සියල්ල අහිමි ව සිට සියල්ල ම හිමි කර ගත් දිරිය මිනිස්සු

ලෝක ප්‍රසිද්ධ බොහෝ පුද්ගලයන්ගේ අතීතය දුක් කම්කටොළුවලින් පිරී ගිය එකක් බව ඔවුන්ගේ ජීවිත කතා මොනවට පසක් කරයි. දේශපාලනය, ක්‍රීඩාව, ව්‍යාපාර ලෝකය, කලාව සහ අධ්‍යාපනය වැනි විවිධ ක්ෂේත්‍රවල පරතෙරට පැමිණි බොහෝ දෙනෙක් ඉතා දුෂ්කර අතීතයක් ගත කර, ඒ මගින් ලබාගත් පන්නරය නිසා අභියෝග ජයගත් අය වෙති.

මේ ලිපිය එවැනි දුෂ්කර අතීතයක් ගත කළ, කෙසේ නමුත් පසුකාලීන ව ලෝක ප්‍රසිද්ධියට පත් පුද්ගලයන් කිහිප දෙනෙක් පිළිබඳව යි.

01). ඇලෙක්සැන්ඩර් හැමිල්ටන්

අමෙරිකා එක්සත් ජනපදයේ පළමු භාණ්ඩාගාර ලේකම්වරයා වූ ඇලෙක්සැන්ඩර්ගේ ළමා කාලය කටුකොහොලින් පිරි එකක් විය. ඔහු කැරිබියානු දූපතක් වන නේවිස්’හිදී 1755 දී උපත ලැබුවේ ය. ඔහුගේ පියා ස්කොට්ලන්ත ජාතිකයෙක් වූ අතර මව ප්‍රංශ ජාතික කාන්තාවක වූවා ය. මව වෙනත් පුද්ගලයකු සමඟ නීත්‍යානුකුල විවාහ වී සිටි බැවින් ඇලෙක්සැන්ඩර්ගේ පියා ඔහුට වයස අවුරුදු දහයේ දී පමණ ඔවුන් හැර ගියේ ය. ඊට වසර කිහිපයකට පසු ඔහුගේ මව උණ රෝගයක් වැලඳී මිය ගියා ය.

ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් – DeAgostini – gettyimages.com

එතැන් පටන් ඔහුගේ සහ සහෝදරයාගේ භාරකරු ලෙස කටයුතු කළ ඥාති සොහොයුරකු සිටි අතර ඔහු ද යම්කිසි සිත් තැවුලක් නිසා දිවි නසා ගත්තේ ය. ඉන්පසු එක්තරා ආනයන සහ අපනයන පදනම් කරගත් සමාගමක ලිපිකරුවකු වශයෙන් රැකියාවක් ලබා ගැනීමට ඇලෙක්සැන්ඩර්ට හැකි විය. රාජකාරි කිරීමේ දී ඔහුගේ ඇති දක්ෂතා පිළිබඳ ව පැහැදුණු ව්‍යාපාරිකයන් පිරිසක් මුදල් එකතු කර 1773 දී ඔහු නිව්යෝර්ක් නගරයට පිටත් කර යැවූහ.

එහිදී ඔහු උසස් අධ්‍යාපනය ලැබූ ආයතනය පසුකාලීන ව කොලොම්බියා විශ්වවිද්‍යාලය බවට පත් විය. පසුකාලීනව ජෝර්ජ් වොෂින්ටන් සමඟ එක්ව අමෙරිකානු විප්ලවයේ පුරෝගාමියකු ලෙස කටයුතු කළ ඇලෙක්සැන්ඩර් එරට පළමු භාණ්ඩාගාර ලේකම් ලෙස පත් වූ අතර එරට පළමු ජාතික බැංකුව ස්ථාපිත කිරීම සඳහා ද සුවිශාල කාර්යභාරයක් ඉටු කළේ ය.

02). ඇන්ඩෲ ජැක්සන්

අමෙරිකන් විප්ලවය සිදු වන විට ඇන්ඩෲ වයස අවුරුදු අටක කුඩා දරුවෙක් වුවත් එම විප්ලවය නිසා ඔහුට බොහෝ දෑ අහිමි විය. ඉපදී ඉතා කෙටි කලක් ඇතුළත ඔහුට පියා අහිමි වූ බැවින් පාර්සල් බෙදාහරින්නකු වශයෙන් කුඩා කාලයේ දී ම සේවය කරන්නට ඔහුට සිදු විය. 1781 දී එවකට 13 හැවිරිදි වියේ පසු වූ ඇන්ඩෲ සහ ඔහුගේ සහෝදරයා බ්‍රිතාන්‍ය හමුදා සෙබළුන් කණ්ඩායමක් අල්ලා ගත්හ.

සපත්තුවක් පිරිසුදු කිරීම ප්‍රතික්ෂේප කළ බැවින් ඉන් එක් සෙබළෙක් ඇන්ඩෲට කඩුවකින් තුවාල කළ බවත් කියැවේ. හමුදා භාරයේ සිටියදී ඔහුගේ සහෝදරයා වසංගත රෝගයක් වැලඳී මිය ගිය අතර ඔහුගේ මව ද එම වසරේදී ම මිය ගියා ය.

ඇන්ඩෲ ජැක්සන් – www.pinterest.com

පවුලේ සියලු දෙනා මිය ගිය බැවින් තනි වූ ඇන්ඩෲ ටික කලක් ඥාතීන් සමඟ ජීවත් විය. ඉන් අනතුරු ව ඔහු සෑදල සාදන්නකු සහ පාසල් ගුරුවරයකු ලෙස සේවය කර තිබේ. වැඩිදුර අධ්‍යාපනයක් ලබා නොතිබුණත් ඔහු පසුකාලීනව නීතිඥයකු සහ දේශපාලනඥයකු ලෙස ප්‍රසිද්ධියට පත් විය. 1812 දී ඇති වූ යුද්ධය අතරතුර ඔහු හමුදා ජෙනරාල්වරයකු ලෙස සේවය කළේය.

පසුව පූර්ණකාලීන දේශපාලනඥයකු ලෙස කටයුතු කළ ඔහු අමෙරිකා එක්සත් ජනපදයේ හත්වැනි ජනාධිපතිවරයා ලෙස 1829 මාර්තු 4 දින තේරී පත් විය. ඔහු මව්පියන් අහිමි දරුවන් ගණනාවකගේ භාරකරු ලෙස කටයුතු කළ බව කියැවේ.

03). සයිමන් බොලිවර්

1783 දී වෙනිසියුලාවේ ඉතා ධනවත් පවුලක උපන් බොලිවර්ගේ පියා ඔහු කුඩා කාලයේදී ම මිය ගියේ ය. ඔහුට වයස අවුරුදු නවයේ දී මව ද අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය ගිය බැවින් බොලිවර් කෙටි කලක් සිය මුත්තණුවන් ළඟ හැදී වැඩිණි. අනතුරු ව මාමාවරුන් කිහිප දෙනෙක් ඔහුගේ භාරකරුවන් ලෙස කටයුතු කළහ. කෙසේ වෙතත් පසුකාලීන ව බොලිවර් සඳහන් කර ඇත්තේ තමන්ගේ සැබෑ භාරකාරිය වූයේ වහල් සේවයේ යෙදුණු කළු ජාතික කාන්තාවක් බව යි.

ඔහු ඇය පිළිබඳ සඳහන් කර ඇත්තේ මෙලෙසිනි: “ඇගේ කිරි මා පෝෂණය කළා. මා දන්නා එකම මව සහ පියා ඇය පමණි.”

සයිමන් බොලිවර් – gettyimages.com

බොලිවර්ගේ පවුලට සෑහෙන ධනයක් තිබූ බැවින් ඔහුට යුරෝපා රටවලට ගොස් උසස් අධ්‍යාපනය හැදෑරීමට හැකි විය. 1807 දී උසස් අධ්‍යාපනය හමාර කොට නැවත වෙනිසියුලාවට පැමිණි ඔහු ඒ වන විට ස්පාඥ්ඥයට යටත්ව තිබූ වෙනිසියුලාවට නිදහස දිනාගැනීමේ අරගලයේ පුරෝගාමියෙක් විය. නිදහස දිනාගැනීම උදෙසා දියත් කළ යුද්ධයේ අණදෙන්නෙකු ලෙස ඔහු කටයුතු කළේය. කොලොම්බියාව, ඉක්වදෝරය සහ පේරු රාජ්‍යයන් පිහිටුවීම සඳහා මුල් වූ අරගලවලදී ද ඉදිරියෙන්ම සිටි අයෙකු ලෙස ඔහු හැඳින්වේ. 1830 දී බොලිවර් මිය ගිය අතර ඒ වන විට ඔහු “The Liberator.” නමින් ප්‍රසිද්ධ විය.

04). එඩ්ගා ඇලන් පෝ

එඩ්ගා ඇලන් පෝ ගේ බොහෝ නිර්මාණවල සඳහන් වන බිය සහ බලාපොරොත්තු සුන් වීම පිළිබඳ ව වන සිදුවීම්වලට ඔහුගේ ම ළමා කාලයේ අත්විඳි සිදුවීම් හේතු වන්නට ඇති බව කියැ වේ. 1809 දී උපත ලැබූ ඔහුගේ මව්පියන් වීදි නාට්‍යවල රංගනයේ යෙදුණු අය වූහ. එඩ්ගාට වයස අවුරුදු තුන සම්පූර්ණ වන විට ඔහුගේ පියා ඔවුන් හැර ගියේ ය.

ඔහුගේ මව ක්ෂය රෝගය වැගඳී මිය ගියා ය. එතැන් පටන් ඔහු හදාවඩා ගත්තේ වර්ජීනියා ප්‍රාන්තයේ විසූ ජෝන් ඇලන් නම් දුම්කොළ වෙළෙන්දෙකි. 1830 වන විට ඔවුන් දෙදෙනා වෙන් වූ අතර එතැන් පටන් එඩ්ගා සාහිත්‍ය නිර්මාණවල යෙදිණි. ඔහු පසුකාලීනව රිච්මන්ඩ්, ෆිලඩෙල්ෆියා සහ නිව්යෝර්ක් වැනි ප්‍රදේශවල ජීවත් විය. 1849 දී ඔහු මිය ගිය අතර ඊට හේතුව කුමක්ද යන්න අදට ද අභිරහසකි.

එඩ්ගා ඇලන් පෝ- www.wikipedia.org

05). මැරිලින් මොන්රෝ

‘මැරිලින් මොන්රෝ’ යනුවෙන් හොලිවුඩ් තාරකාවක් ලෙස ප්‍රසිද්ධ වීමට පෙර ඇය ‘Jeane Baker’ නම් වූවා ය. ලොස් ඇන්ජලීස් හි දී 1926 ජූනි 1 දින උපත ලැබූ ඇයට සිටියේ මව පමණි. ඇගේ පියා කවුදැයි ඇයට කිසිදිනෙක දැනගන්නට නොලැබිණි. ඇය පසුකාලීන ව සඳහන් කළේ ඇගේ ළමා විය බිඳක් හෝ සතුටින් පිරි එකක් නොවූ බව යි. මොන්රෝගේ මව මානසික රෝගී තත්ත්වයකින් පෙළුණු බැවින් ඇය එක්තරා ප්‍රතිකාර මධ්‍යස්ථානයක රඳවා තබා තිබිණි. ඒ නිසා විවිධ අනාථ නිවාසවල සහ වෙනත් කැපකරු මධ්‍යස්ථානවල රැඳී සිටීමට මොන්රෝට සිදු විය. ඉන් සමහරක් තුළ ඇය ලිංගික අපයෝජනයන්ට පවා ලක් වූ බව කියැවේ.

වයස අවුරුදු 16 දී ජේම්ස් ඩොගර්ටි නම් පුද්ගලයකු සමඟ විවාහ වීමත් සමඟ ඇය අනාථ නිවාසවල ගත කළ කාලය අවසන් විය. විවාහයෙන් පසුව එක්තරා කර්මාන්තශාලාවක සේවය සඳහා එක් වූ ඇය දුටු හමුදා ඡායාරූප ශිල්පියෙක් ඇගේ ඡායාරූප කිහිපයක් ලබා ගත්තේය.

නිරූපණ ක්ෂේත්‍රයට එක්වන ලෙස ඔහු ඇයට ආරාධනා කළේ ය. 1946 වන විට ඇය සිය නම සහ පෙනුම වෙනස් කර ගත් අතර එතැන් පටන් ඇය රංගන, නිරූපණ සහ ගායන ශිල්පිනියක් ලෙස ලෝක ප්‍රසිද්ධ විය.

මැරිලින් මොන්රෝ – gettyimages.com

කවරයේ ඡායාරූපය- දුක් කම්කටොළුවලින් පිරි ළමා වියක් ගත කළ මැරිලින් මොන්රෝ -www.britannica.org

මූලාශ්‍ර:

www.history.com/ Evan Andrews

www.nytimes.com

Related Articles

Exit mobile version