්. පෙරේරා, සහ දෙමළ නායකයන් ලෙස සිටි පොන්නම්බලම් අරුණාචලම්, පොන්නම්බලම් රාමනාදන් යන ලාංකිකයන් අතර ටී. බී. ජයා ද ඉදිරියේම සිටියේ මුස්ලිම් සහ මැලේ ජනයා නියෝජනය කරමින්.
එක්සත් ජාතික පක්ෂය
රටේ ප්‍රධාන පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂය ආරම්භ කිරීමට මුල්වූ නායකයෙකු ලෙස ටී. බී. ජයා සැලෙකනවා. 1946 සැප්තැම්බර් 6 දින දී, කොළඹ ඇල්බට් චන්ද්‍රවංකයෙහි පාම්කෝට්හි පැවැති සමාරම්භක රැස්වීමේ දී පක්ෂයේ උපසභාපතිවරයෙකු ලෙසත් ඔහු පත්කර ගැනෙනවා. 1947 පාර්ලිමේන්තු මැතිවරණයේ දී බහු මන්ත්‍රී කොට්ඨාසයක් වූ මැද කොළඹ දෙවන මන්ත්‍රීවරයා ලෙසි ඔහු තේරී පත්වන්නේ ඡන්ද 18439ක් ලබාගනිමින්. ඩී. එස්. සේනානායක අගමැති පදවිය දැරූ ලංකාවේ ප්‍රථම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් සිටියේ 14 දෙනා යි. එහි කම්කරු සහ සමාජ සේවා අමාත්‍යවරයා ලෙසින් ඔහු පත් කෙරෙනවා.
පළමු කැබිනට් මණ්ඩලය ගැන Roar ලියූ ලිපිය කියවන්න: පළමු කැබිනට් මණ්ඩලයේ සිටි දේශපාලන දැවැන්තයෝ
පාකිස්ථාන මහ කොමසාරිස්
1950 දී ඔහු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් සහ කැබිනට් අමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වන්නේ පාකිස්ථානයට පත්කෙරුණු ප්‍රථම මහා කොමසාරිස් ලෙස වැඩ භාරගැනීමට යි.
පාකිස්ථාන නායකයන් හා ජයා අතර වූ සමීප සබඳතාවය නිසා යි ඔහු එරට මහකොමසාරිස් ලෙස අගමැති ඩී. එස්. විසින් පත්කෙරුණේ. මහකොමසාරිස්ධුර කාලය අවසන් වීමත් සමගම තවදුරටත් ටී.බී. ජයා එම ධුරයේ තබා ගැනීමට පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට ඉල්ලීමක් කර තිබෙනවා. ඔහු පාකිස්ථාන නායකයන් අතරත් එවන් ජනප්‍රියත්වයක් ලබා තිබුණා. ජයාට පාකිස්ථාන රජය සම්මාන පුරවැසිභාවය පිරිනැමු අතර, ඔහු කාරුණිකව එය ප්‍රතික්ෂේප කළ බව සඳහන් වෙනවා.
ජයාගේ බිරිඳගේ ජීවිතය 1954 දී නිමාවන්නේත් පාකිස්ථානයේ කරච්චි නුවර දී යි. මහාකොමසාරිස් තනතුරෙහි ඔහු වසර 9ක් වැනි දිගුකලක් සේවය කළා. එහිදී ඔහු කළ සේවය අගය කරනු වස් 1952 දෙසැම්බර් 22 දා පන්ජාබ් විශ්වවිද්‍යාලයය මඟින් ඔහුට සාහිත්‍යසූරී ගෞරව ආචාර්ය උපාධිය පිරිනැමුවා. මේ කාලය තුළ පාකිස්ථානය සහ ලංකාව අතර වැදගත් වෙළෙඳ ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට ද ඔහුගේ සේවය මුල්වෙනවා.
මක්කම දී දිවියෙන් සමුගනියි
ශ්‍රී ලාංකික මුස්ලිම් බැතිමතුන් සඳහා නේවාසිකාගාරයක් මක්කම ඉදිකිරීමට සවුදි අරාබියේ රජුගෙන් අවසර ගැනීමට ගිය දූත ගමනට නායකත්වය දීම, ඔහු රට වෙනුවෙන් කළ අවසාන කාර්යය යි. එහි කටයුතු සාර්ථක වූ බව වාර්තා වෙනවා. එය මෙහෙයවමින් සිටින අතරතුර හදිසියේ රෝගාතුර වූ ජයා රෝහලකට ඇතුළත් කළත් ඔහුගේ දිවි බේරාගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඔහු 1960 මැයි 31 දින දින ශුද්ධ වූ මදීනා නගරයේ දී අභාවප්‍රාප්ත වුණා. ඔහුගේ දේහය මදීනා නගරයේ ජන්නතුල්ඛාත්හි දී නබිනායකතුමාගේ සොහොන පිහිටි පරිශ්‍රයේම මිහිදන් කළා. ඒ අවස්ථාවට පාකිස්ථානයේ හා සෞදි අරාබියේ නායකයන් ද පැමිණි බව සඳහන් වෙනවා.